සාර්ථක කාලයක් උදා කර ගන්න දුෂ්කර කාලය නිසි පරිදි පාවිච්චි කරන්න


අභියෝග රැසක් මැද වසරක් අවසන් කර තවත් නව වසරකට අප පැමිණ තිබේ.  උදා වූ නව වසර තුළ රටක් ලෙස අප දුෂ්කරතාවන් රැසකට මුහුණදෙමින් සිටින කෝවිඩ් සමග මුළු ලෝකයම 2021 නව වසර ආරම්භ කර ඇත.

වසංගතයට මුහුණ දෙමින් නව වසර ඇරඹීමට සියල්ලන්ටම සිදුව ඇති අතර, නව වසර සාර්ථක කර ගැනීමට නම් අප අවධානය යොමු කළ යුතු කාරණා පිළිබඳව දැනුවත් වී සිටීම වැදගත්වේ. මේ සම්බන්ධයෙන් අප ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සමග සාකච්ඡා කළෙමු.

වසංගතය සමග ඉදිරියට යෑම

සෞඛ්‍ය අර්බුධය සමග මේ මොහොතේ  ලංකාව වගේම මුළු ලෝකයටම ආර්ථික අර්බුධ ගණනාවක් ඇතිවෙලා තිබෙනවා. කෝවිඩ් වසංගතයට ඖෂධයක් සොයා ගැනීමත් සමග මේ සෞඛ්‍ය අර්බුධය යම්තාක් දුරකට පහව යන බව පෙනෙන්නට තිබෙනවා. නමුත් අලුත් වෛසරස් ප්‍රබේදයක් ඇති වී තිබීමත් සමග මේ එන්නත පිළිබඳවත් සැක සංකා මතු වෙනවා.

කොහොම වුණත් ගෝලීය වසංගතයක් එක රැයින් අවසන් වෙන්නේ නැහැ. ඒක යම් ක්‍රමවේදයට අනුවයි සිදුවෙන්නේ. ජනතාව එයට අනුගත වීම වගේම එන්නත් සොයා ගැනීම වගේ කාරණා මත එය සිදුවෙනවා.

කෝඩිව් නිසා ඇති වුණ සමාජ හා ආර්ථික බලපෑම සෞඛ්‍ය බලපෑම් අදින් ඇරඹෙන 2021 වසර තුළත් තිබෙන්නට පුළුවන්. ලංකාව වගේ රටක එන්නත් සම්බන්ධ පරීක්ෂණ කිසිවක් සිදුවෙන්නේ නැති නිසා උදා වු මේ අවුරුද්දේ මාස කිහිපයක් මේ පවතින තත්වයෙන්ම ඉදිරියට යන්න වේවි. ආර්ථික සහ සෞඛ්‍ය දෙඅංශයටම එල්ලවන ප්‍රධාන බලපෑම එයයි.

සියලුදෙනා වැඩිපුර ආදායම් ඉපයිය යුතු කාලයක්

ඒවගේම ලංකාවට අවශ්‍ය ආර්ථික වර්ධන වේගය අපි ලබා ගන්නේ කෙහොමද කියන ප්‍රශ්නය අපිට තිබෙනවා. ලංකාව ඉදිරියට අරගෙන යන්නනම් අපි සියලුදෙනාම වැඩිපුර ආදායම්  ඉපයීම කළ යුතු වෙනවා. ඒ කියන්නේ ජනතාවගේ අතට සල්ලි එන ක්‍රමයක් තිබිය යුතුයි එහෙම සල්ලි එන්නම්.

