පච්ච ගැසීම දුරාතීතයේ සිටම බාල, මහලු, වැඩිහිටියන් තුළ තිබූ අංගයකි. කාලයත් සමග එයින් යම් සංස්කෘතියක්ද නිර්මාණය වී තිබේ. ශරීරය අලංකාර කරගැනීමට අද වනවිට ස්ත්‍රී පාර්ශ්වයද පච්ච ඇඳීම සිදුකරයි. සෞඛ්‍යාරක්ෂිතව සහ ප්‍රමිතියෙන් උසස් තීන්ත සහ කටු භාවිත නොකරමින් පච්චා ගසා ගැනීම නිසා බොහෝ පුද්ගලයෝ විවිධ ශරීරාබාධ වලට ලක් වෙති. මෙම ලිපිය ඒ හා සම්බන්ධවය.
පච්චා ගසා ගන්නා බොහෝ පුද්ගලයන් ඇතැම්විට රැකියාවකට අයදුම් කිරීමේදී ශරීරයේ පච්චය තිබීම අහිතකර වන බැවින් එය මකා ගැනීමට විවිධ ක්රමෝපායන් භාවිත කරයි. ආරක්ෂක අංශවල රැකියා සඳහා අයදුම් කිරීමේදී ශරීරයෙන් පච්චා මකා ගැනීම අත්‍යාවශ්‍යම වේ. එවැනි අවස්ථාවලදී බොහෝ පුද්ගලයන් අත්වෙදකම්, ගොඩ වෙදකම් හෝ සාම්ප්‍රදායික සමාජයන් තුළ පවතින ක්‍රම මගින් පච්චය මැකීමට උත්සාහ කරයි.
ශරීරයේ කොතැනක හෝ තිබෙන පච්චයක් 100%ක් සාර්ථකව ඉවත් කළ හැකිය. ශරීරයෙන් පච්චයක් ඉවත් කිරීමට හැකි සාර්ථක ක්‍රම දෙකකි. ඉන් පළමුවැන්න ලේසර් කිරණ භාවිතයෙන් පච්චය ඉවත් කිරීමය. මෙය Laser Method ලෙසින් හඳුන්වයි. මෙය සාර්ථක ක්‍රමයක් ලෙස පිළිගත්තද, එය සාර්ථක වන්නේ පච්චය සඳහා යොදාගෙන ඇති වර්ණකය (Ink) සහ පුද්ගලයාගේ සංවෘත සමේ වර්ණකයේ ස්වභාවය මතය.
ශරීරයෙන් ඉවත් කළ පසු එම ස්ථානයේ යම් ප්‍රමාණයේ කැළැලක් තාවකාලිකව ඇති වේ. නමුත් එය විශේෂ සැලකිල්ලක් දැක්වීමට අවශ්‍ය තරමේ කාරණයක් නොවේ. සැත්කමකින් අනතුරුව එම කැළැලද මැකීම සඳහා යොදාගන්නා ආලේපන තුළින් ඉතා ඉක්මනට එම කැළැල ශරීරයෙන් ඉවත් වී යයි.
පච්චයක් ඉවත් කිරීමට යාමේදී බොහෝ පුද්ගලයන් පිළිස්සීම තුළින් හෝ සාම්ප්‍රදායික ක්‍රම මඟින් ඉවත් කිරීමට පෙළඹෙන්නේ ඇතැම් විට විද්‍යානුකූලව පච්චය ඉවත් කිරීමේදී අධික මුදලක් වියදම් වන බැවිනි. පච්චය සඳහා භාවිතකරන වර්ණක (Ink) සමේ සෛලවලට වඩා පහතින් බැවින් පිළිස්සීමේ ක්‍රමය සාර්ථක නොවේ.
