ආහාර යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවකි. ඒ නිසාම ආහාරවලට ඇති ඉල්ලුම ඉතා ඉහළය. එම ඉල්ලුමට සරිලන සැපයුම සපුරාලීම උදෙසා සිදුවන ක්‍රියාවලියේදී ආහාරවල සුරක්ෂිතතාව ගිලිහී යයි.
ආහාර නිපදවීමේදී, පරිහරණය කිරීමේදී සහ ගබඩා කිරීමේදී ආහාර මගින් ඇති වන රෝග වළක්වා ගත හැකි පරිදි කටයුතු කිරීම ආහාර සුරක්ෂිතතාව ලෙස හඳුන්වනු ලැබේ. වර්තමානයේ මෙම ආහාර සුරක්ෂිතතාව වෙත එල්ලවන අභියෝග රාශියකි.
විශේෂයෙන් ආහාරවල තත්ත්වය බාල කිරීම, ක්ෂුද්‍ර ජීවීන්, රසායනික ද්‍රව්‍ය හා විකිරණ මගින් ආහාර දූෂණය වීම ආදිය බහුලව දැකගත හැකිය. මෙලෙස දූෂිත වූ ආහාර හේතුවෙන් පාචන තත්ත්වයේ සිට පිළිකා දක්වා රෝග 200කට වැඩි සංඛ්‍යාවක් ඇතිවිය හැකිය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දූෂිත ආහාර භාවිතය හේතුවෙන් ගෝලීයව වසරකට පුද්ගලයන් 420,000ක් පමණ මරණයට පත් වේ. එසේම ලොව පුරා මිලියන 600කට ආසන්න පිරිසක් අවුරුදු පතා රෝගී වේ. මෙම ප්‍රමාණයෙන් 40෴ක්ම අවුරුදු 5ට අඩු දරුවන් වන අතර, ඔවුන් අතරින් 125,000ක් පමණ වසරකට මියයයි.
ආහාර සුරක්ෂිතතාව ඇතිකිරීම ගොවියාගේ සිට පාරිභෝගිකයා දක්වා අප සියලුම දෙනාගේ වගකීමකි. ලෝක ආහාර සුරක්ෂිතතා දිනය සෑම වසරකම ජූනි මස 07 වැනිදාට යෙදී තිබේ. මෙවර එහි තේමාව වී ඇත්තේ සෞඛ්‍ය සම්පන්න ආහාර වෙළෙඳ පොළ යන්නයි.
කෝවිඩ් - 19 වසංගතයෙන් අනතුරුව ලෝකයේම අවධානය යොමු වූ ක්ෂේත්‍රයක් වනුයේ මානව සෞඛ්‍ය ආරක්ෂා කිරීමය. විශේෂයෙන් කෝවිඩ් වසංගතයත් සමගම වසා දැමූ රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වූවත් තවම ආපන ශාලා හා හෝටල් විවෘතව නැත.
ඒවා යළි විවෘත කිරීමේදී ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග, කෝවිඩ් - 19 වෛරසයෙන් ආරක්ෂා වීමට ගතයුතු ක්‍රියාමාර්ග සමගම අනුගමනය කරන ලෙස නිර්දේශයන් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව සියලුම ආහාර පරිශ්‍ර තුළ ආහාර සුරක්ෂිතතාව පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික කරුණු 08ක් සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය , එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂි කර්මාන්ත සංවිධානය, ලෝක ආහාර වැඩසටහන යන ආයතන එක්ව සකස් කර තිබේ. එම කරුණු 08 පහත පරිදි වේ.
සෑම පරිශ්‍රයකටම ඇතුළු වන ස්ථානයේ සබන් යොදා අත් සේදීමට පහසුකම් තිබිය යුතුයි.
වරකට පරිශ්‍රයක් තුළ සිටිය හැකි උපරිම පාරිභෝගිකයන් ගණන හොඳින් පෙනෙන ලෙස පරිශ්‍රයට ඇතුළු වන සියලු දොරටුවල ප්‍රදර්ශනය කර තිබිය යුතුයි.
පරිශ්‍රයෙන් පිටතදී සහ මුදල් අයකැමි අසල පාරිභෝගිකයන් පෝලිමේ සිටින විට අවම වශයෙන් මීටරයක දුරක් පවත්වා ගැනීම සඳහා සිටිය යුතු ස්ථාන පොළොවෙහි ලකුණු කර තිබිය යුතුය.
"අනවශ්‍ය ලෙස විකිණීමට ඇති භාණ්ඩ ඇල්ලීමෙන් වළකින්න" යන අවවාදය පරිශ්‍රය තුළ හොඳින් පෙනෙන සේ ප්‍රදර්ශනය කර තිබිය යුතුය.
ඇසුරුම් නොකළ කෑමට සූදානම් කර ඇති ආහාර ආවරණය කර තැබිය යුතුය.
ඇසුරුම් නොකළ කෑමට සූදානම් කර ඇති ආහාර පිළිගන්වන්නන් මුඛ ආවරණ, අත් වැසුම්, හිස් වැසුම් හා ඒප්‍රන් (Apron) ආදිය පැලඳ සිටිය යුතුය.
