පොදු ප්‍රවාහනය ජනතාවට සමීප කිරීමට විවිධ රජයන් විවිධ ව්‍යාපෘති ආරම්භ කළද ශ්‍රී ලංකාවේ ජනතාව ක්‍රම ක්‍රමයෙන් පොදු ප්‍රවාහනයෙන් ඈත් වෙමින් සිටින බව සංඛ්‍යාලේඛන මගින් තහවුරු කරයි. පොදු ප්‍රවාහන පද්ධතිය තුළ සැලසුම්සහගත බව අඩුවීමද මෙයට එක් හේතුවකි. කෙසේ වෙතත් ජනතාවට සමීප පොදු ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ දායකත්වය සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සමග අපි සාකච්ඡා කළෙමු.
දුම්රිය ක්ෂේත්‍රය තුළ ප්‍රශ්න විසඳාගැනීමට ඔවුන් නිතරම ජනතාව පළිහක් කරගන්නවා. මේ සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන්නේ ඇයි?
දුම්රිය නිලධාරීන්ගේ වැටුප් ප්‍රශ්න සම්බන්ධයෙන් ඔවුන් වැඩවර්ජනය කළා. මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළත් සාකච්ඡා කළා. ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට කමිටුවක් පත්කර තිබෙනවා. එහි වාර්තාව ලැබුණු පසු අවශ්‍ය පියවර ගන්නවා.
ඒ වගේම යුද හමුදාවේ සිය දෙනෙකුට පමණ දුම්රිය එන්ජින් රියදුරු පුහුණුව ලබාදීමට අපි තීරණය කර තිබෙනවා. යුද හමුදාපතිවරයාත් ඒ ගැන අපෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එමෙන්ම දුම්රිය සහායකයන් 300කට වැඩි ප්‍රමාණයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්නවා. ඔවුන්ට විභාගයක් තියලා ඔවුන්ගේ උසස්වීම් ලබාදෙන්නවත් මේ දුම්රිය රියදුරන් ඉඩ දෙන්නේ නැහැ. මොකද ඔවුන්ගේ මට්ටමට එයි කියලා හිතනවා. මේ වගේ ප්‍රශ්න තිබෙනවා. දුම්රිය තුළ ඔවුන්ගේ බලාධිකාරියක් ආකාරයෙන් ඔවුන් මේ දේවල් කරගෙන යනවා. දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබෙන නිසා ඕනෑම අවස්ථාවක අපට හමුදාව කැඳවන්න පුළුවන්. හමුදා නිලධාරීන් යොදවලා හරි දුම්රිය ධාවනය කරවන්න අපි කටයුතු කරනවා. ඒ වගේම දුම්රිය සහායකවරුන් 19ක් දුම්රිය රියදුරු මට්ටමට අපි උසස් කරනවා.
දුම්රිය නවීකරණය කරන කටයුතු කොහොමද?
දුම්රිය කියන්නේ පාඩු ලබන ආයතනයක්. වසරක පාඩුව කෝටි 700ක් විතර වෙනවා. දුම්රියට රජයෙන් මුදල් ලබාදෙනවා. නමුත් ආදායම අඩුයි. එයට විවිධ හේතු තිබෙනවා.
ලංකාවේ දුම්රිය මාර්ගය තිබෙන්නේ කිලෝමීටර් 1562යි. මේ වසරේ මාතර - බෙලිඅත්ත මාර්ගය නිසා එයට තවත් කිලෝමීටර් 26ක් එකතු වුණා. මේ මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කරන්න අපට කටයුතු කරනවා.
කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ කැලණිවැලි මාර්ගය ඉදිකිරීම් කටයුතු කරනවා. එහිදී කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ද්විත්ව දුම්රිය මාර්ග බවට පත්කරලා කණු උඩ යන මාර්ගයකුත් ඉදිකරන්න සැලසුම් කර තිබෙනවා. එහි පළමු අදියර ආසියානු බැංකුවෙන් ඩොලර් මිලියන 600ක ණයක් ලබාගෙන තිබෙනවා.
