එදාමෙදා තුර මහජනතාවගේ ගමන් පහසුකම් සඳහා විශාල දායකත්වයක්, සහයෝගයක් ලබාදෙන ආයතනයක් ලෙස ලංගම හඳුන්වා දිය හැකිය. ඇතැම් අවස්ථාවන්හිදී එය මහජනතාවගෙන් නොමද පැසසුමටත්, ගෞරවයටත් ලක් වූවද ඇතැම් අවස්ථාවලදී ජනතාවගේ දෝෂාරෝපණයටද ලක්විය. එමෙන්ම පෞද්ගලික බස් රථ හෝ දුම්රිය වැඩවර්ජනයකදී වුවද ජනතාවගේ පිහිටට ලංගමය සිටි අවස්ථා එමටය. මෙලෙස මෙරටට විශාල සේවයක් සිදුකෙරෙන ලංගම බස් රථවල ගමන් කරන මගීන්ට ඒවායේ අවම පහසුකම් හෝ සපයනු බොහෝවිට දක්නට නොලැබේ. එමෙන්ම පසුගිය කාලය තුළ ධාවනයට නුසුදුසු තත්ත්වයේ පැවතුණු ලංගම බස් රථ ධාවනයෙහි යෙදීමෙන් විශාල අනතුරුද සිදුවිය. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අද අප ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතාව සම්බන්ධ කරගතිමු.
මේ වනවිට ලංගම බස් රථ කොපමණ සංඛ්‍යාවක් ධාවනය වෙනවාද ?
ලංකාව ඇතුළේ ඩිපෝ 106ක් යටතේ බස් රථ පන්දහස් අටසියයක් පමණ ධාවනය වෙනවා. කොළඹින් බැහැර ග්‍රාමීය මාර්ගවල බස් රථ පන්දහසකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ධාවනය වෙනවා.
ධාවනයට නුසුදුසු මට්ටමේ තිබුණු බස් රථවලින් පසුගිය කාලයේ අනතුරු රැසක් සිදුවුණා. ඒවා ඉවත් කර අලුත් බස් රථ යෙදවීමට වැඩපිළිවෙළක් නොමැතිද?
ධාවනයට නුසුදුසු මට්ටමේ පවතින බස් රථ තුන්සිය පනහක් පමණ අප මේ වනවිට ධාවනයෙන් ඉවත් කරන්න අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තා. ඒ බස් රථ ඉදිරියේදී ඉවත් කරනවා. ඊට අමතරව අපි බස් රථ නවීකරණය කර පවා ධාවනය කරනවා. ඒ වගේම ඉදිරියේදී ග්‍රාමීය ප්‍රදේශවලට නව බස් රථ හයසියයක් පමණ ගන්න අනුමැතිය ලැබිලා තිබෙනවා. ඒ බස් රථ විශේෂයෙන්ම මිලදී ගන්නේ ග්‍රාමීය මාර්ගවලට.
ඊට අමතරව කොළඹ ඇතුළු නගරාන්තර ධාවනය සඳහා සුඛෝපභෝගී (Low-floor bus) වර්ගයේ බස් රථ ගැනීමටත් අනුමැතිය ලැබිලා තිබෙනවා. අනෙකුත් ප්‍රධාන මාර්ගවල ධාවනයට බස් රථ දෙදහසක් මිලදී ගැනීමටත් අනුමැතිය ලැබී තිබෙනවා.
ග්‍රාමීය මාර්ගයන්වල තත්ත්වය අනුව නවීන බස් රථ ධාවනය කිරීමට හැකියාවක් තිබෙනවාද?
එහි ගැටලුවක් තිබෙනවා. බස් රථයක් ධාවනය කිරීමට පවා නොහැකි තත්ත්වයේ පවතින බොහෝ ග්‍රාමීය මාර්ග තිබෙනවා. පසුගිය මාසයේදී මඩොල්සිම ප්‍රදේශයේ බස් රථයක් පෙරළිලා විශාල අනතුරක් සිදුවුණා. ඒ ප්‍රදේශයේ එවැනි අනතුරු සහිත ස්ථානයන්, බස් රථ ධාවනය කිරීමට නොහැකි ස්ථානයන් තවත් තිබෙනවා. ඒ නිසා එම ප්‍රදේශයේ එවැනිම මාර්ගයක බස් රථ ධාවනය කිරීම පවා නැවැත්වූවා.
එවැනිම අනතුරක් නැවත සිදුවුණොත් තවත් ගැටලු රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. එම මාර්ගයන් අලුත්වැඩියා කටයුතු කිරීමේ අවශ්‍යතාවන් තිබෙනවා. ඉන්දියාවේ නිෂ්පාදනය වන %ටාටා^ වර්ගයේ බස් රථ එවැනි ග්‍රාමීය මාර්ගවල ධාවනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා.
බස් රථ අනතුරකදී මගීන්ට වන්දි ගෙවීමේ ක්‍රමවේදය කෙසේද?
පසුගිය කාලය තුළ සිදුවුණු බස් රථ අනතුරුවලදී ඒ මගීන්ට එතරම් විශාල වන්දි මුදලක් ලබාදී තිබුණේ නැහැ. නමුත් අපි ගිය මාසයේදී සිදුවුණු බස් රථ අනතුරෙන් අගතියට පත් වුණු අයට රුපියල් පනස්දහස බැගින් ඒ අවස්ථාවේදීම වන්දි මුදල් ලබාදුන්නා. ඒ වගේම බෙහෙත්, ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය පහසුකම් පවා සලසා දුන්නා. රියැදුරු මහත්වරුන්ව සහ කොන්දොස්තර මහත්වරුන්ව රක්ෂණය කර තිබෙනවා. ඒ අයටත් ඒ වන්දි මුදල් ලබා දෙනවා.
ඇතැම් ග්‍රාමීය මාර්ගවල ලංගම බස් රථ ධාවනය අඩුයි. එවැනි මාර්ගවල පෞද්ගලික බස් රථ ධාවනය වන්නේත් නැහැ. එම නිසා මගීන් දුෂ්කරතාවලට මුහුණ දෙනවා?
මෙහෙමයි. මාර්ගවල මගීන් ඉන්නවා නම් අපි බස් රථ යොදවනවා. අපි ඩිපෝවලට ලබාදීලා තියෙනවා යම්කිසි ආදායම් මට්ටමක් පෙන්වන්න කියලා. එතකොට ආදායමක් තිබෙන මාර්ගවල බස් රථ ධාවනය නොවී තියෙන්නේ නැහැ. මහජන අවශ්‍යතාව මත තමයි එය වෙනස් වෙන්නේ. අඩු මගීන් සංඛ්‍යාවක් ඉන්නවා නම් එවැනි ප්‍රදේශවලට එම තත්ත්වය මතයි බස් රථ යෙදවීම සිදු කරලා තිබෙන්නේ.
ලංගමෙහි ඇතැම් ඩිපෝ පාඩු ලබනවා. ඒවා ලාභ උපයන තත්ත්වයට ගෙන ඒමට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?
මේ වනවිට අපට පාඩු ලබන ඩිපෝ කිහිපයක්ම තිබෙනවා. අපට ඇතැම් අවස්ථාවලදී එම ඩිපෝ සඳහා තද තීන්දු, තීරණ ගන්න සිදුවුණා. සමහර ඩිපෝවල හිටපු කළමනාකාරීත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න සිදුවුණා. එහි සාර්ථකත්වයක් සිදුවෙමින් පවතිනවා. දිගින් දිගටම පාඩු පිට මෙවැනි ආයතනයක් පවත්වාගෙන යෑමට නොහැකියි. දැනට පාඩු ලබන තත්ත්වයේ ඩිපෝ දොළහක් පමණයි තිබෙන්නේ. අප උත්සාහ කරනවා එම ඩිපෝ ඉදිරි මාසය ඇතුළත යම් මට්ටමකින් හෝ ලාභ උපයන තත්ත්වයට ගෙන එන්නට හැකියාව ලැබෙයි කියලා. ඒ වගේම පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේදී ආදායම වැඩිවෙමින් පවතිනවා. මේ මුල් මාස එකහමාර තුළ අප සැලකිය යුතු මට්ටමේ ආදායමක් ලබා තිබෙනවා.
