සුළං බලාගාර නිසා ඉදිරියේදී සංක්‍රමණික පක්ෂීන්ට දැඩි බලපෑම් ඇතිවිය හැකිලු


මේ වසරේ ලෝක සංක්‍රමණික පක්ෂීන්ගේ දිනයේ තේමාව කුරුල්ලන් අපේ ලෝකය සම්බන්ධ කරයි යන්නයි. එය තෝරාගෙන ඇත්තේ පාරිසරික සම්බන්ධතා සහ පද්ධතිවල අඛණ්ඩතාව සංරක්ෂණය හා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වැදගත්කම ඉස්මතු කිරීම උදෙසාය. සංක්‍රමණික පක්ෂීන් අප ස්වාභාවික උරුමයේම කොටසක් වන අතර, ඔවුන්ගේ බෝ වීම, පෝෂණය වීම, විවේක ගැනීම සහ ආහාර ගැනීම සඳහා සිය සංක්‍රමණික මාර්ගයන් ඔස්සේ වන අඩවි ජාලයක් මත රඳා පවතී.

‘වෙන කවරදාකටත් වඩා දැන් සංක්‍රමණික පක්ෂීන් සහ ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම සඳහා අපගේ ක්‍රියාමාර්ග වේගවත් කළ යුතු බව ලෝක සංක්‍රමණික කුරුලු දිනය අපට මතක් කර දෙයි. ලොව පුරා බොහෝ පක්ෂි විශේෂ පිරිහෙමින් පවතින අතර, සොබාදහමේ අඛණ්ඩ විනාශය අප දැන් සටන් කරමින් සිටින බෝවන රෝග සමග සම්බන්ධ වී තිබේ. යැයි සංක්‍රමණික විශේෂ පිළිබඳ සම්මුතියේ (Convention on the Conservation of Migratory Species of Wild Animals --- CMS)  විධායක ලේකම් ඇමී ෆ්‍රෙන්කල් පවසයි.

පසුගිය වසරේදී පමණක් සංක්‍රමණික පක්ෂි සිදුවීම් 870කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කර තිබේ. පසුගිය කාලයට සාපේක්ෂව, අපගේ කුරුලු උවදුරුවලට ගොදුරු වූවන්ගේ ගෝලීය සැමරුමත්, ඔවුන්ගේ සිත් ඇදගන්නා වූ වාර්ෂික සංක්‍රමණයත් මේ වසරේදී වඩා වෙනස් ලෙස පෙනෙනු ඇත්තේ COVID -19 වෙතින් ලෝකය මුහුණ දී සිටින ගෝලීය සෞඛ්‍ය අර්බුදය හේතුවෙනි. නිවර්තන කලාපයේ රටක් ලෙස ශ්‍රී ලංකාව සංචාරක කුරුල්ලන්ට සුවිශේෂී පාරාදීසයක් බවට පත්ව තිබේ. මේ පරිසරවේදීන් හා කුරුලු විශේෂඥයන් සංචාරක කුරුල්ලන්ගේ දිනය වෙනුවෙන් දැක්වූ අදහස් කිහිපයකි.

කුරුල්ලන් සංරක්ෂණය සඳහා මහජනතාවගේ දායකත්වය අපේක්ෂා කරනවා - පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා.

