මේෂයට යාම අරඹා පූර්ණව මේෂයට පිවිසෙන මෙම කාලය නොනගතයයි. ඒ අනුව ඉහතින් සඳහන් කළ පැමිණි නැති නො+අග යනු මෙයයි. සූර්යයා පැමිණි පසු නොනගතය අවසන් වේ. මෙය සාමාන්‍යයෙන් සුබ ඵල අඩු කාලයකි. ඉන් පූර්ව පුණ්‍යකාලය ආගමික කටයුතු සඳහාම පමණක් යොදාගැනීම සුබ යැයි කියැවේ. අපර පුණ්‍ය කාලය ආරම්භය අලුත් අවුරුදු උදාවයි. එනම් සූර්යය මධ්‍ය ලක්ෂය මේෂයට පතිත කළ විටයි. මෙම අපර පුණ්‍ය කාලයේ යෙදෙන නැකැත් තුළින් ඉතිරි චාරිත්‍ර සිදුවේ.
ඒ අනුව 2021 වර්ෂයේ පුණ්‍යකාලය ආරම්භය සිදු වන්නේ අප්‍රේල් මස 13 වැනි අඟහරුවාදා අපරභාග 08.09ටයි. 14 බදාදා පූර්ව භාග 08.57 දක්වා පැය 12කුත් විනාඩි 48ක් පුණ්‍යකාලය පවතියි. එහි පූර්ව පුණ්‍යකාලය වන්නේ 14 වැනි බදාදා පූර්ව භාග 02.33 දක්වාය. ඉන්පසු යෙදෙන පූර්ව පුණ්‍ය කාලය හිමි පැය 06කුත් විනාඩි 24 තුළ පහත පරිදි නැකැත් චාරිත්‍ර යෙදේ. ඒ අනුව නව අවුරුදු උදාව වන්නේ අප්‍රේල් මස 14 බදාදා පූර්ව භාග 02.33ටය.
නව අවුරුදු උදාව ලැබූ පසු ආහාර පිසීමට ලිප් බැඳ ගිනි මොළවයි. සෞභාග්‍යයේ සංකේතය ලෙස කිරි උතුරවයි. අප්‍රේල් මස 14වැනි බදාදා පූර්ව භාග 06.17ට ලා කොළ පැහැති වස්ත්‍රයෙන් සැරසී නැගෙනහිර බලා ලිප් බැඳ ගිනි මොළවයි. දිශාව ජ්‍යෝතිෂය සිද්ධාන්ත මත තීරණය වන අතර දවසට හිමි වර්ණය ඇඳුමේ වර්ණය වේ.
මීළඟ චාරිත්‍රය වන්නේ වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම, ආහාර අනුභවයයි. එය එදින පූර්ව භාග 07.41ට නැගෙනහිර දිශාව බලා සිදුකිරීමට නියමිතය. එදින සියලු වැඩ සඳහා වස්ත්‍රය ලා කොළ පැහැයෙන් වීම සුබ වන්නේය.
මේ වැඩ ඇල්ලීමේ චාරිත්‍රය තුළද සුවිශේෂී ගුණාංග තිබේ. ජලය අපේ ජීවයයි. ජලයෙන් තොරව ජීවිතයක් සිතන්නටවත් බැරිය. ඒ නිසා අපට ජලය ලබාදෙන ළිඳ සමග ගනුදෙනු කිරීම පළමු කාර්යයකි. වර්තමානයේ ළිං නැති නිසා ජල කරාම භාවිත කරයි. ළිඳට කාසි, මල්, අඟුරු දමා උපහාර කරයි. අඟුරු මගින් විෂ උරාගනී. කාසි තුළින් වටිනාකමක් ලබාදෙයි. මල්වලින් උපහාර පුදයි. නැකතට අනුව ගනුදෙනු කිරීම පුරාතනයේ සිට පැවැත එන සිරිතකි. වැඩිහිටියන්ට බුලත් හුරුල්ලක්දී වැඳ පෙර
වසරේ වැරදිවලට සමාව ගෙන
නව වසරට ආශිර්වාද ලබයි.
නිරෝගී සම්පත් ලැබෙන හිස
තෙල් ගෑම
නව වසරේ හිස තෙල් ගෑමේ මංගල්‍ය යෙදී ඇත්තේ අප්‍රේල් මස 17 සෙනසුරාදාය. හිසට නුග පත්ද, පයට කරඳ පත්ද තබා නිල් පැහැති වස්ත්‍රයෙන් සැරසී දකුණු දිශාව බලා හිස තෙල් ගෑම සුබය. හිස තෙල් ගෑම යනු ඉතා උතුම් කටයුත්තකි. පරණ අවුරුද්දට ස්නානය කිරීම අප්‍රේල් මස 12වැනි සඳුදා දිනයේ යෙදී ඇත. දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කිරීමට යෙදී ඇත. නව අවුරුද්දට නුගපත් යුෂ නානු මිශ්‍ර තෙල් ගා ස්නානය කිරීම සුබ වේ. දීර්ඝායුෂ ලැබීමට හිසට නානු ගල්වා තෙල් ගෑම ආයුර්වේදයේ දැක්වේ. එය නිරෝගීව දිගු ආයුෂ විඳීමට හේතු වේ. ඒ අනුව හිස තෙල් ගෑම සඳහා ගනු ලබන නානු සැදීමට භාවිත කරන්නේ මොනවාදැයි බලමු.
