සිංහල සහ දෙමළ භාෂා පුවත්පත් වාර්තා සැසඳුම


පසුගිය සතියේදී සිංහල භාෂා පුවත්පත් වලට සමාන ලෙසින් දමිළ භාෂා පුවත්පත්ද 2021 රජයේ අය-වැය සහ ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයේ අවුරුද්දක් සම්පූර්ණ කිරීම ආවරණය කර තිබිණි. මීට අමතරව, නොවැම්බර් 27 වන දිනට යෙදෙන මාවීරර් නාල් (මහ විරු දිනය) සඳහා උතුරේ සහ නැගෙනහිර වන සැමරුම් පිළිබඳවද දමිළ භාෂා පුවත්පත් පුළුල්ව සාකච්ඡා කර තිබිණි.

රාජපක්ෂ පාලනය පිළිබඳ සමාලෝචනයක්

ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයේ සම්පූර්ණ කළ වසරක කාලය දෙස නැවත හැරී බැලීමක් සිදුකළ දමිළ භාෂා පුවත්පත්, එය ආඛ්‍යානයන් දෙකක් ඔස්සේ ඉදිරිපත් කර තිබිණි.

වීරකේසරී සහ තිනකුරල් පුවත්පත් වල දක්නට ලැබුණු වඩාත් ප්‍රමුඛත්වයක් ගෙන තිබූ ආඛ්‍යානය ඔස්සේ, ජාතික මෙන්ම සුළුතර ගැටළු සම්බන්ධයෙන් ආමන්ත්‍රණය කිරීමට ජනපති රාජපක්ෂ අසමර්ථ වීම හෙළා දැක තිබිණි. දමිළ භාෂා පුවත්පත් මගින් සඳහන් කරන්නට යෙදුණේ, ජනතාව ජනපතිවරයා සමගින් පැවති මධුසමය වියැකී ගොස් ඇති බවත්, පොදු ජනතාව දැන් දැන් අසන්තෝෂයෙන් සිටිනා බවත් වේ.

එසේම සිංහල භාෂා පුවත්පත් තුළ වූ විපක්ෂයේ අදහස් වලට සමාන අයුරින් දමිළ භාෂා පුවත්පත් ප්‍රකාශ කර තිබුණේ, ආරම්භයේදී ජනපතිවරයා විසින් දූෂණයට එරෙහිව සටන් කිරීමට, රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට සහ වසංගතය මර්දනය කිරීමට දැක්වූ උනන්දුව, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව වියැකී ගොස් ඇති බවයි. අනෙකුත් ගැටළු අතර, ජනපති රාජපක්ෂ විසින් සිවිල් අවකාශයන් තුළට හමුදාව සම්බන්ධ කරගැනීමට දක්වන නැඹුරුතාවය සම්බන්ධයෙන්ද පුවත්පත් සිය අප්‍රසාදය දක්වා තිබිණි.

තවදුරටත්, ජනපතිවරයාට එරෙහිව එල්ල වූ විවේචනයන් අතර ප්‍රමුඛත්වයක් ලබාගෙන තිබුණේ, ඔහු විසින් සුළුතර ප්‍රජාවන් විසින් මුහුණ දෙන දුක්ගැනවිලි නොසලකා හැරි බවට වන විවේචනයයි. මෙම දුක්ගැනවිලි අතරට දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම, හමුදාවේ පාලනය යටතේ ඇති පුද්ගලික ඉඩම් නැවත අයිතිකරුවන් හට ලබා නොදීම මෙන්ම, වතුකරයේ ජීවන තත්වය ඉහළ නැංවීමට කටයුතු නොකිරීමද අයත් විණි. මේ අතරම, ජනපතිවරයා විසින් සිය ජාතිය ඇමතීමේදී තමන්ට ඡන්දය ලබාදුන්නේ ජනගහණයෙන් සිංහල-බෞද්ධ ප්‍රජාව බව පුනරුච්ඡාරණය කිරීම සම්බන්ධයෙන්ද දමිළ භාෂා පුවත්පත් මගින් ඔහුට විරුදුව අවලාද නගා තිබිණි.

කෙසේ නමුත් තිනකරන් හා තිනකුරල් පුවත්පත් තුළ වූ උක්ත දැක්වුණු ආඛ්‍යානයට ප්‍රතිවිරුද්ධ වූ ආඛ්‍යානය මගින්, ප්‍රධාන ධාරාවේ සිංහල භාෂා පුවත්පත් මගින් ප්‍රතිරාවය කළ ප්‍රමුඛ හැඟීම් නැවත ඉදිරිපත් කර තිබිණි. මෙම අදහස් ඔස්සේ ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය වසර පුරා දැක්වූ ආදර්ශමත් නායකත්වය සම්බන්ධයෙන් ප්‍රශංසා පළ කොට තිබිණි. පුවත්පත් මෙහිදී දක්වා තිබුණේ, හමුදාවත් සමගින් එක්ව කොවිඩ්-19 තත්වය පාලනය කිරීමෙහි ලා ජනපතිවරයා සාර්ථක වූ බවයි. තවදුරටත්, මෙම ආඛ්‍යානය මගින්, දේශීය කර්මාන්‍තයන් දිරිගැන්වීම සහ රටේ අපරාධ ප්‍රමාණය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන්ද ජනපතිවරයාව අගය කර තිබිණි.

