සොබාදම හා කෙරෙන අසිරිමත් ගනුදෙනුව ඇසළ මහා මංගල්‍යය


මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර පෙරේදා (03දා) වීදි සංචාරය කිරීමෙන් අනතුරුව ඊයේ (04දා) අලුයම ගැටඹේ මහැවැලි ගං තොටේ දිය කැපීමෙන් පසුව දහවල් පෙරහර පැවැත්වීමෙන් පෙරහර මංගල්‍යය අවසන් විණි. එසේ පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහරේ දිය කැපීමේ මංගල්‍යය සොබාදහම සමග චාරිත්‍රානුකූලව සිදුකෙරෙන අසිරිමත් ගනුදෙනුවක් ලෙස පෙන්වා දිය හැකිය.

අතීතයේ මිනිසා පරිසරය දේවත්වයෙහිලා සැලකූ අතර, පරිසරයෙන් මිනිසාටත්, මිනිසාගෙන් පරිසරය වෙතත් අන්‍යෝන්‍ය බැඳීමක් පැවතිණි. ඒ බැඳීම සම්මුතියක් බවට කාලයක් ගතවීමත් සමග පත් වූ අතර, පසුව පරිසරය කෙරෙහි යම් යම් විශ්වාස හා මත ඔවුන් තුළ ගොඩනැගිණි.

ඒ අනුව ඇසළ පෙරහර නිමිත්ත සම්බන්ධයෙන් සලකා බැලීමේදී එය වැස්ස (ජලය) මූලික කරගෙන බිහි වූ බව සම්මතයක් පවතී. වැස්ස වලාහක දෙවියන්ගේ බල පරාක්‍රමය පිළිබඳවත්, ඒ හා බැඳුණු විශ්වාසයන් පසුව සංකීර්ණ විශ්වාසයන් බවට පත් වූ බවත්, එය දෙවි දේවතාවුන් පිදීම දක්වා පුළුල්ව විහිදී ගිය බවටත් විශ්වාස කළ හැකි වේ.

මහනුවර පෙරහරේ ආරම්භය කප් සිටුවීම මගින් සිදුවේ. කප සඳහා පල නොදරන කොස් ගසක් හෝ නැගෙනහිර දෙසට වැඩුණු අත්තකින් කොටසක් සකස් කරගනී. චිරාගත සම්ප්‍රදායට අනුව අලුත්නුවර සිට කප රැගෙන ඒමත්, මහනුවර විෂ්ණු දේවාලයට ගෙනවිත්, සිවු දේවාල වෙත බෙදා දීමෙන් පසු පස් දිනක් පුරා දේවාල අභ්‍යන්තරයේ පෙරහර පැවැත්වීමත් සිදු කෙරේ.

මහනුවර නගරයේ වීදි සංචාරය කරනු ලබන පෙරහර මංගල්‍යයේ පෙරහර දින දහයකි. මුල් පෙරහර කුඹල් පෙරහර වන අතර, අවසන් පෙරහර රන්දෝලි පෙරහර ලෙස හඳුන්වයි. අවසන් මහා පෙරහර පැවැත්වෙනුයේ දසවැනි දිනයේදී වන අතර, එය පුන් පොහෝ දිනයකි. එසේ පැවැත්වෙන මහා පෙරහර ගෙවැදීමෙන් අනතුරුව දිය කැපීමේ මංගල්‍යය වෙනුවෙන් චාරිත්‍ර ආරම්භ වේ.

එම චාරිත්‍ර යටතේ කරඬුව සහිතව මංගල හස්ති රාජයා දළදා මාලිගාවේ සිට අස්ගිරි ගෙඩිගේ විහාරය බලා පිටත්වීම සිදුවන අතර, පෙරහර කරඬුව ගෙඩිගේ විහාරය හෙවත් ‘ශ්‍රී දළදා ගමන් මාලිගාව’ තුළ තාවකාලිකව තැන්පත් කිරීම සිදුකෙරේ. මෙම චාරිත්‍රය අනුරාධපුර දක්වා දිවෙන්නක් ලෙසත් මෙරටට උපසම්පදාව රැගෙන ආ උපාලි හිමියන් වෙත කරන ගෞරව කිරීමක් ලෙසත් ජනප්‍රවාදයේ පවතී.

