සෑම කළු වලාවකම රිදී රේඛාවක් තිබෙනවා


කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතයේ තදබල බලපෑම හේතුවෙන් ලංකාව මාසයකට ආසන්න කාලයක් පුරාවට ඇඳිරි නීතිය යටතේ පාලනය විය. මේ නිසා ජනතාවගේ සාමාන්‍ය ජනජීවිතය වෙනස්ම මගකට ගමන් කළා පමණක් නොව පවුලේ ආර්ථිකයද කඩා වැටීමට ලක්විය. කෙසේ වෙතත් සෞඛ්‍යාංශවල පැවැති සාර්ථක වැඩපිළිවෙළවල් මත ඉදිරි කාලයේදී යම් ක්‍රමවේදයකට ඇඳිරි නීති ලිහිල් කිරීම් සිදුවේ. ඇඳිරි නීතියෙන් පසු ජනජීවිතය ගෙන යා හැක්කේ කෙලෙසද? මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් මහතාව අපි සම්බන්ධ කර ගත්තෙමු.

ඇඳිරි නීතියෙන් පසුව අප සමාජයට පය තබා ජීවත් විය යුත්තේ කෙසේද?

ඇඳිරි නීතියත් සමගම කොරෝනා වෛරසය පැතිරෙන්නේ කොහොමද, එහි බලපෑම කෙබඳුද, අප ආරක්ෂා විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව මාධ්‍ය හරහා විශාල සන්නිවේදනයක් ඇති කළා. මේ වෙද්දි ඒ ගැන හැම කෙනෙකුම කුමන හෝ ප්‍රමාණයකින් දැනුවත් වී තිබෙනවා. එතකොට අප හැම කෙනෙකුටම වගකීමක් තිබෙනවා කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන එක පිළිබඳව. මේක ලෝකයටම බලපා තිබෙන ලෝක වසංගතයක්. ලෝකයෙන් හමුවන අවසාන කොරෝනා රෝගියා සුව වෙනතුරු කොරෝනා යනු ලෝකයටම බලපාන වසංගතයක්. අවසාන රෝගියාත් සුව වෙනකල් අපිට අපගේ ජීවිතය පිළිබඳව, සමාජය පිළිබඳව, සමාජයේ ජීවත් විය යුතු ක්‍රමය පිළිබඳව ඇති වගකීමෙන් මිදෙන්න බැහැ. මේ මොහොතේදී ඇඳිරි නීතිය ඉවත් කරනවා කියන්නේ අපේ රට තුළ කොරෝනා අවදානම යම් මට්ටමකින් තිබෙන අතරතුරම ජනජීවිතය සාමාන්‍යකරණය කිරීමට දරන උත්සාහයක්. අප ඇඳිරි නීති කාලය තුළ පවත්වාගෙන ආ සෞඛ්‍යාරක්ෂිත පුරුදු, ඒ නීති සියල්ලම උපරිම මට්ටමකින්ම අනුගත වීම මේ ඇඳිරි නීතිය ඉවත් කළ පසුත් අත්‍යවශ්‍යයි. මුළු සමාජයම මේ මොහොතේ විශාල අපහසුතාවයකට පත් වී තිබෙනවා. විශේෂයෙන් පවුලේ ආර්ථික කටයුතු ගොඩනගා ගැනීමට නොහැකිව බිඳවැටිලා තියෙනවා. ඒ වගේම සමස්ත රටේ ආර්ථික ක්‍රියාවලියම ඇනහිට තිබෙනවා. මම හිතන්නේ ඇඳිරි නීතියෙන් පසු කාලයේදීත් අපි යම් විනයකින් ගත නොකළහොත් ඉදිරියේදී ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්.