ආපිට පත්‍තු වූ අය-වැය

2021 වසර සඳහා වන රජයේ අය-වැය සම්බන්ධයෙන් දමිළ භාෂා පුවත්පත් තුළ දක්නට ලැබුණු ප්‍රමුඛ වූ වාර්තාකරණය සෘණාත්මක වී තිබෙනු දක්නට ලැබිණි. යෝජිත අය-වැය වර්තමාන ආර්ථික යතාර්ථයන්ගෙන් සම්පූර්ණයෙන්ම විතැන්ව ඇති බවත්, එම අය-වැය ප්‍රායෝගික නොවන බවටත් සිංහල භාෂා පුවත්පත් තුළ වූ ප්‍රතිවිරුද්ධ ආඛ්‍යානය, දමිළ භාෂා පුවත්පත් මගින්ද ප්‍රතිරාවය කරන්නට යෙදිණි.

පළමුව පුවත්පත් මගින් ප්‍රකාශ කරන්නට යෙදුණේ, රජය විසින් කොවිඩ්-19 වසංගතය සහ එහි ප්‍රතිඵල වන විරැකියාව ඉහළ යෑම, සංචාරක කර්මාන්තයට එල්ල වන මරු පහර සහ විදේශ ප්‍රේෂණ පහත වැටීම වැනි කරුණු සැලකිල්ලට ගෙන නොමැති බවයි. මෙය, වසංගත සමයකදී මහජන සුභසිද්ධිය පිළිබඳව මෙම අය-වැය මගින් ආමන්ත්‍රණය කර ඇති බවට සිංහල භාෂා පුවත්පත් තුළ දක්නට ලැබුණු මතයට ප්‍රතිවිරුද්ධ විණි.

කාටූනය අය - වැය වීරකේසරී

කොවිඩ්-19 ප්‍රතිචාර සඳහා සහ සෞඛ්‍ය අංශය සඳහා වෙන් කර ඇති ප්‍රමාණවත් නොවන ප්‍රතිපාදන සමගින්, ආරක්ෂාව සඳහා අය වැයෙන් වෙන් කර ඇති වඩා වැඩි ප්‍රතිපාදන දමිළ භාෂා පුවත්පත් මගින් පෙළින් පෙළට තබා විමසා බලා තිබිණි. තවදුරටත්, සිංහල භාෂා පුවත්පත් තුළ වන විපක්ෂ අදහස් වලට සමාන ලෙසින් දමිළ භාෂා පුවත්පත් මගින් ප්‍රකාශ කරන්නට යෙදුණේ, වැඩි වෙමින් පවතින රාජ්‍ය ණය සම්බන්ධයෙන් වන තැති ගැන්මයි. විශේෂයෙන්ම වසංගතයක් පවතින කාලයක වැඩි වන ණය සම්බන්ධයෙන් කටයුතු කරන්නට තමන් යෝජනා කරන්නේ කෙසේද යන්න ප්‍රකාශයට පත් කිරීමෙහි ලා රජය අසමර්ථ වීම  පිළිබඳව හඬ නගන්නටද දමිළ භාෂා පුවත්පත් කටයුතු කර තිබිණි.

දෙවනුව, වතුකර ප්‍රජාව සඳහා ලබාදීමට යෝජිත අවම වැටුප රුපියල් 1,000 කින් වැඩි කිරීම සම්බන්ධයෙන් දමිළ භාෂා පුවත්පත් දැරූ ස්ථාවරය සිංහල භාෂා පුවත්පත් වලින් වෙනස් වී තිබිණි. සිංහල භාෂා පුවත්පත් මගින් මෙය සුභවාදී පියවරක් ලෙසින් ඉස්මතු කොට දක්වා තිබූ අතරේදී, දමිළ භාෂා පුවත්පත් මගින් මෙය දැක තිබුණේ හිස් පොරොන්දුවක් ලෙසිනි. පුවත්පත් මගින් පෙන්වා දී තිබුණේ, වතු සමාගම් මගින් මෙම පොරොන්දුව ප්‍රතික්ෂේප කිරීමට යුහුසුළු වූ බවයි. තවදුරටත් දමිළ භාෂා පුවත්පත් මගින් පෙන්වා දෙන්නට යෙදුණේ, වසංගත තත්වය නිසාවෙන් වතුකරයේ රැකියාවන් විශාල වශයෙන් අඩුවී ඇති බවත්, වසංගතයෙන් අපනයන අංශයද අඩාල වී ඇති බවත් වේ.