මීට අමතරව දුම්රිය මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති කිහිපයක් මේ වනවිට ක්‍රියාත්මක වෙනවා. පානදුරේ සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්රියක් ක්‍රියාත්මක කරවීමට සැලසුම් කර තිබෙනවා. දුම්රිය ස්ථාන සහ දුම්රිය සංඥා නවීකරණය කිරීමේ කටයුතුත් ඊට සමගාමීව සිදු කරන්නට නියමිතව තිබෙනවා.
හබරණ - කුරුණෑගල අලුත් දුම්රිය මාර්ගයක් සැකසීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. මහව - ඕමන්ත දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ කළා. මේ සියල්ලම අවසන් වනවිට 2025 වර්ෂය පමණ වෙනවා.
මේ වසරේදී කුරුණෑගල - පොල්ගහවෙල දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
දුම්රිය ස්ථාන නවීකරණයට වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බව පැවසුවා. එහි කටයුතු තවමත් ආරම්භ කර නැහැ. ඒ ඇයි?
මෙවර අයවැයෙන් දුම්රිය ස්ථානවල වැසිකිළි පද්ධති ඉදිකිරීමට මුදල් වෙන්කර තිබෙනවා. එම වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපේ අදහසක් අනුව පෞද්ගලික අංශයට දුම්රිය ස්ථාන 20ක් පමණ භාරදීලා ඒවා ජාත්‍යන්තර මට්ටමට නවීකරණය කිරීමේ කටයුතු සැලසුම් කර තිබෙනවා. එහිදී එම දුම්රිය ස්ථානවල නඩත්තු කටයුතු එම පෞද්ගලික ආයතනවලට භාරදෙන්නත්, ඒ සඳහා යන වියදම වෙනුවෙන් එම ආයතනවල ප්‍රචාරක කටයුතු දුම්රිය ස්ථානය තුළ සිදු කිරීමට අවස්ථාව ලබාදීමටත් තීරණය කර තිබෙනවා.
පළමු අදියරේදී දුම්රිය ස්ථාන 20ක් පමණ මේ ආකාරයට නවීකරණය සඳහා යොමු කරන්න අපි බලාපොරොතු වෙනවා. එයට අවශ්‍ය වන සැලැස්ම මේ වනවිට සකස් කරගෙන යනවා. නවීකරණය කරන දුම්රිය ස්ථාන සියල්ල එකම ආකාරයට පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා කරමින් සිටිනවා.ඊට අමතරව කොටුව දුම්රිය ස්ථානය නවීකරණය වෙනවා. මහා නගර අමාත්‍යාංශය යටතේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා.
පැරණි දුම්රිය මැදිරි නවීකරණය ධාවනයට එක්කළා. එහි කටයුතු සිදු කෙරෙන්නේ කෙසේද?
ලාංකේය කර්මාන්තකරුවන් ලවා පැරණි දුම්රිය මැදිරි නවීකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඒ අනුව එක් සමාගමකට මැදිරි 200ක් ලබා දී තිබෙනවා. එයින් මේ වනවිට මැදිරි 100කට ආසන්න සංඛ්‍යාවක් නවීකරණය කර අවසන් වෙමින් පවතිනවා.
ඊට අමතරව නව දුම්රිය මැදිරි ආනයනය කිරීමද සිදු කරනවා. ඉන්දියාවෙන් දුම්රිය මැදිරි 160ක් ආනයනය කරනවා. ඒ වගේම ද්විත්ව බලවේග කට්ටල 06ක් ආනයනය කරන්නත් කටයුතු කරනවා. දුම්රිය එන්ජින් 12ක් ඇණවුම් කර තිබෙනවා. උඩරට මාර්ගය සඳහා අවශ්‍ය දුම්රිය එන්ජින් 10ක් ඇණවුම් කර තිබෙනවා. මේ සියල්ලම ලැබුණ පසුව දුම්රිය හොඳ මට්ටමකට පත් වේවි කියා අපි හිතනවා. එය ඉදිරි වසර කිහිපය ඇතුළත සිදු වේවි.
