වැඩි කලක් නොගොස් මෙරට දැඩි ආහාර හිඟයක් ඇතිවිය හැකි තරමට කෘෂි ක්‍ෂේත්‍රයේ වගාවන්ට සේනා දළඹුවාගෙන් සිදුවන හානිය ඉතා දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව දිවයින පුරා සිදුකළ හැදෑරීම්වලදී ගොවියන්ගෙන් ඇසුණු මැසිවිල්ලකි. අපි මෙහි සැබෑ තත්ත්වය සහ මේ සම්බන්ධයෙන් ගතයුතු පිළියම් සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළිබෝධනාශක රෙජිස්ටාර් ආචාර්ය සුමිත් ජයකොඩි මහතාගෙන් විමසුවෙමු.
මෙම සතාගේ ව්‍යාප්තිය කෙසේ සිදුවන්නට ඇතිද?
මෙම දළඹුවන් හඳුනා ගැනීම සිදුවුණේ මෑත කාලයේදීයි. අම්පාරෙන් පළමු සොයා ගැනීම වාර්තා කළා. පසුව එය මේ වනවිට දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.
ඇමෙරිකානු මහාද්වීපය වැනි රටවල් ඔස්සේ අප්‍රිකානු රාජ්‍යයන් හරහා ඉන්දියාව ඔස්සේ ලංකාව දක්වා පැමිණි දළඹු විශේෂයක් ලෙස මෙම උවදුර දැක්විය හැකියි. ශීත රටවල වසරේ පවතින ශීත කාලය හේතුවෙන් මෙය මර්දනය වන ස්වභාවයක් තිබෙනවා. ඒත් ලංකාව වැනි ඝර්ම කලාපීය රටක නිරතුරුවම මෙම අවදානමත්, ව්‍යාප්තියත් සඳහා ඇති අනුබලය වැඩියි.
මේ වනවිටත් අම්පාර, මොනරාගල, අනුරාධපුරය, කුරුණෑගල ප්‍රදේශයන්හි බඩඉරිඟු වගාව මෙම තර්ජනයට ගොදුරුවී තිබෙනවා. ඒ අතර සබරගමුව පළාතේ ඇඹිලිපිටිය සහ රත්නපුර දක්වාද ව්‍යාප්ත වෙමින් පවතින බවටද ඇතැම් වාර්තා දක්වනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ මෙතෙක් වාර්තා නොවූ ආක්‍රමණශීලී සහ නිරෝධායන පළිබෝධකයෙකු ලෙස සේනා දළඹුවා Fall Armyworm (Spodoptera frugiperda) හඳුන්වා දිය හැකිය.
මෙමගින් ඇතිවිය හැකි හානිය පළමුව කෙටියෙන් පැහැදිලි කළොත්?
මේ මෙෙතක් ලංකාවෙන් වාර්තා නොවූ ආක්‍රමණශීලී නිරෝධායන පළිබෝධකයෙක්. පළමුවරට 2018දී අම්පාර බඩඉරිඟු වගා බිමකින් මෙම පළිබෝධකයා හමුවුණා. අප්‍රිකානු සහ ඉන්දියානු රටවල දැනටමත් මෙම දළඹුවන් නිසා ආහාර නිෂ්පාදනයට විශාල හානියක් සිදුවන බව වාර්තා වෙනවා. මෙම මහ කන්නයේදී ලංකාවේ හෙක්ටයාර් 80,000ක් පමණ බඩඉරිඟු වගා කිරීමට සූදානමක් තිබෙනවා. එහෙත් මෙම හානිය මර්දනය කළ නොහැකි වුවහොත් එය එම වගාවට විශාල තර්ජනයක් වෙයි.
එයට අමතරව මේ වනවිටත් මෙම දළඹුවා සෝගම්, බඩඉරිඟු, වී, උක්, එළවළු පලතුරු සහ රනිල බෝග වගා වර්ග 100කට පමණ හානි කරන බව වාර්තා වී තිබෙනවා. ඒ නිසා ඔවුන් කඩිනමින් පාලනය කළ යුතුයි. නමුත් දැනට මෙම සතා පාලනය සඳහා කෘමිනාශක නිර්දේශයක් නැහැ. ඒ වුණත් කඩිනමින් ඒ වෙනුවෙන් අවශ්‍ය යම් පියවර ගෙන තිබෙනවා.එහිලා සුදුසු රසායනිකයන් හඳුන්වාදී තිබෙනවා. එහිදී වෙනත් රටවල දත්ත පර්යේෂණ පදනම් කරගෙන මේවා ගොවි ජනතාව අතරට හඳුන්වාදී තිබෙනවා.