මීට සමගාමීව සිවු දේවාල පෙරහර කරඬුද ගෙඩිගේ විහාරයේ තැන්පත් කිරීම සඳහා පිටත්වීම සිදු වේ. එසේ කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව සිවු දේවාලයට නැවත පැමිණි දෙවියන් උදෙසා පුද පූජා ඉටු කිරීම සිදු කෙරේ.

මෙම කරඬුව පෙරහර තැන්පත් කිරීමේ කාර්යය සඳහා අස්ගිරි මහා විහාරයේ ස්වාමීන් වහන්සේලා, දියවඩන නිලමේවරයා ඇතුළු සිවු මහා දේවාල බස්නායක නිලමේවරුන් සහභාගි වන අතර, දළදා කරඬුව ආරක්ෂාව ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයා සහ දළදා මාලිගාවේ පල්ලේමාලේ කට්ටල් රාල විසින් සිදු කරනු ලබයි. වර්තමානයේ මේ සඳහා මහනුවර පොලිස් අධිකාරි උපදෙස් පරිදි ආරක්ෂාව ලබා ගනී. 

කරඬුව තැන්පත් කිරීමේ කාර්යය සඳහා අස්ගිරි මහා විහාරයේ මහානායක ස්වාමීන් වහන්සේ, දියවඩන නිලමේවරයා හෝ ගෙඩිගේ විහාරවාසී ප්‍රධාන ස්වාමීන් වහන්සේ අතරින් කෙනෙකු වීම විශේෂයකි. එසේ තැන්පත් කිරීමේදී එතැන් සිට දවල් පෙරහර ආරම්භය තෙක් දළදා කරඬුව වෙත හේවිසි පූජා ඇතුළු ගීතිකා ගැයීම ආදිය සිදුකෙරේ.

පෙරහර සම්ප්‍රදායට අනුව අලුයම හතරට පමණ සතර දේවාලවල කපුරාල සතර දෙනා ඇතුන් සතර දෙනෙකුගේ පිට නැග දේවාභරණ දරමින් දිය කැපීමේ මංගල්‍යය පැවැත්වීම සඳහා දේවාලයන්හි සිට පිටත් වේ. මහවැලි ගඟේ ගැටඹේ තොට දක්වා හේවිසි කණ්ඩායම් සහිතව කුඩා පෙරහරකින් ගමන් කිරීම සිදු වේ. මෙහි විශේෂත්වය වනුයේ දළදා මාලිගාව පෙරහර මීට සම්බන්ධ නොවීම වන අතර, නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි දේවාල අනුපිළිවෙළින් පෙරහරේ ගමන් කිරීම සිදුවේ.

දිය කැපීම සඳහා පිටත්ව ගමන් කිරීමේදී පසුගිය වසරේ දිය කපා පුරවාගත් පැන් කෙණ්ඩි හෝ සෙම්බු මෙවර ඇසළ පෙරහර ආරම්භයේදී සිටවූ කප ඇතුළු සාම්ප්‍රදායික වස්තු දේවාලවල රන්දෝලි තුළ බහා රැගෙන යාම සිදු වේ.

එසේ මග ගෙවා ගැටඹේ තොටට පැමිණිමෙන් පසු කපු රාලලා දේවාභරණ, දේවාලවල රන්දෝලි තුළ බහා සුදු රෙදි කඩතුරාවලින් හිස සිට සිරුර ආවරණයෙන් යුතුව රන් කඩුව අතට ගෙන උඩු වියන් යටින් මහවැලි ගඟ දියට කරවටක් බසී. දිය කැපීමට පෙර පසුගිය වසරේ සෙම්බු හෝ කෙණ්ඩිවලට පුරවා ඇති ජලය සහ කප සතර ගං දියට මුදා හරී.