එම ඩිපෝවල ගැටලුව තිබුණේ පරිපාලනයේ පමණද?
ඔව්. සම්පූර්ණයෙන්ම ඒක පරිපාලනයේ තිබුණු ගැටලුවක්. අපි පරිපාලනය වෙනස් කරලා ඔවුන්ට නව ඉලක්කයන් රැසක් ලබා දුන්නා. ඔවුන් නිරන්තරයෙන් එම ඉලක්කයන් හඹා යා යුතුයි. ඒවා අධීක්ෂණය සඳහා අප විශේෂ අධීක්ෂණ කණ්ඩායම් පවා යොදවා තිබෙනවා.
ටිකට්පත් වංචාව ලංගම තුළින් බොහෝවිට සිදුවෙනවා?
ඔව්. ටිකට්පත් වංචාව මගින් ලංගමය විශාල වශයෙන් පාඩු ලබනවා. ඒ පාඩුව අප කෙසේ හෝ වළක්වා ගතයුතුයි. ටිකට්පත් වංචාව වැළැක්වීමට මම විශේෂ වැටලීම් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා. එය සෘජුව මගේ යටතේ ක්‍රියාත්මක වෙනවා.
ඒ වැටලීම් කණ්ඩායම් නිසාත්, ඩිපෝවලට ලබාදී තිබෙන ඉලක්කයන් නිසාත් ආදායම ඉහළ යමින් තිබෙනවා. ඒ වගේම අමතර කොටස් ලබා ගැනීමේදී, ටයර් ලබාගැනීමේදී විවිධ වංචා දූෂණ සිදුවෙනවා. ඩිපෝ කළමනාකාරීත්වයට ඒ සඳහා විශේෂ අවධානයක් ලබාදීමට අප උපදෙස් ලබා දී තිබෙනවා. විශේෂයෙන් අප ඔවුන්ට ලබා දී තිබෙන ඉලක්කයන් සම්පූර්ණ කිරීමට නම් එවැනි අයථා ගනුදෙනු අඩු කරගත යුතුයි.
ඩිපෝ සේවකයන් දිරිමත් කිරීමට හෝ ඇගයීමට විශේෂ වැඩකටයුතු සිදු කෙරෙනවාද?
නැහැ. ඩිපෝවල තත්ත්වය ඇත්තටම කනගාටුදායක තත්ත්වයක තිබුණේ. ඩිපෝවල තත්ත්වය බලලා තිබුණෙත් නැහැ. ලංගම සේවකයා ගැන බලලා තිබුණෙත් නැහැ. ඒ නිසා අපි පුළුවන් ඉක්මනට ඩිපෝ නවීකරණය කරන්න උත්සාහ කරනවා. ඒ වගේම ඔවුන්ට ලැබෙන පහසුකම් මදි. විශේෂයෙන් රාත්‍රී නවාතැන් ගන්නා අයට, දුරගමන් සේවාවලදී නවාතැන් ගන්නා අයට ලැබෙන පහසුකම් මදි. ඒ අය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරලා ඔවුන්ට ලැබිය යුතු පහසුකම් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරනවා.
ඉදිරි වසර කිහිපය තුළ ලංගමයෙහි ඉලක්කය කුමක්ද?