පළිබෝධකයා හඳුනාගන්නේ කෙසේද?
මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ පාලන ක්‍රම යටතේ ගොවියන් සහ ප්‍රජාව දැනුවත් කරන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අදාළ දක්වන පැහැදිලි කිරීමට සවන් දෙමු.
“ ළපටි කීටයන් ලා කොළ පැහැයෙන් යුක්තයි. වැඩුණු පසු ඔවුන් කොළ කහ හෝ දඹුරු පැහැයක් ගනියි. මොවුන් හඳුනා ගැනීමට හිස මතුපිට ඇති යටිකුරු වයි ඉංග්‍රීසි අකුර එක් අනුබලයකි. එසේම මෙම දළඹුවාගේ සෑම දේහ කාණ්ඩයකම පෘෂ්ඨයට ලප 4 බැගින් පිහිටා තිබේ. තවදුරටත් අවසාන දේහ කාණ්ඩයේ පෙර ඛණ්ඩයේ එම ලප හතර සමචතුරශ්‍රකාර කොටුවක මුළු සලකුණු කරමින් පිහිටා තිබේ.
වැඩුණු මෙම කීටයෙකුගේ දිග සෙ.මී.3ක්, 4ක් පමණ වේ. සුහුඹුල් සළබයෙකුට දිනකට සුළඟ ආධාරයෙන් කි.මී.100ක පමණ පියඹා යෑමට හැකියි.
හානිය
හානියේ මුල් අවධියේදී පත්‍රවල සුදු පැහැති කුඩා ලප දැකගත හැකිය. හානිය උග්‍රවන විට විශාල වශයෙන් පත්‍ර කා දමයි. ඒ නිසා වගාවේ ඉරුණු කඩතොලු බව ඇති කරයි. පත්‍ර ගොබයටද හානි කරයි. කීටයන් පත්‍ර හා ගොබය මත දැකගත හැකි අතර, තෙත සහිත ලී කුඩු වැනි මළද්‍රව්‍ය ගොබය තුළ සහ පත්‍ර මත දැකගත හැකි වේ. මොවුහු බඩඉරිඟු කරල්වලට පාර්ශ්විකව ඇතුළුව බීජ කා දමති.
ජීවන චක්‍රය
බිත්තර සියයක් දෙසීයක් පමණ වරකට දමයි. ජීවන චක්‍රය අනුව බිත්තර දින 3-5 කින් කීට අවස්ථාවට පත්වේ. කීටයා දින 14-22 අතුළත පිලවකු බවට පත්වේ. පිලවා දින 7-13 සුහුඹුල් අවස්ථාවටත් දින 10-21කට පසු බිත්තර දමන අවස්ථාවට පත්වේ. ඒ අනුව චක්‍රය නිරතුරුව සිදුවීමෙන් ගහනය වර්ධනය වෙයි.
මෙහිදී ක්‍රම දෙකක් යටතේ යොමුවිය හැකිය.
එනම්,
ඒකාබද්ධ පාලන ක්‍රම සහ
රසායනික ක්‍රම යනුවෙන් අංශ දෙකකි.
එහිදී ඒකාබද්ධ ක්‍රමය
- කන්නය ප්‍රමාද නොවී යාය එකට වගා කිරීම
- බෝග අවශේෂ පුලුස්සා විනාශ කිරීම හා පසේ සිටින පිලා අවස්ථා විනාශ කිරීම සඳහා පස ගැඹුරට සීසෑම
- රසායනික පොහොර යෙදීමේදී නිර්දේශිත ප්‍රමාණය පමණක් යෙදිය යුතුය. නයිට්‍රජන් පොහොර වැඩිපුර යෙදීමෙන් වැළකිය යුතුය.
- ක්ෂෙත්‍ර හා අවට වල් පැළ මර්දනය කිරීම
- හානිය මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම සඳහා වගාව ආරම්භයේ සිටම සතියකට දෙවරක්වත් බෝගය පරීක්ෂා කර බලා පළිබෝධකයාගේ බිත්තර කැදලි හා දළඹුවන් එකතු කර විනාශ කළ හැකිය.