කාගේ හරි වියදමක් තමයි තවත් කාගේ හරි ආදායමක් බවට පත්වෙන්නේ. මේ නිසා කවුරුන් හෝ වියදම් කළොත් තමයි තවත් කෙනෙකුට ආදායම් උපදවා ගන්න පුළුවන් වෙන්නේ. ශ්‍රී ලංකාව කුඩා රටක් නිසා ලංකාව ඇතුළෙම මිනිස්සු වැඩිපුර වියදම් කරලා ලංකාව ඇතුළෙම වැඩිපුර ආදායම් ලැබෙයි කියලා හිතන් අමාරුයි. ඒ ක්‍රමයට යන්න අපිට අමාරුයි. අපේ වෙළෙඳ පොළ කුඩා වෙළෙඳ පොළක් නිසා ලෝකයේ අනිත් මිනිස්සුන්ගේ වියදම් අපේ ආදායම් බවට පත්කර ගැනීම තමයි අපිට කරන්න සිදුවෙන්නේ. ඒ නිසා තමයි අපනයන වැදගත් වෙන්නේ. අපේ රටේ කුරුඳුවලට ලෝකයේ මිනිස්සු වැඩිපුර වියදම් කළොත් අපේ ආදායමක් බවට පත්කර ගන්න පුළුවන්. ඇඟලුම්වලට මිනිස්සු වැඩිපුර වියදම් කළොත් එය අපිට ආදායමක් බවට පත්කර ගන්න පුළුවන්. ආදායම් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් අපිට මූලික වශයෙන්ම තිබෙන්නේ ඒ අභියෝගයයි. ආදායම් වැඩිකර ගන්නනම් අපේ ආර්ථිකය සීඝ්‍රයෙන් විශාල කරගන්න අවශ්‍යයි. දැනට ඇමෙරිකන් ඩොලර් බිලියන 82 වගේ තිබෙන එය අපි තවදුරටත් වර්ධනය කරගත යුතුයි. ඒ වගේම අපේ ඒක පුද්ගල ආදායම වැඩි වෙනවාත් සමග තමයි අපේ රට සංවර්ධනයට යනවා කියලා අපි කියන්නේ. මේ කියන සංවර්ධනය ඉලක්යට අපි යනවානම් ආදායම් උපයාගන්න පුළුවන් ක්‍රමවේද අනුගමනය කිරීම වැදගත් වෙනවා. ඒ සඳහා යාමේදී අපිට විසඳ ගන්න ප්‍රශ්න කිහිපයකුත් තිබෙනවා.

මූලිකව රටක් විදිහට අපේ තිබෙන ණය සම්බන්ධ ප්‍රශ්නය එහිදී අපිට බලපානවා. අපි ආර්ථික වර්ධනයක් ලබාගත්තොත් ණය අර්බුදයටත් යම්තාක් දුරකට විසඳුමක් ලැබෙනවා. අවුරුද්දකට ණය ගෙවන්න ඩොලර් බිලියන 4.5ක් පමණ අවශ්‍ය වෙනවා. ඒ වගේ තව අවුරුදු 05 විතර යනකම් එවැනි මුදලක් අපිට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ විශාල මුදලක්.  2018 වසරේදී අපි හම්බන්තොට වරාය බදු දීලා අරගත්තේ ඩොලර් බිලියන 1.2ක් වගේ මුදලක්. දළ වශයෙන් එම මුදල වගේ හතර ගුණයක් පමණ අවශ්‍ය වෙනවා අවුරුද්දක ණය ගෙවන්න.  හම්බන්තොටින් ගත් මුදල් වගේ දාසය ගුණයක මුදල් අවශ්‍ය වෙනවා  ඉතිරි අවුරුදු හතරම ණය ගෙවන්න. ඒ කියන්නේ විශාල මුදලක්. ඒ සඳහා අවශ්‍ය වෙන ඩොලර් උපයා ගැනීමක් සිදුකළොත් යම් පමණක හෝ සහනයක් ලබාගන් අපිට පුළුන් වේවි. ඒ සඳහා ක්‍රම කිහිපයයි තිබෙන්නේ. අපනයනය ලෙස උපයා ගැනීම එක ක්‍රමයක්, විදෙස් රටවල සිට ශ්‍රමිකයන් එවන විදේශ ප්‍රේශන එක ක්‍රමයක්, එහෙම නැතිනම් සෘජු විදේශ ආයෝජන හරහා එය ලබාගන් පුළුවන්. ණය ගෙවීමේදී සිදුවන ප්‍රධාන ගැටලුව වෙන්නේ අපි ණය ගෙවිය යුත්තේ අපේ මුදල්වලින් නෙවෙයි. අපි එය ගෙවිය යුතුවෙන්නේ ඩොලර්වලින්. ඒ සඳහා අපි ඩොලර් උපයා ගැනීම සිදුකළ යුතුයි. ආර්ථික වශයෙන් දකින අභියෝග ඒවා.

