සැලසුම් කරපු ආකාරය ක්‍රියාත්මක වන අතර තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසියේම තීරණය කළේ 30-90ත් අතරේ අයටත්


මේ වනවිට කෝවිඩ් 19 රෝගයට එරෙහිව covishield එන්නත සාමාන්‍ය ජනතාවට එන්නත් කිරීම ආරම්භ වී ඇති අතර, බොහෝ පිරිස් එන්නත ලබාගෙන තිබේ. නමුත් එන්නත්කරණය කලින් සැලසුම් කළ ආකාරයට පරිබාහිරව සිදුවන බව පසුගියදා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කර සිටියේය. ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මියව 'අද'ට සම්බන්ධ කර ගතිමු.

එන්නත්කරණය සැලසුම් කළ ආකාරයට සිදුවන්නේ නැහැ කියලා චෝදනා නගනවා?

කෝවිඩ් වසංගතය පටන් ගත්තු ගමන් ලෝක සෞඛ්‍ය සංවිධානය දත්ත ඉදිරිපත් කළා වැඩි බලපෑමක් තියෙන්නේ කාටද කියලා. ඒ දත්තවලට අනුව වැඩි බලපෑමක් තියෙන්නේ අවුරුදු 80ට වැඩි අයට. ඔවුන්ගේ මරණ ප්‍රතිශතය 15%යි. ඊටපස්සේ බලපෑම තියෙන්නේ වයස අවුරුදු 70ට වැඩි අයට. ඔවුන්ගේ මරණ ප්‍රතිශතය 4%යි. ඊටපස්සේ අවුරුදු 60ට වැඩි අයගේ මරණ ප්‍රතිශතය 1.4%ක් විතර. අවුරුදු 30-40ත් අයගේ මරණ ප්‍රතිශතය 0.2%ක් පමණ වෙනවා. ඒක නිසා වැඩිහිටියන්ට රෝගය වැලඳීමෙන් වළක්වා ගන්න ඕනේ කියලා තීරණය කළා. වයස්ගත අය ප්‍රවේසම් විය යුතුයි කියලා අපි ජනතාවත් දැනුම්වත් කළා. එන්නත්කරණය ගැන තීරණය කරද්දිත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විදිහට අපිත් රජයට කිව්වා මේක සිදුවිය යුතු ආකාරය ගැන. ඒ මත හදපු කෙටුම්පතක් තිබුණා කාටද මේ එන්නත් ලබාදිය යුත්තේ කියලා.

කෝවිඩ් නිසා රටකට සිදුවන හානිය තුන් ආකාරයි. ඒ පුද්ගලයන්ට සිදුවන හානිය, රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට වන හානිය සහ රටේ ආර්ථිකයට සිදුවන හානිය. ඒ නිසා එකඟතාවයක් තිබුණා රටේ සෞඛ්‍ය සේවයට ප්‍රමුඛතාවයක් දෙනවා කියලා. මොකද රටේ සෞඛ්‍ය සේවය කඩා වැටුණොත් රටේ කුමන පැත්තක්වත් ගොඩනගන්න බැරි නිසා. ඊට පස්සේ ඒ සමගම ඉදිරියෙන් ඉන්න ත්‍රිවිධ හමුදාවට, පොලීසියට සහ ආරක්ෂ අංශවලට ප්‍රමුඛත්වය දුන්නා. ඊට පස්සේ ගුවන්තොටුපළ, වරාය, ජලය සපයන ආයතන ඇතුළු රටේ ආර්ථිකයට ශක්තියක් වන තැන්වලට දුන්නා. ඊළඟට එකඟතාවය තිබුණේ අවුරුදු 60ට වැඩි අයට දෙන්න. අවුරුදු හැටට වැඩි අයගෙන් පසු හැටට අඩු නිධන්ගත රෝග තිබෙන අයටත්, ඊටපස්සේ පියවරෙන් පියවර ඊළඟ පිරිස්වලට ලබාදෙන්න තමයි සැලසුම් කර තිබුණේ. ඒ සැලසුම් කරපු ආකාරය ක්‍රියාත්මක වන අතර තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසියේම තීරණයක් ගත්තේ 30-90ත් අතරේ අයටත් එන්නත දෙන්න ඕනේ කියලා. නමුත් මම හිතනවා මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ තීරණය වෙනස් කරලා තියෙන්නේ කියලා. මම දැනුම්වත් වුණු ආකාරයට නම් අද (26දා) ඉඳලා නැවතත් වයස අවුරුදු 60ට වැඩි අයට දෙනවා කියලා ඔවුන් තීරණයක් ගෙන තිබුණා. මුලදී සෞඛ්‍ය අමාත්‍යාංශය එන්නත්කරණයේදී යම් පටලැවිල්ලකට ලක්වුණා. මම හිතනවා ඔවුන් එය ඉක්මනට හරිගස්සාවි කියලා.