මේ වනවිට දුම්රිය භාවිත කරන මගීන් වැඩිවෙලා තිබෙනවා. තදබදය අවම කිරීම සඳහා පියවර ගෙන තිබෙනවාද?
ලංකාවේ ජනතාවගෙන් 49%ක් පොදු ප්‍රවාහනය භාවිත කරනවා. එයින් පෞද්ගලික බස් රථවල ලක්ෂ 75ක් පමණ ගමන් කරනවා. ලංගම බස්වල ලක්ෂ 25ක් පමණ ප්‍රමාණයක් ගමන් කරනවා. දුම්රියවල ලක්ෂ 05ක් පමණ පිරිසක් ගමන් කරනවා. කාර්යාල සේවකයන්ගෙන් සාමාන්‍ය ප්‍රමාණයක් දුම්රියෙන් එනවා. උදේ හවස දුම්රිය තුළ තදබදයක් තිබුණත් දවල් කාලයට දුම්රියේ සෙනග අඩුයි.
අපේ රටේ දුම්රිය මාර්ග පද්ධතිය ගැන අවධානය යොමු කරන විට දුම්රිය එන්ජිමකට සම්බන්ධ කරන්න පුළුවන් මැදිරි ප්‍රමාණයක් තිබෙනවා. ඒක වැඩි කරන්න බැහැ. ඒ වගේම දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක වෙනවා. මේ කාලසටහන වගේම අපේ දුම්රියත් නවීකරණය වෙලා නැහැ. අපේ පද්ධතියේ විදුලි සංඥාවල, මාර්ගයේ ආදී නොයෙකුත් ප්‍රශ්න තිබෙනවා. මේ සියල්ල සමග හරිම අමාරුවෙන් මේ දේවල් කරන්නේ. කොහොම වුණත් ජනතාවට අපහසුතාවක් ඇති නොවන ආකාරයට මේ දේවල් කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. කොහොම වුණත් මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරගැනීමටත් අවශ්‍යයි.
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ විවිධ අක්‍රමිකතා සිදුවන බවට වාර්තා වෙනවා. එම දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව නැද්ද?
දුම්රිය දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ දුම්රිය ප්‍රවේශ පත් ලබාගැනීමේ ස්වයං සේවාවක් හඳුන්වාදෙන්න සැලසුම්කර තිබෙනවා. 2024 පමණ වනවිට කොළඹ දුම්රිය නවීකරණය ඉතාම ඉහළ මට්ටමට ගෙනඒමට අපි කටයුතු කරනවා. මේවා එකපාරටම කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මේවාට විවිධ බාධක තිබෙනවා. ඒවා නිරාකරණය කරගෙන යන්න අවශ්‍යයි.
සුඛෝපභෝගී බස් රථ ආනයනය කිරීමේ ව්‍යාපෘතිය දැන් නැවතිලාද?