එවැනි පිළිස්සුම් ක්‍රම මගින් අධික වේදනාව, සම හැකිළීම, සම පිළිස්සී යාම වැනි දේද සිදුවීමට හැකියාව පවතී. එමෙන්ම බොහෝ පුද්ගලයන් සිය පච්චය මකා ගැනීමට අවශ්‍ය වූ විට හුණු සමග සබන් තැවරීම සහ තවත් සාම්ප්‍රදායික ක්‍රම භාවිත කරයි. එවැනි ක්‍රම මගින් ශරීරයේ ඇති පච්ච මැකීම භයංකාර මෙන්ම අසාර්ථකය. එවැනි ක්‍රියාවන් නිසා බොහෝ විට සම පිළිස්සීම, සම තුළ විවිධ ආසාත්මිකතා ඇතිවීම හෝ පච්චය තිබූ ස්ථානය අක්‍රීය වී යෑම වැනි දේ සිදුවීමට ඉඩකඩ ඇත.
පච්චා ඇඳීමට භාවිත කරන වර්ණක අනුමත නොකරන ලද හෝ ප්‍රමිතියෙන් බාල වර්ගයේ ඒවා නම් පච්ච ගසා ගැනීමට පෙර එම පුද්ගලයා ඒ පිළිබඳව නැවත නැවත සිතා බැලිය යුතුය. යම් හෙයකින් අනුමත නොකරන ලද වර්ණයක් භාවිත කරන්නේ නම් ඉන් අනතුරුව නිසැකවම සමේ ආසාත්මිකතා ඇතිවේ.
එමෙන්ම සෞඛ්යාරක්ෂිත නොවන කටු භාවිත කිරීම තුළින් පසුකාලීනව හෙපටයිටීස් බී/සී වැනි රෝගයන්ද වැලඳීමේ අවදානමක් ඇත. මෙහිදී පච්චය අඳින නිර්මාණකරුවාගෙන් පච්චය ඇඳීමට පෙර වර්ණකයන් සහ කටුවල ප්‍රමිතිය පිළිබඳව විමසා දැන ගැනීම අත්‍යාවශ්‍ය වේ. බොහෝ විට අඩු මුදලට පච්ච ඇඳීම සිදුකරන ස්ථාන වලදී නම් වර්ණකවල තත්ත්වය දැනගැනීම අනිවාර්යෙන්ම සිදුකළ යුතුය. තවද නිර්මාණ ශිල්පියා පච්චය ඇඳීමට පෙර සෞඛ්‍යාරක්ෂිතව අත් පලඳනා පැලඳ සිය කාර්යය කිරීමද වැදගත්ය.
අද වනවිට පාසල් පද්ධතිය තුළද පච්චා ගැසීම ප්‍රවණතාවයක් වී ඇත. පාසල් සිසුන් විවිධ ක්‍රම මගින් පච්චා ගසා ගැනීම දැකිය හැක. කාබන් හෝ ජෙල් පෑන් තුළ ඇති කාබන් ඇල්පෙනෙත්තක හෝ ඉඳිකටුවක ආධාරයෙන් ඉතා සියුම්ව සම තුළට යැවීම මගින් ඔවුන් පච්චා ඇඳීම සිදුකරයි. මෙලෙස අනුමත නොකරන වර්ණක භාවිත කිරීම තුළින් ආසාත්මිකතා ඇතිවිය හැකි බව අපි ඉහතදී පැවසීමු.
සාම්ප්‍රදායික ක්‍රමවේද මගින් පච්චයක් ඉවත් කිරීමට ගොස් සිදුව ඇති හානිය
එමෙන්ම මෙවැනි කාබන්, තීන්ත වැනි දෑ ඉඳිකටු හෝ ඇල්පෙනෙති ආධාරයෙන් ශරීරයට යැවීම තුළින් පිළිකා තත්ත්වද ඇතිවීමට ඉඩකඩ තිබේ. අනුමත නොකරන ලද වර්ණක (Ink) තුළ විශාල වශයෙන් පිළිකාකාරක අන්තර්ගත වී තිබෙන අතර, ශරීරයට හිතකර ලෙස අනුමත කර තිබෙන වර්ණකවල පිළිකාකාරක නොමැති තරම්ය.