විශේෂයෙන් මෙවැනි වසංගතකාරී තත්ත්වයකට මෑත ඉතිහාසයකදී අප මුහුණ දුන් පළමු අවස්ථාව මෙයයි. මේ අපිට ලැබුණු පළමුවැනි අත්දැකීම. කෙසේ වෙතත් ඇඳිරි නීතිය අවසන් වෙලා අප සමාජයට එකතු වුණාට පසුව අපට මේ තිබුණ තත්ත්වය අමතක වෙනවා. උදාහරණයක් විදිහට අප මිතුරෙකු හමු වූ විට ඔහුට අතට අත දී ආචාර කිරීම, වැලඳගෙන ආචාර කිරීම වැනි දෑ කිරීමට පවා මැළි වෙන්නේ නැහැ. ඒ නිසා මේ තුළින් අප විශාල සමාජානුයෝජනයක් ඇති කරගත යුතු වනවා. මේ වෙද්දි දීර්ඝකාලීනව ඇඳිරි නීතිය තුළ ජීවත් වන පිරිසක් ඉන්නවා. සමහර අවස්ථාවලදී ඇඳිරි නීතිය ඉවත් කරලා ආපහු සමාජයට ඇවිත් ගිය පිරිසක් ඉන්නවා. නිරෝධායන කඳවුරුවල සිට පැමිණි පිරිස් ඉන්නවා. ඒ හැම කෙනෙකුම මානසික නිදහසක් බලාපොරොත්තු වනවා. අපිට ආයෙත් පරණ විදිහටම ජීවත් වෙන්න පුළුවන්ද?, හිත මිතුරන් හමුවන්න පුළුවන්ද?, සංචාරය කරන්න පුළුවන් වෙයිද කියලා අපි මානසික නිදහසක් ඉල්ලනවා. නමුත් මේ මොහොතේදී අපි මනසට ඉඩ දීලා කටයුතු කරන්න ගියොත් බරපතළ අර්බුදයකට ඉක්මනට මුහුණ දෙනවා. අපිට යථා තත්ත්වයට පැමිණ සාමාන්‍ය ලෙස දිවි ගෙවන්න මාස කිහිපයක් ගතවෙනවා. විශේෂයෙන් සැප්තැම්බර්, ඔක්තෝබර් වනතුරුත් අපට මේ තත්ත්වය සමග ජීවත් වෙන්න සිදුවනවා. එම නිසා අපේ පෙර තිබුණු සාම්ප්‍රදායික චර්යාවලින් මිදී මේ රෝග ව්‍යාප්තියත් සමග තිබූ චර්යාවන් අපේ දෛනික ජීවිතයට ගෙන ආ යුතු වනවා. එසේ නොමැතිව අප මනස තෘප්තිමත් කිරීමට කටයුතු කළහොත් ජනතාව ලෙස අප අන්ත අසරණ තත්ත්වයකට ඇද වැටෙනවා. එම නිසා මේ පිළිබඳව සෑම අයෙකුම විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි.

කෝවිඩ් 19 වසංගතයට මුහුණ දුන් පිරිසව ඉදිරි කාලයේදී මහ සමාජයෙන් යම් අපහසුතාවයකට, කොන් කිරීමකට ලක් කරයිද?

කොරෝනා වැලඳුණු අයට පමණක් නෙවෙයි, ඔවුන්ගේ හිතවතුන්ට, නෑදෑයන්ට පවා එවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවෙන සම්භාවිතාවය අප සමාජය තුළ වැඩියි. බොහෝවිට එම පිරිස් සමාජයෙන් සැඟවී සිටීමට උත්සාහ කරන්නත් ඇත්තේ එම නිසා විය යුතුයි. මේක සමාජයටම බෝවන රෝගයක් වුණාට කොරෝනා කියන්නේ ලිංගික රෝගයක් නොවෙයි කියන එක අපි හැමෝම තේරුම් ගත යුතුයි. ලිංගික රෝගයක් වැලඳුණාට පසුව අපේ තිබෙන සමාජ සංස්කෘතියත් සමග එවැනි පුද්ගලයන් සමාජයෙන් යම් කොන්වීමකට ලක් වනවා.

