සිංහල සහ දෙමළ භාෂා පුවත්පත් වාර්තා සැසඳුම


සිංහල සහ දෙමළ භාෂා පුවත්පත් වාර්තා සැසඳුම

අවසන් සතිය තුල ආවරණය වූ පුවත් වල බෙදීයාම

හැඳින්වීම

2021 ජනවාරි 8 වැනිදා රාත්‍රියේදී යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ තිබූ මුල්ලිවෛක්කාල් ස්මාරකය කඩා බිඳ ඉවත් කිරීම පසුගිය සතියේ දමිළ භාෂා පුවත්පත් ආවරණයන් තුළ ප්‍රධාන තැන් ගෙන තිබිණි. එය, ජනපති විසින් අම්පාරේදී සිදුකළ ප්‍රකාශය සහ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වෙත සිරදඬුවම් පැමිණවීම සම්බන්ධයෙන් දමිළ භාෂා පුවත්පත් තුළ පුවත් වාර්තාවන්ට පමණක් සීමා වූ ආවරණය සහ ඒ සඳහා සිංහල භාෂා තුළ සැලකිය යුතු තරමින් ලැබී තිබූ ආවරණය හා සංසන්දනය කර බලන විට කැපී පෙනෙන වෙනසක් විණි. එසේම, නැගෙනහිර බහලුම් පර්යන්තය ඉන්දියාවට බදුදීමේ යෝජනාවද සිංහල භාෂා පුවත්පත් මගින් පුළුල්ව ආවරණය කොට තිබූ අතර, දමිළ භාෂා පුවත්පත් තුළ ඒ සම්බන්ධයෙන් වූ ආවරණය අවම මට්ටමක දක්නට ලැබිණි.

 එක් ස්මාරකයක්, ආඛ්‍යාන ගණනාවක්

2009 වසරේ යුද්ධයේ අවසාන අදියරේදී මුල්ලිවෛක්කාල් සහ ඒ අවටදී ජීවිත අහිමි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ඔවුන්ගේ ආදරණීයයන් සිහිපත් කිරීම උදෙසා, 2018න් දී යාපනය සරසවි පරිශ්‍රය තුළ ස්මාරකයක් ඉදිකෙරිණි. පුවත් වාර්තාවන්ට අනුව 2021 ජනවාරි 8 වැනි දින, එම ස්මාරකය අනවසරයෙන් ඉදිකරන ලදැයි යන පදනම මත උපකුලපති වරයාගේ අවසරය පිට සන්නද්ධ හමුදා සාමාජිකයින් විසින් එය ඉවත් කරන ලදී. මෙම සිදුවීම පිළිබඳව දමිළ භාෂා පුවත්පත් මගින් දැක්වූ ප්‍රතිචාරය හේතුවෙන් ආඛ්‍යානයන් කිහිපයක්  මතුවී තිබිණි.

විවේචනයන් දැක්විමට එක්සත්ව

මෙම ස්මාරකය බිඳ දැමීම විවේචනයට ලක් කිරීමේදී විකල්ප ධාරාවේ සිංහල භාෂා පුවත්පත් සහ දමිළ භාෂා පුවත්පත් එකඟ වී තිබිණි. ඔවුන් එය රාමුගත කොට තිබුණේ, අනුස්මරණය කිරීම සඳහා වන මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීමක් ලෙසිනි. තවදුරටත් දමිළ භාෂා පුවත්පත් මගින් පුන පුනා පවසන්නට යෙදුණේ, යුද්ධය නිසා ඇති වූ සිත් වේදනා සුවපත් කරගනිමින් ඉදිරියට යෑම සඳහා මළවුන් අනුස්මරණය කිරීමට ඇති අයිතිය අත්‍යාවශ්‍ය වන බවයි. මෙම ස්මාරකය කඩා බිඳ හෙළා ඉවත් කිරීම, ශ්‍රී ලංකාවේ සංහිඳියාව සඳහා වන ප්‍රයත්නයන් සෝදාපාළු වීමට අතිශයින්ම සමාන බව දමිළ භාෂා පුවත්පත් මගින් දක්වා තිබිණි. තවදුරටත්, දමිළ භාෂා පුවත්පත් සහ විකල්ප ධාරාවේ සිංහල භාෂා පුවත්පත් මගින් ඉස්මතු කොට දක්වන්නට යෙදුණු කරුණ වූයේ, ජනතා විමුක්ති පෙරමුණේ සහ යුධ හමුදාවේ ස්මාරකයන් පවත්වාගෙන යෑමට අවකාශ ලබාදී තිබුණත්, මෙම ස්මාරකය පමණක් බිඳ දැමුණේය යන්නයි.

