පසුගිය මැයි මාසයේදී සිදුව තිබෙන එහෙත් ජුනි මාසයේදී මාධ්‍ය හරහා ඉදිරියට පැමිණි කරුණක් පිළිබඳ මෙවර කුරහන් සුවඳ තීරු ලිපියෙන් ප්‍රථමයෙන්ම ඔබගේ අවධානය යොමුකිරීමට අදහස් කරමි.
ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාස 11ක දරුවෙකු මියයෑමේ සිදුවීම සම්බන්ධයෙනි. එම දරුවාගේ මරණයට හේතුව පිළිබඳ මේ වනවිට විවිධ අදහස් පළවෙමින් තිබේ. අනෙක් අතින් මීට මාස කිහිපයකට පෙරාතුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුරුංගා කොළ කා ජීවත් වන පවුලක් පිළිබඳ තොරතුරු වාර්තා විය.
මේ සියලු කාරණා හරහා අපට පෙනෙනුයේ 71 වසරක් පුරාවට අප සිදුකළ අසාර්ථක දේශපාලනය මෙන්ම අපගේ යාන්ත්‍රණයේ බොහෝ දෙනෙකු සඳහන් කරන පරිදි ‘%සිස්ටම් එකේ’ වැරැද්දය.
(මෙතැන් පටන් ඔබගේ කියවීමේ පහසුව උදෙසා සිස්ටම් යන වචනය භාවිත කරමි.)
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටිතල පහසුකම් දියුණු කරමින්, යුද්ධය නිමා කරමින් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික වශයෙන් සමෘද්ධිමත්ම කාලසීමාව ඇති කළද, වත්මන් ආණ්ඩුව එය ආපස්සට හැරවීමට කටයුතු කළේය. එහි ප්‍රතිවිපාක දැන් විඳීමට සිදුව ඇත්තේ ජනතාවටය.
දැන් සිස්ටම් එකේ වෙනසක් සිදුවිය යුතු වෙයි. ශ්‍රී ලංකාවේ වත්මන් මැතිවරණ වේදිකාවේ විධායක ජනපති, විධායක අගමැති යන සංකල්ප දෙකක් තුළ බෝහෝ පිරිසක් ‘%එල්ලී’ සිටින අයුරු දක්නට ලැබේ. නමුත් දැන් අපට තිබෙන ප්‍රධාන ගැටලුව විධායක අගමැති හෝ විධායක ජනපති පිළිබඳ ගැටලුව නොවේ.
ප්‍රධාන ගැටලුව වන්නේ රාජ්‍ය සේවකයන් දේශපාලනඥයන්ට චෝදනා කිරීමත්, දේශපාලනඥයන් රාජ්‍ය සේවකයන්ට චෝදනා කිරීමත්ය. ගැටලුවක් අැතිවූ විට දෙපාර්ශ්වය එකිනෙකාට වගකීම හුවමාරු කර ගනිමින් සිටියි. අවසානයේදී එයින් පීඩාවට පත්වෙන්නේ මහජනතාවය. හම්බන්තොට සිදුවීමත්, අනුරාධපුර සිදුවීමත් එහි ප්‍රතිඵලයන්ය.
දැන් මුළු ක්රමවේදයේම වෙනසක් සිදුව තිබේ. උදාහරණයක් ලෙස පළාත් සභා ක්‍රමය 13 වැනි ආණ්ඩුක්රමය අනුව කටයුතු කරද්දී මධ්‍යම ආණ්ඩුව මහා බිත්රාන්ය සම්ප්රදාය අනුව කටයුතු කරමින් සිටියි. මේ දෙක අතර කිසිදු ආකාරයක සම්බන්ධයක් නොමැත.
ඉදිරියේදී පත්වන ආණ්ඩුවකින් සිදුවිය යුතුව ඇත්තේ සිස්ටම් එකේ වෙනසක් කිරීමය. එසේ නොමැතිව දේශපාලන වශයෙන් ප්‍රසිද්ධ මාතෘකා හා සංවේදී මාතෘකා ගැන කතා කරමින් ඉදිරියට ගමන් කිරීමට අවස්ථාවක් නොමැත. විධායක ජනාධිපති ක්‍රමයක් යටතේ හෝ විධායක අගමැති ක්‍රමයක් යටතේ මූලිකම සිස්ටම් වෙනසක් සිදුවිය යුතුයි. අවසානයේදී අප ඒකීය රටක් යන බෝඩ් එක එල්ලගෙන සිටින එහෙත් පාර්ලිමේන්තුවේදී සුළුතරයක් විසින් බහුතරයක් පාලනය කරන රටක් බවට පත්වනු ඇත.
මේ අතර, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා 18 වැනි හා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කළ කතාවට අවධානය යොමුකළ යුතුව තිබේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදා අපේ ආණ්ඩුවේ සිටින විට අමාත්‍යවරයෙකු ලෙස 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දැක්වීය. ඒ ජනාධිපතිවරයාම 18 වැනි සංශෝධනය වැරදි බව සඳහන් කරමින් 19 වැනි සංශෝධනය ගෙන ආවේය.
