මෙරට අත්‍යාවශ්‍ය භාණ්ඩ අතර සහල් වලට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. මේ නිසාම වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිවන්නට ඉඩ නොදීමට රජය හැමවිටම කටයුතු කරයි. මෙවර යල කන්නයේ මෙරට වී අස්වැන්න වෙනදාටත් වඩා යහපත් වූ බවත්, මෙරට සහල් අවශ්‍යතාව සපුරන්නට එම වී අස්වැන්න ප්‍රමාණවත් බවත් රජයේ නිලධාරීන් කිහිපදෙනෙකු විවිධ සාකච්ජාවලදී පවසා තිබුණි. එවන් පසුබිමක වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලංකා සතොස හරහා මාස හතරක කාලයකට සහල් ආනයනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2,241ක ණය මුදලක් ඉල්ලුම් කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණ. මේ ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව දැක්වූ අදහස්ය.
සහල් ආනයනයට අපි විරුද්ධ නැහැ, එය මොළය ඇති ක්‍රියාවක් - වී අලෙවි මණ්ඩලයේ සභාපති ජටාල් මාන්නප්පෙරුම
මෙවර යල කන්නයේ වී අලෙවි මණ්ඩලය විසින් වී මෙට්‍රික් ටොන් 3600ක ප්‍රමාණයක් ගොවීන්ගෙන් මිලදී ගත්තා. නමුත් මේ වී තොගය රටේ දෛනික සහල් අවශ්‍යතාවටත් වඩා අඩු ප්‍රමාණයක් බවයි කිවහැක්කේ. එයින් සහල් හිඟයක් ඇතිවන බවක් කියවෙන්නේ නැහැ. මොකද කියනවා නම් දැන් රජයෙන් සහල් ආනයනය කරන්නයි අදහස් කරගෙන සිටින්නේ. පසුගිය වර්ෂයේ යල කන්නයේදී වී අලෙවි මණ්ඩලයට ගොවීන්ගෙන් වී ඇටයක්වත් ලැබුණේ නැහැ. ඒ අනුව බැලුවාම මෙවර යල කන්නයේ අපිට ලැබුණ වී තොගය ගොඩක් වැඩියි. බැංකුවලින් වී මෝල්වලට නිකුත් කරන ණය අනුව තමයි වී අලෙවි මණ්ඩලයට වී ලැබෙන එක තීරණය වෙන්නේ. වී මෝල්වලට බැංකුවලින් විශාල ණය ප්‍රමාණයක් දුන්නොත් ඔවුන් ඉහළ මිලකට ගොවීන්ගෙන් වී මිලදී ගන්නවා. වී අලෙවි මණ්ඩලය සාමාන්‍යයෙන් රුපියල් 50/-කට වගෙයි වී මිලදී ගනු ලබන්නේ. වී මෝල් හිමියන් රුපියල් 52/-කට වගේ වී මිලදී ගනිද්දි ගොවියෝ වී අලෙවි කරන්නේ වී මෝල් හිමියන්ටයි. නමුත් මෙවර කුඹුරු වගා කිරීමේ කටයුතු සාර්ථක වීමත් සමග වී අලෙවි මණ්ඩලයටත් ගොවීන් වී අරගෙන ආවා. සමහර අවුරුදුවල අපිට යල කන්නයේ වී ලැබෙන්නේම නැහැ. මෙවර වැව්වල වතුර තිබුණ නිසා හොඳ අස්වැන්නක් තිබුණා.
සාමාන්‍යයෙන් අවුරුද්දේ අන්තිම කාලයේ රටේ සහල් හිඟයක් ඇතිවෙන්න යම් ඉඩක් තිබෙනවා. මේ අවුරුද්දෙත් එවැනි තත්ත්වයක් ඇති වුණොත් ඒ සඳහා රජයෙන් සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනය කරන්න අදහස් කරගෙන සිටින බවට දැනගන්න ලැබුණා. අපි එයට විරුද්ධ නැහැ. එය මොළය ඇති ක්‍රියාවක්. වී අලෙවි මණ්ඩලයේ කර්තව්‍යය තමයි ගොවියාගේ අස්වැන්නට හොඳ මිලක් ලබාදෙන එක. අපි ඒක හොඳින් කළා. වෙළෙඳ ඇමතිතුමා කියන්නේ නත්තලට බැරිවෙලාවත් සහල් හිඟ වුණොත් තමන්ගේ අමාත්‍යාංශයට චෝදනා එල්ලවන බවයි. වී අලෙවි මණ්ඩලය සතුව හොඳ වී තොගයක් තිබුණා නම් අපි ඇමතිතුමාට දැනුම් දෙනවා &ඔබතුමා බයවෙන්න එපා. අපි සතුව ඇතිවෙන්න වී තිබෙනවා කියලා.* නමුත් අපිට එහෙම කියන්න බැරි නිසා සහල් ආනයනයට ගත් තීරණය ඉතාම හොඳ තීරණයක් කියලයි මම කියන්නේ.