ඉන් අනතුරුව ඉර උදා වී පළමු රැස් දහර වැටීමත් සමග යොදාගත් දිය කැපීම සිදුවන අතර, සිවු දේවාලවල කපු මහතුන් මහජනයාට නොපෙනෙන සේ සෙම්බුවලට ජලය පුරවා ගැනීම සිදු කරයි.

මෙම දිය කැපීමේදී ගලා යන ජලය නෑමට විශාල පිරිසක් රැස්වී සිටින අතර, මෙම ජලය නෑමෙන් රෝග සුව වන බවට විශ්වාසයක් පවතී. ජලයට දැමූ කප, පස් ආදිය ගොවිතැන් හා කුඹුරුවල සිටුවීමෙන් සශ්‍රීක හා සාර්ථක අස්වැන්නක් ලබාගත බවට හැකි විශ්වාසයක් පවතී.

දිය කපා පුරවාගත් සෙම්බු හෝ කෙණ්ඩි සුදු රෙදිවලින් බැඳ, තොටුපළේ පිහිටි බෝධිය වෙත පැමිණ වස්දොස් දුරු කිරීමේ චාරිත්‍ර, සෙත් ශාන්ති සිදු කරයි. පසුව රන්කෙණ්ඩි, සෙම්බු හා රන් කඩු රන්දෝලි තුළ බහා දේවාභරණ රැගෙන ප්‍රධාන කපු රාලලා ඇතුන් පිට පෙරහරින් පිටත් වීම ආරම්භ කෙරේ.

පෙරවරු 9.00 ට පමණ පිටත් වන පෙරහර මහනුවර කටුකැලේ පිහිටි ගණදෙවි කෝවිල (සෙල්ව විනායාගර් කෝවිල) වෙත පැමිණීම සිදු වේ. එසේ මග දෙපස ජනතාව පෙරහර සඳහා සහභාගි වන අලි ඇතුන් වෙත කිරිබත් උක් දඬු ආදියෙන් සංග්‍රහ කිරීමට සැරසී සිටිති. මෙම පෙරහර නැරඹීමෙන් කුඩා ළමුන්ගේ ලෙඩ රෝග වස් දොස් දුරු වන බවට විශ්වාසයක්ද පවතී.

මෙසේ ගමන් ගන්නා පෙරහර පෙරවරු 11.00ට පමණ කටුකැලේ පිහිටි ගණදෙවි කෝවිලට පැමිණීමෙන් පසු ඇතුන් පිට වැඩම කළ දේවාභරණ සහ රන්දෝලි තුළ බහා දේවාලය අභ්‍යන්තරයට ගෙන යනු ලබයි. ඉන් පසු පූජකයන්, භාරකරුවන් පිළිගැනීමෙන් අනතුරුව ශිවාගමික චාරිත්‍ර ඉටු කිරීම, සෙත් ශාන්ති හා දේව පූජා සිදු කරනු ලබයි.

මෙසේ දවල් පෙරහර ආරම්භය තෙක්  සිවු දේවාල නියෝජනය කරමින් පැමිණි සියලු දෙනා කෝවිලේ රැඳී සිටින අතර, පුද පූජා පැවැත්වීම කෝවිලේ පූජකයන් විසින් සිදු කරනු ලබයි. ඉන් පසු සවස 2.00 පමණ වන විට සියලු පෙරහර කටයුතු සංවිධානය වී, සිවු දේවාලවල පෙරහර අදාහන මළුව, ගෙඩිගේ විහාරය වෙත පැමිණීම සිදු වේ. ඉන් පසු පෙර දින රාත්‍රියේ තැන්පත් කළ පෙරහර කරඬුව රැගත් මාලිගා පෙරහර සමග සිවු දේවාල සම්බන්ධ වීම සිදු වේ.

පසුව නගරයේ වීදි ඔස්සේ සංචාරය කර මාලිගා චතුරස්‍ර වටා තෙවරක් දක්ෂිණා කරමින් මාලිගා පෙරහර දළදා මාලිගාවටත්, සිවු දේවාල පෙරහර ඒ ඒ දේවාලවලටත් ගෙවැදීම සිදුවන අතර, ඉන්පසු පෙරහර වීදි සංචාරය කිරීම නිමා වේ.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles