යමෙක හෝ යමෙකුගේ පැවැත්ම තවෙකක හෝ තවෙෙකකුගේ මත රැඳී පවතින අවස්ථා අපි ලොව බෝහෝ අසා, දැක ඇත්තෙමු. එම අවස්ථාවන් තව තවත් දැඩි කොට තර කිරීමේ නොපසුබට උත්සාහයද මානව වර්ගයා වන අප විසින් සිදු කරනු ලබන්නෙමු. එහෙත්, මුළු මහත් පෘථිවිතලයේම ජීවය රඳා පවතින ඒ අන්‍යෝන්‍ය බැඳීම රැක ගැනීමට දිනකට අප විනාඩි කිහිපයක් හෝ වෙන් කරන්නේද යන්න පිළිබඳ තොරතුරු තාක්ෂණය හා බැඳුණු අතිනවීන සංවර්ධිත යුගයේ වෙසෙන මිනිසා වන අප විසින් නැවත නැවත මෙනෙහි කළ යුතුමය. වනාන්තර සංරක්ෂණය හා වායුගෝලය නමැති ඒ අන්‍යෝන්‍ය බැඳීමේ වනාන්තර සංරක්ෂණයේ වගකීම හා යුතුකම අද ඔබට පසුගිය සති කිහිපය පුරා මතක් කර දුනිමු. මේ එම බැඳීමේ පෘථිවි වායුගෝලය පිළිබඳ අද^වෙන් කෙරෙන ඉඩකඩයි. ඒ සඳහා නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ, තාරකා විද්‍යා අංශයේ පර්යේෂණ විද්‍යාඥ ජනක අඩස්සූරිය මහතා අදට සම්බන්ධ කර ගතිමු.
වායුගෝලය මෙතරම් වැදගත් ඇයි?
පෘථිවියේ වාසය කරන සියලු සත්ත්වයාට ආශ්වාස කිරීමට අවශ්‍ය ඔක්සිජන් වායුව සපයන්නේ පෘථිවි වායුගෝලයයි. එසේම, ජීවීන් වන අපටත් වෘක්ෂලතාවලටත් අවශ්‍ය ජලය වර්ෂාව ලෙස ලබා දෙන්නේද වායුගෝලයේ ඇති ජල වාෂ්පයි. බොහෝදෙනෙකු නොදන්නා කරුණක් තමයි සතුන්ට හා ශාකවල පැවැත්මට අවශ්‍ය පරිසර උෂ්ණත්වය වායුගෝලය මගින් පවත්වාගෙන යන බව. එසේම, සූර්යයාගෙන් ඇතුළුව විශ්වයේ විවිධ දිශාවලින් එල්ල වන අහිතකර කිරණවලිනුත්, දිනපතා පෘථිවියට ඇදී එන ග්‍රාහක, උල්කාපාත වැනි දෑ වලිනුත් අපව ආරක්ෂා කරන්නේ පෘථිවිය වටා ඇති කිලෝමීටර 100ක පමණ ඝන වූ වායුගෝලයයි.
වායුගෝලය මගින් පෘථිවියේ උෂ්ණත්වය පාලනය වීමේ ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි කළොත්?
පෘථිවියේ සමස්ත උෂ්ණත්වය (Effective Temperature) වර්තමානයේ සෙල්සියස් අංශක 18ක පමණ අගයක් වෙනවා. මෙම අගය පෘථිවියේ ජීවය පැවතීමට හිතකර අගයක් වන නමුත් පෘථිවිය මෙයට අවුරුදු බිලියන 2.5 කට පමණ පෙර ප්‍රොටෙරෝසෙයික් (Proterozic) යුගයේදී උෂ්ණත්වය ඉතා ඉහළ අගයකටත් ඇතැම් අවස්ථාවලදී ඉතා පහළ අගයකටත් පත්වෙමින් පැවති අතර ජීවයට එතරම් හිතකර වාතාවරණයක් එවකට පැවතියේ නෑ. එහෙත් අද සමස්තයක් ලෙස පෘථිවිය පවතින්නේ එකම සාමාන්‍ය උෂ්ණත්වයකයි.
