ග්‍රීසියේ විසූ ඉපැරණි දාර්ශනිකයන් හඳුන්වනු ලබන්නේ පූර්ව සොක්‍රටික දාර්ශනිකයන් වශයෙනි. ඔවුහු බොහෝ දෙනෙක් ද්‍රව්‍යවාදීහු වූහ. ඔවුන් ඇසූ සද්භාවී ප්‍රශ්නයක් තිබේ. එනම්, අප ජීවත් වන විශ්වය නිර්මාණය වූයේ කෙසේද යන්නය.
මෙම ප්‍රශ්නය සෑම ඉපැරණි ග්‍රීක දාර්ශනිකයෙකුටම පොදු වුවද ඔවුන් එකිනෙකා දුන් පිළිතුරු එකිනෙකින් වෙනස් වේ. තේල්ස් නම් දාර්ශනිකයා කියා සිටියේ, සියලු දේ ජලයෙන් සෑදී ඇති බවයි. එනම් සියලු දෙයෙහි මූල ධාතුව වන්නේ ජලය බවට ඔහු විශ්වාස කළේය.
ඊට පසුකාලයක ජීවත් වූ ඇනන්ෂියමැන්ඩර් නම් දාර්ශනිකයා පැවසුවේ ජලය වැනි දෙයක් මූලධාතුව විය නොහැකි අතර, සීමාවක් දැක්විය නොහැකි වෙනත් කිසියම් මූලද්‍රව්‍යයකින් ලෝකය සෑදී ඇති බවයි. එනම්, ආරම්භයක් හෝ අවසානයක් නොමැති යම් ද්‍රව්‍යයක් පිළිබඳ අදහසක් ඔහු තුළ වීය. ඇනක්ෂිමෙනස් නම් තවත් දාර්ශනිකයෙකු පැවසුවේ ලෝකය සෑදී ඇත්තේ වාතයෙන් බවයි.
එම්පෙඩක්ලීස් නම් දාර්ශනිකයා විසින් ඔහුට පෙර සිටි දාර්ශනිකයන්ගේ අදහස් එකතු කරමින් ලෝකය ජලය, වාතය, ගින්න සහ පඨවි යන ගුණ එකතු වී සෑදෙන බව ප්‍රකාශ කළේය. ආදරය සහ ගැටුම මත පාදකව මෙම ගුණාංග අතර ඇති වීමද, බිඳීමද සිදු වන බව ඔහු පවසා සිටියේය.
මෙම සෑම දාර්ශනික ප්‍රවාදයක් තුළින් කියැවුණේ ද්‍රව්‍යය යනු අඛණ්ඩ ලෙස පවතින යම් භාවාර්ථයක් බවයි. මේ අතර ඩෙමොක්‍රිටස් නම් ග්‍රීක දාර්ශනිකයා පරමාණුවක් පිළිබඳ අදහසක් ගෙන ආවේය. පරමාණුවක් යනු තවදුරටත් බෙදා වෙන්කළ නොහැකි ඉතා කුඩා අංශුවකි. ඊට පෙර දාර්ශනිකයන් තුළ පැවැති අඛණ්ඩව, අවිච්ඡින්නව පවතින ද්‍රව්‍යයක් වෙනුවෙන් කුඩා නොබැඳිය හැකි අංශුවලින් ලෝකය තැනී ඇති බවට අදහස පැමිණියේ ඩෙමොක්‍රිටස් තුළිනි.
මෙහිදී පෛතගරස් විසින් ලෝකය සහ විශ්වය සම්බන්ධයෙන් දුන් අර්ථ නිරූපණය ඉතා වැදගත් වේ. ද්‍රව්‍යයන්ගේ අහඹු එකතූන්ගෙන් සංවිධිත විශ්වයක් (ordered universe) ඇති විය නොහැකි බව ඔහු කියා සිටියේය. විශ්වයේ ඇති සියලු වෙනස් නොවන රටාවන් පිටුපස අංක ඇති බව ඔහු පෙන්වා දුන්නේය. විශ්වය ඉතා තර්කානුකූල හා සංවිධිත ලෙස ගොඩනැගී ඇති අතර, ජ්‍යාමිතික න්‍යායන්ට අනුව හැඩගැසී ඇති බවද කියා සිටියේය.
පෛතගරස් අනුගමනය කළ ප්ලේටෝ ද ලෝකය තුළ ගණිතමය සහ ජ්‍යාමික සංවිධානයක් ඇති බව අවධාරණය කළේය. ඔහු තම ඇකඩමියට ජ්‍යාමිතිය නොදන්නා කිසිවෙකුටත් ඇතුළු වීමට නොදුන්නේය. ප්ලේටෝට අනුව සදාතනික වශයෙන් වෙනස් නොවන ඥානයක් විශ්වය තුළ ඇති අතර, අප ජීවත් වන ලෝකය දකින්නේ එම සදාතනික ඥානයේ පිළිබිඹුවක් පමණි. අප දකින සියලු ගණිතමය සංකල්ප එම නොවෙනස් වන විශ්වීය ඥානයේ සෙවණැලි වේ.
ඇරිස්ටෝටල්, ප්ලේටෝට බොහෝ තැන්හිදී එරෙහි වූ නමුත් විශ්වයේ සත්‍යය යනු සදාතනික වෙනස් නොවන ඥානයක් බව විශ්වාස කළේය. ලෝකයේ නිර්මාණය සම්බන්ධයෙන් හේතු හතරක් ඇරිස්ටෝටල් ඉදිරිපත් කළ අතර, ඒවා නම් ද්‍රව්‍යමය හේතු, ආකෘතික හේතු, සාඵල්‍යතා හේතු සහ අරමුණුය.