එන්නත ලබාගත් පසුව කෝවිඩ් ආසාදනය වුණු පිරිස් ලංකාවෙන් හමු වුණා. ඔවුන් පිළිබඳ වෙනමම පර්යේෂණ සිදුවනවාද?

පලමු කෝවිඩ් එන්නත ලබාගත්තාට පස්සේ අපට සාමාන්‍ය ප්‍රමාණයක ප්‍රතිශක්තියක් ලැබෙන්න පුළුවන්. නමුත් දෙවැනි එන්නත ලබාගන්නකල් සමාගම කියපු තරමේ ප්‍රතිශක්තියක් ලැබෙන්නේ නැහැ. ඔවුන් කියන්නේ සාමාන්‍යයෙන් 65%-85%ත් අතර ප්‍රමාණයක ප්‍රතිශක්තියක් ලැබෙනවා කියලනේ. දෙවැනි එන්නතත් ලබාගෙන තවත් සුමාන තුනක් පමණ ගතවුණාට පස්සේ තමයි බලාපොරොත්තු වන ප්‍රතිශක්තීකරණය ලැබෙන්නේ. ලංකාවේ හැමෝම තවම ලබාගෙන තියෙන්නේ පළමු එන්නත විතරයිනේ. මේ නිසා පළමු එන්නත ලබාගත්තත් කෝවිඩ් රෝගය හැදෙන්න පුළුවන්. ඒ අය තමයි අපට පසුගිය කාලයේදී හමු වුණේ. එන්නත ලබාගත්තත් කෝවිඩ් වැලඳිය හැකි අවස්ථා එන්න පුළුවන්. එකක් සමහර අයට ප්‍රතිශක්තිය හීන වන රෝග තියෙන්න පුළුවන්. ඒ ප්‍රතිශක්තිය හීන වන රෝග තියෙන අයට මොන එන්නත ලබාදුන්නත් ඒ ආරක්ෂාව නොලැබෙන්න පුළුවන්. ඒක නිසා ඔවුන් රෝගීන් වෙන්න පුළුවන්. අනිත් කාරණය අපි සාමාන්‍යයෙන් දන්නවා අනිත් එන්නත්වලින් අවම අවුරුද්දක ආරක්ෂාවක් තිබෙනවා කියලා. නමුත් අපි දන්නෙ නැහැ මේ එන්නත කොපමණ කාලයක් පවතිනවාද කියලවත්. ඊළඟ එක තමයි කොතැනකවත් සමාගම මේ එන්නතින් 100%ක් ආරක්ෂාව ලැබෙනවා කියලා කියන්නේ නැහැ. ඒ වගේම එන්නතට අහන්නේ නැති ප්‍රභේදයක් තිබුණොත් කෝවිඩ් ආසාදනය වෙන්න පුළුවන්. ඒ නිසා එන්නත ගත්තත් රෝගය හැදෙන්න පුළුවන්. හැබැයි රෝගය හැදෙන ප්‍රවණතාවය අඩුයි. එන්නත ගත්තා කියලා පරණ පුරුදු විදිහට අපට ජීවත් වෙන්න බැහැ. අපි නිරන්තරයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුමයි.

මේ එන්නත් ලබාදෙන්නේ වැඩිහිටියන්ට. අවුරුදු 18-30ත් අතර පුද්ගලයන්ට ලබාදීමේ හැකියාවක් නැතිද?

ලෝකයේ මේ වන විට එන්නත් 200ක් පමණ පරික්ෂා කරමින් තිබෙනවා. ඉන් දැනට ලෝකය පාවිච්චි කරන්න පටන්ගෙන තියෙන්නේ එන්නත් 07යි. මේ එන්නත් හතම හදිසි ආකාරයට තමයි පරීක්ෂණ පැවැත්වුවේ. මේ එන්නත් හදද්දි දරුවන්, ගැබිනි මවුවරුන්ට සුදුසුද කියලා පර්යේෂණ පවත්වලා නැහැ. කොහොමත් එන්නත් පරික්ෂාවකදී ගර්භිණී අයව පරීක්ෂණවලට ගන්නෙ නැහැ. දැනට ඔවුන් අතර පර්යේෂණ සිදුකරලා නැති නිසා ලෝකය පුරාම දරුවන්ට මේ එන්නත් කිසිවක් ලබාදෙන්නේ නැහැ. ඔවුන්ට මේක කොහොම බලපානවාද කියලා දන්නෙ නැති නිසා.

ලංකාවෙන් නව ප්‍රභේද සහිත රෝගීන් හමුවනවා. එවැනි ප්‍රභේදවලට එරෙහිව මේ එන්නත්කරණය සාර්ථක වේවිද?

