දළදා පෙරහර පවත්වන සෑම වසරකම ආරම්භක දිනයේදී පමණක් නොව පෙරහර අවසානය දක්වාම වැසි බලාපොරොත්තු විය යුතු, හැකි බව ජනතාවගේ අදහසයි. වැසි පවතින්නේ දන්ත ධාතූන් වහන්සේගේ බල මහිමය නිසා බවද ඔවුහු විශ්වාස කරති.
දළදා වතුර
ඒ ආකාරයේ වර්ෂාවක් ඉංග්‍රීසින්ගේ පාලන කාලයේදීද පැවතුණි. ක්‍රි.ව 1818 වසරේ පැවති මාතලේ කැරැල්ල නිසා සිංහල ජනතාව කෙරෙහි තදින් සිටීමට කල්පනා කළ ඉංග්‍රීසි පාලකයෝ දළදා පෙරහර පැවැත්වීම නවතා දැමූහ. මේ නිසා වසර ගණනාවක්ම දැඩි නියඟයක් හටගත් බව ඉතිහාසයේ දැක්වේ. මෙම නියඟය අවසන් කිරීමට දළදා පෙරහරක් පැවැත්විය යුතු බව භික්ෂූන් වහන්සේලා, උඩරට සිංහල ප්‍රධානීන් එකතුව ඉංග්‍රීසි පාලකයන්ට දන්වා සිටියහ. එහෙත් ඉංග්‍රීසීහු එම ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානය යොමු නොකළහ. මේ ගැන තවදුරටත් කරුණු ඉදිරිපත් කළ භික්ෂූන් වහන්සේ ඇතුළු සිංහල ප්‍රධානීහු සිදුවිය හැකි විපත් සම්බන්ධයෙන් කරුණු ගෙනහැර දැක්වූහ. ඉංග්‍රීසීන් දන්ත ධාතුන් වහන්සේ ගැන විශ්වාස නොකළද, භික්ෂූන් වහන්සේලාගේ සහ උඩරට ප්‍රධානීන්ගේ අදහස ඉවත් කිරීමට නොහැකිවිය. අවසානයේ ඔවුන්ගේ ඉල්ලීමට ඉඩ ලබාදුන්නේ දළදා පෙරහර පැවැත්වීමෙන් පසුවත් වර්ෂාව නොලැබුණොත් උඩරට නායකයන්ට දැඩි දඬුවම් විඳීමට සිදුවන බවට කොන්දේසියක්ද පනවමිනි.
සිංහල නායකයන් සිය ගණනක් ඕනෑම කොන්දේසියකට එකඟවීමට සූදානම් බව දැනුම් දීමෙන් පසු දළදා පෙරහර පැවැත්වීමට ඔවුහු අවසර ලබාදුන්හ. දළදා පෙරහර ආරම්භ වුණි. ඒ සමගම මහා වැස්සක් ඇදහැළුණි. කිරි මුහුද උතුරා ගියේය. රැජින හෝටලය ඇතුළු ගොඩනැගිලි බොහොමයක්ම ජලයෙන් යටවිය. පේරාදෙණිය මහ පාලම, කටුගස්තොට ලී පාලම සහ තැන්නේකුඹුර පාලමත් කඩා බිඳ දමමින් මහා ගංවතුර ගලා ගියේය. පෙරහරට මහනුවරට ගිය ආණ්ඩුකාර එඩ්වන්ස් බාන්ස්ට කොළඹට යාමට නොහැකිව දින කිහිපයක් මහනුවර ගත කිරීමට සිදුවූ බව පැවසේ. මෙම මහා ගංවතුර දළදා වතුර ලෙස හැඳින්වේ. ගංවතුර ගලා ගිය පසු රැජින හෝටලයේ මේස මත ඉදිබුවන් පවා දක්නට ලැබුණ බව සඳහන් වේ.
මහනුවර ඇසළ පෙරහරේ පනස් නවයේ අලි කුලප්පුව
මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන් කුලප්පුවූ වාර කිහිපයක්ම අසන්නට ලැබුණද 1959 සිදුවූ අලි කුලප්පුව නිසා කිහිප දෙනෙක් මිය ගිය අතර, තවත් කිහිප දෙනෙකුට තුවාල සිදුවිය. එහෙත් එවන් සිදුවීමක් ඉන් පසුව සිදුනොවීය. ඒ කතාව මෙසේය. පාතදුම්බර පල්ලේගම්පහ රම්බණ්ඩා උඩුරාවණ කෝරලේ මහත්තයාට අයිති රාජා ඇතා වෙනදා මෙන්ම එදාද එනම් 1959 අගෝස්තු මස 19දා අවසන් රන්දෝලි පෙරහරට සහභාගි කර වූයේය. ඒ වනවිට රාජාට වසර 25ක පමණ කාලයක් පෙරහරෙහි ගමන් කළ පළපුරුද්දක් තිබුණි. රාජා බලාගත්තේ 53 හැවිරිදි ගුන්නෑපානේ හීන්බණ්ඩා නමැති ඇත්ගොව්වාය. ඒ වනවිට ඔහුට වසර 35ක පමණ කාලයක් අලි ඇතුන් බලා පළපුරුද්දක් තිබී ඇත. රාජා අලියා සාමාන්‍යයෙන් දඩබ්බර වුවත් හීලෑ සතෙකි. එදා පෙරහරේ රාජා අලියාගේ දෙපැත්තෙන් තවත් අලින් දෙදෙනෙක් ගමන් කළහ.
රාජා අලියාට පෙරහරට සහභාගි කරවීමට දින 25කට ප්‍රථම මඳ කිපී තිබුණු අතර, මඳ කිපුණු අලියෙක් නැවතත් කාලයකින් මඳ කිපෙන්නේ නොමැති නිසා පෙරහරට සහභාගී කරවන බව හීන්බණ්ඩා පවසා තිබේ. ඒ අනුව අවසන් රන්දෝලි පෙරහරට ඌ සහභාගි කරවූ අතර, පිට උඩ මිනිස්සු දෙදෙනෙක් ගියහ. හීන්බණ්ඩා දම්වැල අල්ලා ගෙන අලියාගේ දකුණු පසින් ගමන් කළේය. රාජාගේ දෙපැත්තෙන් තවත් අලි දෙදෙනෙක්ද ගමන් කළහ. රාජා අලියා ගමන් ගත් දළදා පෙරහර වෝඩ් වීදියේ හන්දියට පැමිණි පසු පෙරහර රාජකාරි සඳහා පැමිණි පුද්ගලයෙකුට පහර දීමට රාජා උත්සාහ කළ විට හීන්බණ්ඩා එය වැළැක්වූවේය. ඒ සමගම එම සිද්ධිය දුටු මිනිසුන් කෑ ගසන්නට පටන් ගත්හ. රාජා කලබලයට පත්විය.
එදා පෙරහරේ පෙරමුණේ ගමන් කළේ කොණ්ඩදෙණියේ අලියාය. ඌ ඇත්ගොව්වා සමග තනිවම ගමන් කරයි. ඊට පසු තව අලි ගමන් කළහ. ඒ අතරේ පෙරහරේ මැද හරියට වන්නට දෑලේ ගියේ රාජාය. ඒ ආකාරයෙන් ගමන් කරද්දී රාජා කලබලයට පත්විය. ඒ සමගම හීන්බණ්ඩා අලියා මෙල්ල කිරීමට උත්සාහ කළේය. ඒ මොහොතේ දකුණු අතින් හෙණ්ඩුවද, වම් අතින් බෙල්ලේ ඔතා ඇති දම්වැලද අල්ලා ගෙන සිටියේය. ගතවූයේ නිමේෂයකි. අලියා ඉදිරියට යාමට උත්සාහ කිරීමේදී ඌගේ ඇගේ හැපුණු හීන්බණ්ඩා බිම ඇදවැටුණි. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් රාජා ඉදිරියට ඇදී ගියේය. කොණ්ඩදෙණිය අලියා ළඟට යන කොට රාජා අලියා දකින කොණ්ඩදෙණිය අලියාගේ, ඇත්ගොව්වා, කෙණ්ඩදෙණිය අලියා හරස් කර, රාජා නවතා ගැනීමට උත්සාහ කළේය. මෙහිදී කොණ්ඩදෙණිය අලියා හොඬවැලෙන් රාජා අලියාට පහර එල්ල කරමින් සිටියේය. ඒ ආකාරයෙන් ඔහුව මෙල්ල කරන අතරතුර ඇත්ගොව්වෝ පැමිණ ආසන්නයේ තිබූ ලාම්පු කණුවේ දම්වැල්වලින් බැන්දාහ. ඒ වනවිට පෙරහර තාවකාලිකව නැවතුණි.