රටේ අවශ්‍යතාවට සරිලන්න වී තොග තිබෙනවා, කෘත්‍රිම සහල් හිඟයක් මවා පෑවොත් සහල් ආනයනය කරනවා
- වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් භද්‍රාණි ජයවර්ධන
සාමාන්‍යයෙන් සෑම වර්ෂයකම අවසාන කාර්තුවේ සහල් වෙළෙඳ පොළට ඒමේ අඩුවක් දකින්නට ලැබෙන බව අධ්‍යයනයන්වලින් පෙන්වා දී තිබෙනවා. මේ වර්ෂයේත් අපි දැක්කා වෙළෙඳ පොළේ සම්බා සහල්වල හිඟයක් තිබෙන බව. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමා එතුමාගේ සභාපතිත්වයෙන් ජීවන වියදම අඩු කිරීම වෙනුවෙන් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. මෙහිදී අත්‍යාවශ්‍ය ආහාර භෝග දොළහක් පිළිබඳව සොයා බලනවා. එහිදී අත්‍යාවශ්‍යම භෝගය වන්නේ සහල්. අනිත් ඒවා සම්බන්ධයෙනුත් අපි ආනයනකරුවන්, කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු පිරිස් සමග නිරන්තරයෙන් සාකච්ඡාවේ යෙදෙනවා. දත්ත බලනවා, ඒවා විශ්ලේෂණය කරනවා. ඒවායේ ප්‍රායෝගික තත්ත්වය බලනවා. පාරිභෝගික අධිකාරිය මේවා ගැන සොයා බලනවා. ඒ අනුව පසුගිය සාකච්ඡා වටයකදී අපිට දැනගන්න ලැබුණා රට තුළ වී හිඟයක් නොමැති බව. රට තුළ යල කන්නයේ හා මාස් කන්නයේ උපරිම ප්‍රමාණයට වගා කරලා අවශ්‍ය වී තොග මේ වෙද්දී තිබෙනවා. මේ වී තොග රටේ තිබෙනවා නම් සහල් වෙළෙඳ පොළට නිකුත් විය යුතුයි. නමුත් සහල් හිඟයක් වෙළෙඳ පොළේ ඇති වුණොත් අපි එයට මුහුණ දෙන්න ඕන. වී තොග තිබුණත් කෘත්‍රිමව හිඟයක් මවනවා. වෙනත් වර්ෂවල වගේ මේ කාර්තුවේ වී තොග අඩුවෙලා සහල් මිල ඉහළ යයි කියන බලාපොරොත්තුවෙන් සහල් තොග වෙළෙඳපොළට නිකුත් නොවෙන්න පුළුවන්. එවැනි විවිධ බලාපොරොත්තු යටතේ සහල් හිඟයක් ඇතිවුණොත් කියන තත්ත්වය ගැන සොයා බලලා අපි සූදානම් වුණා හදිසි අවස්ථාවකදී අත්‍යාවශ්‍ය වන ප්‍රමාණය අපි ළඟ තබාගන්න. මෙය ආරක්ෂිත තොගයක් ලෙස තබාගන්නයි අපේක්ෂා වී තිබෙන්නේ. කෘත්‍රිම සහල් හිඟයක් මවාපෑවොත් පමණයි අපි සහල් ආනයනය කිරීමේ ක්‍රියාමාර්ගයට යන්නේ. කෘත්‍රිම සහල් හිඟයට අපි ගන්න එකම ක්‍රියාමාර්ගය මෙය නොවෙයි. මේ එක් ක්‍රියාමාර්ගයක් පමණයි.
ඒ අනුව අපි අනිවාර්යෙන්ම සහල් ආනයනය කිරීමක් සිදුකරන්නේ නැහැ. මොකද අපිට තිබෙන තොරතුරු අනුව සහල් අවශ්‍යතාව සපුරන්නට වී තොග රටේ තිබෙනවා. ඒවා සහල් වෙලා වෙළෙඳ පොළට ආ යුතුයි. හදිසියේවත් සහල් ආනයනය කරන්න අවශ්‍ය වුණොත් කොපමණ ප්‍රමාණයක් ආනයනය කළයුතුද යන්න අපි තවමත් තීරණය කර නැහැ. අපි වී මෝල් හිමියන් සමග සාකච්ජා කළා. ඔවුන්ට දැනුම් දුන්නා සහල් හිඟයක් ඇති කළොත් අපි මේ පියවරට යනවා කියලා. සහල් මිල මේ වන විට රජයේ පාලන මිලට අඩුවෙන් තමයි පවතින්නේ. සැලකිය යුතු මට්ටමට මිලේ වෙනසක් සිදුවී නැහැ. එහෙම ඇතිකරන්න ආවොත් පාරිභෝගික කටයුතු අධිකාරිය හරහා පියවර ගන්නවා.