ලංකාවේ බස් කියලා ධාවනය වෙන්නේ ලොරි චැසිවල හදපු වාහන. මේ නිසා අපට අවශ්‍ය වුණා නවීන බස් රථ ගෙන එන්න. නවීන බස් රථ 2000ක් රටට ගෙන්වීමට අපි සැලසුම් කළා. නමුත් මේ බස් රථ 2000 ගේන ඒකට නිලධාරීන් කොපමණ බාධා කරනවද කියලා බාහිර කවුරුත් දන්නේ නැහැ. මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට මම ඉදිරිපත් කළේ පසුගිය වසරේ ජුනි මාසයේ. කැබිනට් මණ්ඩලයට දාලා ඊට පස්සේ ජාතික ප්‍රතිපත්ති සභාවෙන් අනුමැතිය ගන්න කිව්වාම ඒකෙ ඉන්න නිලධාරීන් පුදුම වදයක් දෙන්නේ. මේක කරන්න දෙන්නෙම නැහැ. මේ වගේ තමයි හැමදෙයක්ම. එතැනින් අවසරය දෙන්නේ නැතිව දිග ලියුම් එවනවා පිළිතුරු යවන්න කියලා. ඒකට පිළිතුරු යැව්වාම තව එකක් එවනවා. මේ වගේ පිළිතුරු යව යව ඉන්නවා වැඩේ වෙන්නේ නැහැ. මේ අනුමැතීන් නැතිව නීත්‍යනුකූලව මේ වැඩේ කරන්න බැහැ. නමුත් ඒ අනුමැතීන් නිසි වෙලාවට ලබාදෙන්නෙ නැහැ. මෙහෙම ගියොත් මේ වැඩේ කරන්න බැහැ. මේ වසරේදී බස් ගේන්න අපි සැලසුම් කළේ. එහෙම කියලා කඩෙන් බඩු ගන්නවා වගේ බස් ගේන්න අපට බැහැ. බස් ගන්න අපට සල්ලිත් නැහැ. ඒ නිසා දැන්වීම් දාලා අපි ආයෝජකයෙක් හොයන්න ඕන. ඒක කරන්න මේ අය දෙන්නේ නැහැ. නිලධාරීවාදය නිසා වැඩ කරන්න බැහැ. අන්තිමට මමයි, ඇමතිවරයයි තීන්දු කළා මේ නිලධාරීන් කරන වැඩේ ජනතාවට පැහැදිලි කරලා දෙනවා කියලා.
මේ වැඩේ තවදුරටත් කරන්නේ නැතිනම් අගමැතිතුමාට කියලා ආණ්ඩුවෙන් අස්වෙනවා කියලා ඇමතිතුමා කිව්වා. අපි ජනතාවට කියනවා හොඳ පහසුකම් සහිත බස් සේවාවක් හදනවා කියලා. ඒක කරන්න ගියාම මේ නිලධාරීන් ඒක කරන්න දෙන්නෙ නැහැ ලෙඩ දානවා. හරිම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේ රටේ ක්‍රමවේදය වෙනස් කරන්න ඕන.
අතීතයේදී ලංකාවේ 80%ක් පමණ පොදු ප්‍රවාහනය භාවිත කළා. නමුත් මේ වනවිට එය 49෴ක් බවට පත්වෙලා. කොළඹට එන වාහන ප්‍රමාණය අඩු කරන්නයි මේ අලුත් බස් 2000ක් අපි දාන්න හදන්නේ. මේ ව්‍යාපෘතිය හරි ගියොත් (ඒක තාමත් හරි යයි කියලා අපි හිතනවා) ඒක ලංකාවේ විශාල ඉදිරි පිම්මක් වෙයි.
පලාලි ගුවන් තොටුපොළේ නවීකරණ කටයුතු කොහොමද?
පලාලි ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කිරීමේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉදිරි සැප්තැම්බර් මාසය වනවිට කලාපීය ගුවන් තොටුපොළක් ලෙස එහි කටයුතු ආරම්භ කරනවා. ඒ සඳහා කෝටි 200ක වියදමක් යනවා. සංචාර මණ්ඩලයෙන් ඒ සඳහා මිලියන 1050ක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් මිලියන 950කුත් යොදවලා අපි ඒ කටයුතු කරගෙන යනවා.
අභ්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස අපි මඩකලපුව ගුවන් තොටුපොළ නවීකරණය කර තිබෙනවා. ඊට අමතරව අභ්‍යන්තර ගුවන්තොටුපොළවල් ලෙස භාවිත කළ හැකි ගුවන් තොටුපොළවල් 15ක් පමණ රටේ තිබෙනවා. මේවා සම්බන්ධ කරමින් අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. රත්මලාන, මත්තල, කටුකුරුන්ද, ගාල්ල, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, පලාලි, සීගිරිය, වවුනියාව ආදී ගුවන් තොටුපොළවල් තිබෙනවා. මේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතිනවා.