ග්‍රහවස්තු ගෙනෙන අපල උපද්‍රව අතුරින් සෙනසුරු අපල භයානක තත්ත්වයන් ගෙන දෙන බව ඔබ දන්නවා ඇත. සෙනසුරු අපලයක් උදාවීමට පෙර ඒ පිළිබඳව දැනගැනීමට හැකි නම් එය ඔබට ඉන් මිදී ජීවිතය සාර්ථක කරගැනීමට හැකියාව ලැබේ. සෙනසුරු අපල තිබෙනවාදැයි ගෙදරදීම දැනගැනීමට හැකි සරල ක්‍රමවේදයන් සහ ඉන් මිදීමට සිදුකළ හැකි පහසු ක්‍රියා පිළිබඳව කළුතර පයාගල ශ්‍රී රාවණ ජ්යෝතිර්වේද සහ වාස්තු සේවාවේ ජ්‍යෝතිර්වේදී කුමාර වෙත්තමුණි මහතා පැවසූ අදහස්ය.
විශ්වය නිර්මාණය වී ඇත්තේ පංච මහා භූතයන්ට අනුවය. (ආපෝ හෙවත් ද්‍රව ගතියද, තේජෝ හෙවත් ඌෂ්ණ ගතියද, වායෝ හෙවත් වායු ගතියද, පඨවි හෙවත් ඝන බව සහ ආකාශ හෙවත් හිස් බව පදනම් කරගෙන) වායෝ හෙවත් වායු බවට අධිපති සෙනසුරු හෙවත් ශනි අලස වූ ගති ඇති, කපිල (රත්රන්) පාට ඇස් ඇති, කෘෂ වූ උස් ශරීර ඇති, මහත් වූ දත් ඇති, විරූප කර්කෂ ලොම් හා හිස කෙස් ඇති, වෘතාධික ශරීර ඇත්තෙකි. එසේ හෙයින් සෙනසුරු ග්‍රහ අපල පිළිබඳව බොහෝදෙනා දක්වන්නේ දැඩි බියක් හා අකමැත්තකි. පෙර ආත්මභවයන්හී කරන ලද කුසල් අකුසල් පිළිබඳවද පුද්ගලයෙකුගේ උත්පත්ති කේන්දරයේ ඔහු හෝ ඇය මවු කුසින් මෙලොවට බිහි වන මොහොතේම සෙනසුරු ශුභ අශුභභාවය සහ බල දුබල තත්ත්වයන් පිළිබඳවද සෙනසුරුට හිමි වන්නේ විශේෂ ස්ථානයකි.
එමෙන්ම ග්‍රහ අපල පිළිබඳව සාකච්ඡා කිරීමේදී සෙනසුරු හෙවත් ශනිට හිමිවන ප්‍රමුඛස්ථානය සහ ඒ පිළිබඳව දක්වන උනන්දුව අනෙකුත් ග්‍රහයන්ට සාපේක්ෂව වැඩි වේ. ග්‍රහ මණ්ඩලයේ මහල්ලා මෙහෙකරු, දුකට අධිපති, කර්මයට ඵල දෙන්නා ආදී විවිධ නම්වලින් ප්‍රචලිතය. යම් අයෙකුගේ උත්පත්ති හඳහනේ සෙනසුරු ශුභව පිහිටා තිබීම හෝ බලවත්ම රාශි වශයෙන් හෝ ස්ථාන වශයෙන් සිටීමෙන් ඕනෑම දුක් පීඩා වේදනා දරාගෙන තම අරමුණ හා අපේක්ෂාවන් මත කැපවීමෙන් අති සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගැනීමට හැකිවනවා සේම සෙනසුරු අශුභව පිහිටීමෙන් ශරීරයේ නහර පද්ධතීන් සහ ස්නායු පද්ධතියට බලපෑම් ඇති වේ. එමෙන්ම ශරීරයට දුක් දෙන දීර්ඝකාලීන රෝගයන්, අනපේක්ෂිත බලවත් ධන හානි, ලෝබකම, කම්මැලිකම, අවිශ්වාසය, බලාපොරොත්තු සුන් වීම, හදිසි අනතුරු, වාත වේදනා, කැක්කුම්, වැටීම් තැලීම්, ඇට බිඳුම්, කොර ගැසීම්, දත් දිරා යාම්, එක්තැන් වීම්, බන්ධනාගාරගත වීම්, නඩුහබවල පැටලීම්, රක්ෂා කටයුතුවලට බාධා ගෙන දීම් වැනි අයහපත් ප්‍රතිඵල ළඟා කර දෙන බව පිළිගත් මතයකි. සමාජය තුළ මහත් වූ බියක් දනවන ග්රහයෙකු ලෙස සෙනසුරු හැඳින්වුවත් යම් පුද්ගලයෙකු කුසලයේ කටයුතු කරන්නේ නම් බිය විය යුතු නොවේ. මන්ද අකුසලයේ යෙදෙන අයට අයහපත් ප්‍රතිඵලද නිරන්තරයෙන්ම කුසල් වඩන පුද්ගලයන්ට කරදරයක් හිරිහැරයක් නෙවන්නට වග බලාගන්නා ධර්මයට හිතැති ග්රහයෙකු බැවින් යම් අයෙකුට උප්පත්ති කේන්දරයේ අසුබව පිහිටා තිබුණද ඔහු හෝ ඇයට අපල තත්ත්වයන්ගෙන් මිදී සිටීමට අවස්ථාව ඇත.