අපේ කාර්යක්ෂමතාව අඩුයි - එය වැඩිකර ගනිමු

ඒ වගේම මම දකින තවත් කාරණයක් තිබෙනවා. ඒ තමයි අපේ කාර්යක්ෂමතාව. ලංකාවේ මිනිස්සු විදිහට අපි කරන කිසි වැඩක් කාර්යක්‍ෂම නැහැ. ඒ කියන්නේ අපි විශාල සම්පත් ප්‍රමාණයක් වැයකරලා තමයි පොඩි දෙයක් හරි කරගනේ.

සෑම ක්ෂේත්‍රයකම කාර්යක්ෂමතාව වැඩිකර ගැනීමයි අපි කළ යුතු වෙන්නේ . කෘෂිකර්ම ක්ෂේත්‍රය වේවා, සේවා අංශ වේවා හැම දෙයක් සම්බන්ධයෙන්ම විශාල කාර්යක්ෂමතාවක් අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් සියලු දෙනාට තේරෙන්න මම උදාහරණයක් කියන්නම්. අපි බස් එකක් ගත්තොත් එය පදවන්න රියදුරු මහත්තයෙක් ඉන්නවා, ටිකට් දෙන්න වෙනම කොන්දොස්තර මහත්තයෙක් ඉන්නවා. වෙනත් රටවල්වල සාමාන්‍යයෙන් බස් එකට කොන්දොස්තර මහත්තයෙක් කියලා වෙනම කෙනෙක් නැහැ. රියදුරු මහත්තයාම තමයි මුදල් අය කිරීමත් සිදු කරන්නේ. වෙන රටවල්වල එක පුද්ගලයෙකුගෙන් බස් රථයක් ධාවනය කරනවා, නමුත් ලංකාවේ ඒ සඳහා පුද්ගලයෝ දෙන්නෙක් අවශ්‍ය වෙනවා. එහෙම බැලුවාම අපි ශ්‍රමය නිකරුනේ නාස්ති කරලා තියෙනවා. ඒ කියන්නේ අපි බොහොම අකාර්යක්ෂමයි. කාටහරි කියන්න පුළුවන් මෙතැනදී දෙන්නෙකුට රස්සාව දීලා තියෙනවා නේද කියලා.

දෙදෙනෙකුට රස්සාව දෙනවට වඩා තවත් ඵලදායී දෙයක් කරන් පුළුවන් අවස්ථාව තමයි මේ හරහා අපි නැතිකරලා තියෙන්නේ. අපේ කෘෂිකර්මය ගත්තත්, අපේ වගාවන් ගත්තත්, අපේ සේවාවන් ගත්තත්, මේ සෑම දෙයකම අකාර්යක්ෂමතාව තිබෙනවා. අකාරයක්ෂමතාව කියන්නේ දූෂණය, වංචාව, කියනදේවල්වලට විතරක්ම නෙවෙයි. ඒවාත් අකාර්යක්ෂමතාවේ කොටසක්. නමුත් මේ කියන විදිහට අකාර්යක්ෂමතාව නැති කරගන්න අපිට පුළුවන්නම් ඉහළට යන්න අවස්ථාවක් උදා වෙනවා. දිගු කාලීනව අපේ ආර්ථික වර්ධන වේගය ළඟා කරගන්න නම් අපි අවධානය කළ යුතුම දෙයක් තමයි අපේ කාර්යක්ෂමතාව කියන කාරණය. එහෙම නැති වුණොත් අපිට ආර්ථික විප්ලවයක් කරන්න හැකි වෙන්නේ නැහැ.