ලංගම කියන්නේ අපට ලොකු සම්පතක්. මෙය අපි පොඩි කාලේ පාසල් ගිය වාහනය. ගමන්බිමන් ගිය වාහනය. අපට මේ තනතුරුවලට එන්න ලංගමය නොසෑහෙන්න උදවු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපට ලංගමත් සමග විශේෂ ළෙංගතුකමක්, සම්බන්ධතාවක් තිබෙනවා. අදටත් රාත්‍රියකදී වුණත් අපේ පිහිටට එන්නේ ලංගම බස් රථ තමයි.
මේ බස් පන්දහස් අටසීය එක් දිනකට ලංකාවම ආවරණය කරලා කිලෝමීටර් ලක්ෂ දොළහමාරක් දුවනවා. ඉතින් ලක්ෂ දොළහමාර කියන්නේ පොඩි ප්‍රමාණයක් නෙවෙයි. මිනිස්සු සමගයි දුවන්නේ. මේක මහජනතාවගේ සම්පතක්. ඒ නිසා ඒක රැකගන්න ඕනේ. මිනිස්සුන්ගේ විශ්වාසය අදටත් තියෙන්නේ ලංගම ගැනයි. ඒ විශ්වාසය අප රකින්න ඕනේ. මීට වඩා හොඳ තත්ත්වයක් ඇති කරලා, සැප පහසුකම්වලින් සපිරුණු බස් රථ මගීන්ට ලබාදීලා, මහජනතාවට හොඳ සේවාවක් සැපයීම තමයි මගේත්, ලංගමයේත් එකම ඉලක්කය.
මේ වසර අවසානය ඇතුළත ඒ ඉලක්කයට යෑමට තමයි මම උත්සහ කරන්නේ. කොළඹ කාර්යාල සේවකයන්ට පහසුවෙන් යන්න පුළුවන් බස් රථ ලබාදීම අපට මේ වනවිට ප්‍රධාන අවශ්‍යතාවක්ව තිබෙනවා. ඒ උදෙසා අලුතෙන් මිලදී ගන්නා බස් රථ නව වැඩසටහනක් යටතේ ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
රජයෙන් විශාල සහයෝගයක් අපට ලැබෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ අදහසක් තිබෙනවා නගර තදබදය නැති කිරීමට වාහනවල යන අයවත් බස් එකට අරගන්න. ඒකට ලොකු දායකත්වයක් ලංගම අපෙන් දෙන්න වෙනවා. මේ වනවිට රජයේ මූල්‍ය තත්ත්වයේ යම් අපහසුතාවක් තිබෙනවා. ඒ නිසා තමයි යම් ගැටලුවක්, හිරවීමක් තිබෙන්නේ. ඉදිරියේදී ලංගමයේ තිබෙන බස් රථ සියල්ලටම GPS තාක්ෂණය ලබාදීමට බලාපොරොත්තු වෙනවා. GPS තාක්ෂණය උපයෝගී කරගෙන ලංගම බස් රථ නියමිත කාල සටහනකට ධාවනය වෙනවාද යන්න පිළිබඳ අධීක්ෂණය කරනවා. එමගින් යම් මාර්ගයක බස් රථ නියමිත කාලයට ධාවනය නොවෙනවා නම් ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගතහැකියි.
ඒ වගේම ලංගම ඇතුළු බොහෝ ආයතනයන් කොළවල ලියලා තමයි තවමත් වැඩකරන්නේ. අපි ඉදිරි මාස හය ගතවන විට ලංගමේ සිදුවන සෑම කාර්යක්ම සම්පූර්ණයෙන්ම පරිගණකගත කරලා, කඩදාසි රහිතව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා නවීන තාක්ෂණයත් සමග එකතු වෙලා සාර්ථක පද්ධතියක් නිර්මාණය කරනවා. ඉන් අඩක් පමණ මේ වනවිට සිදුකරමින් පවතිනවා.