විද්‍යාත්මක ජාතිවාදය නමින් සංකල්පයක් යුරෝපය ඇසුරේ පවතී. මෙය මූලික වශයෙන් බලවත්ව පැවතියේ 17 වැනි සියවසේ සිට පළමු ලෝක යුද්ධය දක්වායි. විද්‍යාත්මක ජාතිවාදය සඳහා පෙනී සිටි පුද්ගලයන් කියා සිටියේ ඇතැම් ජාතීන් උසස් බවටත් ඇතැම් ජාතීන් පහත් බවටත් තහවුරු කිරීමට විද්‍යාවෙන් හැකි බවයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ 19 වැනි සියවසේ ජීවත් වූ විද්‍යාඥයෙකු වූ ජෝසියා ක්ලාක් නොට් (Josiah Clark Nott) සඳහන් කළේ ග්‍රීක මිනිසා පරිණාමයේ ඉහළම තැනක සිටින බවත් අප්‍රිකානු මිනිසා පරිණාමයේ පහළම තැනක සිටින බවත්ය. ඔහුගේ අදහසට අනුව අප්‍රිකානු මිනිසා සිටින්නේ චිම්පන්සියාත් ග්‍රීක මිනිසාත් අතර වූ පරිණාමීය අවදියකයි.
පළමු ලෝක යුද්ධයෙන් පසු මෙම අදහස යටපත් වුව ද දෙවැනි ලෝක යුද්ධය වන තුරුත් එය ශක්තිමත් අදහසක් ලෙස පැවතිණි. හිට්ලර්ගේ ආර්යවාදයට පවා බලපෑවේ මෙම අදහසයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිර්මාණය වීමට මග හෙළි වූ අතර ලෝකයේ සියලුම මිනිසුන් සෑම කෙනෙකුම සමාන බව මානව හිමිකම්වලින් පිළිගැනීමට ලක් විය.
මානව හිමිකම් මගින් එසේ පිළිගත්තේ ජාතිවාදයේ ඇති කුරිරු බව දෙවැනි ලෝක යුද්ධයේදී මනා ලෙස පෙනී ගිය බැවිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් මානව හිමිකම් ලෙසින් ලේඛනගතව පිළිගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ආදියට එය ඇතුළු කළ ද සැබෑ වශයෙන්ම මිනිසුන්ගේ හිත් තුළින් එය අයින් කිරීම අතිශය දුෂ්කර කාර්යයකි. ඇතැම් සිදු මිනිසුන් තුළ කළු ජාතීන්ට එරෙහි වර්ගවාදය අදට ද එක ලෙස පවතී.
විද්‍යාත්මක ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටි ඇතැම් විද්‍යාඥයන් ඉදිරිපත් කළ අදහසක් වූයේ සියලුම මිනිසුන් සඳහා එකම සම්භවයක් නොමැති බවයි. එක් එක් ජාතීන් සඳහා විවිධ වූ සම්භවයන් ඇති බව ඔවුහු කියා සිටියහ. උදාහරණයක් ලෙස අප්‍රිකානු මිනිසුන්ගේ සම්භවය චීන මිනිසුන්ගේ සම්භවයට වඩා වෙනස් බවත් ඔවුන්ගේ සම්භවයට වඩා යුරෝපීය මිනිසුන්ගේ සම්භවය වෙනස් බවත් ඔවුහු පෙන්වා දුන්හ. ජොහැන් ෆ්රෙඩ්රිච් බ්ලුමෙන්බාක් නම් විද්‍යාඥයා මිනිසුන්ගේ සම්භවය කොකේසියානු, මොන්ගෝලියානු, ඉතියෝපියානු, ඇමෙරිකානු සහ මැලේ යනුවෙන් කොටස් පහකට බෙදීය. ඔහු එහි දී උසස් ම තත්ත්වය පිරිනැමුවේ කොකේසියානුවන්ටයි.
විද්‍යාඥයෙකු මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ නිර්මාතෘවරයෙකු වූ බෙන්ජිමින් රෂ් වැනි අය සඳහන් කළේ කළු පැහැති සමක් තිබීම ජාන වශයෙන් දුර්වලවීමක් සහ රෝගයක් (negroidism) බවයි. සුදු පැහැති නොවන සමක් ඇති අය සුදු කළ යුතු බවත් ඒ සඳහා ප්‍රතිකාර කළ යුතු බවටත් ඔහු අවධාරණය කළේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ නිර්මාතෘවරයෙකු මෙන්ම එරට තුන්වැනි ජනාධිපතිවරයා මෙන්ම වහලුන්ගේ අයිතිකරුවෙකු වූ තෝමස් ජෙෆර්සන් ද විද්‍යාත්මක ජාතිවාදය පිළිගත්තෙකි. මනසින් සහ ශරීරයෙන් යන දෙකොට්ඨාසයෙන්ම කළු ජාතිකයන් සුදු මිනිසුන්ට වඩා පහත් බව ඔහු සිය ලේඛනවලදී සටහන්
කොට තැබීය.