පෘථීවියේ සාමාන්‍ය උෂ්ණත්වය නියතව පවත්වාගෙන යෑම හරිතාගාර ආචරණය මගින් පැහැදිලි කළ හැකියි. සමහරු හරිතාගාර ආචරණය පෘථිවියේ පැවැත්මට තර්ජනයක් ලෙස වටහාගෙන තිබෙනවා. නමුත් මෙය වැරදි වැටහීමක්. ගැඹුරින් විමසා බැලූ විට පෘථිවියේ හිතකර උෂ්ණත්වය පවත්වාගෙන යනු ලබන්නේ හරිතාගාර ආචරණය මගින් බව පැහැදිලිව දැකිය හැකියි.
පෘථිවියේ සමස්ත උෂ්ණත්වය (සෙල්සියස් අංශක 18) පවත්වාගෙන යනු ලබන්නේ හිරු රශ්මිය පෘථිවියට පතිත වීමෙන් පමණක්ම නොවෙයි. එනම්, පෘථිවියට පතිතවන හිරු කිරණවලින් 50෴ක් පමණ පෘථිවි පෘෂ්ඨය මගින් උරාගනු ලබනවා. මෙම උරාගනු ලබන ශක්තිය, තාපය ලෙස නැවත වායුගෝලයට මුදාහරින අතර එම විකිරණ වායුගෝලයේ ඇති හරිතාගාර වායු (Green house gases) වන කාබන්ඩයොක්සයිඩ් (CO2), මීතේන් (CH4), නයිට්‍රස් ඔක්සයිඩ් (N2O) සහ ජලවාෂ්ප (H2O) මගින් උරාගෙන නැවත අධෝරක්ත කිරණ (Infrared) ලෙස වායුගෝලයට මුදා හැරෙනවා. මෙම මුදාහරින තාප විකිරණ සූර්යයාගෙන් ඝෘජුව ලැබෙන තාප ශක්තිය සමග එකතුවී පෘථීවියේ ජීවයේ පැවැත්මට හිතකර උෂ්ණත්වයක් ලබා දෙනවා. එනම්, පෘථිවිය උෂ්ණත්වය පවත්වාගෙන යන්නේ වායුගෝලයේ ඇති හරිතාගාර වායුවලින් සිදුවන හරිතාගාර ආචරණය මගින්.
ඒ කියන්නේ අප නොසිතන ආකාරයට හරිතාගාර වායු පෘථිවියේ පැවැත්මට ඉවහල් වෙනවා?
ඔව්. නමුත් අප මෙහිදී සලකා බැලිය යුත්තේ මෙම හරිතාගාර වායුවල සමතුලිතතාවයි. විශේෂයෙන්ම පෘථිවියේ ඇති කාබන්ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප නිරතුරුව සමතුලිතතාවේ පවතිනවා. උදාහරණයක් ලෙස ජල වාෂ්ප ඝනත්වය වැඩිවත්ම එය වර්ෂාව ලෙස පොළොවට ඇද හැලී වායුගෝලයේ ඇති ජලවාෂ්ප ප්‍රමාණය පාලනය කරනු ලබනවා. කාබන්ඩයොක්සයිඩ්ද මේ ආකාරයට වර්ෂාව සමග පොළොවට ඇද හැලී කාබනික ද්‍රව්‍ය ලෙස පොළොවේ තැන්පත්වී නැවත ගිනි කඳු පිපිරීම් මගින් වායු ගෝලයට එකතු වීමෙන් සමතුලිතතාව පවත්වා ගන්නවා.
මෙම ක්‍රියාවලිය පෘථිවි වායුගෝලයේ අවුරුදු බිලියන ගණනක සිට සිදුවන දෙයක්. නමුත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයට එකතු වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය දිනෙන්දින ඉහළ යමින් පවතිනවා. මේ නිසා කාබන්ඩයොක්සයිඩ් සමතුලිතතාව බිඳී ගොස් හරිතාගාර ආචරණයෙන්ම පෘථීවියේ උෂ්ණත්වය ඉහළ යාමක් සිදු වෙනවා. පෘථිවියේ ඇතිවන අයහපත් කාලගුණික හා දේශගුණික විපර්යාසවලට මෙම තත්ත්වය හේතුවක් විය හැකියි. ඒ නිසාම මේ පිළිබඳ අද ලෝකය අවධානයෙන් පසුවෙනවා.
