හදවත රත්තරන් ජෝතිමත් ජෝති


මෙරට ජනප්‍රිය සිනමා ගායන ආලකමන්දාවේ කිරුළු පළන් ජෝතිමත් ජෝති අදත් මෙරට සංස්කෘතික සමාජයේද විචිත්‍රවත් මතකයකි. දශක තුනක් සුවහසක් සිනමා ලෝලි හදවත් ආලෝලනය කළද මෙරට ගුරුකුලවල සමහර ප්‍රබුද්ධයන්ට ජෝති මියෙන තෙක්ම ඔහු දෙවැනි පෙළ ගායකයෙක් පමණක්ම විය. එහෙත් අකල් මරණය ඇවෑමෙන් ආචාර්ය සරත් අමුණුගම පැවසුයේ, ජෝතිගේ නික්මීම සංස්කෘතික බල කණුවක බිදවැටීමක් බවය. එය මරණයෙන් මතු ජෝති ලැබූ විසල් උපහාර ඇගයීමක්ම විය. ආරෝහ පරිනාහ දේහ විලාසය ඉක්මවා ගිය උතුම් මිනිස්කමකින් හෙබි කලාකරුවෙකු ලෙස රට පතල ජෝතිගේ නික්ම යෑමෙන් දශක 03ක් ගත වූ පසුවද ඔහුගේ හඬ මහිමය ආසන්නයට හෝ ළඟා විය හැකි ශිල්පියෙකු පහළ නොවීමේ රහස කවරක් නම් විය හැකිද? රසවතෙකු සේම උත්තරීතර මිනිස්කම ජීවමාන කළ හෙයින්ම ඔහු “හදවත රත්තරං” ජෝති නම් විය.

එච්.ආර්. ජෝතිපාල නොහොත් හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල නම් සොඳුරු මිනිසා මරණයේ නියත කොදෙව්වට නික්ම ගොස් දශක තුනක් ඉකුත්ව ගියද, දැනුදු ඔහු පිළිබඳ මතක සුවඳ සුවහසක් රසික හදවත් සුවපත් කරවයි. ප්‍රේමයේ සුඛ මෙන්ම දුක්ඛ දෝමනස්සයන්ද සිය ගීතයේ ආත්මය කොට ගත් ජෝති නොයෙක් තරාතිරමේ අපමණ රසික හදවත් අමන්දානන්දයට පත් කළ ගායනවේදියාය. මියෙනතුරුම ඒ කිරුළ ඔහු හැර නොගියේ ජෝතිගේ මධුර මනෝහර හඬට පිංසිදුවන්නටය. සිංහල සිනමා ගී කිරුළ ඔහු හිස මත පලඳන විට එඩී ජයමාන්න, ආනන්ද ජයරත්න, ගාමිණී ‍ෆොන්සේකා, විජය කුමාරතුංග, සනත් ගුණතිලක, රවින්ද්‍ර රන්දෙණියගේ සිට දමිත් ෆොන්සේකා, ලාල් වීරසිංහ, රන්ජන් රාමනායක ආදී සිනමා තරු ඔහුගේ හඬින් ජීවය ලැබීය. විජය කුමාරතුංග ජෝතිගේ මළගම අමතමින් පැවසූයේ, තම රංගන පසුබිමින් සිනමා තිරයෙහි ගී ගයන්නට ජෝති නැතිදා අන් කවරෙකුට තබා තමාටවත් නොහැකි බවයි.