කාටූනය වීරකේසරී

බිඳ හෙළීම සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධව

පළමුව, මෙම ස්මාරකයේ ඇති සුවිශේෂීතාවය සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ සිංහල භාෂා පුවත්පත් සහ දමිළ භාෂා පුවත්පත් එකිනෙකාට ප්‍රතිවිරුද්ධ වී තිබිණි. දමිළ භාෂා පුවත්පත් මගින් මෙම ස්මාරකය දැක තිබුණේ, යුද්ධය අතරවාරයේදී ජීවිත අහිමි වූ දමිළ ජාතික වින්දිතයන් අනුස්මරණය සඳහා ඉදිවූවක් ලෙසිනි. ඊට ප්‍රතිවිරුද්ධ ලෙසින් ප්‍රධාන ධාරාවේ සිංහල භාෂා පුවත්පත් මගින් මෙය දැක තිබුණේ, එල්ටීටීඊය හෝ ත්‍රස්තවාදීන් අනුස්මරණය සඳහා ඉදිකෙරුණු ස්මාරකයක් ලෙසිනි. මේ අනුව ප්‍රධාන ධාරාවේ ඇතැම් සිංහල භාෂා පුවත්පත් මගින් මෙම ස්මාරකය කඩාබිඳ දැමීම සැලකිල්ලට ගත යුතු කරුණක් ලෙසින් විවේචනය කර නොතිබුණි.

දෙවනුව, මෙම සිදුවීමට ප්‍රතිචාර දැක්වීමේදී දමිළ දේශපාලඥයින් විසින් සිදුකළ භූමිකාවන් සම්බන්ධයේදී රජයට අයත් තිනකරන් පුවත්පත සහ පුද්ගලික හිමිකාරීත්වය යටතේ වන දමිළ භාෂා පුවත්පත් බෙදී වෙන්වී තිබිණි. එක් අතකින් තිනකරන් සහ ප්‍රධාන ධාරාවේ ඇතැම් සිංහල භාෂා පුවත්පත් දමිළ දේශපාලඥයින්ගේ හැසිරීම හෙළා දැක තිබිණි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, දමිළ දේශපාලඥයින් විසින් සරසවි සිසුන්ව තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන් ඉදිරියට ගෙන යෑම සඳහා රූකඩ ලෙසින් යොදාගත් බව එහිදී ඉස්මතු කෙරී තිබිණි. අනෙක් අතට, පුද්ගලික හිමිකාරීත්වය යටතේ වන දමිළ භාෂා පුවත්පත් මගින්ද දමිළ දේශපාලඥයින්ගේ හැසිරීම ප්‍රශංසා කොට තිබුණේ, මෙම සිදුවීමට විරෝධතාවය දැක්වීමේදී එක් හඬකින් එක්සත් වීම සම්බන්ධයෙනි. පුවත්පත් මගින් සිදුකරන්නට යෙදුණු එවැනි ප්‍රශංසාවක් මගින් සිහිපත් කරවූයේ, අනුස්මරණය සඳහා වන අයිතිය උල්ලංඝනය කළ අවස්ථාවේදී ඊට එරෙහිව දමිළ දේශපාලන නායකයින් එක්සත් වූ අතීතයයි. මින් පෙර, මහ විරු දිනය පැවැත්වීම සහ තිලීපන්ව අනුස්මරණය කිරීමට එරෙහිව සීමා පැනවුණු මොහොතේදී දමිළ දේශපාලඥයින් ඊට විරුදුව එක්ව නැගී සිටීම දමිළ භාෂා පුවත්පත් මගින් ප්‍රශංසාවෙන් යුතුව පිළිගෙන තිබිණි.

වගකීම කා අතද?

දමිළ භාෂා පුවත්පත් මගින් මෙම ස්මාරකය බිඳ හෙලීම සම්බන්ධයෙන් ප්‍රධාන පාර්ශවයන් දෙකක් වගකිව යුතු යැයි සලකා තිබිණි. එනම් ශ්‍රී ලංකා රජය සහ උපකුලපතිවරයායි.

 යාපනය සරසවියේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රීසද්ගුණරාජාව හෙළාදැකීම ඔස්සේ දමිළ භාෂා පුවත්පත් ප්‍රධාන ධාරාවේ සිංහල භාෂා පුවත්පත් වලින් වෙනස් වී තිබිණි. දමිළ භාෂා පුවත්පත් මගින් මත දක්වන්නට යෙදුණේ, උපකුලපතිවරයා දමිළ ජනතාවට ‘ද්‍රෝහී වූ’ බව සහ දමිළ ජනතාවට ‘වුවමනා අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් නොසිටි’ බවයි. එසේම උපකුලපතිවරයා දමිළ ප්‍රජාවගේ අපේක්ෂාවන් භංගත්වයට පත් කළ බවද දමිළ භාෂා පුවත්පත් මගින් දක්වා තිබිණි. කෙසේ නමුත් සිදුවීමෙන් දින දෙකකට පසුව නව ස්මාරකයක් ඉදිකිරීම සඳහා උපකුලපතිවරයා විසින් මුල් ගල තබන්නට යෙදිණි. දමිළ භාෂා පුවත්පත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියේ, එය ඇතැම් සිසුසිසුවියන් විසින් ආරම්භ කළ උපවාසය නැවැත්වීම සඳහාත්, ස්මාරකය බිඳ දැමීමේ සිදුවීම ආපිට කැරකී ඒම සමනය කිරීම සඳහාත් කළ හුදු ඇස්බැන්දුමක් ලෙසින් පෙන්වමිනි.

මෙය, සරත් වීරසේකර සහ විමල් වීරවංශ වැනි රජයේ අමාත්‍යවරුන් විසින්, ත්‍රස්තවාදීන් වෙනුවෙන් ඉදිකෙරුණු ස්මාරකයක් බිඳ හෙළා ඉවත් කිරීමට අවසර දීම සම්බන්ධයෙන් උපකුලපතිවරයාට ප්‍රශංසාව දක්වමින් සිදුකළ ප්‍රකාශයන් හා පෙළින් පෙළ තබා දක්වන්නට යෙදී තිබිණි. තවදුරටත්, දමිළ භාෂා පුවත්පත් වලට ප්‍රතිවිරුද්ධ ලෙසින් සිංහල භාෂා පුවත්පත් මගින් උපකුලපතිවරයාව හෙළා දැකීමක් සිදුව තිබූ බවක් නොපෙනුණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් රජය වගකිව යුතුය යන ස්ථාවරයේදී දමිළ භාෂා පුවත්පත්, විකල්ප ධාරාවේ සිංහල භාෂා පුවත්පත් හා එකඟ වී තිබිණි. දමිළ භාෂා පුවත්පත් මගින් මෙම සිදුවීම දක්වා තිබුණේ රජය ලැබූ ‘ජයක්’ ලෙසිනි. ඒ, සාර්ථකව ස්මාරකය කඩාබිඳ හෙළා ඉවත් කිරීමත්, සුළුතර අයිතීන් උල්ලංඝනය කිරීමත්, එසේ කොට වරද උපකුලපතිවරයා පිට පැටවීමත් වෙත එම ජයග්‍රහණය බැර කරමිනි. දමිළ භාෂා පුවත්පත්, මෙම සිදුවීම රජය මගින් සිදුකරන ‘ජාතිවාදී’ දේශපාලනයක ආරම්භය ලෙස සලකා තිබිණි.

මෙම වසරේ මාර්තුවේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයන් සම්බන්ධයෙන් පසුගිය සතියේ පටන් ගන්නා ලද කතිකාව මේ සතිය තුළද දමිළ භාෂා පුවත්පත් මගින් ගෙන හැර දක්වා තිබිණි. ඔවුන් එහිදී මත පළකොට තිබුණේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී මෙම ස්මාරකය බිඳ හෙළා ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයෙන් වගඋත්තර විමසනු ඇති බවටයි. මෙම ස්මාරකය බිඳ හෙළීම හෙළා දකිමින් ජාත්‍යන්තර දේශපාලන නායකයින් කිහිප දෙනෙකු විසින් සිදුකළ ප්‍රකාශයන්ද දමිළ භාෂා පුවත්පත් මෙහිදී ඉස්මතු කොට දක්වා තිබිණි.

 



Recommended Articles