සොබාදහම දායාද කළ උණුදිය උල්පත්


සොබාදහම විසින් ලෝකයට දායාද කර ඇති නිර්මාණයන් අතර තැනක අපූර්වත්වය මෙන්ම විවිධත්වයක් ගන්නා ස්වභාව සම්පත්ද අපමණය. උණුදිය උල්පත්ද එවැනි නිර්මාණයකි.

  මේ වන විට ලංකාවේ සොයාගෙන ඇති උණුදිය උල්පත් ප්‍රමාණය නවයකි.

 රන්කිහිරිය

 උණුදිය උල්පත ගෝමරන්කඩ තිරියාය මාර්ගයේ ගෝමරන්කඩවලට ආසන්නව පිහිටා ඇත.මධ්‍ය උෂ්ණත්වය සෙ.ග්‍රේ. අංශක 42කි.

නෙළුම්වැව

  ගල්වැව උණුදිය ළිඳ ලෙසද හැඳින්වෙන මෙයට මනම්පිටියට නැගෙනහිරෙන් පොළොන්නරුව, මඩකලපුව මාර්ගයෙන් පිවිසිය හැකිය. මෙහි  මධ්‍ය උෂ්ණත්වය සෙ.අංශක 63කි. එය වැඩිම උෂ්ණත්වය ඇති උණුදිය උල්පත බවට යමෙකු දක්වති.

මරංගල

 විවර 18න් උණුදිය මතුවන මහඔය උල්පත් මහියංගණය, පදියතලාව මාර්ගයේදී පදියතාලවට ආසන්නයේ හමුවෙයි. මධ්‍ය උෂ්ණත්වය සෙ.ග්‍රේ. අංශක 44කි.

මහඔය

  විවර තුනකින් උණුදිය මතුවන මහඔය පදියතලාව මාර්ගයේ පදියතලාව සිට කි.මී. 3.2ක් දුරින් පිහිටි මෙම ස්ථානයට  වාහනයකින්  පහසුවෙන් ළඟා විය හැකිය. අම්පාර නගරයට සමීපය. මධ්‍ය උෂ්ණත්වය සෙ.ග්‍රේ. අංශක 56ක් පමණ වෙයි.

කිවුලේගම

  අම්පාර ජයන්ති වැට නුදුරින් වඩිනාගල ආසන්නයේ පිහිටා තිබේ. මධ්‍ය උෂ්ණත්වය සෙ.ග්‍රේ.අංශක 34කි.

කන්නියා

 අනුරාධපුර, ත්‍රිකුණාමලය මාර්ගයේ ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 8ක් දුරින් පිහිටි මෙහි (ත්‍රිකුණාමලය නගරයේ කින්නියා නොවේ) උණුදිය උල්පත් 7කි. මෙහි ඇති ළිං ගණන හතකි.

   ඩේවි දුටු ලංකාව නැමති ග්‍රන්ථයට අනුව ඩේවි කින්නියා ළිං නැරඹීමට ගොස් තිබේ. එය ඒ වන විට එම ළිං හත අඩි 36 සහ පළ අඩි 16ක ගඩොල් බැම්මකින් ආවරණය කර සකස් කර තිබේ. එහි උෂ්ණත්වය සෙ.අංශක 42කි.

කපුරුල්ල

 ලංකාවේ උණුදිය උල්පත් අතරින් වඩාත් උණුසුම් උල්පත ලෙස සැලකෙන මෙය මහඔය මඩකලපුව මාර්ගයේ කිලෝමීටර් කි.මී. 8ක් දුරින් 157 සැතපුම් කණුව අසලින් හැරී යා යුතුය. මෙම උණුදිය උල්පතේ මධ්‍ය උෂ්ණත්වය සෙ. අංශක 55ක් යැයි ඇතැමෙකු පැවසූ අතර, තවත් මතයක් වන්නේ එය සෙ.අංශක 65ට ආසන්න බවකි.

වහව

  උණුදිය උල්පතක් තිබී ඇති අතර, එය මේ වනවිට සේනානායක සමුද්‍රයට යට වී ඇත.

මදුනාගල

   මෙය උණුදිය උල්පත් සංකීර්ණයකි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව නගරයට කි.මී. 6ක් දුරින් පිහිටා තිබේ. එය විධිමත්ව සකස්කර ඇති ආකාරයද සංචාරකයන් දිනා ගැනීමට අනුබලයක් වී ඇත.

   එසේම මෙම උල්පත් සොයා ගැනීමේදී දහනව වන සියවස මුල් කාලයේ ලෙනාඩ් වුල්ෆ් පවා උනන්දු වී ඇතැයි ලේඛන දක්වයි. මදුනාගල උණුදිය උල්පත් හැර සෙසු උල්පත් නැගෙනහිර පළාතේ පිහිටීමද විශේෂත්වයකි.

 පිහිටීම

   ලංකාවේ වැඩිම උණුදිය උල්පත් ඇත්තේ හම්බන්තොට ත්‍රිකුණාමලය දක්වා දිවෙන තීරයේ බව පැවසේ.