එච්.ආර්. ජේමිස් හා එච්.කේ. පොඩිනෝනා පෙරේරා යුවළට දාව 1936 වසරේ පෙබරවාරි මස 12වැනිදා එච්.ආර්. ජෝතිපාල උපත ලැබූවේ සහෝදර සහෝදරියන් හයදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙසයි. මරදානේ ශාන්ත ලෝරන්ස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ජෝතිගේ ළමාවිය නොයෙක් ආර්ථික දුෂ්කරතා හමුවේ ගෙවුණු ඉතා කටුක එකක් බව ඔහුගේ සමීප හිතේෂිවන්තයන්ට රහසක් නොවේ. පාසල් අවදියේ සිටම ජෝතිගේ හිත බැඳුණේ ගීතය, සංගීතය කෙරෙහිය. නිවසේ ගුවන්විදුලි යන්ත්‍රයක් නොතිබුණු හෙයින් කුඩා අවදියේදී ජෝති ගීත ඇසීම සඳහා අසල තේ කඩයකට යාම පුරුද්දක් කොට ගෙන තිබිණි. සෑම දිනකම තේ කඩයට පැමිණ ගුවන්විදුලියේ ප්‍රචාරය වන ගීතවලට උරුවම් බාමින්, බංකුවට තට්ටු කරමින් තාලය අල්ලන මේ කොලුවා පසුකාලීනව මෙරට සිනමාවේ මහා ගායනවේදීය වේ යැයි එවක කිසිවෙකු සිහිනෙන් හෝ සිතන්නට නැත.

මංගල උත්සව අවස්ථා හා සංගීත සාච්ඡාවල හින්දි ගීත ගයමින් ගායක සිහිනය සැබෑ කිරීමට වෙහෙසුනු ජෝතිට 1952 වසරේදී එවක ජනප්‍රිය ගායන ශිල්පිනියක්ව සිටි වසන්තා සන්දනායක සමග මහවැලි නදියේ ගීතය ගයන්නට ලැබීම ඔහු ලද භාග්‍යයක් විය. එම ගීතයේ පසුබිමන් ඇසෙන “තොටියෝ තොටියෝ” යන කුඩා ගීත ඛණ්ඩය ගායනා කිරීමට පමණක් එහිදී ජෝතිට අවකාශ සැලසී තිබිණි. අනතුරුව 1953 වසරේදී හිත හොඳ මිනිසෙකු වූ සංගීතවේදී ස්ටැන්ලි ඕමාර් රචනා කොට, සංගීතවත් කළ මගේ රන් රාජිනි ගීතය ගයමින් ජෝති ගායන ලොවට පිවිසියේය. වැඩිකල් නොගොස්ම විසල් ප්‍රතිභාවකින් යුතු වූ ජෝති 1956 වසරේදී සිරිල් පී. අබේරත්න ශූරීන්ගේ සුරතලී චිත්‍රපටයට “සිරියමේ සාරා” ගීතය ගයමින් සිනමා ගී ලොවට පා තැබුවේය.

ජෝති අනුකාරකවාදී හින්දි තනු ඇසුරේ ගීත ගයන්නෙකු ලෙස  විටෙක  විවේචනයට ලක් වුවද, ඔහු ආචාර්ය අමරදේව, සංගීතවේදී පී.වී. නන්දසිරි, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, සංගීතවේදී සරත් දසනායක මෙන්ම සංගීතවේදී සුනිල් ශාන්තයන් ඇසුරේද අතෝරක් ස්වතන්ත්‍ර ගී ගයා ඇති බව සමහර විවේචකයන් අමතක කළ සත්‍යයයි. ආචාර්ය කේමදසා ජෝති අගයනු ලදුයේ ජෝතිගේ හඬ සිනමා තිරය පුරා විහිදී යන්නක් වග සහතික කරමිනි. සිංහල සිනමාවේ මුල් දශකයෙන් ඉනික්ඉතිව හැටේ දශකයේ මුල භාගය දක්වාම හින්දි සහ දමිල අනුකාරක චිත්‍රපට බිහිවීමේ ප්‍රවණතාවෙහි අඩුවක් නොවීය. එනමුදු මෙකල්හි සිංහල සිනමාවේ නව ප්‍රවණතා ඇති වෙමින් තිබිණි. මෙකල්හි ලාංකික අනන්‍යතාව පිළිබඳ සිතූ නිර්මාණශීලීන් කිහිපදෙනෙකු සිංහල සිනමාව නව ප්‍රවේශයකට යොමු කිරීමට වෙර දරමින් සිටි යුගයක් විය.

ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවට පිවිසෙන්නේද මේ අවදියේදීමය. ඔහුගේ “රේඛාව” චිත්‍රපට කලාවේ අද්වීතිය නිර්මාණය වූයේ එය එතෙක් පැවති දකුණු ඉන්දීය සිනමාවේ ආදිපත්‍යය බිඳ දමා සිනමාව කලාත්මක මාවතකට යොමු කිරීමත් සමගය. රේඛාවේ සිංහල ගීත 06ක් ඇතුළත්ව තිබිණි. ඒ චිත්‍රපටයේ ගීතවල තනු නිර්මාණය කර තිබුණේ සුනිල් ශාන්තයන් විසිනි. රේඛාව නිමවා වසර හතරක් ඇවෑමෙන් සිය දෙවැනි සිනමා කෘතිය ලෙස “සංදේශය” ආචාර්ය ලෙස්ටර් අතින් බිහිවීම ජෝතිගේ ගායන ගමන් මගද ආලෝකමත් කරන්නක්ම විය.

රේඛාවේ ඇතුළත්ව තිබූ ගීතවල රසය නිසාම ආචාර්ය ලෙස්ටර් “සංදේශය” චිත්‍රපටයේ ගී තනු නිර්මාණය කිරීමේ කාර්ය පවරනුයේද සුනිල් ශාන්තයන්ටය. සංදේශය චිත්‍රපටයේ ගීත රචනා කිරීමේ කාර්යය පැවරී තිබුණේ අරිසෙන් අහුබුදු ශූරීන්ටය. අහුබුදුවන්ගේ ගී පදමාලා සඳහා තනු නිර්මාණය කිරීමේ කාර්යය සුනිල් ශාන්තයන් සතු වූ අතර, ඒ ගීත ගයන ශිල්පින් තෝරාගැනීමද සුවිශේෂ අවස්ථාවක් විය. ඒ නිසාම සුනිල් සාන්තයන්ගේ ගී පෙළ ගැයීමට ධර්මදාස වල්පොළ, ලතා වල්පොළ, මොහිදීන් බෙග් මෙන්ම ජෝතිපාලද කැඳවා තිබිණි.

ජෝතිපාල ඒ වනවිට අනුකාරකවාදී තනු ඇසුරේ චිත්‍රපට කිහිපයකම ගීත ගායනා කර තිබූ නමුත්, ඔහුගේ ගායනයේ ඇති සුවිශේෂ බවත්, ගැඹුරත් එයින් සිනමා කෘතියකට ලබාගත හැකි රුකුලත්, පිළිබඳ සුනිල් ශාන්තයන්ට මනා වැටහීමක් සහ අවබෝධයක් තිබෙන්නට ඇති බව අනුමාන කළ හැකිය. එනයින් සිනමා තිරයේදී පසුබිම් හඬකින් ජෝතිපාලට ඉටු කළ හැකි කාර්ය කවරක්ද යන්න මනාව වටහාගත් පළමු දේශීය සංගීතවේදියා සුනිල් ශාන්තයන් බව එයින් පැහැදිලි වේ. ජෝති සංදේශයට ගැයූ “පෘතුගීසිකාරයා රටවල් අල්ලන්න සුරයා” ගීතය අදත් ජනප්‍රියත්වයෙන් බැහැර නොවුවකි.

චිත්‍රපටයක ඕනෑම අවස්ථාවක භාවයන් නිරූපණය වන අයුරින් විවිධත්වයෙන් ගී ගැයීමේ සහජ හැකියාව ජෝති සතු විය. ජෝති මුල්වරට චිත්‍රපටයක ගී ගැයීම සඳහා සිරිසේන විමලවීර වෙත කැඳවා ආයේ සංගීතඥ ටී.එෆ්. ලතීෆ් විසිනි. ඒ විමලවීරගේ “පොඩි පුතා” චිත්‍රපටයේ ගී ගැයීම සඳහාය. කිහිප වරක්ම ගීතය ගායනා කළත්, අධ්‍යක්‍ෂවරයා සෑහීමකට පත් නොවීමෙන් කදුළු පිරි දෙනෙතින් ආපසු හැරී එන්නට ජෝතිට සිදුවිය. අනතුරුව බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ “මතභේදය” චිත්‍රපටයේ ගී ගැයීමට ජෝති තෝරා ගත්තද අවාසනාව යළි හරස් වූයේ, ගීතය පටිගත කිරීම සඳහා ඉන්දියාවට යෑමට ඔහුට ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට නොහැකි වූ හෙයිනි. ඉනික්බිතිව සංගීතඥ බී.ඇස්. පෙරේරාගේ මගපෙන්වීම යටතේ ජෝති “පෙරකදෝරු බෑණා” චිත්‍රපටයට ගීතයක් ගැයීමට කැඳවුවද චිත්‍රපටි අධ්‍යක්‍ෂ ඒ.බී. රාජ්, ජෝතිගේ හඬ ප්‍රිය නොකළ හෙයින් එම අවස්ථාවද ජෝතිගෙන් ගිලිහී යනුයේ දෛවෝපගත ලෙසිනි.

