හම්බන්තොට ගොවි ජනතාව වෙනුවෙන් වල්සපුගල අරගලයට පණ පොවමු


හම්බන්තොට යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් වල්සපුගල ගොවීන්ගේ උපවාසයට සහය දැක්වීමක් ලෙස, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් අම්බලන්තොට නගරයේදී පෙරේදා (10දා) දැවැන්ත උත්ඝෝෂණයක නිරත විය. පොරොන්දු වූ පරිදි වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස  නරගය වටකරමින් කළු කොඩි ඔසවමින් ගොවි ජනතාව ආණ්ඩුවට බලකර සිටියේය. මේ හේතුවෙන් කතරගම - කොළඹ මාර්ගයද වසා තැබීමට සිදුව තිබිණ. මේ නිසාම ගොවි ජනතාවගේ ජීවිත මෙන්ම ජීවිකාවද රැකගැනීමට වැදගත් වන යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධයෙන්, සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සකස් කර ඇත.

මීට මාසයකට පෙර හම්බන්තොට වල්සපුගල ගම්මානයේ පදිංචිකරුවන් ප්‍රදේශයේ අලි මිනිස් ගැටුමට විසඳුමක් ඉල්ලා අඛණ්ඩ උපවාසයක්  ආරම්භ කළ අතර, හම්බන්තොට යෝජිත වනඅලි රක්ෂිතය විධිමත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. ප්‍රදේශයේ ගොවි සංවිධාන 86ක් නියෝජනය කරමින් ගොවීන් විසින් මෙම විරෝධතාවය දියත් කරන ලද අතර, අධ්‍යාපනිකව ගොවි ජනතාව මෙන්ම ප්‍රදේශයේ දරුවන්ද දැනුම්වත් කරමින් අද වන විටත් මෙය ඉදිරියට ඇදෙමින් ඇත.

වසර දොළහකට පමණ පෙර හම්බන්තොට ජනගහනය අඩු කලාපයක් වූ අතර, එහි වැඩි භූමි ප්‍රමාණයක් සතුන්ගේ වාසස්ථාන බවට පත්ව තිබිණ. නමුත් ජාතික භෞතික සැලසුමට අනුව හම්බන්තොට මහ නගරය සංවර්ධනය කිරීම නිසා අලිඇතුන් විසින් භාවිත කළ වනාන්තර විනාශ වී ගොස් ඇති අතර, අද වන විට ඔවුන් වෙනුවෙන් වෙන්කර ඇති  අක්කර 20,000ක භූමි ප්‍රමාණයත් සංවර්ධන කටයුතු සඳහා  හෙළිපෙහෙළි කර භාවිතයට ගනිමින් සිටී.

අලි ඇතුන්ගේ වාසස්ථාන අහිමි වීමත් සමග අලි මිනිස් ගැටුම ඉහළ යාමත්, විශේෂයෙන් 2006 වසරේ ගෙන එල ලද ජාතික අලි කළමනාකරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම උදෙසාත්  හම්බන්තොට මහ නගර සංවර්ධන වැඩසටහන විසින් අලි ඇතුන් සඳහා හෙක්ටයාර් 1500ක ප්‍රදේශයක් වෙන්කරන ලෙස සැලසුම් කරන යෝජනාවක් ඉදිරිපත් විය.

හම්බන්තොට මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව සකස් කරන ලද එම සංවර්ධන සැලැස්ම බස්නාහිර සංවර්ධන හා මෙගා පොලිස් අමාත්‍යවරයා ලෙස පාඨලී චම්පික රණවකගේ අත්සනින් අනුමත කරන ලද අතර, 1639/1, 2 යටතේ 2020 පෙබරවාරි මස 02 වන දින ගැසට් කරන ලදී.

විවිධ සංවර්ධන කටයුතු නිසා හම්බන්තොට නගරය සිරිබෝපුර දක්වා මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින අතර, හම්බන්තෝට යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කර අලි පරපුර හා මිනිස් ජීවිත මෙන්ම වගාවන් බේරා දීම උදෙසා රජය හැකි ඉක්මනින් මැදිහත් විය යුතුය.  අද වන විට සූරියවැව, හම්බන්තොට හා වල්සපුගල ගොවි ජනතාව ඉල්ලා සිටින්නේද එයයි.

හම්බන්තොට මහා නගර සැලැස්ම යටතේ  අලි කළමනාකරණ රක්ෂිතය අයත් විය යුතු ඉඩම් නිදහස් කිරීමට යෝජනා කර ඇතත්, එය යෝජනාවකින් එහාට ගොස් නැත. එම නිසාම අද වන විටත් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් පුද්ගලයන්ට හා සමාගම් අතට ලබාදෙමින් ඇති නිසා අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් ප්‍රමාණය දිනෙන් දින අඩු වෙමින් ඇත. එමෙන්ම අලි මිනිස් ගැටුම ඉතාමත් දරුණු ලෙස වැඩි වෙමින් පවතින අතර, අලි ඇතුන්ට අමතරව ප්‍රදේශයේ අනික් සතුන්ට සිය වාසභූමි අහිමි වෙමින් පවතී.

සංවර්ධන කටයුතුවලට යැයි කියමින් ගොන්නෝරුව සිට බුරුතකන්ද දක්වා කුළු වැව් ගණනාවක් ඇති අක්කර දෙදහසකට වැඩි ප්‍රමාණයක් මේ වන විට නිදහස් කර තිබේ.  ප්‍රදේශයේ ජලපෝෂිත මෙන්ම අලි ඇතුන්ගේ ජල අවශ්‍යතාවයට ඉදිකළ වැව් පවා යෝජිත රක්ෂිතයට අහිමි කරමින් ඇත. එමෙන්  බුරුතකන්ද සූර්යබලාගාරය සඳහා අක්කර 500ක් වෙන් කර ඇති අතර, වල්සපුගල සහ දිවුල්පැලැස්ස බලශක්ති ගම්මානයක් ඉදිකිරීමට තවත් අක්කර 300ක් වෙන් කර ඇත.