කෙසේ නමුත් රජයේ හිමිකාරීත්වය යටතේ වන තිනකරන් පුවත්පත මගින් ප්‍රධාන ධාරාවේ සිංහල භාෂා පුවත්පත් වල දක්නට ලැබුණු ප්‍රමුඛ ස්ථාවරයට සමාන ස්ථාවරයක් ගෙන තිබූ අතර, විශේෂයෙන්ම රජයේ පුවත්පත් මගින් අය-වැය ධනාත්මකව දැක තිබිණි. එහිදී සඳහන්ව තිබුණේ මෙවර අය වැය මගින් මහජන සුභසාධනය ප්‍රශස්තකරණය කෙරී ඇති බවත්, එසේම කොවිඩ්-19 වසංගතය සඳහා එයින් ප්‍රමාණවත් අවධානයක් යොමු කෙරී ඇති බවත් විණි.

අනුස්මරණයට ඇති අයිතිය මර්දනය වීද?

උතුරේ සහ නැගෙනහිර මහවිරු දින අනුස්මරණයන් පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ සිංහල භාෂා පුවත්පත් සහ දමිළ භාෂා පුවත්පත් එකිනෙකින් අපසරණය වී තිබිණි. එල්ටීටීඊය මගින් මහවිරු දිනය ප්‍රකාශයට පත් කරන්නට යෙදුණේ, ඔවුන්ගේ මිය ගිය කාඩර්වරුන් සැමරීමටයි. ප්‍රධාන ධාරාවේ සිංහල භාෂා පුවත්පත් මගින් මහ විරු දිනය සැමරීම යනු ත්‍රස්තවාදය නැවත ඉපදවීමක් ලෙසින් දැක තිබූ අතර, දමිළ භාෂා පුවත්පත් මගින් එය දැක තිබුණේ දමිළ ප්‍රජාවගේ මූලික අයිතිවාසිකමක් ලෙසිනි.

මහවිරු දින අනුස්මරණයන් පැවැත්වීමෙන් වැළැක්වීමට ගන්නා උත්සායහන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙසින් දමිළ භාෂා පුවත්පත් මගින් දැක තිබූ අතර, එය ඉදිරියේදී පැමිණීමට නියමිත මර්දනයේ පෙර සළකුණක් ලෙසින්ද හැඟවී තිබිණි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, මහවිරු දින සැමරුම් වැළැක්වීම යනු රජයේ සිංහල-බෞද්ධ ස්ථාවරයෙන් පැන නැගුණු එහි ජාතිකවාදී ප්‍රතිපත්ති පිළිබිඹු කිරීමක් බව එහිදී දැක්වී තිබිණි. එසේම අතුරුදන් වූවන් සම්බන්ධ ගැටළුව සඳහා ආමන්ත්‍රණය, හමුදාවෙන් අත්පත් කරගත් ඉඩම් ආපිට ලබාදීම සහ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම වැනි සුළුතර අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීම සම්බන්ධයෙන් මෙය අසුභ පෙර නිමිති පවසන බවද පුවත්පත් මගින් මත දක්වා තිබිණි.

දමිළ භාෂා පුවත්පත් මගින් අවධාරණය කරන්නට යෙදුණේ, මහවිරු දින සැමරුම් වැළැක්වීමට පියවර ගැනීම යනු, අනුස්මරණය සඳහා වන අයිතිය උල්ලංඝනය කිරීමක් බවයි. ඇතැම් සිංහල භාෂා පුවත්පත් මගින් මහවිරු දිනය යනු ත්‍රස්තවාදීන්ට ගරු බුහුමන් කිරීමක් ලෙසින් සලකා තිබුණද, දමිළ භාෂා පුවත්පත් මගින් නැවත නැවතත් ප්‍රකාශ කරන්නට යෙදුණේ මෙම අනුස්මරණයන් පැවැත්වෙන්නේ පවුල් වල මිය ගිය සාමාජිකයන් වෙනුවෙන් බවයි.

තවදුරටත් දමිළ භාෂා පුවත්පත් මගින් අවධාරණයෙන් යුතුව සඳහන් කරන්නට යෙදුණේ, මියගිය අයවලුන්ව අනුස්මරණය කිරීම, ජාත්‍යන්තර මානවවාදී නීති රීති වල සිට දුටුගැමුණු රජු විසින් මියගිය එළාර රජුට බුහුමන් දැක්වූ බවට ශ්‍රී ලංකාවේ ඉතිහාසයේම ලියැවුණු කථාව දක්වාම විශ්වීයව පිළිගත් පූජනීය කරුණක් බවයි. තවදුරටත් දමිළ භාෂා පුවත්පත් මගින් පෙන්වා දෙන්නට යෙදුණේ, එක් මොහොතකදී රජයට එරෙහිව අවි අතට ගත් ජනතා විමුක්ති පෙරමුණටද තමන්ගේ මියගිය විරුවන් සැමරීමට ඉඩදී තිබෙන අතර, උතුරේ සහ නැගෙනහිර ජනතාවට සිය මියගිය අය අනුස්මරණය කිරීම තහනම් වී ඇති බවයි.



Recommended Articles