කෝවිඩ් රෝගීන් ක්‍රමයෙන් ඉහළ යන වාතාවරණයක් පවතින බැවින්, මෙවරද නත්තල් උත්සවය වෙනදා මෙන් සමරන්නට නොහැකිවේදැයි කිතුණු ජනතාව සැකයකින් පසුවේ. සෞඛ්‍ය බලධාරීන් පවසන ආකාරයට ජනතාවගේ වගකිවයුතු හැසිරීම් මගින් උත්සව සමයේ රට ලොක්ඩවුන් කිරීමකට තල්ලු නොකර පවත්වා ගැනීමේ හැකියාවක්ද පවතියි. කෙසේ වෙතත් නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් නත්තලට සූදානම් වන්නට කරන ඇරයුමකි මේ.
සාප්පු සවාරියේ යනවා නම් සෞඛ්‍ය පුරුදුවලට අනුව සිදුකරන්න
- සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්
පසුගිය අවුරුද්දේ අපි ලබපු අත්දැකීම් නිසාම අපේ ඉදිරි කටයුතු ඉතාම සැලකිලිමත්ව සිදුකිරීම අවශ්‍ය වෙනවා. දැනටමත් සාප්පු සවාරි ආරම්භ කිරීමට ප්‍රචාරණය වෙමින් තිබෙනවා. ඒ අනුව මේ තත්ත්වය නිසි පරිදි කළමනාකරණය කරගත යුතුයි. සාප්පු සවාරියේ යනවා නම් සෞඛ්‍ය පුරුදුවලට අනුව සිදුකරන්න. අපේ රට බරපතළ තත්ත්වයකට යන්න නොදී මේ තත්ත්වය පාලනය කරගෙන ආධ්‍යාත්මික සුවය සමගම මේ උත්සව සමය ගතකරන්නට අවශ්‍ය වාතාවරණය අත්කර ගන්න. ඒ වගේම උත්සව සමය ආශ්වාදජනක ආකාරයෙන් ගත කරන්නටත්, ලෙඩ නොවී සිටින්නටත් වාතාවරණයක් සකස් කර ගැනීම හැමෝගෙම වගකීමක්. දැනට නියමිත මාර්ගෝපදේශ මාලාවක් තියෙනවා. මෙය මීට පෙර තිබූ මාර්ගඋපදේශ මාලාවට වඩා තරමක් ලිහිල්. මෙහෙම ලිහිල් මාර්ගෝපදේශ මාලාවක් පවත්වාගෙන යන්නේ කුඩා දරුවා පටන් වැඩිහිටියා දක්වා සාමාජික වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන් මේ උත්සව සමයේ බැඳුණු අවශ්‍යතා ඉෂ්ඨ කරගන්නට යොමු වන නිසායි. ඒ ලබා දී ඇති අවස්ථාව නිසා රෝගය පැතිරීමට තුඩු දෙන තත්ත්වයක් ඇතිවුණහොත්, ඒ බව පැහැදිලිව අපිට පේනවා නම් මේ මාර්ග උපදේශ දැඩි වෙයි. අපිට මේ වෙද්දී පේනවා නීතිරීතිවලට යටත්ව ජනතාවගෙන් වැඩි පිරිසක් කටයුතු කරන බව. මම මෑතකදී අහම්බෙන් සාප්පු සංකීර්ණවලට ගියා. එහිදී මම දුටුවා වැඩි පිරිසක් සෞඛ්‍ය මාර්ග උපදේශ අනුගමනය කරන බවත්, සාප්පු සංකීර්ණවල කළමනාකාරීත්වයත් ඒවාට අවශ්‍ය වැඩපිළිවෙළවල් සකස් කර දී තිබෙන බවත්. නමුත් යම් ප්‍රමාණයක් සෞඛ්‍ය නීතිවලට අනුගත නොවන තත්ත්ව තිබෙන්න පුළුවන්. ඒ අය නිසා රෝගය යළි ව්‍යාප්ත වෙන්න පුළුවන්. කොළඹ නගර සභාව විශේෂයෙන් මේ ගැන සැලකිලිමත්ව සිටිනවා. ඒ වගේම අනෙකුත් පළාත්වලත් නිලධාරීන් ක්‍රියාත්මක වී සිටිනවා. කෙසේ හෝ ජනතාව සෞඛ්‍ය මාර්ග උපදේශ අනුගමනය කරමින් සැලකිලිමත්ව කටයුතු කිරීම අවශ්‍යයි.