එසේම මෙම වනාන්තර විනාශය නිසා  ගොන්නෝරුවේ සිට බූන්දල දක්වා අලි ගමන් කරන ලද අලිමංකඩ විනාශ කර දමා ඔවුන්ගේ මෙන්ම අනෙක් සත්ත්ව ප්‍රජාවගේ වාසභූමිද අහිමි කරමින් ඇත.

හම්බන්තොට මේ වන විට සිදුකරන ඉඩම් මංකොල්ලය හා වනාන්තර විනාශය හේතුවෙන් වනඅලි කළමනාකරණ රක්ෂිතය සඳහා වෙන්කර ඇති හා අනෙක් සතුන්ගේ පැවැත්මට මෙන්ම ජනතාවගේ ජීවිත ආරක්ෂාවට ඇති  අක්කර 20,000ක පමණ ඉඩම් ප්‍රමාණයක් අහිමි වීමේ අවදානමක් පැන නැගී ඇත.

අලි කළමනාකරණ කලාපය සඳහා වෙන්කර ඇති ඉඩම විවෘත වනාන්තර ප්‍රදේශයක් වන අතර, එය කටු පඳුරු සහිත වියළි කලාපීය ශුෂ්ක වනයන්ගෙන්ද ගහණය. මෙහි ඇතැම් ඉඩම් මෙන්ම යාබද ඉඩම් කෘෂිකාර්මික කටයුතුවල නියැළී සිටින ප්‍රදේශවාසීන් විසින් අත්පත් කරගෙන ඇත.

යෝජිත වනඅලි කළමනාකරණ කලාපය ගොන්නෝරුව සහ කොහොලන්කලා යන ග්‍රාමනිලධාරී කොට්ඨාස යටතේ පවතින අතර, හම්බන්තොට මහ නගර සභා සීමාව තුළ හෙක්ටයාර 1500ක කලාපයක් එයින් පිටත වනාන්තර හෙක්ටයාර 8000ක ප්‍රදේශයක් රක්ෂිතය ලෙස වෙන් කිරීමට යෝජනා කර තිබේ.  ඒ සඳහා සීමා මායිම් ලකුණු කර නීත්‍යානුකූල ආවරණයක් ලබා දී නොමැති හෙයින්, එහි ඉඩම් බහුජාතික සමාගම් හා පුද්ගලයන් විසින් කොල්ලකමින් ඇත.

අලි 400කගේ පමණ වාසභූමියක් ලෙස යොදාගත හැකි මෙම ප්‍රදේශය වටා සිග්සැග් ආකාරයෙන් දෙහි, බෝගන්විලා සහ හණ ගස් වගා කිරීම මගින් මිනිසුන්ගෙ වගා භූමි අලින්ගේ ආක්‍රමණයෙන් බේරා ගැනීමට බලාපොරොත්තු වේ. අපි මේ සඳහා තවත් යෝජනාවක් එකතු කරමු. එනම් ප්‍රදේශවාසීන්ගේ වගා බිම් අවට මීමැසි ජනපද පිහිටු වීම තුළින් තවද සිදුවිය හැකි වගා හානි අවම කිරීමයි.

යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය හම්බන්තොට, කතරගම මාර්ගය දක්වා විහිදී යන අතර, අනෙක්පසින් හම්බන්තොට,  ගොන්නෝරුව හා මීගහජදුර මාර්ගය කරාද විහිදී යයි. මෙම යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිතය ආරක්ෂා නොකළහොත් ප්‍රදේශවාසී ගොවි ජනතාවට සිය වගාබිම් පමණක් නොව ජීවිත බේරාගැනීමද ඉදිරියේදී විශාල ගැටලුවක් වනු ඇත.

කෙසේවෙතත් වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, හම්බන්තොට යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිතය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බැවින්, අදාළ නීති හා රෙගුලාසි ක්‍රමවත්ව සකස්කර කෙටුම්පත් නීතිසම්පාදක දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව සඳහන් කළේය.

ඉන්පසුව එය ගැසට්පත්‍රයේ මුද්‍රණය කරවීමට කටයුතු කරන බවත්, ගැසට්පත්‍රය මුද්‍රණයට යැවීමේ ක්‍රියාදාමයට අයත් වැදගත් හා අත්‍යාවශ්‍ය පියවර ගණනාවක් මේ වන විට ගෙන තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේ නිවේදනයක් නිකුත් කරමිනි.

හම්බන්තොට යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමේදී ඒ ආශ්‍රිත සියලුම නීතිරීති හා රෙගුලාසි මෙන්ම විවිධ දෙපාර්තමේන්තුවල මගපෙන්වීම සැලකිල්ලට ගතයුතු බවද පැවසීය. යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිතයක අවශ්‍යතාව තමන් පාර්ලිමේන්තුවට පිවිසි 1989 වසරේ සිටම පැවැති රජයන්ට පෙන්වා දුන් බවත්, මේ නිසා නීත්‍යානුකූල කටයුතු සඳහා ගතවන කාලය ඉවසා සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

කෙසේවෙතත් ජනතාව මේ දක්වාම ඔවුන්ට දුන් පොරොන්දු විශ්වාස කරමින් ඉවසීමෙන් කටයුතු කර ඇති අතර, ගොවි ජනතාවගේ ජීවිත සහ ජීවිකාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පොරොන්දු ඉටුකරනු ඇතැයි ඔවුන් තවදුරටත් බලාපොරොත්තු වේ.



Recommended Articles