පුද්ගලයෙක් විදේශගත වී පැමිණීමෙන් පසු ඔහුගේ ආශ්‍රයේ සිටින පුද්ගලයන්ට මෙය වැලඳුණා විය හැකියි. නමුත් ඔහු විදේශගත වෙලා රට ශක්තිමත් කිරීමට සහය දුන් සම්පතක්. ඒ වගේම සමහර වෙලාවට පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථානයකට ගියත් ඔවුන්ගේ හිත මිතුරන්ව සමාජයෙන් අපහසුතාවයකට ලක් කිරීම් පවා අසන්නට දකින්නට ලැබෙනවා. මෙවැනි අවස්ථාවක එවැනි ක්‍රියාවන් සිදුකරනවා නම් අප මනුෂ්‍යකම් පිරි ජාතියක් ලෙස විශාල ලැජ්ජාවකට පත් විය යුතුයි.

ඒ වගේම එම පවුල්වල සාමාජිකයන්ට වෙනදා තමන්ට ලැබුණු සැලකීම්, ගෞරවයන් නැති විය හැකියි. ඔවුන් ඒ පිළිබඳව කනස්සල්ලකට පත් නොවී මේ තත්ත්වය පිළිබඳව අවබෝධ කර ගත යුතුයි. ඇත්තටම ඔවුන්ව යම් අපහසුතාවයකට, කොන් කිරීමකට ලක් වන්නේ ඔවුන් සමග ඇති පෞද්ගලික තරහකට නොවෙයි. යම් අයෙක් තවකෙකුගෙන් ඈත් වී ජීවත් වීමට උත්සාහ කරන්නේ නම් එය සිදුකරන්නේ තමන්ගේ ජීවිතයට ඇති ආශාව නිසා. මරණ බය නිසා. මේ තත්ත්වය සාමාන්‍ය වුණාට පසුව නැවතත් සියල්ලන්ටම එක්ව ජීවත් විය හැකියි. අප සියලුදෙනාම වටහා ගත යුතුයි මේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් නොවන බව. එවැනි අසාමාන්‍ය අවස්ථාවකදී අප ජීවිතය, මනස හැඩ ගස්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඉතා ඉවසීමෙන් සිතා බැලිය යුතුයි. උදාහරණයක් ලෙස පවුලක අයෙක් විදේශගත වී සිටී නම් අසල්වැසියන්ගෙන් යම් යම් ප්‍රතික්ෂේප කිරීම් සිදුවිය හැකියි. නමුත් ඒ පිළිබඳව අප කලබල වී මානසිකව ඇද වැටීම් සිදු කරගත යුතු නැහැ. එය විඳ දරා ගැනීමේ හැකියාව අපට තිබෙන්න ඕනේ.

කෝවිඩ් 19 වසංගතයට යම් ජාතිවාදී මුහුණුවරක් දීමට උත්සාහ ගත් ආකාරයක් පසුගිය දිනවල පෙනෙන්නට තිබුණා. එය ඇඳිරි නීතියෙන් පසුවත් සිදුවෙයිද?