අධ්‍යාපනය විධිමත් කරන්න කාලය හරි

ගෙවුණ අවුරුද්දේ පාසල් සහ අධ්‍යාපන ආයතන වැඩි කාලයක් වහල තිබුණ නිසා අධ්‍යාපනයේ ගැටලු බොහොමයක් ඇති වුණා. අපේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කොහොමත් ප්‍රශ්න ගොඩක් තිබෙනවා. මේ ඇතිවෙලා තිබෙන ගෝලීය වසංගත තත්ත්වය ආශීර්වාදයක් කරගෙන අපේ අධ්‍යාපන ක්‍රමය ගැන නැවත සිතා බැලීමක් කළ යුතුයි. එහෙම කරලා අපි සාර්ථක අධ්‍යාපන ක්‍රමයකට යා යුතුයි. මොකද අපේ රටේ විද්‍යා විෂයන් ගත්තත් අනිකුත් විෂයක් ගත්තත් ‍ලෝකයේ පවතින ක්‍රමය සහ අපේ ක්‍රමය වෙනස්. අපි බොහොම පිටුපසින් සිටින්නේ. ඒ කියන්නේ රැකියා වෙළෙඳ පොළ සම්බන්ධයෙන් ගත්විට අපේ අධ්‍යාපනය එතරම් සාර්ථක නැහැ. හොඳම උදාහරණය තමයි විශ්වවිද්‍යාලවලින් එළියට එන පිරිස ඔවුන්ට රැකියා දෙන්න කියලා උද්ඝෝෂණය කරනවා,  රජයට බලපෑම් කරනවා. අධ්‍යාපනයේ ලොකු ප්‍රශ්නයක් තිබෙනවා කියලා ඒ තුළින්ම අපිට පැහැදිලිව පෙනෙනවා. මෙවැනි ගෝලීය වසංගතයක් හමුවේ අධ්‍යාපන බාධාවෙන් ගොඩ එන්න ඔන්ලයින් පන්ති පැවැත්වීම සිදුකරනවා කියලා අපි හැමෝම දන්නවා. නමුත් අපේ රට තුළ අන්තර්ජාල පහසුකම් සහ තොරතුරු තාක්ෂණයේ තිබෙන ප්‍රශ්න නිස එයත් සාර්ථක කර ගන්න අපහසුයි. ඒ මොකද සැම දරුවෙකුටම ස්මාර්ට් දුරකථන නැහැ. සෑම ගමකටම දුරකථන සඳහා සිග්නල් (සංඥා) නැහැ. ඒ නිසා මේ 2021 වසරේ අධ්‍යාපන ක්‍රමය ගැන අපි සලකා බලද්දී අපි උගන්වන්නේ ඉගෙන ගන්නේ හරිදේද කියලා බැලිය යුතුයි. ඒ වගේම උගන්වන ක්‍රමවේද හරිහැටි තිබෙනවාද කියලත් අපි සොයා බැලිය යුතුයි. මොකද මේ අවස්ථාවේ අතපසු වෙන සමහර දේවල් නැවත සම්පූර්ණ කරන්නත් බැහැ.

ලෝකය දැන් ඉන්නේ හතරවැනි කාර්මික විප්ලවයේ

තාක්ෂණය සම්බන්ධයෙන්  අපි ඒතරම් සුබවාදී තැනක නැහැ. මොකද අපි හැමෝම හිතනවා දැන් අපිට අන්තර්ජාලය තිබෙනවා, ස්මාර්ට් දුරකථන භාවිත කරනවා, ෆේස්බුක් පාවිච්චි කරනවා මේ නිසා තාක්ෂණික වශයෙන් දියුණුයි කියලා. නමුත් ඩිජිටල් පුද්ගලයෙක් ලෝකය සමග සම්බන්ධ විය යුතුයි. ස්මාර්ට් දුරකථන භාවිත කිරීමෙන් එහාට ඩිජිටල් ලෝකය සමග සම්න්ධ වීමක් තිබිය යුතුයි. උදාහණයක් විදිහට කියනවානම්  කෘෂිකර්මාන්තයේදී කාලගුණික විපර්යාසවලින් ඇතිවෙන ප්‍රශ්න. ඩිජිටල් තාක්ෂණය මගින් අපිට මේකට විසඳුමක් හොයාගන්න පුළුවන්. ඩිජිටල් උපාංග භාවිත කරන එකයි, ආර්ථිකය ඩිජිටල් කරනවා කියන දෙයයි අතරේ ලොකු පරතයක් තිබෙනවා.