ලාම්පු කණුවේ යම්තම් බැඳගත් රාජා අලියා තවදුරටත් මෙල්ල කරගැනීමේ අදහසින් ඇත්ගොව්වෝ හෙණ්ඩුවෙන් ඇනීමට හා මාංචු දැමීමට උත්සාහ කළහ. හෙණ්ඩුවෙන් ඇනීම නිසා සිදුවූ තුවාල හේතුවෙන් උගේ දැඟලීම වර්ධනය විය. මේ නිසා දම්වැල්වලින් ගැලවී ඌ නිදහස් විය. ඒ සමගම යටිනුවර වීදියේ පහළට යාමට පටන් ගත්තේය. ඒ ආකාරයෙන් වීදිය දිගේ ගමන් කිරීම නිසා මිනිස්සු කලබලයට පත්වූහ. නැට්ටුවන්, බෙර වයන්නන් බෙර දමා දුවන්නට වූහ. දම්වැල්වලින් නිදහස් වෙනවාත් සමගම කොන්ඩදෙණිය අලියාද සමග ඇත්ගොව්වන් ඌ පිටුපසින් රැගෙන ගියහ. පිටුපසින් පැමිණෙන කොණ්ඩදෙණිය අලියාගෙන් බේරෙන්න යටිනුවර වීදියේ ගුණසේන පොත් සාප්පුව අසළින් වැටී තිබෙන පටු මාවතට (අලි මුඩුක්කුව මාවත) පිවිසියේය. එම මාවතේද මිනිසුන් පිරී සිටි අතර, ඔවුහු හිස් ලූලූ අත දිව ගියහ. මේ අතරේ අලියා පිට සිටි මිනිසුන් දෙදෙන අසල තිබූ වෙළෙඳ සැල්වල වහල මතට පැන ගත්හ. එතෙක් වේලා අලියා පිටේ සිටීම ලෙහෙසි නැත. රාජා කලබලයට පත්වුවද, කිසි කෙනෙකුට පහර දුන්නේ හෝ හිරිහැරයක් සිදු නොකළේය. ඒ වනවිට කලබලයට පත්වූ මිනිසුන් එහෙ මෙහෙ දිවීම නිසා ඔවුනොවුන් ගැටී තුවාල සිදුවිය. කිහිප දෙනෙක් මරණයටද පත්වූහ.
රාජා ඇතුළු මාවතෙහි අනෙක් පසින් ඇතුල් වෙද්දී ඔරලෝසු කණුව දෙසින් පැමිණි පොලිස් සැරයන් බණ්ඩා, එම මාවතේ මැද හරියේදි රාජාට වෙඩි තිබ්බේය. අලියා බිම ඇදවැටුණි. ඉන්පසු එම මාවත අලිමුඩුක්කුව නමින් ප්‍රසිද්ධියට පත්විය.
ඇත්ගොව්වාගේ මරණය
එදා අලි ඇතුන් ඇතුළු ඇත්පන්තියක් රත්වත්තේ දිසාව සතුවිය. මෙම ඇත්පන්තියේ වයස අවුරුදු දෙකක පමණ වයසේ පසුවූ ඇත් පැටවෙක් වාසය කළේය. සුරතලයට හැදී වැඩුණු මෙම පුංචි ඇත් පැටවා වලව්වේ වාසය කළ සැමගේ ආදරයට පාත්‍රවිය. ඇත්පන්තියට තරමක් දුරින් වලව්ව පිහිටා තිබුණු අතර, ඇත්පැටවා කුඩා කාලයේ සිටම වලව්වේ මුළුතැන් ගෙය අසලට පැමිණ කුමක් හෝ ආහාරයට ලබාගැනීමට පුරුදුව සිටියේය. මෙම පුරුද්ද ඇතිකළේ රත්වත්තේ මැතිනියයි. ඇය උදේ ආහාරය සඳහා බොහෝ අවස්ථාවල සේවිකාවන් ලවා පිළියෙල කළේ කිරිබත්ය. ඉන් කිරිබත් කැට කිහිපයක් ඇත් පැටවාට ලබාදුන්නේ ආදරයෙනි.
එහෙත් මෙම සිදුවීම දෙස ඇත්ගොව්වා බලා සිටියේ අකමැත්තෙනි. ඇත්ගොව්වා තරමක කුකුල් කේන්තිකාරයෙකි. ඉක්මනින් තරහා එයි. ඇත්ගොව්වා කොතරම් එපා කීවද කිරිබත් කෑමේ පුරුද්ද ඇත්පැටවාගෙන් දුරස් නොවීය. ඇත්ගොව්වාද, උත්සාහය අත්හැරීමට කැමති නැත. මේ නිසා ඇත්පැටවාට දඬුවම් කළ වාර අනන්තය.
තවත් දවසකට හිරු උදාවුණි. උදය කාලයේ ඇත්පැටවා වලව්ව දෙසට යාමට පියවර කිහිපයක් ඉදිරියට තැබුවා පමණි. ඇත්ගොව්වා පැමිණ හෙණ්ඩුවෙන් ඌගේ පසුපස ප්‍රදේශයට හොඳටම තැලීය. ඌට හොඳටම කේන්ති ආවේය. ඒ අසලම, වලව්වේ වී අටුව පිහිටා තිබුණි. ක්ෂණයකින් ඇත් පැටවා ඇත්ගොව්වා හොඬවැලෙන් ඉහළට ඔසවා ගෙන අසල තිබූ ගොඩනැගිල්ලේ බිත්තියට හේත්තු කර තද කළේය. ඒ වනවිට වලව්වේ මැණිකේ ඇතුළු සේවකයන් ඒ දෙස බලා සිටියේ පුදුමයෙනි. රත්වත්තේ දිසාවේ නිලමේතුමාද ඒ දෙසට පැමිණයේ කිසිවෙක් මහ හයියෙන් කෑ ගසන හඬ ඇසීමෙනි. කිසිවෙකුටත් කුමක් කරන්නදැයි නොතේරේ. ඒ සමගම මැණිකේ සිහි නැති වීමට ආසන්නය. වහාම ඉදිරියට පැමිණි නිලමේ ඇය කැටුව වලව්ව දෙසට පියවර තැබීය. ගත වූයේ විනාඩි කිහිපයකි. ඇත්ගොව්වාගේ නිසල දේහය බිමට ඇදවැටුණි. ඇත් පැටවා ඒ දෙස මඳ වේලාවක් බලා සිට ඇත්පන්තිය දෙසට ගමන් කළේ කනගාටුවෙනි.
අලියෙක් නිසා ජීවිතයෙන් සමුගත් අපූර්ව මිනිසෙක්.....
මෙම කතාවත් අසන්නට ලැබෙන්නේ රත්වත්තේ වලව්වේ ඇත්පන්තියෙනි. ඒ හැරිස් රත්වත්තේ මහතාගේ කාලයේදීය. එහි අලි ඇතුන් කිහිප දෙනෙක්ම සිටි නිසා ඇත්ගොව්වන්ද කිහිප දෙනෙකුගේම සහාය ලබාගැනීමට රත්වත්තේ මහතාට සිදුවිය. එම ඇත්ගොව්වන් කිහිප දෙනා අතර, &රා” බීමට ඇබ්බැහිවූ අයෙක්ද සිටියේය. අපි ඔහුට සිමියොන් යැයි කියමු. සිමියොන් අලි ඇතුන් පාලනයෙහි දක්ෂයෙකි. තනිකඩයෙකි. එම නිසා රත්වත්තේ මහතාද ඔහුගේ, එම පුරුද්දෙන් මුදාගැනීමට කොතරම් උත්සාහ කළද ප්‍රතිඵල රහිත විය. එවකට අද මෙන් මත්පැන් බහුලව පැවති යුගයක් නොවේ. කිතුල්, පොල්වලින් පෙරූ රා ගුණදායක බව එවකට සිටි බොහෝ දෙනෙකුගේ අදහසය විය. එහෙත් රා වැඩිපුර ගැනීමෙන් මත්ව වෙරි වන අතර අවසානයේදී සිහිනැති තත්ත්වයටද පත්වේ.
අද මහයියාව හෙවත් මහයාය වාහනවලින් පිරී පැවතියද, එදා ගස් කොළන්වලින් වසා ගත් භූමියේ කුඹුරු යාය නෙතට මනරම් දසුනක් එක් කළේය. එවකට ඉංග්‍රීසීන් දුම්රිය පාර ඉදිකිරීම නිසා එම ප්‍රදේශෙය් කාර්ය බහුලත්වය තවත් වැඩිවිය. උඩරට ප්‍රදේශයේ තේ, රබර්, කෝපි, කොකෝ වැනි භෝග වගාවන් සරුවට පැවති කාලයකි. දමිළ මිනිසුන් බොහෝ දෙනෙක්ද එහි වැඩ කළෝය. සෙංකඩගල පුරවරයට යාමට මාර්ගය වැටී තිබුණේද, මහයාය ප්‍රදේශයෙන් වන බැවින් ජනතාව නිතර ගැවසුණ ප්‍රදේශයකි. වර්තමානයේ මහයියාව බිංගෙය ඉදිරියෙන් වූ පිට්ටනිය අසලින් අරුප්පල දක්වා මාර්ගය වැටී ඇත. එදාද එම මාර්ගය මේ අයුරින්ම පිහිටා තිබූ අතර, එය අශ්ව කරත්තයකට යාමට තරම්වූ කුඩා මාවතකි. මහනුවර සිට කටුගස්තොටට ගමන් කරන මාර්ගයේ මහයියාව විද්‍යාර්ථ ප්‍රාථමික විදුහල අසලින් අරුප්පල දක්වා වැටී ඇති මාර්ගයේ යාර කිහිපයක් ඉදිරියට ගිය පසු තරමක් ලොකු වංගුවක් හමුවේ. එම වංගුවට උඩින් එදා &රා” තැබෑරුමක් පිහිටා තිබුණි. මහයියාව ප්‍රදේශයේ ගැමි මිනිසුන් පමණක් නොව දුම්රිය මාර්ගයේ වැඩ කරන සේවකයන්ද, දමිළ මිනිසුන්ද, සවස් යාමයේ එතැනට පැමිණෙන්නේ ඇඟට දැනෙන වෙහෙස මහන්සිය දුරු කරගැනීමටය.
මෙම රා තැබෑරුමට පැමිණෙන මිනිසුන් අතර සිමියොන් ජනප්‍රිය චරිතයකි. ඔහු රා පානයට ගිජු පුද්ගලයෙකි. එපමණක්ද නොව විහිළු කතාවට රුසියෙකි. සවස් යාමේ නිතර එහිදී දැකගත හැකිය. සමහර දිනවල අලියා සමගද, තවත් සමහර දිනවල තනිවමද පැමිණෙන ඔහු අඳුර වැටෙන තෙක්ම රා බොයි. තනිකඩ ජීවිතයක් ගත කළ මැදි වයස ඉක්මවූ පුද්ගලයෙකි. මේ නිසා ඔහුට බාධා කිරීමට කිසිවෙක් නොමැත. අලියා සමග පැමිණෙන්නේ නම්, ඒ උගෙන් කිසියම් වැඩක් ගැනීම සඳහා රැගෙන ගොස් ආපසු එන ගමනේදීය. ඒ ආකාරයෙන් අලියා සමග පැමිණෙන සෑම දවසකම පාහේ රා තැබෑරුමට තරමක් දුරින් ඔහුට පෙනෙන මානයේ ඇති මාර්ගය අසල හෙණ්ඩුව බිම සිටුවා අලියා බැඳ ඇති දම්වැල එහි පටලවයි. ඉන්පසු පැය ගණනක් රා බොන සිමියොන් වැනි වැනී අලියා සමග පිටත්ව යයි. ඔහු අලියා සමග නොව අලියා ඔහු රැගෙන යනවා කියුවොත් නිවැරදිය. ටික දුරක් ගොස් සිමියොන් බිම ඇදවැටෙයි. එහෙත් අලියා තම ස්වාමියා තනි කර දමා නොයයි. ඔහු හොඬවැලෙන් පරිස්සමෙන් ඔසවා ගෙන මහයාය කුඹුරු මැදින් දිව යන මාවත දිගේ ගොස් ඇත්පන්තිය අසල ඇති රබර් ගසක් යට තබා, අලිගාල වෙත යයි. මේ ආකාරයෙන් සිමියොන් හොඬවැලෙන් වලව්වට ගිය වාර අනන්තය. මෙය එම ප්‍රදේශයේ ජනතාවට සුපුරුදු දසුනකි.
කාලයක් ගතවිය. වයසට ගොස් අලියා මිය ගියේ, සිමියොන් පමණක් නොව එම ප්‍රදේශයේ බොහෝ දෙනෙකුගේ නෙතට කඳුළක් එක්කරමිනි. අලියා මියගිය දින සිට සිමියොන් උදේ සිට රාත්‍රියම ගත කළේ රා තැබෑරුමේය. රත්වත්තේ දිසාව පමණක් නොව මැණිකේද ඔහුගේ සිත හැදීමට කොතරම් උත්සාහ කළද ඵලක් නොවීය. ගෙවී ගියේ දවස් කිහිපයකි. සිමියොන් වලව්වට නුදුරු රබර් ගසක එල්ලී සිටිනු දැක ගත හැකි විය. %අලියා මියගිය ශෝකයෙන් ඇත්ගොව්වාද සියදිවි හානිකරගෙන^ පුවත සෙංකඩගල පුරවරය පුරා පැතිර ගියේ අලි-මිනිස් සෙනෙහස ගැන අපූර්ව පාඩමක් ලෝකයට කියාපාමිනි.
සිසිර කුමාර බණ්ඩාර