- වගාව ආරම්භයේදීම මෙම පළිබෝධකයා සඳහා වන පෙරමෝන උගුල් යෙදීම.
- සියුම් වැලි අළු වැනි දේ හානි කරන ලද බඩඉරිඟු පැළවල ගොබය තුළට දැමීම.
- ජලය ලීටර් 10 ට ග්‍රෑම් 300-500 වන සේ කොහොඹ ඇට නිස්සාරකය යෙදීම.
- බෝග මාරුව
- ආසාදිත ශාක කොටස් වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය වැළැක්වීමෙන් පළිබෝධනාශකයාගේ පැතිරීම වළකාගත හැකි වනු ඇත.
රසායනික පාලන ක්‍රමයේදී වසංගත තත්ත්වයට පත්වීම වළක්වා ගැනීම වෙනුවෙන් ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීම ඉතා වැදගත් වේ.
එහිදී වහාම ක්ෂණික ක්‍රියාකාරීත්වයක් ඇති ස්පිනොටරම් එමමෙක්ටින් බෙන්සොඒට් හෝ ක්ලොරැන්ට්‍රනිලිප්‍රෝල් යන කෘමිනාශකවලින් එකක් භාවිත කළ හැකියි. තවදුරටත් පාලනයේදී දින හතකට වරක් වෙනත් ක්‍රියාකාරී කාණ්ඩයක් සහිත කෘමිනාශකයන් යොදන්න.* යනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
අප මේ සම්බන්ධයෙන් තවදුරටත් පළිබෝධනාශක රෙජිස්ටාර් ආචාර්ය සුමිත් ජයකොඩි මහතාගෙන් විමසුවෙමු.
“අපි මෙතෙන්දි කෘමිනාශක ගණනාවක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව, පහත රසායනිකයන් හතර දැනට අනුමත කර තිබෙනවා. මේවා වෙනුවෙන් රජය 50෴ක සහනාධාර ගෙවීමක් කරනවා. වෙළෙඳ නාමය ඉදිරියේ වරහන තුළ දක්වා ඇත.
ස්පිනොටරම් 25% Wg (රේඩියන්ට්)
ස්පිනෝසාඩ් 25 g/LSC (සක්සස්)
ක්ලොරැන්ට්‍රනිලිප්‍රෝල් 200 g/LSC( කොරැජන් )
එමමෙක්ටින් බෙන්සොඒට් 5% SG
(ප්‍රොක්ලේම්)
මෙයට අමතරව තවදුරටත් ඒවා ක්ලොරැන්ට්‍රනිලිප්‍රෝල් 20% WG +තයාමොතාක්සාම් 4% WG (චර්ටාකෝ) ඉතා දරුණු ලෙස පත්‍ර හෝ ශාක තුළ සැඟවී සිටින දළඹුවන් මර්දනයට යොදා ගත හැකියි.
මෙහි පවතින අවදානම පිළිබඳ කෙටියෙන් පැවසූවොත්?
දැන් ගොවියා කළ යුත්තේ දළඹුවා සමග ජීවත්වීමයි. මේක දැඩි අවදානමක්. මෙම ආගන්තුක සතා වෙනත් විශේෂිත සතුන් ලෙසත් ලංකාවේ ව්‍යාප්තව සිටිනවා. ඇතැමුන් ඉස්සර හමුදා දළඹුවා කියලත් මෙම දළඹු ප්‍රභේදයක් හැඳින්වූවා.
මෙම සතාගේ තිබෙන විශේෂ ලක්ෂණයක් තමයි. කෑමට ඉතා කෑදරකම. ඒ කියන්නේ මේ පැත්තෙන් කනවා. අනෙක් පැත්තෙන් මළපහ කරනවා. කෑමත් ඒ තරම්ම වේගවත්. ඒ නිසා මොහු ආක්‍රමණික සත්ත්වයෙකු ලෙසත් දැක්විය හැකියි. එක රැයකින් මහා වගාවක් විනාශ කිරීමට මේ සේනාවට හැකියාව තියෙනවා.
ඔය නමත් මේ දළඹු සේනාව කරන විනාශ හානිය අනුව එහෙම හිතෙනවා. මෙතෙන්දී නිරෝධායන පනත අනුව පවතින වගකීම කෙරෙහි අවධානය යොමු කළ යුතු යැයි පෙනෙනවා.
පනත සහ පවතින වගකීම පිළිබඳ පැහැදිලි කළොත්?
