සේනා ගැන විමසිලිමත් වන්න


ගෙවීගිය වසර මෙරට කෘෂි ක්ෂේත්‍රයට බලපෑ සේනා දළඹු උවදුර ජනතාවට අදටත් අත් කරන්නේ භීතියකි. මේ වනවිටත් යල කන්නයේ වගාව ආරම්භයත් සමග නැවතත් ගිය අවුරුදු අවසානයේ තමන් ආර්ථික වශයෙන් මෙන්ම කායික වශයෙන් පමණක් නොව මානසිකවද  අසරණ කළ සේනා දළඹු උවදුර පැතිර යා හැකිද යන කුකුස ඔවුන් තුළ තවමත් තිබේ.


මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාව දැනුම්වත් කිරීම වෙනුවෙන් දීපව්‍යාප්ත යාන්ත්‍රණයක් සකස් කර ඇත. සේනා දළඹුවා සම්බන්ධයෙන් ගන්නොරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම  අධ්‍යක්ෂ සනත් එම්. බණ්ඩාර මහතාගේ අදහස් මෙසේය.

නැවතත් සේනා දළඹුවා ගැන කතාබහක් ඇසෙනවා. ඒ ඇයි?

2019 යල කන්නය අරම්භ වී තිබෙනවා. බඩඉරිඟු වගාවට පසුගිය මාස් කන්නයේදී දැඩි තර්ජනයක් එල්ල කරන ලද සේනා දළඹු වසංගතය යළි හිස එසවීමේ අවදානම පහව ගොස් නැහැ. ගොවි ජනතාව එය අමතක නොකළ යුතු වැදගත් කරුණක්. නමුත් සේනා ගැන කතාබහ අඩු වී ගියේ ධාරක ශාකයක් නොමැති වගා කන්න දෙකක් අතර වූ කෙටි කාල පරාසයක් ඒ අතර පැවති නිසයි.

එයින් අදහස් වන්නේ දළඹුවා තවමත් මෙරට තුළ සිටිනවා කියන එකද?

මෙම සලබයා දිවයිනෙන් වඳ වී ගිය බවක්  හෝ දැනට පොදු ක්‍රියාකාරකම් හරහා මර්දනය වූ බවක් හෝ සනාථ කිරීමට සාක්ෂි  නැහැ. එබැවින් 2019 යල කන්නය ඉතා අවධානයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී  පෙන්වා දිය යුතුයි. දින දහයක ආයු කාලය ඇති සේනා දළඹුවා දැන් කොහේද? යන්න කෙනෙකුට සිතෙන්න පුළුවන්.  ඔවුන් තවමත් මෙරට සිටිනවා යැයි පිළිතුරු දිය යුතුයි. අප විධිමත් නිර්දේශ අනුව වගාව කළ යුත්තේ ඒ නිසයි.

විදේශ වාර්තා අනුව පවා සේනාගේ ආක්‍රමණයට ගොදුරු වූ රටවල් අදටත් එම තර්ජනයට යොමු වෙමින් ඉන්නවා. එහෙනම් අපටත් ඒ ඉරණම අැතිවිය හැකියි. අපි සූදානම් විය යුත්තේ ඒ අවදානමෙන් මිදී වගාවලින් නිසි ප්‍රයෝජන ගැනීමට බව කියන්න ඕන නෑ. සේනාගෙන් බඩඉරිඟු වගාවට සිදුවන හානිය ගොවියා කම්පනයට පත් කළ පුවතක්.
ඒ නිසාම මේ වනවිට මැයි 01 සිට 15 අතර කාලය බඩඉරිඟු වගාවට ඉතා සුදුසු කාලය ලෙස යොදාගන්නැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බඩඉරිඟු වගාවට යොමුවන ගොවීන් දැනුම්වත් කරමින් උපදෙස් දී තිබෙනවා.  යම් හෙයකින් යම් ගොවියෙකුට එම කාලය තුළ එකී වගාව ආරම්භ කළ නොහැකි නම්, කළ හැකි වඩා හොඳම දේ වෙන්නෙ වෙනත් අතිරේක බෝගයක් තෝරාගැනීමයි.

සේනාගෙන් වැඩි වශයෙන් හානි සිදුවන්නේ ශාකය කිනම් අවධියේද?