එමෙන්ම සෙනසුරුගේ සුබ හෝ අසුබ තත්ත්වයන් ඇතිවීමට අනෙකුත් ග්‍රහයන්ගේ පිහිටීම් අනිවාර්යෙන්ම බලපානවා සේම අපල පිළිබඳව සාකච්ඡා කිරීමේදී සෙනසුරු ඒරාෂ්ටක පිළිබඳවද වැඩි අවධානයක් යොමු කළ යුතුය. ලග්න ඒරාෂ්ටකය යනු සෙනසුරු දොළොස්වැන්නේත්, ලග්නයෙන් දෙවැන්නේත් ගතකරන්නා වූ වසර හත හමාරක කාලයයි. ජන්ම ඒරාෂ්ටකය යනු සෙනසුරු සහ චන්ද්‍රයා එකට සිටියදී උපත ලැබීමයි. එහි කාලය තීරණය වන්නේ ග්රහස්ඵුටයේ ගමන් කර ඇති අංශක ගණනත්, ඊට කලින් ගෙවූ වසර තිහත් ජන්මයාට බලපෑමක් නොවන අතර, ජන්ම ඒරාෂ්ටකය වශයෙන් බලපාන්නේ චන්ද්‍රයා සිටින රාශියේ හෙවත් උපත ලබන විට සෙනසුරා සිටින රාශියේ ඉදිරි අංශක ප්‍රමාණයත් සහ ඊළඟ රාශියේ 30˚ අනුව ගණනය කරන කාල සීමාවය. අෂ්ටම ඒරාෂ්ටකය යනු සෙනසුරු ලග්නයෙන් අටවැන්නට පැමිණීමයි. එම කාලය වසර දෙක හමාරකි.
සෙනසුරු මහ දශා, අතුරු දශා ඇතුළු සෙනසුරුට අයත් කාලයන් තුළ යමෙකුට විනාශයද, තවත් අයෙකුට යසඉසුරු ළඟා කර ගැනීමටද හැකි බව මතක තබාගත යුතුය. එසේම ආධ්‍යාත්මිකව සිත දියුණු කරන භාවනායෝගී පුද්ගලයන්ද, මහා පින් ඇති බුද්ධ පුත්‍රයන් වහන්සේලාද බිහිකිරීමට සෙනසුරුගේ දායකත්වයේ බල දුබල තත්ත්වයන් මත රඳා පවතී.