මෙපරිද්දෙන් මුල් අවදියේ ගීයක් ගැයීමට අවස්ථාව උදාකර ගැනීම සඳහා අධ්‍යක්‍ෂවරුන් පසු පස වැටී ගත කළ වේදනාබර අතීතය නොයෙක් විට සිහි කළ ජෝති ජීවිත ගමන අතරමග අතෑර නික්ම යන විට ගීත එකළොස්දහසක් පමණ ගයා තිබිණි. කැසට් පට 115කටත්, චිත්‍රපට 435කටත් සිය මධුර, මනෝහර හඬින් පණ පෙවීය.  

කස්තුරි සුවඳ, තුෂාරා, ස්වීප් ටිකට්, හිත හොඳ මිනිහෙක්, කවුද රජා, හොඳට හොඳයි, වාසනා, සංගීතා, ජනක සහ මංජු, අපේක්‍ෂා, සංදේශය ආදී ජනප්‍රිය සිනමා නිර්මාන ගණනාවක් ජෝතිගේ ජෝතිමත් හඬින් ආලෝකමත් විය.  ගායන ශිල්පියෙක් ලෙස දිදුලන තරුවක් වූ ජෝතිපාල ඇතුළුවීම තහනම්, සුලලිත සොබනි, සුජීවා, සූකිරි කෙල්ල, අභිරහස, බෝනික්කා, ශාන්ති සහ ඔහුගේම නිෂ්පාදන වන සුමිතුරෝ සහ ඔබයි මමයි යන චිත්‍රපට සඳහා රංගන ශිල්පියෙක් ලෙසද අමතක නොවන චරිත  නිරූපණයන් සිදු කළේය.

කවුද ඔබ කවුරුන්දෝ, දකින දසුනේ, එපා එන්න කියලා, මේ ජීවනයේ, ඈත දිළිසෙන හිරු සදු, දුලීකා, ඇයි දැන් එපා වෙලා, හොඳ සිරියාවයි, අහසේ කෙටුවත්, සොදුරු ලොවට, මා ප්‍රාර්ථනා ආසාවෝ, හද විමන් දොරින් වැනි ජනප්‍රිය ගීත ගණනාවක් ජෝතිගේ අපිරිමිත ප්‍රතිභාවට දෙස් දෙයි. කලාශූරී ලතා වල්පොළ, ඇන්ජලින් ගුණතිලක, සුජාතා අත්තනායක වැනි ශිල්පිනියන් ඔහුගේ යුග ගී මෙහෙවර එකලු කළේය.

1972 වර්ෂයේදී හොඳම ගායනය සඳහා “දීපශිඛා” සම්මානයෙන්ද, 1974 සහ 1976 දෙවර්ෂයේදී  රජත ජයන්ති සම්මානයෙන්ද, හොඳම ගායකයා ලෙසින් 1983 සහ 1986 දෙවර්ෂයේදී සරසවිය සිනමා සම්මානයෙන්ද ජෝති පිදුම් ලැබීය. 1980 වසරේ ඇරඹී “ජෝති රාත්‍රීය” ඒක පුද්ගල ගී ප්‍රසංගය ඔහුගේ ගායන දිවියේ ස්වර්ණමය මතකයක්ම විය.