මුස්ලිම් ජාතික රෝගීන් පිරිසක් හමුවීම සහ ඔවුන් විශාල වශයෙන් නිරෝධායනයට ලක් කිරීම මත එවැනි දෙයක් පසුගිය කාලයේදී දක්නට ලැබුණා. සමාජයේ විශාල කතාබහක් ඇති වුණා මුස්ලිම් ජාතිකයන් තමයි මේ වසංගතය වැඩි වශයෙන් ව්‍යාප්ත කරන්නේ කියලා. මුස්ලිම් ජාතිකයන්ගේ වගකීම් විරහිත ක්‍රියාවන් නිසා යම් මට්ටමක හානියක් සිදු වුණා. එය පිළිගත යුතුයි. නමුත් අප ඒ සමගම සිංහල ජාතිකයන්ගේ වගකීම් විරහිත ක්‍රියාවන්ද අමතක කළ යුතු නැහැ. වගකීම් විරහිත ක්‍රියාවන් ජාති ආගමකින් තොරව අප අතින් සිදුවුණා. ඒ වගේම ජාති ආගමකින් තොරව රෝගය වැලඳුණා. මේ අවස්ථාවේදී ජාති ආගම් කුල භේදයකින් තොරව රෝග වාහක පුද්ගලයන් සිටිනවා නම් වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කර එයට අදාළ ක්‍රියාමාර්ග ගැනීම අප සතු වගකීමක්. අනවශ්‍ය ආකාරයට විවිධ කටකතා පැතිරුණා. යම් යම් පුද්ගලයන් හිතාමතාම විවිධ අරමුණු මූලික කරගනිමින් එවැනි කටකතා ප්‍රචාරය කළා. ඒවාට කුපිත වෙමින් කටයුතු නොකර ජනතාවම බුද්ධිමත් ලෙස මෙයට ප්‍රතිචාර දැක්විය යුතුයි. ජාතියක් ලෙස අප එකට එකතු වී කටයුතු කළේ නැතිනම් අපට රටක් විදිහට ඉදිරියේදී හිස කෙළින් තබාගන්න බැරි වෙන එක ගැන අවබෝධ කරගත යුතුයි. ඇඳිරි නීතිය අවසාන වෙනකොට අපට කාටවත් කියන්න බැහැ අපි ආරක්ෂිතයි, අපිට කොරෝනා නැහැ කියලා. අපි සියයට පනහකින්වත් සුරක්ෂිතයිද කියන එක පිළිබඳවත් ගැටලුවක් තිබෙනවා. නමුත් අපේ දෛනික ක්‍රියාකාරකම් නවත්වා කොපමණ කල් ඉන්න පුළුවන්ද කියන එක මත තමයි රජය විසින් ඉදිරි කාලයේදී ඇඳිරි නීතිය ලිහිල් කරන්නේ. ඒ නිසා එයට අනුගත වෙලා කටයුතු කිරීමේදී ජාතිවාදී බැලීමක් සිදු නොකළ යුතුයි.

ඇඳිරි නීතියේදී අපේ හික්මීම නැති වුණාද?

සමාජයක හික්මීමක් නැතිනම් හික්මීමක් ඇති කළ යුතු ක්‍රමවේදය තමයි නීතිය ගෙන ඒම. අපේ රට තුළ සමස්තයක් ලෙස නීතිය තදින් ක්‍රියාත්මක කළේ නැහැ. නීතිය පිළිබඳව විවිධ ගැටලු තිබුණ නිසා මිනිස්සු මත්පැන් තහනම් කර තිබියදීත් හොරෙන් මත්පැන් පවා නිෂ්පාදනය කිරීමට පෙලඹුණා. මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි වශයෙන් සිදුවුණා. ඇඳිරි නීතිය නොතකා හිතුමනාපෙට වැඩ කළා. මැදපෙරදිග කලාපය වැනි ඉතාම මූලධර්මවාදී රටක එවැනි සිදුවීමක් සිදුවුණා නම් දැඩි දඬුවම් ලබාදෙනවා. අපේ තිබෙන සරල නීති පද්ධතියක් නිසා ජනතාව තුළ හික්මීමක් ඇතිවෙන්නේ නැහැ. ඉදිරි කාලයේදී රජයට සිදුවනවා දැඩි නීතිරීති ගෙන එන්න. සමහර අවස්ථාවලදී අපි කියනවා අන්‍ය ආගමිකයන්, අන්‍ය ජාතිකයන් ලංකාව තුළ ඉතාමත් වැරදි ආකාරයට හැසිරෙන්නේ කියලා. නමුත් ඔවුන් මැදපෙරදිග රටවලදී ඉතා විනයගරුක ලෙස හැසිරෙනවා. එසේ නම් ලංකාව තුළ විනයගරුක නොවීමත් එවැනි රටක විනයගරුක ලෙස සිටීමටත් තිබෙන එකම හේතුව මිනිසා තුළින් ඇති වූ දෙයක් නොව සමාජය තුළින් ඇති වූ හේතුවක්. ප්‍රබල නීති පද්ධතියක් තිබෙන නිසා ඔවුන්ට එයට අනුගත වීමට සිදු වුණා. අපේ නීති ප්‍රමාණවත්ද, නීති ක්‍රියාත්මක කරන ආයතනවල තිබෙන්නා වූ ප්‍රබලත්වය ප්‍රමාණවත්ද කියන එක ගැන අපි තව වරක් සිතිය යුතුයි. පහුගිය කාලය පුරාවට අප නීතියට අවනත නොවී හික්මීමක් නොමැතිව ක්‍රියා කිරීම නිසා සිදුවුණ දේවල් දැක්කා. ඉන් පැහැදිලි වුණේ අපේ පවතින නීතිය ජනතාව ගණන් නොගැනීමයි. එහෙනම් අප කළ යුත්තේ ඉතා ඉක්මනින් ප්‍රබල නීති ගෙන ඒමයි.