කොහොමත් වෛරස් කියන ඒවා ඉක්මනින් වෙනස් වෙනවා. විකෘති වෙනවා. එවැනි විකෘතියක් මතම තමයි කෝවිඩ් වෛරසය ඇති වුණෙත්. ලෙඩේ බෝවන ප්‍රමාණය වැඩි නම් විකෘති වීමේ හැකියාවත් වැඩියි. මේ විකෘතිවලින් සමහර ඒවා වෛරසයට වාසිසහගත නැහැ. සමහර ඒවා වෛසරයේ තිබෙන ස්වභාවයටත් වඩා භයානක ආකාරයට එන්නත් පුළුවන්. එතකොට ඒ විකෘති රඳා පවතිනවා. එවැනි විකෘතිවීම් ලෝකයේ බොහෝ තැන්වල සොයාගෙන තිබෙනවා. නමුත් වැඩි කතාබහකට ලක්වෙලා තියෙන්නේ අපි පසුගිය සැප්තැම්බර් මාසයේදී හඳුනාගත් 'ශ්‍රී ලංකා ප්‍රභේදය' (Sri lankan Variet) බ්‍රිතාන්‍යයෙන් සොයාගත් 'බ්‍රිතාන්‍ය ප්‍රභේදය' (UK Variet) සහ 'දකුණු අප්‍රිකානු ප්‍රභේදය' (South African Variet) කියන ප්‍රභේද තුන. ඒ වගේම බ්‍රසීලයේ සහ ඇමරිකාවේ නිර්මාණය වුණු ප්‍රභේද තිබෙනවා. අපි ළඟදි හඳුනාගත්තේ එංගලන්තයේ ප්‍රභේදය. මේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය සාමාන්‍ය ප්‍රභේදයට වඩා භයානකයි කියලා විද්‍යාඥයෝ පෙන්වා දෙන්නෙ නැහැ. නමුත් මේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය දැන් තිබෙන එකට වඩා වේගයෙන් පැතිරෙනවා. තව කෙනෙකුට ඉක්මනින් බෝ වෙනවා කියන්නේ අපට වැඩි රෝගීන් සංඛ්‍යාවක් ලැබෙනවා. වැඩි රෝගීන් සංඛ්‍යාවක් හමුවන විට වැඩි සංකූලතා තිබෙන අය හමුවනවා. වැඩි සංකූලතා තිබෙන අය හමුවනවා කියන්නේ වැඩියෙන් දැඩි සත්කාර ඒකකවලට යන පිරිස සහ මරණ සංඛ්‍යාව ඉහළ යනවා. ඒක නිසා තමයි අපි මේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය වුණත් දිගට පැතිරෙනවාට අකමැති. ලංකාවේ ප්‍රභේදයට සහ බ්‍රිතාන්‍ය ප්‍රභේදයට දැනට අපි භාවිත කරන covishield  එන්නතෙන් සමාන ආකාරයකට ආරක්ෂාවක් ලැබෙනවා. එතකොට දකුණු අප්‍රිකානු ප්‍රභේදයටත් covishield එන්නත යම් ආකාරයක ආරක්ෂාවක් සපයනවා. දැනට අපට ලංකාවෙන් දකුණු අප්‍රිකානු ප්‍රභේදය සහිත රෝගීන් හමුවෙලා නැහැ. ඒකයි අපි අනෙක් ප්‍රභේද ලංකාවට එනවාට අකමැති.

අනෙක් ප්‍රශ්නය තමයි ලංකාවේ මේක පැතිරෙන වේගය වැඩි වුණොත් ලංකාව ඇතුළෙම තව තවත් විකෘතිතා හැදෙන්න පුළුවන්. පිටින් එන්නම ඕනෙ නැහැ. රෝගය පැතිරෙන්න පැතිරෙන්න විකෘතිවීම් හැදෙන ඉඩකඩ වැඩියි. එහෙම විකෘතිතා ඇතිවුණොත් මේ තත්ත්වය මීට වඩා භයානක වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අලුත් විකෘති එන්න කලින් අපි ඉක්මනින් එන්නත් ලබාදීලා තත්ත්වය පාලනය කරන්න කියන්නේ.

වැඩි වශයෙන් රෝගීන් හමුවීම හමුවේ යම්කිසි ආකාරයකට හෝ රට 'ලොක්ඩවුන්' එකකට යායුතු යැයි ඔබ සිතනවාද?

නැහැ. ලොක්ඩවුන් එකකට යාමේ අවශ්‍යතාවයක් දැනට නැහැ. මොකද මේ ප්‍රභේද දෙකම අපි වළක්වාගන්නේ එකම ක්‍රමයකට. ඒ මුඛ ආවරණ පැලඳීම, දෑත් නිතර පිරිසුදු කර ගැනීම, මීටරයේ දුර පවත්වාගෙන යාම, පුද්ගල ගැවසීම් අඩු වීම සහ එන්නත්කරණය තුළින්. ඒ නිසා අපට මේ අවස්ථාවේදී ලොක්ඩවුන් එකකට යන්න උවමනා නැහැ. ලොක්ඩවුන් කරනවා කියන්නේ රටම වහනවා කියන එකනේ. එක තැනකින් ඉස්සර වගේ පොකුරු පිටින් රෝගීන් හමුවුවහොත් ඒ තැන් හුදෙකලා කරයි. ඒ නිසා ලොක්ඩවුන් කරයි කියලා ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ.



Recommended Articles