 මන්නාරම් සුළං විදුලි බලාගාරයට වාර්ෂිකව අවම වශයෙන් 10%ක් පමණ පෙලිකන් පක්ෂීන්ගේ මරණ සිදුවන බව ව්‍යාපෘති පාරිසරික බලපෑම් තක්සේරුව වාර්තා කරනවා. එය පිහිටා ඇත්තේ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට යන පක්ෂි සංක්‍රමණික මාර්ගය ඔස්සේයි. පාරිසරික බලපෑම් තක්සේරු කරන අවදියේදී පරිසර යුක්ති කේන්ද්‍රය  සහ තවත් කිහිපදෙනෙක් මෙම හේතුව නිසා විරෝධතා මතු කළා. සංවර්ධකයන්ට අනුව, ආදම්ගේ පාලමේ යම් තැනක පිහිටා ඇති රේඩාර් සංඥා වලට අනුව කුරුල්ලන්ගේ රැළ පසුකරන අවස්ථාවේදී සියලු සුළං ටර්බයින ඉබේම ක්‍රියා විරහිත වන බව සඳහන් කරනවා. කුරුල්ලන්ගේ ඝට්ටනය අවම කිරීම සඳහා මන්නාරම් සුළං බලශක්ති උත්පාදන ව්‍යාපෘතියේ සැලසුමට සත්‍ය වශයෙන්ම රේඩාර් පක්ෂි නිරීක්ෂණ පද්ධතියක් මේ වන විට ඇතුළත් කර තිබෙනවා. එසේ වුවත් ඉදිරි කාලයේ තවත් සුළං බලාගාර 300කට වැඩි ප්‍රමාණයක් මන්නාරම් තුඩුවේ සවි කිරීමට යෝජිත අතර, එමගින් පක්ෂි සංක්‍රමණයට මහත් බලපෑම් එල්ල විය හැකියි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සංක්‍රමණික විශේෂ 110ක් ඇතුළුව පක්ෂි විශේෂ 435ක් පිළිබඳ විස්තර ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙම පක්ෂීන් නොවැම්බර් සිට පෙබරවාරි දක්වා වූ සංක්‍රමණික කාලය තුළ නැගෙනහිර, බටහිර සහ අන්දමන් දූපත් හරහා වන ප්‍රධාන පියාසර මාර්ග තුනක් ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙනවා. බුන්දල ජාතික වනෝද්‍යානය, ආනවිලුන්දාව අභය භූමිය, බෙල්ලන්විල - අත්තිඩිය අභයභූමිය සහ මුතුරාජවෙල අභය භූමිය සංක්‍රමණික පක්ෂීන්ගේ වාසස්ථානයි. බුන්දල ජාතික උද්‍යානය සහ  ආනවිලුන්දාව අභය භූමිය රැම්සාර් ස්ථාන වන අතර, ඒවා සංක්‍රමණික පක්ෂීන්ගේ ප්‍රධාන වාසස්ථාන බවට පත්වෙනවා.

කුරුලු සංරක්ෂණය සඳහා මිනිසුන්ට සහයෝගය දැක්වීමට සහ ලොව පුරා රටවල්, නගර සහ ගම්වල සංක්‍රමණික පක්ෂීන්ගේ අගය සැමරීමට ක්‍රියා කළයුතු අතර, හැකි තරම් පක්ෂීන් නිරීක්ෂණය කිරීමෙන් මෙම ජෛවීය විවිධත්වය අවබෝධ කරගෙන සංරක්ෂණයට අවශ්‍ය කටයුතු සිදුකරන මෙන් පරිසර යුක්ති කේන්ද්‍රය සංරක්ෂණයට ළැදි සියලුම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සංචාරක කුරුල්ලන්ගේ වාසස්ථාන අහිමි වුණොත් ඉන්දියාව ඔවුන්ගේ වාසස්ථානය බවට පත්කර ගනීවි - කුරුළු විශේෂඥ දීපාල් වරකාගොඩ