සෙනසුරුගෙ අපලයක් ඇති බවට ගෙදරදීම සොයා ගැනීමට හැකියාව ඇත. සෙනසුරු අපල තත්ත්වයක් ඇති විට පුද්ගලයෙකුගේ පාදවල විලුඹ, දණහිස, තුනටිය ආශ්රිත ප්‍රදේශවල සුළු වේදනා තත්ත්වයන් ඇති වේ. එක දිගටම එම වේදනාව නොමැති අතර විටෙක නහර ඇදුම් කෑම්, හිරිවැටීම් වැනි රෝග ලක්ෂණද උරහිසේ සිට පහළට අත්වල ඇඟිලි දක්වා විටින් විට වේදනාවක් හෝ හිරිවැටීමක් මෙන්ම සුළැඟිල්ල ආශ්‍රිතව ප්‍රදේශයේ දැවිල්ලක් හෝ පිච්චෙන ස්වභාවයක්ද ඇති වේ. එමෙන්ම ඔබගේ ගේදොර, ඉඩකඩම්, යානවාහනවල මෙන්ම ව්‍යාපාරික කටයුතුවල අසාමාන්‍ය ආකාරයේ බිඳවැටීම්ද, රැකියා ස්ථානවල ඇති වන ගැටලුකාරී තත්ත්වයන්ද, අනවශ්‍ය නඩුහබවල පැටලීම්ද, හදිසි අනතුරු යනාදී කරදරද සෙනසුරු අපල පිළිබඳව දැනගැනීමට ඔබට ඉඟි කරයි. ඔබ එය නිසියාකාරව දැන ගැනීම වඩාත් වැදගත් වේ. එවැනි අවස්ථාවල ඔබ පරිපූර්ණ ජ්‍යෝතිර්වේදියෙකුට ඔබේ ජන්ම පත්‍රය ලබා දී පරික්ෂා කරගැනීමෙන් නිවැරදිව අපල තත්ත්වයන් හඳුනාගත හැක.
එමෙන්ම සෙනසුරු අපල තත්ත්වයක් ඇති බවට ඔබට නිවැරදීම දැන ගැනීමට අතීතයේ සිට ගුරුකුලවලට පමණක් සීමා වී තිබූ විශේෂ රහස් ක්‍රමයක් පිළිබඳව අනාවරණය කිරීමට අපි සිතුවෙමු. නිවසක ආරක්ෂකයා මෙන්ම නිවසේ සුරතලා වන්නේ ආදරණීය බලු රාළය. බල්ලාට සෙනසුරු අපල හඳුනා ගැනීමට හැකියාව පවතින අතරම අපලවලින් ඔබව මුදවා ගැනීමටද බල්ලාට පුදුමාකාර හැකියාවක් ඇත. මන්ද මිනිසාට වඩා සොබාදහමේ ඇති වන ක්‍රියාවන්, වෙනස්වීම් පිළිබඳව බල්ලාට මෙන්ම අනෙකුත් සතා සිවුපාවුන්ටද ඇත්තේ උසස් සන්නිවේදන හැකියාවකි. මිනිසාගේ සිරස සිරස් අතටත් සතුන්ගේ සිරස තිරස් අතටත් පිහිටා තිබීම නිසා සතා සිවුපාවුන්ට විශ්වය තුළ පවතින අදෘෂ්‍යමාන බලවේගයන්වල ක්‍රියාකාරීත්වය ඉතා හොඳින් තේරුම් ගැනීමට හැකිය.
ඔබට සෙනසුරු අපලයක් ඇත්නම් ඔබගේ ආදරණීය සුරතල් බලු රාළ ඔබ ළඟට පැමිණි විගසම ඔබගේ වම් පාදයේ විලුඹ සිට දණහිසේ පහළ කොටස දක්වා ස්පර්ශ කරමින්ද සිප ගනී. බල්ලා එම ලබාදෙන ඉඟිය තේරුම් ගැනීමට ඔබට හැකියාව ඇති නම් සෙනසුරු අපල පිළිබඳව කල්තියා දැනගැනීමටත් හැකිය. විශේෂයෙන්ම ගෙදර ස්වාමියාට මෙන්ම බලු රාළට ආදරය කරුණාව දක්වන අයගේ පමණක් මෙලෙස බල්ලා ඉඟි කිරීම දැකිය හැක. මෙම ක්‍රමවේදය අත්හදා බලා යථාර්ථය තේරුම් ගැනීමට ඔබට හැකිය. එමෙන්ම වෙනත් අසුබ, අදෘෂ්‍යමාන බලවේගවලින් ඔබට හිරිහැරයක්, කරදරයක් සිදුනොවන්නට ඔබගේ සුරතලා ඔහුගේ ජීවිතය පූජා කර හෝ ඔබව ආරක්ෂා කිරීමට කටයුතු කරන බව ඔබ ඇතැම්විට දන්නවා ඇත.