නමුත් අවුරුදු හතරහමාරකට පසු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හොඳ බව සඳහන් කළ ජනපතිම එය අද වරදක් බව සඳහන් කරමින් සිටියි. මෙය ඔහුගේ ප්රතිපත්තිවල පැහැදිලිව ඉදිරි දැක්මන් නොමැතිකමද, එසේත් නොමැති නම් මේ සංශෝධන සඳහා නොදැනුවත්ව අත එසවූවාද යන්න පිළිබඳ ගැටලුවක් තිබේ. නමුත් 19 තුළ මේ රටේ පාලකයෙකු නොමැති බව පැහැදිලි වී තිබේ.
ඩිජිටල්කරණය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකර මේ වනවිට ගතව ඇත්තේ කෙටි කාලයක් වුවද, එය ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් බවට පත්ව තිබේ. කෙටි කාලයක් වුවත් අප මුහුණ දුන් පළාත් පාලන මැතිවරණයෙන් බලයේ සිටින ආණ්ඩුව පරාජයට පත්කරමින් ජයග්‍රහණය කිරීමට සමත්විය.
එය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අලුතින් ආරම්භ කළ පක්ෂයක් බලයේ සිටි පක්ෂය අභිභවමින් මැතිවරණයක් ජය ගත් පළමු අවස්ථාව ලෙස වාර්තා අතරට එක්විය.
පක්ෂයේ තවත් පිම්මක් ඉදිරියට යමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඩිජිටල්ගත කිරීමට අප මේ වනවිටත් කටයුතු කර තිබේ. ඒ අනුව ලංකාවේ ඩිජිටල්කරණය වූ පළමු පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්වීය. ඒ අප නිර්මාණය කළ ජංගම දුරකථන යෙදුම හරහාය. මේ හරහා මහජනතාවට වඩාත් ඉක්මනින් හා පහසුවෙන් ගුණාත්මක සේවාවක් සිදුකිරීමට අවස්ථාව උදාකර දෙයි.
මේ හරහා අප තවදුරටත් ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය කරා පක්ෂය ගමන් කරවීමට කටයුතු කරන අතර, පොරොන්දු දේශපාලනයෙන් ඔබ්බට ගොස් යථාර්ථවාදී දේශපාලනයක් කරා ගමන් කරවීම මෙහි අපේක්ෂාවයි.
වර්තමානය වනවිට සෑම දෙනෙකුම අතෙහි ජංගම දුරකථනයක් දක්නට ලැබේ. ඒ හරහා අප නිර්මාණය කර ඇති යෙදුම (APP) භාගත කර ගන්නා ඕනෑම කෙනෙකුට පක්ෂය පිළිබඳවත්, එහි ඉදිරි කටයුතු පිළිබඳවත් නිවැරදි තොරතුරු දැන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
එසේම රටක් ලෙස අප ඉදිරියට ගමන් කළ යුතු නම්, බොහෝ ක්ෂේත්‍ර තවදුරටත් ඩිජිටල්කරණය කළ යුතුව තිබේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන, ව්‍යාපාර තවදුරටත් ඩිජිටල්කරණය කිරීම හරහා අපට නව වෙළෙඳ පොළ අවස්ථා සොයා ගැනීමට හැකි වන අතරම බොහෝ පාර්ශ්වයන්ට වඩාත් පුළුල් සේවාවක් ලබාදීමට හැකියාව තිබේ.
වර්තමානයේ ලෝකයේ ඉදිරියෙන්ම පවතින ව්‍යාපාර තාක්ෂණය එසේත් නොමැති නම් අන්තර්ජාලය මූලික කරගත් ව්‍යාපාරය. ෆේස්බුක්, ඌබර්, ඇමසන්, අලිබබා, ගූගල්, ඇපල් මේ ආකායෙන් ලෝකයේ ඉදිරියට පැමිණ ඇති සියලු සමාගම් තාක්ෂණය හා අන්තර්ජාලය ඔස්සේ ඉදිරියට පැමිණි සමාගම් වෙයි. අද ඔවුන් තමන්ගේ රටවල ආර්ථික පාලනය කරයි.
ශ්‍රී ලංකාවද දැන් අනෙකුත් රටවල් හා එක්ව තාක්ෂණය සමග ඉදිරියට යෑමට කටයුතු කළ යුතු වෙයි. එසේ නොමැති නම් තවදුරටත් අපට සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ලෝකය හමුවේ පෙනී සිටීමට සිදුවනු ඇත. මෙය හොඳින් හඳුනාගෙන අප ක්‍රමයෙන් ඩිජිටල්කරණය වෙමින් තිබේ. විපක්ෂයේ සිටිමින් අප ඒ සඳහා කටයුතු කරමින් සිටිනුයේ ප්‍රථමයෙන්ම පක්ෂය ඩිජිටල්කරණය කරමිනි.