තවද වර්තමානයේ තාවකාලික පච්ච (Tempary Tatoo) සහ පච්චා ස්ටිකර් භාවිත කිරීමද ශීඝ්‍රයෙන් ඉහළගොස් ඇත. උත්සව අවස්ථාවලදී, සැමරුම් සංකේතයක් ලෙසද, විලාසිතා ලෙසද තාවකාලික පච්චා ශරීරයේ අලවා ගැනීම සිදුකරයි. එවැනි ස්ටිකර් ශරීරයේ අලවා ගැනීමේදීද අනුමත කරන ලද, ශරීරයට හිතකර ස්ටිකර් යොදාගැනීමෙන් පුද්ගලයා සෞඛ්යාරක්ෂිත වේ. තාවකාලික විවිධ ස්ටිකර් පිළිබඳව සමාජය තුළ තිබෙන මතය කුමක් වුවත්, ඒවා භාවිත කිරීම ගැටලුවක් වන්නේ ඒවා අනුමත ප්‍රමිතීන්ට අනුව සකස් කර නොතිබීම මතය. ලංකාවේ බොහෝ වෙළෙඳ සැල් තුළ විකිණීමට ඇත්තේ තත්ත්වයෙන් බාල අනුමත නොකරන ලද තාවකාලික පච්චා සහ පච්චා ස්ටිකර්ය. එවැනි ස්ටිකර් භාවිත නොකර ප්‍රමිතියෙන් යුතු ස්ටිකර් භාවිත කිරීම කිසිදු ගැටලුවක් නොවේ.
පච්ච ගසා ගැනීමට ඇතැම් පුද්ගලයන් ආශාවක් දැක්වුවද, ඉන් ශරීරයට හානි වේ යැයි දැනෙන බිය මත එම ආශාව ඔවුන් මගහරියි. පච්චා ගසා ගැනීම වෛද්‍ය විද්‍යාවට අනුව ශරීරයට අහිතකර ක්‍රියාවක් ලෙස නොසලකයි. වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ අනුමත නොකරන වර්ණක භාවිත කිරීම හෝ ප්‍රමිතිගත තත්ත්වයන්ගෙන් තොර පච්චා ගැසීම අනතුරුදායක බවයි. එලෙසින්ම පච්චා ඉවත් කිරීමේදීද ප්‍රමිතිගත අයුරින් ඉවත් කිරීම මගින් පුද්ගල සෞඛ්‍යයට කිසිදු හානියක් නොවන බව වෛද්‍ය මතයයි.
බටහිර වෛද්‍ය විද්‍යාවේද ඇතැම් අවස්ථාවලදී ප්‍රමිතිගත අයුරින් පච්චා ඇඳිම සිදුකරනු ලබයි. බොහෝවිට පියයුරු ප්‍රතිසංස්කරණය කිරීමේදී තනපුඩුව සැකසීමට නොහැකි අවස්ථාවලදී තනපුඩුව ඇඳීම පච්චයක් මගින් සිදුකරයි. එහිදී තනපුඩුවේ ආකාරයටම පච්චය නිර්මාණය කරන අතර, ඉන් කිසිඳු සෞඛ්‍ය ගැටලුවක් ඇති නොවෙයි.
පච්චා ගසාගැනීම පිළිබඳව සමාජය තුළ ඇති මතය වෙනස්ය. බොහෝ විට පච්චයක් ගැසීම තුළින් ඔහුගේ පවුලේ අයට වන සමාජීය අපහසුතාද එමටය. විලාසිතා කිරීම සඳහා පුද්ගලයෙකුට එක සමාන අයිතියක් ඇත. මෙම ලිපිය තුළින් පච්චා ගැසීමේ අයිතියට විරුද්ධතාවයක් පළකිරීම හෝ පච්චයක් ගැසීමට එපාය යන මතය අපි ඔබට ලබා නොදෙන්නෙමු. පච්චයක් ගැසීම ඔබේ අයිතියක් වන අතර, එය සිදුකිරීම හෝ පච්චයක් ඉවත් කිරීම සෞඛ්‍යාරක්ෂිතව සහ ප්‍රමිතිගතව සිදුකිරීම පුද්ගල සෞඛ්‍යයට යහපතක් බව පෙන්වා දීමට උත්සාහ ගන්නෙමු.
වෛද්‍ය උපදෙස් - විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය සතිස් විජේමාන්න (ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකය, කරාපිටිය ශික්ෂණ රෝහල)