   ලංකා පොළවේ සැලස්ම අනුව භූ විද්‍යාඥයන් විසින් එය කොටස් 4කට බෙදා දක්වා ඇත. ඒ අනුව මයෝසීන යුගයට අයත් හුණුගල්, වන්නි සංකීර්ණයට අයත් පාෂාණ, හයිලන්ඩ් සංකීර්ණය, මහනුවර ප්‍රදේශයට අයත් කඩුගන්නා සංකීර්ණය යනුවෙනි.

ජලයෙහි රසායනික ගති ලක්ෂණ

     බොහෝවිට මෙම ජලය භාෂ්මික වන අතර, ආම්ලිකතාවෙන් යුතු ඒවාද නැත්තේ නොවේ.

ප්‍රමාණවත් භූගත ජලය සහ තාප ප්‍රභවයක් මෙන්ම එම තාප ප්‍රභවය ආසන්නයට ජලය ගලාගෙන ආ හැකි පරිදි කුස්තුර පද්ධතියක් සහිත පාෂාණයක් පවතින විට උණුදිය උල්පත් ඇතිවන්නේ යැයි විද්වත්හු අවධාරණය කරති.

   උණුදිය උල්පත්වල ඇති ගති ලක්ෂණ හැදෑරීම වෙනුවෙන් මහපැලැස්ස හෙවත් මදුනාගල උණුදිය උල්පත පුවරුව ඇසුරෙන් විමසමු.

   එහි භෞතික ලක්ෂණ අතර උෂ්ණත්වය සෙ.ග්‍රේ අංශක 44කි. පී.එච් අගය 7.1කි. සන්නායකතාව sm 7.1කි. ඝනද්‍රව්‍ය mg1.  5288 කි.

   රසායනික ගුණ අතර බයිකාබනේට් 20.1කි. ක්ලෝරයිඩ් 2590කි. සල්පෙට් 134.4කි. නයිට්‍රේට් 1.02කි. පොස්පේට් 1.78කි. සිලිකා 54.9කි. කැල්සියම් 533කි. මැග්නීසියම් 4.8කි. සෝඩියම් 1110.0කි. පොටෑසියිම් 22.6කි. ලීතියම් 0.4කි. යකඩ 0.03කි. සින්ක් 0.01කි. ඊයම් 0.08කි. කැඩ්මියම් 0.01කි. ෆ්ලෝරයිඩ් 1.6කි. සල්පයිඩ් 0.15කි. මැංගනීස් 0.04කි.

රෝග සුව කිරීමේ හැකියාව සහ මත

   ඒ අතර උල්පත් ජලය ගමන් කරන මාර්ගය අනුව ඒවායේ පාෂණයන්හී ඇති රසායනික ගතිලක්ෂණ නිසා වෙනස්වීම සිදුවන බව විද්වත්හු පවසති. එනිසා උණුවතුර ළිඳකින් පුරුද්දක් ලෙස ජලස්නානය කිරීමෙන් හන්දි රෝග චර්ම රෝග වාත රෝග ආදිය සුව වන බවටද ඇතැම්හු විශ්වාස කරති.

  රාවණා රජුගේ මවට කුෂ්ට රෝගයක් වැලඳී ඇත. ඒ අතර දිනක් රාත්‍රි නින්දේදී රජු දුටු සිහිනයකි. එයින් පැවසුණේ උණු දිය ළිඳෙන් තම මව නෑවීමෙන් මෙම කුෂ්ට රෝගය සුව වන බවට පණිවුඩයකි. රජු ඒ අනුව කටයුතු කළේය. මවට රෝගය  සුව විය. ඒ අනුව එතැන ළිඳක් සාදා දේවාලයක්ද ඉදිකළේ යැයි විශ්වාසයකි.

  මදුනාගල උණු දියෙන් පිසින බත් නරක් නොවී වැඩි කාලයක් තබාගත හැකි බව ගැමියෝ පවසති.

   පුරාණයේ ලක්දිව විසූ මහරහතුන් වහන්සේලා පිරිනිවන්පාන අවස්ථාව වන විට මෙම ස්ථානයට පැමිණි බවටද ජනප්‍රවාද අතර කියැවේ.

   ලෝකයේ බොහෝ රටවල් තම රටවලට සංවාරක ආකර්ෂණය දිනාගැනීමට  පමණක්ම නොව, මේ වනවිට උණුවතුර ළිං ඇසුරෙන් තාක්ෂණය සහ බලශක්තිය සඳහා යොදාගැනීම වෙනුවෙන්ද පර්යේෂණ කරමින් සිටින බව විදෙස් වාර්තා අවධාරණය කරයි.

  එසේම මෙම ස්ථානයන්හී පවතින ස්වාභාවික අංගයන්ට හානියක් නොවන ලෙස  දේශීය විදේශීය සංචාරකයන්ට අදාළ අලෙවි මධ්‍යස්ථාන විවිධ වෙළෙඳ කුටි ආදිය නිර්මාණය කිරීමෙන් කෝවිඩ් තුළ බිඳවැටුණු ජනජීවිතය සහ ආර්ථිකය ගොඩනැංවීමට රජයට ඇති හැකියාවද එම ප්‍රදේශවාසීහු අවධාරණය කරති..

සටහන සහ සේයාරූ - ලාල් ජයසුන්දර



Recommended Articles