මෙම වර්ෂයේ සංචාරක කුරුල්ලන් වාර්තා වීම ලංකාව පුරා අඩු වීමක් වගේම සංචාරය කිරීම සඳහා රටට පැමිණීමේ ප්‍රමාදයක් දකින්න තිබෙනවා. අපි ලංකාවට පැමිණෙන සංචාරක කුරුල්ලන් ගත්තම ජලාශ්‍රිත කුරුල්ලන් හා වනාන්තර කුරුල්ලන් ලෙස කොටස් දෙකකට බෙදා වෙන් කරනවා. සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේ මැද සිට නොවැම්බර් දක්වා කාලය තමයි සංචාරක කුරුල්ලන් අපේ රටට පැමිණෙන්නේ. ඒ අනුව අපිට මේ දක්වා කාලය තුළ නිරීක්ෂණයන් අනුව තමයි මේ තත්ත්වය දැකගන්න ලැබෙන්නේ. නොවැම්බර් අවසන් වන විට අපිට හරියටම බලාගන්න පුළුවන් ප්‍රමාණාත්මකව සංචාරක කුරුල්ලන් අඩු වෙලාද, නැත්නම් ප්‍රමාද වී සංචාරය කර ඇත්ද යන්න. විශේෂයෙන් ලෝකයේ උතුරු රටවල ජීවත් වන කුරුල්ලන් තමන්ගේ ප්‍රජනන කාලය අවසන් වෙලා ඒ රටවල ශීත කාලය ආරම්භ වුණාම තමයි නිවර්තන කලාපයේ පිහිටි රටවලට සංචාරය කරන්නේ. ඒ අනුව උතුරු රටවල පැවැති දේශගුණික තත්ත්ව වල යම් බලපෑමක් සිදුවී මෙලෙස සංචාරක කුරුල්ලන් අපේ රටට පැමිණීමේ වෙනසක් ඇතිවී තිබෙනවාද කියන එක අපි තාම දන්නේ නැහැ. අපිට එකවරම මේ කුරුල්ලන් අඩු වීම ගැන හේතුවක් කියන්න බෑ. නමුත් අපිට නිරීක්ෂණය වෙන දේ තමයි පැහැදිලිවම සංචාරක කුරුල්ලන්ගේ අඩුවක් හා ප්‍රමාදයක් මේ වර්ෂයේදී ඇතිවී තිබෙනවා. සාමාන්‍යයෙන් මේ කුරුල්ලන් නිවර්තන කලාපයේ රටවලට පැමිණිලා මාස හයක් වැනි කාලයක් සඳහා ආහාර හා වාසස්ථාන සොයා ගන්නවා. අපේ රටේ මේ කුරුල්ලන්ට රැදෙන්නට අවශ්‍ය පරිසරය අහිමි වුණොත් උන්ගේ පැමිණීම අඩු වෙන්න හැකියාවක් තිබෙනවා. විශේෂයෙන් මේ කුරුල්ලන් අපේ රටට පැමිණෙන්නේ ඉන්දියාව හරහායි. ඒ අනුව අපේ රටේ වනාන්තර හා තෙත්බිම් විනාශ වුණොත් මේ සංචාරක කුරුල්ලන් නැවත ඉන්දියාවට යන්නත් ඉඩක් තිබෙනවා. තාම අපිට එහෙම තත්ත්වයක් හරියටම සිදුවෙනවා කියලා තහවුරු කරන්න බැහැ. ඒ සඳහා අවුරුදු කිහිපයක් අපිට නිරීක්ෂණ කටයුතු කරන්න සිදුවේවි.ඒ වගේම කියන්න ඕන ඇතැම් කුරුලු වර්ගයන්ගේ හැසිරීම මතත් සංචාරයන් වෙනස් වන තත්ත්වයන් තිබෙනවා. එය චක්‍රයක් වගේ සිදුවන දෙයක්. එය ස්වභාවිකයි. මේ අවුරුද්දේ තොරතුරු මත අපිට අනුමානයක් ලෙස තමයි කියන්න පුළුවන් වෙන්නේ කුරුල්ලන්ගේ අඩුවක් හා ප්‍රමාදයක් තිබෙනවා කියලා.

සාමාන්‍යයෙන් ලංකාව පුරාම සංචාරක කුරුල්ලන් අපිට දකින්න පුළුවන්. තෙත් බිම මත යැපෙන ජලාශ්‍රිත කුරුල්ලන් ගැන බැලුවාම ප්‍රධාන වශයෙන් වගුරු බිම්, කලපු, ලේවායන් අවට, වැව් වැනි ස්ථාන වල තමයි වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නේ.

වනාන්තර කුරුල්ලන් වියළි හා තෙත් කලාප දෙකේම දැකගන්න පුළුවන්. ඒ වගේම ගෘහාශ්‍රිතවත් අපිට අවිච්චියා, සුදු රෙදි හොරා, මහ කුරුමිණි හොරාහා, වැහි ලිහිණින් යන සංචාරක කුරුල්ලන් දැකගන්න පුළුවන්. රත්නපුර, මතුගම, ඇහැළියගොඩ වගේ ප්‍රදේශවල විශාල වශයෙන් වැහිලිහිණින් රංචු වශයෙන් රාත්‍රිය ගතකරන්න එනවා. මේ කුරුල්ලන් අපි හඳුන්වන්නේ වනාන්තර කුරුල්ලන් ලෙසයි.