මෙම ගැසට් නිවේදනය මගින් නිරෝධායන පනත යටතේ ඕනෑම ආගන්තුක සත්ත්වයෙකු පාලනය කරමින් ප්‍රතිකර්ම කටයුතු කළ යුතුයි. එවැනි කටයුතු සඳහා ගොවියාගේ වගකීම සනාථ වෙනවා. එය පැහැර හරින විටදී දඬුවම් ලැබිය හැකි වරදක් බවටද පත් වෙනවා.
මේ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව හැටියට වගකීමක් තියෙන බව ඇත්ත. ඒත් මේක ආණ්ඩුවට හෝ රජයට පවරා ජනතාවට මගහැරිය හැකි අවස්ථාවක් නෙවෙයි. මෙම සත්ත්වයාගේ බෝවීම අනුව ඒ වේගයට වැඩි වේගයෙන් ජනතාව කටයුතු කළ යුතුයි. සතුන් හඳුනාගෙන ඔවුන් මර්දනයට ගොවියාද අවශ්‍ය නිවැරදි පියවර ගත යුතුයි.
එවැනි අවස්ථාවක් සිහිපත් කළොත් ?
ඇයි වැලිගම පොල්ගස්වලට මයිටාවන්ගේ හානිය සිදුවන විට මෙවැනි ගැසට් පතකින් පොල් වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය පවා තහනම් කළා. පාතේනියම් අාක්‍රමණශීලි ශාක සම්බන්ධයෙන් මෙවැනි ගැසට් පතක් නිකුත් කළා. තමන්ගේ ඉඩමක එවැනි දෙයක් තබාගැනීමත් දඬුවම් ලැබිය යුතු වරදක් බවට නීතිය ක්‍රියාත්මක වුණා. මෙන්න මේ විදිහට දළඹුවන් වෙනුවෙන්ද ගැසට් පතක් නිකුත් කිරීම කළ යුතුව තිබෙනවා.
රසායනිකයන් යෙදීම සහ වියදම සම්බන්ධයෙන් ගොවියන් අතර යම් මැසිවිලි නැගෙන්නේ ඇයි?
රසායනික භාවිතයේදී ඒ සඳහා වඩාත් උචිතවන පළිබෝධනාශක හතරක් අප හඳුන්වාදී තිබෙනවා. ඒවා එකිනෙකට වෙනස්. නමුත් මෙහිදී ගොවියාට වියදම් කිරීමට මුදල් නැති කතාව අපටත් ක්‍ෂේත්‍රෙය් ඇසෙනවා. ඒ වෙනුවෙන් අප විසින් නිර්දේශ කර ඇති පළමු පළිබෝධනාශක රසයානිකයන් වෙනුවෙන් වැයවන මුදලෙන් 50%ක් රජය විසින් දැරීමට පියවර ගෙන තිබෙනවා. ඒ ගැන කෘෂිකර්ම උපදේශකවරුන්ගෙන් විමසා දැනගත හැකියි.
ගොවියාගෙන් ඇසෙන මැසිවිලි
මෙය මර්දනයට ගොවියාගේ පැත්තෙන් නැගෙන යෝජනා චෝදනා තිබන බව ඇත්ත. අර්බුදය දැක දැක ගොවියා වියදම් කිරීමට උනන්දු නොවන බව හෝ අගහිඟකම් තිබෙනවා. එයට මා ඉහත සඳහන් කළ පිළියම තිබෙනවා.
අනෙක තමයි මේවා ඉසීමට වගාව තුළට ඇතුළුවීමට ගොවියාට ඇති අපහසුතාව ඇසෙනවා. ඔබ සිතන්න වැඩුණු බඩඉරිඟු වගාවකදී ඒ ගස්වල පත්‍රයන් දැලිපිහියා වගේ සියුම් සහ තියුණුයි. එතෙන්දී ඔවුන්ට හානි සිදුවන අවස්ථා බහුලයි. එයින් ඔවුන් අධෛර්යයට පත්වෙනවා.
තවත් දෙයක් තමයි ගොවියාට ශාකයේ මතුපිටෙන් රසායනිකයන් ඉසිය හැකි වුවත් ඇතුළත පත්‍ර සහ ශාක කොටස්වල සැඟවී සිටින සතුන් සොයා ගැනීම අසීරුයි.
උදාහරණයක් හැටියට බඩඉරිඟු කරලක් ගැන හිතන්න. එම කරල වටා ඇති පත්‍ර සමූහය තුළ මෙවැනි බිත්තර හෝ සතුන් සිටියහොත් ඒ සතුන්ට ඉසින රසායනිකයන්ගෙන් අපේක්ෂිත හානිය සිදුවිය නොහැකියි. අප උත්සාහ කරන්නේ ආරක්ෂිත කෘමිනාශක මිස සංස්ථානික ද්‍රව්‍ය නිර්දේශ කිරීම නෙවෙයි.
එහෙත් එවැනි තැනකදී යම් මැදිහත්වීමක අවශ්‍යතාව තියෙනවා. උදාහරණයක් හැටියට අපි හඳුන්වාදී ඇති රසායනිකයන් හතර ගැන ගැටලුවක් නැහැ. එහි ඇත්තේ මෙම රසායනිකයන් සතාගේ තැවරුණු විගස හෝ ඔවුන් ආහාරයට ගත්විටක එමගින් සතා විනාශයට පත්වීමයි.
ශාකයේ සැඟවුණු සතුන්ට එරෙහිව
නමුත් සැඟවුණු සතුන් ඒ පත්‍ර තුළ තුළ සිටිනවා නම් ඒ සඳහා වෙනත් යමක් නිර්දේශ කළ යුතුයි. එහිදී පිටත ගෑවී හෝ බඩට ගොස් සතා මැරිය යුතුයි. එයට එක් නිර්දේශයක් ලබාදී තිබෙනවා. එයට ක්ලොරැන්ට්‍රනිලිප්‍රෝල් 20% WG + තයාමොතාක්සාම් 4% WG (චර්ටාකෝ) හඳුන්වාදී තිබෙනවා.
මේවා ඉසීමට සවස හෝ පාන්දර කාලය වඩාත්ම සුදුසුයි. එයින් පරිසරයට සිදුවන හානිය අඩුයි. අනෙක මෙම සතුන් දහවල් කාලයේ පිටතට එන්නේ නැහැ. ඔවුන් රාත්‍රියේ පිටතට එන නිසා ඔවුන්ට එම අවස්ථාවේ බෙහෙත් ඉසීමෙන් වඩා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි.
එකම දේ දිගින් දිගටම යොදන්න හොඳ නැහැ. අපි වර්ග හතරක් හඳුන්වාදී තිබෙනවා. එවැනි එක්එක් වර්ග මාරුවෙන් මාරුවට දින 7-10 අතර යොදන්න. එවිට එකම දේ කෙරෙහි ප්‍රතිවිරෝධතා දැක්වීම් හැකියාව අඩුවෙනවා.
ඩ්‍රෝන තාක්ෂණය
උස ගස්වලට ඩ්‍රෝන තාක්ෂණය යොදාගත හැකියි. එය විශාල වගාබිම්වලට ගැළපෙනවා. එහිදී ඩ්‍රෝන තාක්ෂණයෙන් සෘණ ඉලෙක්ට්‍රොනික ආරෝපණයන් නිකුත් කරනවා. ගසේ තිබෙන්නේ ධන ආරෝපන නිසා ඒවා කෙළින්ම පරිසරයේ වෙනත් තැන්වලට නොව ඉලක්ක ගස්වලට පමණක් යොමු වෙනවා. එය සාර්ථක ක්‍රමයක්.
බැක්ටීරියා භාවිතය
බි.ටී.අයි. බැක්ටීරියාව ඇතුළත් ස්පටිකයන් ජාන තාක්ෂණය හරහා ස්වභාවිකව ගසට ලබාදීමේ ක්‍රමයක් ලෝකයේ භාවිත වෙනවා. එතෙන්දී ඒ බැක්ටීරියාව නිරතුරු ගස තුළ වර්ධනය වන නිසා මෙවැනි උවදුරු වැළැක්විය හැකියාව තිබෙනවා. අපේ රටේ එවැනි ක්‍රම තවමත් භාවිත වන්නේ නැහැ.
රසායනික ක්‍රම කළමනාකරණය
රසායනික ක්‍රම කළමනාකරණය සහ භාවිතය පිළිබඳ කළමනාකරණ ප්‍රතිපත්තියක් ගොවියා අතර හඳුන්වාදීම වැදගත්. එය වැදගත් පියවරක් විය හැකියි.
