සීනි බදු ආදායම පහත වැටීමේ තිත්ත ඇත්ත විපක්ෂ නායක ප්‍රේමදාස විසින් නිවැරදිව තක්සේරු කෙරේ
ශ්‍රී ලංකාවේ “සීනි වංචාව” යනුවෙන් හැඳින්වෙන්නේ, 2020 ඔක්තෝබර් 13 දින සීනි ආනයනය සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද, (SCL) විශාල අගයකින් ක්ෂණිකව පහත දැමීම හා සම්බන්ධ අපකීර්තිමත් සිදුවීමයි. සීනි කිලෝවකට රුපියල් 50 ක් ලෙසින් තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 99.5% කින්, එනම් සීනි කිලෝවකට සත 25 ක් වන ලෙසින්, පහත දමන ලදි.
මෙම ප්‍රකට වංචා චෝදනාව ඉදිරිපත් වීමට පදනම වන්නේ, මෙලෙස විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු වුවද ඒ හේතුවෙන් වෙළඳපොළේ සීනිවල මිලෙහි සැලකිය යුතු අඩුවීමක් දක්නට නොලැබීමයි(නිදර්ශන අංක 2 බලන්න). ඒ ඔස්සේ රජයට අහිමි වූ එම ආදායම සමාජයට අත්වන ප්‍රතිලාභයක් බවට පරිවර්තනය වනු වෙනුවට, තමන්ගේ තරඟකාරී පාර්ශවයන්ට සාපේක්ෂව අඩු කළ බදු අනුපාතයක් ඔස්සේ තමන් ආනයනය කළ සීනි තොග මුදවා ගත් අයවලුන්ට අසාමාන්‍ය පෞද්ගලික ප්‍රතිලාභයක් ලෙසින් ලැබී ඇතැයි යන්න මෙහිදී නැගෙන චෝදනාවයි. රජයට මෙයින් අහිමි වූ ආදායම රුපියල් බිලියන 20 ක් වන බවට විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය මඟින් තක්සේරු කර තිබේ.
මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව ඇගයුම් කිරීම උදෙසා FactCheck.lk විසින් රේගු දෙපාර්තමේන්තුවේ දත්ත සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මාසික ආර්ථික දර්ශක පරිශීලනය කර ඇත. නිදර්ශන අංක 1 මගින් දැක්වෙන්නේ, මාසිකව ගෙන්වූ සීනි තොග ප්‍රමාණයන් සහ ඒ අනුව රජයට අහිමි වූ ආදායමයි. බදු අඩු කිරීමෙන් මාස හයකට ආසන්න කාලයකට පසු -එනම් 2021 මාර්තු අග වන විට- එම අහිමි වූ ආදායමේ එකතුව රුපියල් බිලියන 20 ට සමාන වේ. විපක්ෂ නායකවරයා විසින් රජයට සිදුවූ අලාභය ලෙසින් දක්වා ඇත්තේද එම සංඛ්‍යාවයි.
ඒ අනුව, විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය නිවැරදි යැයි අපි පවසමු.
**FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.
නිදර්ශන අංක 1: සීනි ආනයන ධාරිතාවන්
|
ආනයන ධාරිතාවන් කිලෝග්‍රෑම් වලින් (මිලියන) |
මාසිකව අහිමි වූ ආදායම (රුපියල් මිලියන) |
අහිමි වූ සමුච්චිත ආදායම (රුපියල් මිලියන) |
ඔක්තෝබර්-20* |
38.1 |
1,895 |
1,895 |
නොවැම්බර්-20 |
31.6 |
1,572 |
3,468 |
දෙසැම්බර්-20 |
64.3 |
3,199 |
6,667 |
ජනවාරි-21 |
123.3 |
6,134 |
12,801 |
පෙබරවාරි-21 |
62.5 |
3,109 |
15,910 |
මාර්තු-21 |
107.1 |
5,328 |
21,238 |
අප්‍රේල්-21 |
60.4 |
3,005 |
24,243 |
මැයි-21 |
31.3 |
1,557 |
25,800 |
ජූනි-21 |
48.4 |
2,408 |
28,208 |
සටහන*: 2020 ඔක්තෝබර් මස වෙනුවෙන්, මාසයේ ආනයන ධාරිතාවෙන් භාගයක් පමණක් සලකා බලා ඇත
මූලාශ්‍ර: ශ්‍රී ලංකා මහ බැංකුවේ මාසික ආර්ථික දර්ශක
නිදර්ශන අංක 2: සීනි සිල්ලර මිල ගණන්
මාසය |
සීනි සිල්ලර මිල ගණන් (කිලෝවකට රුපියල්) |
2021 ජූනි |
120.25 |
2021 මාර්තු |
108.75 |
2020 දෙසැම්බර් |
125 |
2020 සැප්තැම්බර් |
130 |
2020 ජූනි |
133 |
මූලාශ්‍ර: ශ්‍රී ලංකා මහ බැංකුව, සතිපතා ආර්ථික දර්ශක, වගු අංක 1.2.3
මූලාශ්‍ර:
2020 ඔක්තෝබර් 13 ගැසට් පත්‍රය - https://www.customs.gov.lk/wp-content/uploads/2021/06/scl201014.pdf
2020 මැයි 22 ගැසට් පත්‍රය - https://www.customs.gov.lk/wp-content/uploads/2021/06/38.scl200522.pdf