ලෝකයේ එතෙක්, මෙතෙක් බිහි වූ සියලු ඒකාධිපතියන් පෞරුෂ දුර්වලතාවලින් හෝ මානසික හෝ ශාරීරික සංකූලතාවලින් යුතු අය වෙති. විශේෂයෙන් ආණ්ඩුක්‍රම වැනි මූලික නීති ලියැවිල්ලක් අභිභවා යෑමට නැතිනම් තමන් එකඟව සිටි සමාජ ගිවිසුමකට පිටින් වැඩ කිරීමට සැලකිය යුතු සංකූලතාවන් තිබිය යුතුය. ඉරාකයේ සදාම් හුසේනද, ලිබියාවේ ගඩාබිද එවැනි අයවලුන්ය. ඔවුන් කාන්තාරයේ එළුවන් බලමින් තම ළමා කාලය අපයෝජනයට ලක්වූ, සමාජය කෙරෙහි වූ ඇති වෛරයට දේශපාලනයට පිවිසි අය වෙති. එසේම රුසියාවේ ස්ටලින්ද එසේමය. ඔහු ජෝජියාවේදී ළමා කාලයේ අපයෝජනයට ලක්වූ, බැංකු මංකොල්ලකරුවෙකි. අපි කවුරුත් දන්නා හඳුනන හිට්ලර් ඔස්ට්‍රියාවේ ලුම්පන් පන්තියේ සාමාජිකයෙකි. ඔවුන් ජීවිතයේ විශාල කාලයක් හිඟන්නන් හා පාදඩයන් හා අගුපිල්වල ජීවිතය ගතකළ අයයි. එම නිසා කිව යුත්තේ ඒකාධිපතියන් බිහි වන්නේ මානසික ආබාධ සහිත පුද්ගලයන්ගෙනි.
ලෝක ඉතිහාසයේ ප්රජාතන්ත්රවාදී නායකයෝ දහස් ගණනක් බිහිව තිබේ. ඔවුන් විසින් ගොඩනගන ලද ලෝකය මිනිසුන් බිලියන ගණනක් සාමකාමීව සහජීවනයෙන් එදිනෙදා අවශ්‍යතා ඉටු කරගනිමින් සතුටින් ගත කරති. නමුත් ඒකාධිපතියන් බිහිව ඇත්තේ ඉතාම සුළු පිරිසකි. ඔවුන් මුළු ලෝක ඉතිහාසයේම සියයකට අඩු ගණනකි. එම ඒකාධිපතියන් ලෝකයේ ජන සංහාර, යුද්ධ, දේපොළ හානි, කුරිරු අත්හදා බැලීම්, ලෙඩ රෝග බෝකිරීම් හා ලෝකය මිහිපිට අපායක් කිරීමට අදාළ බොහෝ දේ සිදුකර තිබේ. එය නැපෝලියන්ගේ සිට හිට්ලර් දක්වා, සදාම් හුස්න්ගේ සිට පෝල්පොට් හරහා සියාඋල්හක් දක්වාත් සමානය.
ලෝකයේ මනුෂ්‍ය වාසයට සුදුසුම මිනිසුන් සතුටින් ජීවත් වන අර්බුදයන්ගෙන් තොර සමාජයන් ඇත්තේ ප්රජාතන්ත්රවාදී මානව නිදහසට ගරු කරන, නීතියේ ආධිපත්‍ය හොඳින් ඇති සමාජයන්ය. වෙනිසියුලාව, ඉරාකය, ඉරානය, ලිබියාව, උතුරු කොරියාව, කියුබාව හා මියන්මාරය වැනි රටවල් මිහිපිට අපායන්ය. ඒවායේ ජීවත් වන මිනිසුන්ට එදිනෙදා ආහාර, බෙත්හේත්, ඉන්ධන නොමැත. රජය විසින් එම මිනිසුන්ගේ ජීවිතය උදෙසා කිසිදු සමාජ ආරක්ෂණ ක්‍රමයක් නොකරන්නේය. නමුත් රජයට විරුද්ධව හෝ රජයේ අභිමතයට පිටින් යන අයගේ නිවසට විනාඩි කිහිපයකදී රජයේ ත්රස්තවාදීන් හෝ හමුදා පොලීසිය පැමිණෙනු ඇත. රාජපක්ෂවරු හා සිරිසේන ජනාධිපතිවරයා මේ රටට යෝජනා කරන්නේ එවැනි ක්‍රමයක්ය.
ලංකාව තීරණාත්මක කඩඉමකට පැමිණ තිබේ. වසර 70කට වඩා ප්රජාතන්ත්රවාදය භුක්ති විඳි සමාජයක් කුමන අඩුපාඩුකම් මධ්‍යයේ වුවද, නිදහස් අධ්‍යාපනය, ජාතීන් අතර සමගිය, මානව අයිතිවාසිකම් රැකගත් ජාතියකි. එසේම නීතියේ ආධිපත්‍ය, අධිකරණය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක දිවුරුමක් මගින් ආරක්ෂා කිරීමට බැඳී සිටි නිලධාරීන්, දේශපාලනඥයන් හා වෘත්තිකයන් ජීවත් වූ සමාජයකි. එම සමාජය තුළ වසර 30ක් පැවැති කුරිරු යුද්ධය වුව ආරාජිකත්වයට ඉඩක් නොතිබිණි. යුද්ධය පවතිද්දීත් උතුරේ හා නැගෙනහිර ත්රස්තවාදීන් පාලනය කළ ප්‍රදේශවල නිසි කලට විභාග පැවැත්වුවේය. රජයේ පරිපාලන කටයුතු සිදු කළේය. උප්පැන්න සහතික නිකුත් කළේය. මරණ සහතික නිකුත් කළේය. ගමන් බලපත්‍ර ලබා දුන්නේය. බැංකු කටයුතු සිදු කළේය. පාසල් මධ්‍යම ආණ්ඩුවෙන් පවත්වාගෙන ගියේය. දරුවන් විශ්වවිද්‍යාලවලට ගියේය. රජයේ රෝහල් රජයේ වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවය හොඳින් පවත්වාගෙන ගියේය. සමහර අවස්ථාවල දකුණටත් වඩා හොඳින් උතුරේ කටයුතු සිදු කළේය. කලට වේලාවට මැතිවරණ පැවැත්වීය.
රාජපක්ෂ - සිරිසේන ජුන්ටාවට අවශ්‍ය මෙම සමාජ ක්‍රමය බිඳ වට්ටා දැමීමටය. රාජපක්ෂවරු වැනි බලලෝභී බලවේගයක් සමග සිරිසේන වැනි ජනාධිපතිවරයෙක් මේ රට තුළ සිදු කරමින් සිටින ක්‍රියාවලිය රටේ ආයතන පද්ධතිය, ප්රජාතන්ත්රවාදය හා නීතියේ ආධිපත්‍යය දැනටමත් විශාල අවුලකට පත්කොට ඇත්තේය. ඉදිරි සති කිහිපය තුළ මෙම ජුන්ටාව පරාජය කිරීමට මේ රටේ ජනතාවට නොහැකි වුවහොත් ඉතා ඉක්මනින් ලංකාව මියන්මාරයක්, උතුරු කොරියාවක්, වෙනිසියුලාවක් වනු ඇත.
මන්දයත් ලංකාවේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු නොකරන ජුන්ටාවකට රටක ඕනෑම දෙයක් කළ හැකිය. එවැනි නායකයන් ජීවත් වන සමාජයක් අනාරක්ෂිතය. එවැනි සමාජයක මිනිසුන්ට බියෙන් ජීවත් වීමට සිදුවනු ඇත.
දැනටමත් ජාත්‍යන්තරව අප හුදකලා කොට ඇත්තේය. ඉදිරි සති කිහිපය තුළ අපට විශාල ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවනු ඇත. එය සම්බාධකවලට මුහුණ දීමේ සිට විදේශ ගමන් තහනම දක්වා දික්වීමට ඉඩ තිබේ. විශේෂයෙන් පිටරටවල සිටින ලංකාවේ ඩයස්පෝරාවට මෙරටට පැමිණීමටත් මෙරට සිටින ඔවුන්ගේ ඥාතීන්ට දෙමවුපියන්ට දූදරුවන්ට එම රටවලට ගමන් කිරීමට ඇති හැකියාව අසුරා දැමීමට ඉඩකඩ තිබේ.
අවසාන වශයෙන් මා හට කිව හැක්කේ වඩා දරුණු ඒකාධිපතිත්වයක් ඇති වන්නේ මානසික හා ශාරීරික සංකූලතා සහිත පුද්ගලයන්ගෙනි. එම නිසා ශ්‍රී ලංකාවේ ජනතාව රාජපක්ෂ - සිරිසේන ජුන්ටාව ක්‍රියාත්මක කරමින් සිටින මෙම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය පරාජය කළ යුතුය. ඒ වෙනුවෙන් මේ රටේ සිවිල් සංවිධාන, වෘත්තීය සංවිධාන මාධ්‍ය ආයතන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, රජයේ නිලධාරීන්, දෙමළ, සිංහල, මුස්ලිම් දේශපාලන පක්ෂ හා දේශපාලන බලවේග ජාත්‍යන්තර ප්‍රජාව ඩයස්පෝරාව එක පිලකට එක බලවේගයකට එක්විය යුතුය.
එසේ ගොඩනගන පුළුල් බලවේගයක් මගින් මොවුන් පරාජය කළ හැක්කේය. ඒ 2015 ජනවාරි 08 වැනිදා කළාක් මෙන් තාවකාලිකව නොව සදාකාලිකව පරාජය පත්කළ යුතුය. තිස් අවුරුදු ප්රභාකරන් යුද්ධයෙන් ප්රභාකරන් පරාජය කර එවැනිම රුදුරු කුරිරු ඒකාධිපති රාජපක්ෂලාට රට යටත් කොට දෙනවාද යන්න මේ රටේ බුද්ධිමත් සිවිල් ප්‍රජාවගෙන් හා පුරවැසියන්ගෙන් අප අසන ප්‍රබල ප්රශ්නයයි.