සිකුරු ග්‍රහයාගේ වායුගෝලය සහ එහි උෂ්ණත්වය පිළිබඳ අධ්‍යයනය කිරීම මගින් අපිට මෙම තත්ත්වය හොඳින් අවබෝධ කර ගත හැකියි. සිකුරු ග්‍රහලෝකයේ කාබන්ඩයොක්සයිඩ්වලින් ගහන ඉතා ඝන වායුගෝලයක් තිබෙනවා. එසේම, එහි මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 462ක් පමණ වෙනවා. මෙය බුධ ග්‍රහයාගේ දිවා කාලයේ උෂ්ණත්වයටත් වඩා අධිකයි. සිකුරු ග්‍රහයාත් මීට වසර බිලියන ගණනකට පෙර ඇතැම්විට ජලය සහිත ජලවාෂ්පවලින් යුත් වායුගෝලයක් ලෙස පැවතුණා විය හැකියි. නමුත් සිකුරු ග්‍රහයාගේ පෘථිවියේ මෙන් හරිතාගාර වායු සමතුලිතතාවක් තබා ගැනීමේ ක්‍රියාවලියක් සිදුවී නැහැ. ඒ නිසා ක්‍රමයෙන් සිකුරු ග්‍රහයාගේ ඇති කාබන්ඩයොක්සයිඩ් සහ ජලවාෂ්ප ප්‍රමාණය වැඩිවී ග්‍රහලෝකයේ උෂ්ණත්වය ඉහළ ගොස් ජලය පැවතියානම් ඒවා වාෂ්ප වී තිබෙනවා. එසේම, සිකුරු ග්‍රහයාගේ ඕසෝන ස්ථරයක් නොමැති වීම නිසා සූර්යයාගෙන් පතිතවන පාරජම්බුල කිරණ ඝෘජුවම වායුගෝලය හරහාවිත් සිකුරු ග්‍රහලෝකයේ ජලවාෂ්ප, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්වලට වියෝජනය වීමෙන් ජලවාෂ්ප සියල්ලම නැතිවී ගොස් තිබෙනවා. අනෙක් අතට සිකුරු ග්‍රහයාගේ ජලය හෝ ජලවාෂ්ප නොමැතියැයි අනුමාන කළත් එහි ගිනිකඳුවල ක්‍රියාකාරීත්වය නිසා කාබන්ඩයොක්සයිඩ් වායුව නිරතුරුවම වායුගෝලයට එකතු වීම සිදුවනවා. වර්ෂාවක් නොමැති නිසා නැවත කාබන්ඩයොක්සයිඩ් වායුගෝලයෙන් ඉවත්වීමේ ක්‍රමයක් නොමැතිවීමෙන් උෂ්ණත්වය වැඩිවීම වැළැක්විය නොහැකියි.
මෙයට හාත්පසින්ම විරුද්ධ ක්‍රියාවලියක් අඟහරු ග්‍රහයාගේ වායුගෝලයේ සිදු වෙනවා. එනම්, හරිතාගාර ආචරණයේ ක්‍රියාවලියට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියයි. අඟහරුගේ පවතින්නේ කාබන්ඩයොක්සයිඩ්වලින් ගහන ඉතා තුනී වායුගෝලයක්. මෙම වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් බහුල වුවත් වායුගෝලයේ සමස්ත උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ක් පමණ වෙනවා. මෙම උෂ්ණත්වයේදී කාබන්ඩයොක්සයිඩ් වායුව ක්‍රමයෙන් වායුගෝලයෙන් ඉවත්වී ඝන කාබන්ඩයොක්සයිඩ් බවට පත්වීම සිදු වෙනවා. මෙම තත්ත්වය යටතේ හරිතාගාර වායුවක් වන කාබන්ඩයොක්සයිඩ් ක්‍රමයෙන් වායුගෝලයෙන් ඉවත් වීමක් සිදුවන නිසා අඟහරු වායු ගෝලයේ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩුවී ගොස් තිබෙනවා.
මේ අනුව, පෘථීවි වායුගෝලය තුළ ක්‍රියාත්මක වන්නේ ජීවයට ඉතාමත් හිතකර හරිතාගාර ක්‍රියාවලියක්. මේ නිසා ජීවයට හිතකර මෙම හරිතාගාර ක්‍රියාවලිය පවත්වාගෙන යෑමේ වැදගත්කම අපේ අසල්වැසි ග්‍රහලෝක දෙක උදාහරණයකට ගැනීමෙන් අපට අවබෝධ කර ගත හැකියි.
ඒ අනූව පෙනී යන්නේ ග්‍රහලොවක ජීවීන්ගේ පැවැත්මට වායුගෝලයේ ඕසෝන ස්ථරය අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරන බව නොවේද?
ඔව්. ඕසෝන (O3) ස්ථරය කියන්නේ සූර්යයාගේ හා විශ්වයේ සෑම තැනින්ම පැමිණෙන අහිතකර කිරණවලින් පෘථිවිය ආරක්ෂා කරන ආවරණයක්. මෙම ඕසෝන ස්ථරය වායුගෝලයේ කිලෝමීටර 20ත් 30ත් අතර ප්‍රදේශයක පැතිර පවතිනවා. සූර්යයාගේ ක්‍රියාකාරිත්වය නිසා හට ගන්නා සූර්ය කුණාටු, සූර්ය සුළං මගින් නොයෙකුත් විකිරණ සහ ආරෝපිත අංශු පෘථිවිය වෙත ළඟා වෙනවා. මෙම විකිරණ විශාල වශයෙන් අවශෝෂණය කිරීම ඕසෝන ස්ථරයෙන් සිදු වෙනවා.
එහෙත් අවාසනාවකට මෙම ඕසෝන ස්ථරය ඇන්ටාක්ටිකාව ප්‍රදේශයෙන් සිදුරු වී තිබෙනවා. ඕසෝන ස්ථරය විනාශ වන්නේ ක්ලෝරෝෆ්ලෝරෝකාබන් (Chlorofluorocarbon) එනම් CFC වර්ග 03ක් සහ හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝකාබන් (Hydrochlorofluorocarbon) එනම් HCPC එක් වර්ගයක් හේතුවෙන්. මෙහි ඇති බරපතළකම නිසාම 1987දී කැනඩාවේ මන්ත්‍රියෝල් (Montreal) නුවරට රැස් වූ මෙම ක්ෂේත්‍රය පිළිබඳ ලොව විද්වතුන් මේ සම්බන්ධයෙන් සමුළුවක් පවත්වා ගත් පියවර හේතුවෙන් මෑතකදී ගත් ඡායාරූපවල මෙම ඕසෝන සිදුරේ තුනී වීමක් පෙන්නුම් කරනවා.
පෘථිවි වායුගෝලයේ සමතුලිතාව රැක ගැනීමට අප කුමන ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුද?
පෘථිවි වායුගෝලයේ සමතුලිතතාව බිඳීයාමට බෙහෙවින් බලපාන හරිතාගාර වායු බහුලව වායුගෝලයට මුදා හරිමින් සිටින්නේ කාර්මික රටවල්.
ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල්වලින් මේ සඳහා වන බලපෑම ඉතා අවමයි. නමුත් සමස්තයක් ලෙස කාලගුණික සහ දේශගුණික විපර්යාසවලට අප සියලු දෙනාට මුහුණ දීමට සිදු වෙනවා. ඒ නිසා අප වැනි කුඩා ඒකක හැකිතාක් හරිත සංකල්පවලට අනුගතවීම වැදගත්. එමඟින් කාබනික ඉන්ධන දහනය අවම කරවාගත හැකියි. රථවාහන භාවිතයේදී වුවත් විදුලියෙන් ගමන් කරන හෝ දෙමුහුන් රථවාහනවලට මාරු වීම කාලෝචිත වනවා. එමෙන්ම පොලිතීන්, ප්ලාස්ටික් භාවිතයද අවම කළ යුතුයි. මෙමගින් අපට සුළුවෙන් හෝ වායුගෝලය ප්‍රමුඛ අවට පරසරය ඉතා දීර්ඝ කාලයක් මානව වර්ගයාට සහ ගහකොළවලට යහපත් ආකාරයට පවත්වා ගත හැකියි.