හිසේ ගෑමට ගන්නා මේ බෙහෙත් වර්ග අඩංගු නානු සාදා ගන්නා ආකාරය ගැන බොහෝ දෙනා දන්නේ නැත.
කලාඳුරු අල, කුංකුමප්පු, සුදු හඳුන්, විෂ්ණුකාන්ත්රි, ගෝරෝචන, සස්සඳ මුල්, ඉරිවේරිය, නස්නාරං මුල්, සැවැන්දරා මුල්, නෙලුම් දඬු, ගොඩ මානෙල් අල, බෙලි මුල්, වෙනිවැල් ගැට,ඊතණ යන වර්ග 14 සම සමවගෙන තලා නැවුම් මුට්ටියක බහා තම්බා පත අට දෙකට සිඳවා ගනී. ඉන් පසු දිවුල් පත් කොටා යුෂ ගෙන දෙහි ඇඹුල්ද එම මිශ්‍රණයට දමා හොඳට මිශ්‍ර කර පිරිසුදු රෙදි කැබැල්ලකින් පෙරාගනී. නානු ලෙස ගන්නේ එයයි.
තෙල් සඳහා තල තෙල්, මී තෙල්, අබ තෙල්, කොහොඹ තෙල්, එඬරු තෙල් යන පස් තෙල් යොදාගනී.
නව සඳ බැලීමට යෙදී ඇත්තේ අප්‍රේල් මස 16වැනි සිකුරාදා දිනයි.
රැකියා සඳහා පිටත්ව යෑම යෙදී ඇත්තේ අප්‍රේල් මස 19 සඳුදා පූර්ව භාග 06.39ට සුදු පැහැති වස්ත්‍රයෙන් සැරසී දකුණු දිශාව බලාය.
හෙළ අවුරුදු චාරිත්‍ර හා බැඳුණු තවත් උතුම් කරුණක් ඇත. එය නම් සැමවිටම පරිසරයට ගරු කර සොභාදහම සමග මුහුව ජීවත් වීමට මඟ කියාදීමයි. ඒ සඳහා නැකතට පැළයක් සිටවා රැක බලා ගැනීම අපේ පුරුද්දකි. ගස් වැල් නැති කළ කුමක් කරමුද? එම හොඳ පුරුද්ද අප දිගටම රැගෙන යා යුතුය.
ඉහතින් සඳහන් කළ සියලු කටයුතු සුබ නැකැත් මගින් සිදුවේ.රජ මැදුරේ සිට දුගී පැල්පත දක්වා එකම නැකතට කටයුතු සිදුවේ. පුරාතනයේ සිට මේවා මෙසේ පැවත එන්නේ එහි ඇති වටිනාකම් හා නිවැරදි බව නිසාමය.යම් අය ජ්‍යෝතිෂ ශාස්ත්‍රය හෑල්ලුවට ලක්කරයි. නමුත් බල්ලන් බිරුවට කඳු පාත් නොවේ. ඔවුන්ද අලුත් අවුරුදු චාරිත්‍ර නැකැත්වලට අනුව ඉටු කරයි. විවේචන කරන අය හොරෙන් ගොස් නැකැත් සකස් කරගන්නා අයුරු දැකගත හැකිය.
අතීතයේ පැවැති හෙළ සැනකෙළි අද අභාවයට යමින් ඇත. ඒ වෙනුවට සංකර සිරිත් මතුවෙමින් ඇත.ජන ක්‍රීඩා අඩුවෙමින් කෝළං පුහු දෑ කරළියට ඇවිත් ඇත. නිවෙසේ තෙල් තාච්චිය ලිප තබන්නට වත්මන් කාන්තාව කම්මැලි වෙමින් ඇත. ආහාර අනුභවය සුරා මතින් දුෂණය වේ. විද්‍යුත් නාළිකාවල පවා සංකර විශේෂාංග විකාශය කරයි.
මේ වසරේ සිටවත් අර්ථවත් හෙළයේ මහා සූර්යය මංගල්‍යය නැකත් චාරිත්‍ර වාරිත්‍ර නිසි ආකාරයෙන් සිදු කිරීමට අදිටන් කර ගන්න. විශේෂයෙන් පැළයක් සිටුවා රැක බලාගන්න. ඔබ කැමැති ඔබට අවශ්‍ය පැළයක් මෙන්ම මී පැළයක්ද සිටුවන්නට උත්සාහ කරන්න. පැළ සිටුවීමට අප්‍රේල් මස 16වැනි සිකුරාදා පූර්ව භාග 06.40ට නැගෙනහිර බලා සුබය. පැරණි අමනාප දුරලා අලුත් මිතුරුකම් ඥාතිකම් ඇති කරගන්න. සුරාවෙන් තොර ආගමානුකූල නව වසරක් සැමරීමට අවශ්‍ය සමාජ වාතාවරණය ඇති වේවා! ඔබ සැමට සුබ සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වේවා! තෙරුවන් සරණයි!