ප්‍රේම සම්බන්ධතාවක් මත බිලොසම් වින්ටර් සමග විවාහ වූ ජෝති මියයන විට දියණියන් සිවුදෙනෙකුගේ සෙනෙහස ලැබුවේය. මන්දිරවල සේම අතු පැලේද වසන ඕනෑම අයෙකු එක ලෙසින් ඇසුරු කළ ජෝති සිය මව කෙරෙහි ඉමහත් සෙනෙහසකින් බැඳුණේය. මංගල උත්සවයක ගී ගයා ඉපැයූ රුපියලක මුදල රැගෙන නොඉවසිලිමත්ව මව සොයා ආ ජෝති මියෙන තෙක්ම සිය මව කෙරෙහි වූ ප්‍රේමයෙන් ඈත් නොවුණු බව ජෝතිගේ හිතේෂිවන්තයින්ට රහසක් නොවුවකි. 

සමාජයේ සෑම තරාතිරමකම මිනිසුන් කෙරෙහි ජෝති නිහතමානීව හිතවත්කම් දැක්වීය. කිසිවිටක ඔහු මුදල් පසුපස හඹා නොගියේය. සිය ජනප්‍රියත්වයෙන් හිස උදුම්මවාගත් අයෙකුද නොවීය. අසරණ වූ අයට ජෝති නිර්ලෝභීව උපකාර කළේය. ඇතැම් විට අසරණයෙක් ඇඳුමක් ඉල්ලූ විට තමා හැඳසිටි කමිසය පවා ගලවා දීමට තරම් මානව දයාවෙන් පිරුණු හදවතක් ඔහුට තිබිණි. රජ මැදුරේ සිට දුගී පැල්පත දක්වා සියලු මිනිසුන් ජෝතිට මහත්සේ ආදරය කළහ. එය ඔහු අවසන් ගමන් යන මොහොතේදී ‍බොරැල්ල කනත්තේදී පැහැදිලිවම දක්නට ලැබිණි. අවමඟුලට ආ රසිකයන් එහි වූ සමරු ඵලක වේදනාවෙන් බිම හෙළිය. ඉහළට නැගී රසිකයන් පිරිසක් සමග කනත්තේ වහලයක් බිමටම සමතලා විය. කලාකරුවකුට එහා ගිය ජෝති සතු නිහතමානී බව සහ මානව දයාව එයට ප්‍රබල හේතුවක් වී තිබිණි.

1987 වර්ෂයේ ජූලි 03වැනිදා කතරගම ගම්උදා භූමියේ ගීත ගායනා කරමින් සිටියදී හදිසියේ රෝගී වී රෝහල් ගත කරනු ලදුව ජූලි මස 07වැනිදාවක ජෝති සදහටම නික්ම යනුයේ ජීවන මගෙහි සැතපුම් කණුව පෙනෙන මානයේදීය. ආලෝකය නිවී ගියේය. රසවතෙකු ලෙස ජීවිතය ගත කළද ගුණවතෙකු ලෙස කටපුරා හැඳින්වීමට හැකිවන ආකාරයේ මිනිසත් බවින් පිරිපුන් ජීවිතයක් ගත කළ ජෝති ඒ වග ප්‍රායෝගිකව පෙන්වූ අවස්ථා එකක් දෙකක් නොවීය.

අදත් මෙරට අතෝරක් ගුවන් විදුලි නාළිකා සෑම දිනකම ගීතයක් ප්‍රචාරය වීමට තරම් ජෝතිගේ වටිනාකම සර්වකාලීන වී තිබේ. මේ නූතන, ආත්මාර්ථකාමී සමාජ සන්දර්භය තුළද එය එලෙසම සුරක්‍ෂා වී තිබීම පුදුම එලවන සුලුය. හිස් අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක් බඳින්නට පෙරුම්පුරා, මේ අකාරුණික සමාජයේ නිසි තක්සේරුවකට ලක් නොවූ සදාදරණීය ගායන ශිල්පියා එච්.ආර්. ජෝතිපාල මේ මිහිමත ගෙවූ කාලය කෙටි වුවද මරණයෙන් මතු ඔහු දීර්ඝකාලීන ජීවමානභාවයක් ලැබූ බව සැඟවිය නොහැකි සත්‍යයයි.

සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග



Recommended Articles