ලංකාවේ තෙත් කලාපය තුළ විශාල වශයෙන් දකින්න ලැබෙන කුරුල්ලන් වර්ග දෙකක් තමයි එ‍ඬේර කොකා හා කණ කොකා. වෙල් යාය ආශ්‍රිතව මේ කුරුල්ලන් විශාල වශයෙන් හමුවනවා. ඒ වගේම මුහුදු තීරයේත්, තෙත් බිම් වලත් කුරුල්ලන් වර්ග අපිට දකින්න ලැබෙනවා. සංචාරක කුරුල්ලන් රැඳෙන භූමින් ආරක්ෂා කිරීම මගින්අපිට මේ කුරුල්ලන්ට අවශ්‍ය වාසස්ථාන රැකගත හැකියි.

හේතු කිහිපයක් නිසා සංචාරක කුරුල්ලන්ට තර්ජන එල්ල වෙලා - පරිසරවේදි නීතිඳ ජගත් ගුණවර්ධන

සංචාරක කුරුල්ලන් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළොත් හැම අවුරුද්දකම වට කිහිපයක් නැත්නම් රැලි කිහිපයකට තමයි ලංකාවට පැමිණෙන්නේ. මේ වට නැත්නම් රැලි වල කාල සීමාව සුළු වශයෙන් එහා මෙහා වෙන්න පුළුවන්. මේ වර්ෂයේ කුරුළු විශේෂඥයන් ලෙස අපි දැක්ක දෙයක් තමයි ඇතැම් කුරුල්ලන් වර්ග කලින් ආවා වගේම ඇතැම් කුරුල්ලන් වර්ග පහුවෙලා තමයි ලංකාවට ආවේ. ඒ නිසා මේ අවුරුද්දේ අපිට සංචාරක කුරුල්ලන්ගේ පැමිණීමේ අක්‍රමවත්භාවයක් දකින්න ලැබෙනවා. ගිය අවුරුද්ද ගැන බැලුවොත් සංචාරක කුරුල්ලන් අපේ රටට ආවේ ටිකක් කලින්. නමුත් මේ අවුරුද්දේ ඔවුන්ගේ පැමිණීමේ අක්‍රමවත්භාවයක් දකින්න ලැබෙනවා. උදාහරණයක් වශයෙන් ඔක්තෝබර් මාසයේ අග දකින්නට ලැබෙන සුදුරෙදි හොරා ඔක්තෝබර් පළමු සතියේ අපිට දකින්නට ලැබුණා. ඒ වගේම සැප්තැම්බර් දෙවන සතියේ දකින්න ලැබෙන කුරුමිණි කුරුල්ලන් තුන්වෙනි සතියේ තමයි නිරීක්ෂණය කරන්න ලැබුණේ. තව වන හැළපෙන්දා කියන කුරුල්ලාවත් මම දැක්කේ තුන්වැනි සතියේ. ඒ අනුව අපිට සංචාරක කුරුල්ලන් කිහිප දෙනෙකුගේම පැමිණීමේ ප්‍රමාදයක් දකින්න ලැබෙනවා.

මේ තත්ත්වයට හේතුව කාලගුණික තත්ත්වවල විචල්‍යයන් විය හැකියි. නමුත් අපිට එය නිශ්චිතව කියන්න බැහැ. තාම පක්ෂි නිරීක්ෂකයන් වන අපි ඩබ්ලිව්.ඩබ්ලිව්.ඒ. පිලිප්ස් මහතාගේ නිරීක්ෂණ වාර්තා මත තමයි පක්ෂීන් නිරීක්ෂණය කරන්නේ. ඒ මහතා හැත්තෑව දශකයේ සිදුකළ නිරීක්ෂණ මත 1980 වර්ෂයේ සම්පාදනය කළ වාර්තා අනුව තමයි අපි කුරුල්ලන් නිරීක්ෂණය කරන්නේ. ඔහුගේ වාර්තා මූලාශ්‍ර කරගෙන අපි නිරීක්ෂණය කරන යම් යම් දත්ත ඒවාට එකතු කිරීමක් තමයි සිදුකරන්නේ.