සියලුදෙනා ගැන හිතලා නත්තල් මංගල්‍යය සමරන්නට අවශ්‍ය වාතාවරණය සලස්වන්න කටයුතු කළ යුතුයි
- කොළඹ ජාතික රෝහලේ උපාධ්ය ගරු චාරුක නාමල් පියතුමා(නි.ම.නි)
අපි මේ එළඹුණේ නත්තල් මාසයටයි. අපි මේ වෙලාවේ අමතක කරන්න හොඳ නෑ කෝවිඩ් වසංගතය අපි අතර පැතිරෙමින් තිබෙන බව. නත්තල් මංගල්‍යය කියන්නේ සහෝදර දයාව, මානව දයාව, එකමුතුකම, පරාර්ථකාමීත්වය පෙරදැරි කරගත් මංගල්‍යයක්. එවන් මංගල්‍යයකදී අපි සියලුදෙනාම අනෙක් අය ගැන හිතමු. විශේෂයෙන් කාර්යබහුල වෙන්න පුළුවන්, නමුත් සෞඛ්‍ය නීතිරීති පිළිපදිමින් කටයුතු කරමු. විවිධ ස්ථානවල ගැවසෙද්දී, මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවලදී මුඛ ආවරණ පැලඳීම අනිවාර්යයෙන් සිදුකරමු. සියලුදෙනා ගැන හිතලා නත්තල් මංගල්‍යය සමරන්නට අවශ්‍ය වාතාවරණය සලස්වන්න කටයුතු කරමු.
උත්සව සමයේ ඥාති නිවෙස්, හිත මිතුරන්ගේ නිවෙස් වල රැස්වෙනවා නම් ඒ අය පවා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන අවසන්ව සිටීම ඉතා වැදගත්
- සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව
කෝවිඩ් රෝගය වළක්වාගන්න එන්නත් ලබාගැනීමත්, අපේ ශරීරයට වෛරසය ඇතුළු වෙන්න තිබෙන ඉඩ අහුරා ගැනීමත් සිදුකිරීම වැදගත්. මේ වෙද්දී සියලුම පාසල් විවෘත කර තිබෙනවා වගේම රටේ සංචරණ සීමා ලිහිල් කර තිබෙනවා. ඒ නිසා රෝගය ව්‍යාප්ත වීම පාලනය කරගන්න කටයුතු කළ යුතුයි. ඉදිරියේදී අපිට උදාවෙන්නේ නිවාඩු කාලයක් වගේම නත්තල හා උත්සව සමයක්. ඒ එක්කම නව අවුරුද්දකට යන නිසා එය සමරන්නට උත්සව සංවිධානය වෙන්න පුළුවන්. මේ නිසා පුද්ගලයන් ඒකරාශී වීම් වැඩි වේවි. ඥාතීන් එක්රැස්වීම්, හිත මිතුරන්ගේ නිවෙස්වල එක්රැස්වීම් ඇතිවෙන්නට හැකියාව වැඩියි. ඒ නිසා එක්රැස්වීම්වලට පෙර ඒ ඒ නිවෙස්වල සිටින අය පවා ඔවුන්ගේ එන්නත් ලබාගෙන අවසන්ව සිටිය යුතුයි. උත්සව සමයට අවශ්‍ය බඩුමූට්ටු හා අවශ්‍ය දේවල් මිලදී ගන්න යනවා නම් ඉතාම පරෙස්සමින් ඒවා සිදුකර ගත යුතුයි. ඔබ සාප්පු සවාරියේ යන විට ඒ වෙළෙඳ සැල්වල සෙනඟ ගැවසීම් අවම අවස්ථාවන් ඒ සඳහා තෝරාගන්න. ඒ වගේම ඉතා ඉක්මනින් අවශ්‍ය දේවල් මිලදී ගෙන එම ස්ථානවලින් පිටවීමටත්, ඊට අමතරව හැමවෙලේම එනම් නිවසෙන් පිටත් වන වේලාවේ සිට නැවත නිවසට පැමිණෙනතුරුම මුඛ ආවරණය පැලඳ සිටීමට අමතක කරන්න එපා. දැනට ඉදිරිපත් කර තිබෙන මාර්ග උපදේශ සංග්‍රහය තමයි මේ කාල සීමාව තුළ බලපැවැත්වෙන්නේ. එහි දක්වා තිබෙනවා එක් එක් ආයතනවල එක් වරකට සිටිය හැකි උපරිම පුද්ගලයන් සංඛ්‍යාව සම්බන්ධව. නමුත් රෝගීන් ගණන දිනෙන් දින ඉහළ ගියොත් මේ මාර්ගෝපදේශ යළි දැඩි කරමින්, වෙනස්කම්වලට ලක්වෙන්නට පුළුවන්. මේ රෝග තත්ත්වය 100෴ක් පාලනය කර නැති අවස්ථාවකදී වුවත්, යම් යම් සීමා අනුව හෝ රට විවෘත කර තිබෙන්නේ රටේ ආර්ථික කටයුතුත්, ජනතාවගේ සාමාජීය, සංස්කෘතිමය හා ආගමික කටයුතුවලට යම්කිසි සීමාවක් සහිතව යෙදීමට ඉඩකඩ ලබාදීමටයි. මේ කාල සීමාව රටේ සියලුම ජනතාව උනන්දුවෙන් බලාපොරොත්තු වෙන කාල සීමාවක්. නත්තල් නිවාඩුව රටේ සංස්කෘතියක් වගේ තැනකට පත්වෙලා තිබෙනවා. ඒ නිසා අපි හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා මේ කාල සීමාවේ වගකීම් සහිතව, විශේෂයෙන් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න කියලා.