සෙනසුරු අපලවලදී සතා සිවුපාවුන් ගහකොළ යනාදී සොබාදහමට එරෙහිව ක්‍රියාකරන පුද්ගලයන්ට සෙනසුරු දැඩි සේ දඬුවම් පමුණුවන බවත්, එවැනි පුද්ගලයන්ව නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි ලෙඩරෝග, හදිසි අනතුරු, මාරාන්තික බලපෑම් ගෙන ඒමට සෙනසුරු පසුබට නොවී කටයුතු කරයි. එමෙන්ම එවැනි පුද්ගලයන් හට කරදර පමුණුවන්නේ උස් පහත් කුල භේදයකින් තොරවය. ඒ නිසාම කර්මයට ඵල දෙන්නා යන නාමයෙන් සෙනසුරු හඳුන්වන්නට පැරැන්නෝ අමතක නොකළහ.
එමෙන්ම වතුර, ගහකොළ, ඇළදොළ, ගංඟා, පාෂාණ මෙන්ම ස්වාභාවික වස්තූන් උපයෝගී කර ගනිමන් සෙනසුරු අපල මෙන්ම ග්‍රහ අපලවලින් මිදෙන්නට සෘෂිවරු, මුණිවරු සඳහන් කළ ක්‍රමවේද ඇතත්, කාලයාගේ ඇවෑමෙන් බොහෝ ස්වාභාවික පිළිවෙත් අද වනවිට සැඟව ගොස් ඇත. සෙනසුරු අපලයට ශනි මෘතුංජය, නීල මණ්ඩලය, අගෝරය වැනි යන්ත්‍ර පිළිබඳව බොහෝ පිරිස් අවධානයට යොමු කළත්, කාර්යබහුල දිවි පෙවෙතක් ගතකරන වර්තාමනය වන විට නැකැත් ක්‍රමවේද ඇතුළු යන්ත්‍ර බලගන්වන්නට අවශ්‍ය ක්‍රියාකාරකම් නිවැරදිව කිරීමට ගතවන කාලය පිළිබඳව ගැටලුවක් පවතී. සෙනසුරු අපලවනලින් මිදෙන්නට ඔබගේ නිවසේ සිටින බලුරාළට ආදරය කරුණාව දක්වමින් සහ පෝෂණය කිරීමද, සෙනසුරාදා දින 03ක් හිරු නැගෙන්නට පෙර ගිතෙල් මිශ්‍රකර කිරිබතක් සකසා කපුටන්ට දානයක් දීම, මහාමාර්ගවල අතරමං වී සිටින සුනඛයන් සඳහා සෙනසුරාදා දින තුනක් දානයක් ලබාදීම, සෙනසුරා දින 09ක් හෝ 19ක් බුද්ධ වන්දනාවක්, බෝධි වන්දනාවක නිරත වීම, මහලු හෝ තරමක කුදු හෝ හැරමිටියක් භාවිත කරන යාචකයෙකු සඳහා ආහාරපාන ලබා දී කළු මිශ්‍ර වස්ත්රාභරණයක් පිළිගැන්වීමද, කාක නිල් පාෂාණය සහිත මුදුවක් පැලඳීම, පුරපසළොස්වක පොහෝ දිනට දින නවයකට පෙර සිට හිමිදිරියේ බ්‍රහ්ම මූර්තියෙන් බුද්ධ වන්දනාව, බෝධි වන්දනාව, නවග්‍රහ ශාන්තිය ඇතුළු සෙත් පිරිත් සඡ්ඣායනය තුළින් අනතුරුව සෙනසුරු අපලයන්ගෙන් මිදීමට හැකිය. එහිදී
ඉහත ක්‍රියාවන් සිදුකර අවසානයේ පහත ශ්ලෝකය සජ්ඣායනය කර සෙනසුරු දෙවියන්ගෙන් අපල දුරු කරන ලෙස ඉල්ලා සිටින්න.
සූර්ය පුත්රෙඃදිර්ඝ දෙහො - විශාලාකෂ්යං ශිවප්රියඃ
දිර්ඝවාරඃ ප්රයන්තත්වා - පීඩං හරතු මේ ශනිඃ
වැඩි විස්තර සඳහා - 0767206478