පසුගිය කන්නයේදී වී වගාකරපු ප්‍රමාණ ගත්තම අවශ්‍ය වී තොග ලංකාවේ තිබෙනවා. ඒවා දැන් වී මෝල් හිමියන් ළඟ තිබෙනවාද? ගබඩා තුළ තිබෙනවාද? ගොවීන් ලඟ තිබෙනවාද? කියන එක හරියටම කියන්න බැහැ. ඒ අනුව උත්සව සමයේ සහල් හිඟ වෙයි කියලා බයවෙන්න අවශ්‍ය නැහැ. මොකද අවශ්‍ය තරමට වී තොග රට ඇතුළේ තිබෙනවා. අපිට ජනවාරියේදී මාස් කන්නයේ වී තොගත් ලැබෙනවා. ඒ අනුව බයවෙන්න අවශ්‍ය නැහැ.
ආනයනය කරනවා නම් අපි ආනයනය කරන්නේ නාඩු සහල්. සම්බා පරිභෝජනය අපේ රටේ එතරම් නැහැ. අපි ආනයනය කරන සහල් වර්ග තීරණය කරන්නේ වෙළෙඳ පොළ, කෘෂිකර්ම අංශය, සංඛ්‍යාලේඛන ඇතුළු සෑමදෙනාගේම ඉලක්කම් ගැළපීමෙන් පසුවයි. ලංකාවට සහල් ආනයනය කරන රටවල් කිහිපයක්ම තිබෙනවා. අපි සහල් ආනයනය කරනවා නම් කුමන රටකින්ද කියන එකත් තීරණය කර නැහැ. පැහැදිලිව තේරුම් ගත යුතු දෙය වන්නේ රටේ අවශ්‍යතාවට සරිලන්න වී තොග තිබෙනවා. නමුත් කෘත්‍රිම සහල් හිඟයක් මවාපෑවොත් ඒ සඳහා අපි පියවර කිහිපයක් ගන්නවා. ඉන් එකක් තමයි පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට තිබෙන බලය අනුව වී ගබඩා පරීක්ෂා කිරීම. එහිදී සඟවාගත් වී තොග තිබී හමුවුණොත් නීතිප්‍රකාරව කටයුතු කරනු ලබනවා.
සහල් මාෆියාව ඉදිරියේ රජය දණ ගහලද කියන එක සම්බන්ධයෙන් අපිට සැකයක් තිබෙනවා
- එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා
කිවයුතු පළමු කාරණය තමයි සහල් ආනයනය කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැති බව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්ත 100%ක් නිවැරදි බව අපි කියන්නේ නැහැ. නමුත් දත්ත අනුව නම් සහල් ආනයනය කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. එයට හේතුව තමයි පසුගිය යල හා මහ කන්න දෙකම සාර්ථක ලෙස වගා කෙරුණා. ලංකාවේ කිසිම විදිහකින් කුඹුරු ප්‍රමාණයක් වගා නොකර අතහැරියේ නැහැ. අපි මින් පෙර වර්ෂවල සහල් ආනයනය පිළිබඳ තත්ත්වයන් බැලුවොත් ජාතික විගණන කාර්යාල දක්වා තිබූ නිර්දේශ කිහිපයක් තිබෙනවා. ඒවා තමයි 2016-2017 වර්ෂවල ලංකා සතොස විසින් සහල් ආනයනය කිරීමේදී සිදුවූ වංචා සම්බන්ධයෙන් සිදුකළ විගණන වාර්තාවල අවසානයේ නිකුත් කළ නිර්දේශ. ඒ අනුව එහි සඳහන් වෙනවා රජයක් මින් මතුවට සහල් ආනයනය කරන්නට යනවා නම් සිදුකළ යුත්තේ මොනවාද කියන දේ. ඒ අනුව සහල් ආනයනය කරනවා නම් නිවැරදි දත්ත භාවිත කළ යුතුයි. මොකද 2016-2017 වර්ෂවල රටේ වී තොග හා සහල් තිබෙද්දී සහල් ආනයනය කිරීම නිසා මිලියන ගණනක් මුදල් විනාශ වුණා. ඒ අනුව හිඟයක් තිබෙනවා