ඒ අනුව අපි කරන නිරීක්ෂණයන් මත අපි දකිනවා අගෝස්තුවේදී යම් කුරුල්ලන් පිරිසක් සංචාරක කුරුල්ලන් ලෙස අපේ රටට එනවා. මීළඟට සැප්තැම්බර් මුල් සතියේ යම් කුරුල්ලන් පිරිසක් අපේ රටට එනවා. මීළඟට සැප්තැම්බර් අග හා ඔක්තෝබර් මුල සතියේ තවත් කුරුල්ලන් වර්ග කිහිපයක් අපේ රටට පැමිණෙනවා. ඉන්පසු ඔක්තෝබර් මැද සිට නොවැම්බර් අග දක්වා වට හතරක් ලෙස කුරුල්ලන් ලංකාවට පැමිණෙන බව අපිට නිරීක්ෂණය වෙනවා. මේ තොරතුරු පිලිප්ස්ගේ ප්‍රකාශන වල සඳහන් නැති අප්‍රකාශිත තොරතුරුයි. මා විසින් අවුරුදු කිහිපයක් කළ නිරීක්ෂණයන් අනුවයි මේ වට කිහිපය දළ වශයෙන් හඳුනාගෙන තිබෙන්නේ. තවදුරටත් මේ පිළිබඳව අධ්‍යයනයන් කරගෙන යනවා. මේ සංක්‍රමණ කාලය අවසන් නැති නිසා තවදුරටත් කුරුල්ලන්ගේ පැමිණීම අපි බලාපොරොත්තුවෙන් සිටිනවා.

සංක්‍රමණික කාලය ආරම්භයේදී වගේම සංක්‍රමණික කාලය අවසානයේදී අපිට ගෙවතු ආශ්‍රිතව ඇතැම් සංචාරක කුරුල්ලන් දැකගන්න පුළුවන‍්. දෙවනුව නාගරීකරණයත් සමගම මේ ප්‍රදේශවල ගැවසුණු කුරුල්ලන්ට වාසස්ථාන අහිමිවීමක් අපි දකිනවා. එයට ඇතැම් සතුන්ගේ වැඩි වීමත් හේතුවක් වෙලා තියෙනවා.

අපි උදාහරණ විදිහට බැලුවොත් නාගරික ප්‍රදේශවල කළු සුදු පොල්කිච්චන් වැඩියි. ඒ වගේම බළලුන් වැඩියි. බළලුන් නිසා අවිච්චියාන් අඩු වෙලා. මීළඟට කලු සුදු පොල්කිච්චන් අවිච්චියාට හා සුදු රෙදි හොරාට කොටලා පන්නනවා. මෙවැනි කාරණා නිසා වාසස්ථාන අහිමි වෙලා. ඒ නිසා තමන්ට පුරුදු වාසස්ථාන වෙත මේ කුරුල්ලන් පැමිණීම අඩු වෙලා තිබෙන බව පෙනී යනවා.

කොළඹ නගරයත් සංචාරක කුරුල්ලන්ට ඉතාම වැදගත් ප්‍රදේශයක්. මොකද බස්නාහිර සංචාරක පථය කොළඹ නගර පසුකරගෙන පානදුර දක්වා විහිදෙනවා. ඒ නිසා බස්නාහිර සංචාරක පථයට කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශ ඉතාම හොඳ ප්‍රදේශ ලෙස දක්වන්න පුළුවන්. බොහෝ දෙනා මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ.

තෙත්බිම් විනාශ කිරීමත් සංචාරක කුරුල්ලන් බොහෝමයකට හානිදායක තත්ත්වයක් බවට පත්වෙලා. ලංකාවේ ඇතැම් සංචාරක කුරුල්ලන්ට දේශීය ගහනයක් හා සංචාරක ගහනයක් ලෙස ආකාර දෙකක් දැකගන්න පුළුවන‍්. කහ මැටි කොකා, කලු මැටි කොකා, එඬේර කොකා වැනි කුරුල්ලන් වැඩි වශයෙන් පැමිණෙන්නේ තෙත්බිම් වලටයි. සංචාරක කාලය තුළ මේ කුරුල්ලන් ඉතා විශාල ප්‍රමාණයක් අපට දැකගත හැකියි. උන්ගේ වාසස්ථාන අහිමි වීම මගින් මේ තත්ත්වයන්ට යම් බලපෑම් එල්ලවිය හැකියි.



Recommended Articles