තවත් වැදගත් දෙයක් තමයි පිරිමි සතුන් ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් පෙරමෝන උගුල් ඇටවීම වඩා සුදුසුයි. එතෙන්දී එවැනි පෙරමෝන යම් භාජනයකට දමා පිරිමි සතුන් ඇතැයි විශ්වාස කරන තැන්වල තබනවා. එවිට සතුන් එතැන්ට ඇදී එනවා. උදාහරණයක් හැටියට මාපිලෙක් මැරූ පසු තවත් හත් දෙනෙක් එනවා කියා මිනිසුන් කියනවානෙ.
එහෙම වන්නේ මළ සතාගේ සිරුරෙන් ඒ සතුන්ට ආවේණික පැරමෝනයක් වහනය වන නිසා. ඒ අනුවයි ඒ අවට සිටින අනෙක් සතුන් එතැනට ආකර්ෂණය වන්නේ. ඒ වගේ මෙතෙන්දී පිරිමි සතුන් ඇදී එනවා. එවිට ඒ සතුන් එයට ඇලවෙන ගම් හෝ වෙනත් ක්‍රමයක් සකස් කෙරෙනවා.
එසේම එයින් එම ක්‍ෂේත්‍රයේ වෙසෙන පිරිමි ගහනය ගැන අනුමානයක් ගත හැකියි. පිරිමි සතුන් අවම කිරීම තුළ බෝවීමේ වේගය අඩුකළ හැකියි. පළාත් වශයෙන් ව්‍යාප්තිය හැදෑරිය හැකියි.
සාම්ප්‍රදායික ක්‍රම
දැනට අළු භාවිතය ප්‍රයෝජනයක් වේ යැයි හිතන්න අමාරුයි. මන්ද මේ වනවිට මෙය වසංගතයක් බවට පත්ව අවසානයි. එතෙන්දී මහා පරිමාණ ක්‍රමෝපායන් හරහා මෙය විනාශ කළ යුතුයි. යම් පාලනයක් කළ පසු එතැන් සිට මෙවැනි සාම්ප්‍රදායික ක්‍රම කෙරෙහි ගොවියාට යොමුවිය හැකියි. ඒත් එයත් අඛණ්ඩව පවත්වා ගෙන යායුතු දෙයක්.
අවදානම ඉහළ යෑම
කොහොම වුණත් මෙම වසංගතය මේ වනවිට භායානක ලෙස ව්‍යාප්තවීමේ අවදානමක් තිබෙන බව පෙනෙනවා. එතෙන්දී හැමවිටම ජනතාව සහ වගාකරුවන්ගේ පැත්තෙන් ඒ අවදානමේ වගකීම දරන්නේ නම් රජයේ ආයතන ලෙස අපට අවශ්‍ය මගපෙන්වීම් සහ අදාළ කටයුතු කළ හැකියි.
ගොවියා සාම්ප්‍රදායික ක්‍රම
දැනට අළු භාවිතය ප්‍රයෝජනයක් වේ යැයි හිතන්න අමාරුයි. මන්ද මේ වනවිට මෙය වසංගතයක් බවට පත්ව අවසානයි. එතෙන්දී මහා පරිමාණ ක්‍රමෝපායන් හරහා මෙය විනාශ කළ යුතුයි. යම් පාලනයක් කළ පසු එතැන් සිට මෙවැනි සම්ප්‍රදායික ක්‍රම කෙරෙහි ගොවියාට යොමුවිය හැකියි. ඒත් එයත් අඛණ්ඩව පවත්වා ගෙන යායුතු දෙයක්.
සතා සමග ජීවත්වීමේ ආදීනව
නැවතත් මම කියන්නේ දැනට ඉතිරිව ඇත්තේ මේ වනවිට සතා ගොවියා සමග ජීවත්වන නිසා එම සතුන් සමග මේ කටයුත්ත වෙනුවෙන් ගනුදෙනු කරගන්නා ආකාරය ගැන තියුණු අවධානයකින් කටයුතු කිරීමයි. නැතිනම් මෙම අවස්ථාවේ මර්දනය වුවත් නැවත ඔවුන් නැගිට ආ හැකියි.
(විශේෂ ස්තූතිය- ක්‍ෂේත්‍ර සම්බන්ධීකරණයෙහි මගපෙන් වූ පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ ජීවනී මාරසිංහ මහත්මියට සහ කෘෂිකර්ම උපදේශක විජයසිරි ගුණවර්ධන මහතාට,)