මේ වනවිට රටේ ආර්ථිකයත්, පවුලේ ආර්ථිකයත් බිඳ වැටී තිබෙනවා. ඒ පිළිබඳව නොසිතා ඉදිරියේදී කටයුතු කළහොත්?

සෑම කළු වලාවකම රිදී රේඛාවක් තිබෙනවා කියලා කතාවක් තිබෙනවානේ. මේ හරහාම විවිධ අලුත් ව්‍යාපාරික කටයුතු ඇති වුණා. මේ ඇඳිරි නීති කාලය හරහා පවුල තුළ යම් ආකාරයක සරල දිවිපැවැත්මකට අප හුරු වුණා. අපි අනවශ්‍ය ලෙස ගොඩ ගසා ගත් බඩු බාහිරාදිය පහුගිය කාලයේදී ඇත්තටම අපට ප්‍රයෝජනවත් වුණාද කියලා සිතා බැලිය යුතුයි. කෑම බීමවලදී අපට රස, වර්ණය පිළිබඳව නොසිතා ගුණාත්මකභාවය පිළිබඳව තීරණය කරන්න සිදුවුණා. මේ තත්ත්වයන් ඉදිරියේදී කළමනාකරණය කර නොගත්තොත් අනිවාර්යයෙන්ම ඇතිවන ආර්ථික පසුබෑමත් සමගම බඩු මිලෙහි සහ වෙනත් දේවල්වල මිල ගණන් ඉහළ යා හැකියි. දැනටමත් ඉතිරිකිරීම්වලට බැංකු පොලී අනුපාතයන් යම් මට්ටමකින් පහළ ගොස් තිබෙනවා. ඉදිරියේදී ඉතිරිකිරීම්වලට ලැබෙන පොලී ප්‍රමාණයන් අඩු වෙනවා. ඒක නිසා මේ ආර්ථික තත්ත්වයට ගැළපෙන ආකාරයට අපේ නිවසේ ආර්ථිකය සකස් කර ගත යුතු වනවා. එහිදී තමන්ට අවශ්‍ය මිරිස්, තක්කාලි වැනි දෑ අපට නිවසේ ඉඩ ඇති ආකාරයට වවන්න හැකියි. මේ ඇඳිරි නීති කාලයේදී අපි එවැනි වගා කටයුතුවල නියැළෙන පුද්ගලයන් දැක්කා.

ඒ වගේම අද වනවිට නිවස ළඟින් බඩු මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් ඇති වී තිබෙනවා අප දුටුවා. කුඩා වෙළෙඳුන් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස අසලටම ගෙනැවිත් අලෙවි කළා. එය ඉදිරියටත් සිදු කළ හැකි හොඳ ප්‍රවණතාවයක්. නිවෙස අසලින් මිනිස්සුන්ට බඩු මිලදී ගැනීමට පුළුවන් නම් ඉදිරියේදී විශාල වශයෙන් සෙනඟ ගැවසෙන සුපර් මාර්කට්, සති පොළවල් තුළ කාලය වැය කිරීමටත්, ගැවසීමටත් අවශ්‍ය වන්නේ නැහැ. අපට මේ කාලය තුළ අපේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට මහන්සි විය යුතුයි. කොරෝනා බිය නිසා මේ ඇඳිරි නීති කාලය තුළ ප්‍රවේසම් සහ අරපිරිපැස්මෙන් ජීවත් වූ ආකාරයටම ඉදිරි මාස කිහිපයේදීත් අප සිටිය යුතුයි.



Recommended Articles