කෑමට සූදානම් කර ඇති ආහාර පිළිගැන්වීමේදී ආහාර ඇල්ලීමට සුදුසු මෙවලම් අනිවාර්යයෙන්ම භාවිත කළ යුතුය. (උදා - හැඳි, අඩු (tongs) ගෑරුප්පු වැනි)
වරක් පිළිගැන් වූ ආහාර නැවත වරක් පාරිභෝගිකයන්ට පිළිගැන්වීම හෝ විකිණීම නොකළ යුතුය.
මෙම නිර්දේශවලට අනුගත ආපන ශාලා හා ආහාර පරිශ්‍ර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයෙන් පසු විවෘත කිරීමට අවසර ලබාදීමට නියමිතය.
මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (08දා) පැවැත් වූ අතර, එහිදී සෞඛ්‍ය බලධාරීහු මෙලෙස අදහස් ඉදිරිපත් කළහ.
නිර්දේශ අඩංගු පෝස්ටරය සෑම ආහාර පරිශ්‍රයකම ප්‍රදර්ශනය අනිවාර්යයි - සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂක අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ භානුජ විජයතිලක
“මෙවර ආහාර සුරක්ෂිතතා දිනය වෙනුවෙන් අපේ ප්‍රධාන බලාපොරොත්තු බවට පත්වන්නේ ආහාර සුරක්ෂිතතාව පමණක් නොවෙයි. කෝවිඩ් රෝගය මර්දනය හා ආහාර සුක්ෂිතතාව කියන මාතෘකා දෙකම මෙවර අවධානයට යොමු කර තිබෙනවා.
ආහාර සුරක්ෂිතතාව යන කාරණාව ගත්තම බිම් මට්ටමේදී මෙය පරීක්ෂා කරනු ලබන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින්. ඒ අනුව ඔවුන් කෝවිඩ් - 19 මර්දන කටයුතු සිදුකරන විට අනවශ්‍ය පීඩනයක් නොයෙදෙන ආකාරයටයි අපි මේ කටයුතු සලස්වා දී තිබෙන්නේ.
ඒ අනුව අපි අද දින නිකුත් කළ නිර්දේශ අට සහිත පෝස්ටර් සියලු දෙනාට පෙනෙන පරිදි ආහාර අලෙවි කරන ස්ථානවල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය වෙනවා.
කෝවිඩ් - 19 වෛරසය ආහාර අනුභවය නිසා පැතිරෙන්නේ නැහැ. නමුත් ආසාදිතයෙකුගේ කෙළ බිඳිති ඕනෑම මතුපිටක තිබී තවකෙකුට බෝ වීමේ හැකියාවක් තිබෙනවා. ඒ අනුව ආහාර හා ආහාර ඇසුරුම් මත මේ වෛරසය තැම්පත් වී තිබුණොත් තවත් අයට බෝ වෙන්න පුළුවන්. මේ නිසයි අපි මේ සියලු කාරණා එකට ගොනු කර නිර්දේශ 8ක් සකස් කරනු ලැබුවේ.
පිළිගත් ආයතනයකින් ඇසුරුම් සහිතව එන නිෂ්පාදන සැමවිට මිලදී ගන්න - පාරිසරික, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත්
ආහාරයක් අනාරක්ෂිත වෙන්නට කාරණා කිහිපයක් බලපානවා. විෂබීජ ලෙස ගත්විට බැක්ටීරියා, වෛරස, විකිරණ, ආහාර දූෂණය වීම සඳහන් කළ හැකිය. දෙවනුව රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ආහාර අනාරක්ෂිත වෙනවා. තෙවනුව අපි ටොක්සික් ලෙස හඳුන්වන විෂ ද්‍රව්‍යවලිනුත් ආහාර අනාරක්ෂිත වෙනවා.
මීට අවුරුදු පනහකට හැටකට පෙර අපි ස්වභාවිකව ආහාරයට එකතු කරගත්තේ කාබනික ආහාරයි. එදා රසායනික, පොහොර, කෘමි නාශක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය ආදී දේවල් තිබුණේ නැහැ.
අපි 2018-2019 වර්ෂ දෙකේ සමීක්ෂණයක් සිදුකළා අපි ගන්න ආහාරවල විෂ අන්තර්ගතද යන්න සොයා බලන්නට. අපේ රටේ හා ජාත්‍යන්තර වශයෙන් තිබෙන ප්‍රමිතීන්වලට අනුගතව ආහාරවල විෂ කොතරම් අන්තර්ගත වෙනවාද යන්න අප විසින් සොයා බලනු ලැබුවා. ඒ අනුව ලංකාවේ දිස්ත්‍රික් සියල්ලම ආවරණය වන පරිදි ආහාර වර්ගවල සාම්පල රැගෙන ලංකාවේ පිළිගත් ආයතන හරහා මේ පරීක්ෂණ සිදු කරනු ලැබුවා. ඒ අනුව එළවළුවල අහිතකර මට්ටමින් රසායන තිබෙන බව සොයාගනු ලැබුවේ තක්කාලි, මෑකරල් හා පතෝලවලයි.
