සෙනෙට් සභාව


ප්‍රජාතන්ත්‍රවාදය යන අදහස බටහිර ලෝකයේදී මුලින්ම උපදින්නේ ග්‍රීසියේදීය. ඉපැරණි ග්‍රීසියේ පෞර රාජ්‍යයන්හි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණ පැවතියේ යැයි සලකනු ලැබේ. සාමාන්‍ය මිනිසුන්ගේ (Demos) බලය (Kratos) ප්‍රජාතන්ත්‍රවාදය ලෙසින් එවකට සැලකිණි. 

රජයේ පරිපාලන සහ නෛතික කටයුතු වෙනුවෙන් සාමාන්‍ය ජනතාව අතරින් මිනිසුන් තෝරා පත්කර ගැනීම මෙහිදී සිදුවිය. එහිදී ව්‍යවස්ථාදායක සභාවක් ක්‍රියාත්මක වූ අතර, ඊටද ඇතුළත් වූයේ සාමාන්‍ය මිනිසුන්ය. මෙය රාජාණ්ඩු ක්‍රමයක් නොවුණත් නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ සියල්ලක්ම මෙහි දැක ගැනීමට නොහැකි විය. 

කාන්තාවන්ට, වහලුන්ට, විදේශිකයන්ට, ඉඩම් අයිතියක් නැති පුද්ගලයන්ට, වයස අවුරුදු 20ට අඩු පුද්ගලයන්ට ඉපැරණි ග්‍රීසියේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතියක් නොතිබිණි. එහෙත්, අද වනවිට බටහිර ලෝකය තුළ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් පැවැති අදහස පුළුල් වී ඇති අතර, සියලුම පුරවැසියන් සමාන කොට සැලකීම, ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ආදියද ප්‍රජාතන්ත්‍රවාදයට ඇතුළත් කර තිබේ. 
කෙසේ වෙතත්, ප්‍රජාතන්ත්‍රවාදයේ දාර්ශනික හරය වන්නේ බහුතරයකගේ කැමැත්ත මත පාලනයයි. බහුතරයක කැමැත්ත සෑම විටම නිවැරදි වන්නේ නැත. කිසියම් සමාජයක ජීවත් වන මිනිසුන්ගෙන් සාතිශය බහුතරය නූගත් නම්, විචාරාත්මක බුද්ධිය හීන නම්, පහසුවෙන් රැවටීමට ලක්වන්නේ නම් ඔවුන් පත් කර ගන්නේ තම තම නැණ පමණ වන පාලකයන් පිරිසකි. ඒ අනුව බහුතරයේ තීරණය හොඳම තීරණය විය නොහැකි බව පැහැදිලි වේ. 

මෙය ලෝකයේ දියුණු, නොදියුණු ඕනෑම රටක සිදුවිය හැකි දෙයකි. මේ හේතුවෙන් බොහෝ දියුණු රටවල් ද්විමණ්ඩලීය ව්‍යවස්ථාදායක සභාවන් (Bicameral Legislature) නිර්මාණය කර ගෙන තිබේ. එවැනි ව්‍යවස්ථාදායක සභාවක ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ උගත්, අත්දැකීම් බහුල හුදු ඡන්දයෙන් පමණක් තේරී පත් නොවන කණ්ඩායමකට අවස්ථාවක් පවතින අතර, පහළ මන්ත්‍රී මණ්ඩලය ජනතා ඡන්දයෙන් තේරී පත්වේ. 
මෙම ඉහළ මන්ත්‍රී මණ්ඩලය සෙනෙට් සභාව ලෙසින්ද හඳුන්වනු ලැබේ. ඇතැම් රටවලදී සෙනෙට් මණ්ඩලයෙන් කොටසක් ඡන්දයෙන් තේරී පත්කර ගැනෙන අතර, තවත් කොටසක් ගෞරවනීය පුරවැසියන් වෙත වෙන් කෙරේ.

රටක අනාගතය කෙරෙහි බලපෑම් එල්ල කරන නීති අණපනත් සම්මත කර ගැනීමේදී මෙන්ම ඉතා වැදගත් තනතුරු සඳහා පුද්ගලයන් පත්කර ගැනීමේදී බොහෝ රටවල් සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම අනිවාර්යය කර ගනී. නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් සෙනෙට් සභාවක උපාය මාර්ගය තෝරා ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සියයට සියයක් විශ්වාස නොමැති නිසාය. කළු සල්ලිවලින්, දූෂණයෙන්, මැරකමින් පාර්ලිමේන්තු පද්ධතියක බලය නුසුදුස්සන් පිරිසක් අතට පත් වීම ඕනෑම රටක සිදු විය හැකිය. එබැවින්, හුදු මහජන ඡන්දයෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය පිරික්සීමට යෑම තරම් තවදුරටත් භයානක වූ යමක් නොමැත. 

දර්ශන අශෝක කුමාර 

 



Recommended Articles