බඩඉරිඟු වගාවලට සේනාගෙ හානිය බහුලව සිදුවන්නේ ළපටි පැළෑටි අවධියේ බව අමතක නොකළ යුතුයි. ඒ නිසා ළපටි අවධියේ එම ගස් හොඳින් රැක බලාගත යුතුයි. ඒවා නිරතුරු නිරීක්ෂණයට ලක් කළ යුතුයි.
එහිදී දළඹු උවදුර මර්දනයට පෙරමෝන් උගුල් යෙදීම, බිත්තර කැදලි තිබේ නම් වහා ඉවත් කිරීම ආදී පරිසර හිතකාමී ක්‍රම අනුගමනය කළ හැකියි.

කෘමිනාශක භාවිතය හානිකරද?

සේනාට හානි කරන වෙනත් කෘමි සතුන් කෘමිනාශක හමුවේ විනාශයට පත්වීම අවාසිදායක තත්ත්වයක්. ඒ නිසා කළ යුත්තේ වසංගත තත්ත්වයක් එනතුරු බලා නොසිට පූර්ණ ආරක්ෂක උපායමාර්ග වෙත යොමුවීමයි.

මේ සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයන අනුව ලද  ප්‍රගතිය පැවසුවොත්?

  එවැනි අධ්‍යයනයන් පිළිබඳ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නොරුව උද්‍යාන සහ භෝග පර්යේෂණ සංවර්ධන ආයතනයේ කීට විද්‍යාඥ ප්‍රදීපා රණවීර සහ වල්පැළෑටි විශේෂඥ අනුරුද්ධිකා අබේසේකර මහත්මිය  නිරත වෙමින් සිටිනවා.

ඒ අනුව ‘‘ආහාර වශයෙන් ගත හැකි හා ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමට අවශ්‍යතාව සපයන ධාරකයන් විය හැකි ශාක පිළිබඳ කළ විමසීම වැදගත් විය හැකියි.
මෙහිදී  එම පර්යේෂකයන් පෙන්වා දෙන්නේ බඩඉරිඟු ශාක නොමැති විටදී, එනම් වසරින් වසර මර්දන පිළිවෙත් අනුගමනය කළ යුතු බවයි. පෙරමෝන් උගුල් යොදමින් වසර පුරාවට සුහුඹුවන් පාලනයට පියවර ගත හැකියි. ගිනිතණ මත සලබයා බිත්තර හෙළීමද අපට වාසි වන පරිදි මෙහෙයවාගත හැකියි.

වෙනත් පර්යේෂණ අනුව පෙනෙන පරිදි මෙම බිත්තර තුළ බිත්තර හෙළමින් තම වර්ගයා බෝ කරගන්නා කෘමීන්ද මෙරට ඉන්නවා.
ඒ හරහා සේනා බිත්තර වැනසීමට කෘමීන් බෝ වෙනවා. ඔවුන් සැලකෙන්නේ සේනාගේ ස්වාභාවික සතුරන් වශයෙනුයි. එම ගහනය වැඩිවෙනවා කියන්නෙ සේනා මර්දනයට රුකුල් දීමක්. මේ අනුව ගොවියන් වගාවට හෝ පරිසරයට හානියක් නොමැති නම් වගාව ආසන්නයේ ඉඩම්වල ගිනිතණ පඳුරු වගා කිරීම හරහා සේනාගේ ස්වාභාවික සතුරන් බෝවීම ඉහළ දමන්න පුළුවන්.

අවශ්‍යතාව සපයන ධාරකයන් විය හැකි ශාක පිළිබඳ පැවසුවොත්?

නවතම විද්‍යාත්මක සොයාගැනීම් අනුව සේනා පෝෂණය විය හැකි නොයෙකුත් වල්පැළෑටි වර්ග මෙරට පරිසරයේ තිබෙනවා. අමතරව වසර පුරා පවතින උක් ගසද සේනාට සුදුසු වාසස්ථානයක්. ඒ නිසා ජනතාව අවබෝධයෙන් කටයුතු කරමින් තමන්ගේ වගාවන් මෙම කන්නය තුළ හැසිරවීම වඩා වැදගත් බව සිහිපත් කළ යුතුයි.



Recommended Articles