දේශීය පලතුරුවලින් කිලෝ පේරවල තිබිය යුතු රසායන මට්ටමට වඩා 4%ක් අධිකවත්, ලංකා මිදිවල තිබිය යුතු රසායන මට්ටමට වඩා 3෴කටත් වඩා වැඩිපුරත් රසායන අඩංගු වී තිබුණා. මීළඟට ගොටු කොළ හා මුකුණුවැන්නවල විෂ රසායන අධිකව අන්තර්ගත වී තිබුණා.
ලංකාව අවට මාළු යොදා සිදුකළ පරීක්ෂණයකින් වාසනාවකට වගේ අපේ රටේ මාළුන්ගේ රසදිය නැති බවට සොයා ගනු ලැබුවා. නමුත් ෆෝමලින් අන්තර්ගතය බැලුවම අපි පරීක්ෂා කළ සාම්පල 72කින් දෙකක පමණයි ෆෝමලින් තිබිය යුතු ප්‍රතිශතයට වැඩි ප්‍රතිශතයක් අන්තර්ගත වූයේ.
මීළඟට අපි හාල් ගැන බැලුවොත් හාල්වලට කෘත්‍රිම වර්ණක යෙදීම් අපි කරපු රතු කැකුලු සහල් සාම්පල පරීක්ෂණ 82කින් 16කම අපට වාර්තා වුණා. මේවා ආහාරවලට යෙදිය හැකි අනුමත වර්ණ වුණත් හාල්වලට වර්ණක යොදන්නට බැහැ.
මීළඟට අපි පොල් තෙල්වල හා මිරිස්වල පිළිකා කාරක ටොක්සීන පරීක්ෂා කළා. එහිදී නිර්දේශිත අගය වන කිලෝ ග්‍රෑමයකට මයික්‍රෝ ග්‍රෑම් 30ක් කියන අගය මිරිස් කුඩුවල 10%කින් පමණ ඉක්මවා ගිහින් තිබුණා. ඒ වගේම පොල්තෙල්වල 8%කට වඩා ඉහළ අගයක තිබෙන පොල්තෙල් අපිට දකින්නට ලැබුණා. අපේ රට ඇතුළේ තිබෙන මිරිස්වලින් 95%ක්ම ආනයනය කරන ලද ඒවායි. ඒ නිසා අපි ලංකාවට ඇතුළු වෙද්දීම ඒවා පරීක්ෂා කර බලන්නට තීරණය කර තිබෙනවා.
අපිට මූලිකව කියන්න තියෙන්නේ පිළිගත් ආයතනයකින් ඇසුරුම් සහිතව එන නිෂ්පාදනවල මෙම තත්ත්ව දකින්නට නොලැබුණු බවයි. ඒ නිසා එවැනි දේ මිලදී ගන්න හැම වෙලාවකම උත්සහ ගැනීම සිදුකළ යුතුයි.
පළාත් පාලන ආයතනවලට මේ සම්බන්ධයෙන් විශේෂ වගකීමක් තිබෙනවා - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ
සුරක්ෂිත ආහාර වෙළෙඳ පොළක් කියන දේ ගැන අපි සලකා බලද්දී ආහාර සැපයුම් දාමය පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. එහි ආරම්භය පාරිභෝගිකයායි. පාරිභෝගිකයා විසින් මිලදී ගන්නා ප්‍රමාණය මත තමයි වගාවේ සිට ඉල්ලුම තීරණය කෙරෙන්නේ. වර්තමානයේ මේ සැපයුම් දාමය ජාත්‍යන්තර ජාලයක්. එහෙම ආහාර සැපයුම් දාමය සැකසෙන විට තමයි විවිධ ක්‍රියාවලින්ට ලක්වෙන්නේ. ඒ හේතුව නිසාමයි ජාතික හා ජාත්‍යන්තර සංවිධාන විසින් ආහාරවල තත්ත්වයන් පිළිබඳ විවිධ තීන්දු තීරණ ගෙන තිබෙන්නේ.
අපේ රටේ ආහාර සුරක්ෂිතතාව ඇතිකිරීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය නිසි ලෙස සැකසී තිබෙනවා. කෝවිඩ් - 19ත් සමග සුරක්ෂිත වෙළෙඳ පොළ කියන එකට තවත් නිර්දේශ කිහිපයක් එක්වී තිබෙනවා. සමාජ දුරස්ථභාවය, ශ්වසන ආචාර ධර්ම, අත්සේදීම වගේ දේවල් මෙයට එකතු වී තිබෙනවා. ඒවා එකට එකතු කරමින් අපි මාර්ගෝපදේශන කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව තමන් විසින් මේ නිර්දේශ අනුගමනය කරන බවට සහතිකයකට අත්සන් තැබීම සිදුකරන්නට වෙනවා. ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මාර්ගයෙන් මෙම ආයතන පරීක්ෂා කිරීම් සිදුකරනු ලබනවා. ඒ වගේම පළාත් පාලන ආයතනවලට මේ සම්බන්ධයෙන් විශේෂ වගකීමක් තිබෙනවා.