නම් පමණක් දත්ත තහවුරු කරගෙන සහල් ගෙන්වීම සිදුවිය යුතුයි. හෙක්ටර් කොබ්බෑකඩුව ආයතනයේ ප්‍රධානියා හා අනෙකුත් නිලධාරීන් වී තොග තිබෙනවා කියලා කියද්දී වෙළෙඳ අමාත්‍යවරයා උගත් නිලධාරීන්ගේ අදහස් පැත්තකට දාලා වී මාෆියාකාරයින්ගේ කතා විශ්වාස කරලා සහල් ආනයනය කරනවා කියලා කියනවා. අපි එහෙනම් ඇමැතිවරයාගෙන් අහන්නේ මොකටද හෙක්ටර් කොබ්බෑකඩුව වගේ ආයතන රටේ තිබෙන්නේ? මොකටද වී අලෙවි මණ්ඩලයක් තිබෙන්නේ? මොකටද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක්? මොකටද උගත් නිලධාරීන්? වෙළෙඳ අමාත්‍යවරයා දත්ත ලබාගන්නේ ඩඩ්ලි සිරිසේනගෙන් නම් රාජ්‍ය ආයතන තිබිලා වැඩක් නෑනේ. ඒ නිසා අපි කියන්නේ වී මාෆියාකරුවන්ගේ අවශ්‍යතාවන් නෙමෙයි, රටේ අවශ්‍යතාව හඳුනාගන්න කියලයි. රටේ කහ හිඟයක් තිබෙද්දී කහ ආනයනය කරන්නේ නැහැ. පාරිභෝගිකයන් මේ වෙනකල් හාල් නැහැ කියලා කඩෙන් හැරිලා ගිහින් නැහැ. එහෙම තියෙද්දී කහ හිඟයට එක ප්‍රතිපත්තියකුත්, හාල් තියෙද්දිත් බොරු හිඟයකට එක ප්‍රතිපත්තියකුත් අනුගමනය කරන රජයේ ප්‍රතිපත්ති ගැන අපිට සැකයක් මතුවෙනවා. අපිට සැකයක් තිබෙනවා සහල් මාෆියාව ඉදිරියේ රජය දණ ගහලද කියන එක සම්බන්ධයෙන්. අපි කියනවා හාල් විදේශයන්ගෙන් ගෙන්වන එක නවත්වන්න. සතොස ආයතනයේ පසුගිය ගනුදෙනු ගැන සොයා බලන්න. විගණකාධිපතිවරයාගේ වාර්තා බලන්න. ආනයන සහල් සම්බන්ධයෙන් ලංකා සතොස ආයතනයට තිබෙන්නේ අපකීර්තිමත් අතීතයක්. ඒ ඉතිහාසයම තමයි යළි යළිත් සිදුවෙමින් යන්නේ. ඒ අනුව මැති ඇමැතිවරුන්ට හා ලංකා සතොසේ නිලධාරීන්ට කොමිස් කන්දක් තමයි මේ ගේන්න හදන්නේ. මොකද සහල් ආනයනය පිටුපස තිබෙන්නේ කොමිස් ලබාගැනීමක්.
ලංකාවේ සහල් නිෂ්පාදනයෙන් 60% ක්ම සිදුකරන්නේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමිකරුවන් විසින්. විවිධ හේතු නිසා ඔවුන් අඩපණවයි සිටින්නේ. මෙම කණ්ඩායම සක්‍රිය තත්ත්වයට ගෙනත්, වී අලෙවි මණ්ඩලය සතු වී තොගය නිවැරදිව සහල් බවට පත්කරලා ඉතා ඉක්මනින් සැලසුම්සහගතව සහල් තොග වෙළෙඳ පොළට නිකුත් කිරීම කළොත් මේ ප්‍රශ්න විසදෙනවා. වෙළෙඳ පොළේ සහල් සැපයුම අඩු වෙද්දී ඉන්දියාවෙන් සහල් ගෙන්වන එක නොවෙයි විසඳුම විය යුත්තේ. ලංකාවේ අභ්‍යන්තරයේ තිබෙන සහල් මෝල් සක්‍රිය තත්ත්වයට ගෙනත්, අවශ්‍ය වී තොග සපයා දී, සහල් සැපයුම ශක්තිමත් කර, මිල පාලනය කිරීමයි අපි දන්න ආර්ථික විද්‍යාවට අනුව සිදුවිය යුත්තේ. බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගේ ආර්ථික විද්‍යාව අනුව එහෙම නොවීමයි අපිට ප්‍රශ්නය වී තිබෙන්නේ.