ලෝකය දැන් ඉන්නේ හතරවැනි කාර්මික විප්ලවයේ. නමුත් ලංකාව තවම ඉන්නේ දෙවැනි කාර්මික විප්ලවය තුළ. පළමු කාර්මික විප්ලවය ඇති වුණේ හුමාලයෙන් මැෂින් ක්‍රියාත්මක කිරීම ආරම්භවීමත් සමග, දෙවැනි කාර්මික විප්ලවය වුණේ විදුලිය භාවිත කරලා මැෂින් ක්‍රියාත්මක කරවීමයි. තොරතුරු තාක්ෂණය හඳුන්වා දීමත් සමග තුන්වැනි කාර්මික විප්ලවය සිදු වුණා. කෘතිම බුද්ධිය උපයෝගී කර ගැනීම හතරවැනි කාර්මික විප්ලවය විදිහට හඳුන් වනවා. ලංකාව තවමත් ඉන්නේ දෙවැනි කාර්මික විප්ලවයේ. මේ නිසා ඉදිරියට යාමට ඩිජිටල්කරණය භාවිත කරනවා නම් එය ඉතා වැදගත්.

මිත්‍යාවන් පසු පස දුවද්දී අපේ සම්පත් නාස්ති වෙනවා

අපි මිත්‍යා දේවල් පසුපස යද්දී අපේ සම්පත් නාස්ති වෙනවා. උදාහණයක් වශයෙන් ගලකින් රැස් විහිදෙනවා කියලා ජනතාව අන්දවන බොරුවක් මිත්‍යාවක් කිව්වා කියලා හිතන්න.  ඒක බලන්න මිනිසු යනවා ජනමාධ්‍ය එයට කාලය වෙන් කරනවා. විද්වතුන් එයට කාලය වැය කරමින් කතාකරනවා . මේ හැම දෙයකින්ම වෙන්නේ මිනිස්සු නිර්මාණාත්මක හිතන්න තිබෙන වෙලාව අපතේ යැවීමයි. ඒ වෙනුවෙන් වියදම් වෙන මිනිස් ශ්‍රමය, කාලය, ඉන්ධන, ප්‍රචාරය කෙරෙන ගුවන් කාලය, මේ හැමදෙයක්ම අපතේ යනවා. විශේෂයෙන්ම දකුණු ආසියාතික රටවල්වල මිත්‍යාව වැඩි වශයෙන් තිබෙනවා. මේ දේවල්වල පැටලිලා විශාල සම්පත් ප්‍රමාණයක් සහ කාලය නාස්ති කරනවා. ඒ වගේම එය බලපාන්නේ ලංකාවේ දියණුවටම තමයි. ඒගැනත් අපි අවධානය යොමු කළ යුතු වෙනවා.

ඒ වගේම මේ වසර පිළිබඳ යම් අවබෝධයක් ඇතිව වැඩ කටයුතු සිදුකිරීම අපි හැමෝම කළ යුතුයි. දුක, සතුට, සැප, දුක, වගේ කාල අපිට එනවා. මේ කාලය දුෂ්කර කාලයක්. ඒ දුෂ්කර කාලය හරි විදිහට ගත කළොත් අපිට සාර්ථක කාලයක් එනවා. නිසි පරිදි එය පාවිච්චි කරන්න නම් අපි අනවශ්‍ය දේවල්වලින් ඉවත්වීම සහ දැනුම මත ඉදිරියට යාම කළ යුතුයි. ඒ ආකාරයෙන් 2021 නව වසරේ අභියෝග ජයගන්න කටයුතු කරන්න කියා ඔබෙන් ඉල්ලන අතර, ඔබට සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා.



Recommended Articles