සාගර දූෂණයේ නවතම අභියෝගය මයික්‍රොප්ලාස්ටික්


සාගර දූෂණය සම්බන්ධයෙන් මෙරට ඇති නොදැනුවත්භාවය සහ නොසැලකිලිමත්භාවය හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට වාර්ෂිකව ප්ලාස්ටික් ටොන් මිලියන 1.59ක ප්‍රමාණයක් සාගරයට මුදා හරිමින්, ලෝක වර්ගීකරණය අනුව වැඩියෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට බැහැර කරන රටවල් අතරින් පස්වැනි ස්ථානයට පත්ව තිබීම ඉතාමත් කනගාටුදායකය.


ශ්‍රී ලංකාවේ පාරිසරික දූෂණ තත්ත්වයන් සම්බන්ධයෙන් කතා කිරීමේදී සහ ක්‍රියා කිරීමේදී බොහෝ ක්‍ෂේත්‍රයන් පිළිබඳ අපගේ අවධානය යොමු වුවද, සාගර දූෂණය සම්බන්ධයෙන් මෙරට තවමත් පවතින අවධානය සහ දැනුවත්භාවය ඉතාමත් සෘණාත්මක තත්ත්වයක පැවතීම හේතුවෙන් මේ වන විට අප සාගරයට සිදු කර ඇත්තේ මහා විනාශයකි. මේ පිළිබඳ සහ අපගේ සාගරය වෙත එල්ලව ඇති නව අභියෝග පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබ වෙත ගෙන ඒම සඳහා සාගර විද්‍යාව සම්බන්ධයෙන් මෙරට සිටින ප්‍රමුඛතම විද්වතෙකු වන සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා අදට සම්බන්ධ කර ගතිමු. 

රට මෙන් අටගුණයක් විශාල සමුද්‍ර කලාපයක් සුරැකීම

සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ මූලිකම කාර්යභාරය වෙන්නේ ශ්‍රී ලංකාවේ මොනයම් හෝ සමුද්‍ර කලාපයක සිදුවන පාරිසරික දූෂණය වැළැක්වීම, පාලනය කිරීම සහ අවම කිරීමට කටයුතු කිරීමයි. මෙතැනදී අපට ශ්‍රී ලංකාව මෙන් අටගුණයක් විශාල සාගර කලාපය තුළ සමුද්‍ර දූෂණය වැළැක්වීමේ වගකීම පැවරිලා තිබෙනවා. නාවික කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පිහිටලා තිබෙන්නේ ඉතාමත් වැදගත් තැනකයි. ඒ නිසා අපට යම්යම් වශයෙන් ලැබෙන ආර්ථිකමය වාසි තිබෙනවා. ඒ වගේම ලෝකයේ ප්‍රධාන නැව් මාර්ග ශ්‍රී ලංකාව ආසන්නයෙන් වැටී තිබෙනවා. උදාහරණයක් විදියට මැදපෙරදිග සිට චීනය, මැලේසියාව, ජපානය වැනි රටවලට තෙල් සපයන නෞකා සඳහා වන මාර්ග වැටී තිබෙන්නෙත් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව හරහායි.

මේ සමුද්‍ර කලාපය කොටස් තුනකට බෙදෙනවා. ඒ යටතේ වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 12ක් දක්වා වූ කලාපය අපි හඳුන්වනවා %දේශීය සමුද්‍රය^ කියන නමින්. දේශීය සමුද්‍ර කලාපයේ මුහුදු පතුල, ජල තීරය සහ අහස කියන ත්‍රිත්වයේම අයිතිය ශ්‍රී ලංකාවට තිබෙනවා. දේශීය සමුද්‍ර කලාපයේ අවසානයේ සිට තවත් නාවික සැතපුම් 12ක් දක්වා වූ කලාපය අපි හඳුන්වනවා %ප්‍රත්‍යාසන්න කලාපය^ කියන නමින්. එම කලාපය තුළ ජල තීරයේ සහ මුහුදු පතුලේ අයිතිය පමණක් ශ්‍රී ලංකාව සතුයි. මේ ප්‍රත්‍යාසන්න කලාපයෙන් නාවික සැතපුම් 200ක් දක්වා වූ කලාපයේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකාවට නැහැ. නමුත් එම කලාපයේ ජල තීරයේ සහ මුහුදු පතුලේ තිබෙන සම්පත් නෙළාගැනීමේ සම්පූණ අයිතිය පමණක් ශ්‍රී ලංකාවට තිබෙනවා. සමුද්‍ර දූෂණයෙන් 90෴ක ප්‍රමාණයක්ම සිදු වෙන්නේ ගොඩබිම තුළ සිදු කරන මිනිස් ක්‍රියාකාරකම් නිසා. ඉතිරි 10෴ක ප්‍රමාණයට වගකිව යුතු වෙන්නේ නෞකා ගමනාගමනයේදී සිදු වන දූෂණ තත්ත්වයන්. 

නොපෙනෙන මාරාන්තික අවදානම ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් 

විද්‍යාඥයන් විසින් දෙවියන් දුන් ත්‍යාගයක් ලෙස හඳුන්වනු ලබන පොලිතින්, ප්ලාස්ටික් භාවිතය ලෝකයේ ආරම්භ වෙන්නේ 1957 වර්ෂයේදී පමණ. පොලිතින් භාවිතය මුලින්ම සිදු වුණේ සැන්විච් දැවටීම සඳහායි. 1970 වර්ෂය පමණ වෙද්දි පොලිතින් භාවිතය ලොව පුරාම ව්‍යාප්ත වුණා. මුල් කාලීනව මෙම පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදන අපහරණය කළ යුත්තේ කුමනාකාරයෙන්ද කියන දැනුවත්භාවය ජනතාවට තිබුණේ නැහැ. පොලිතින්, ප්ලාස්ටික් ජනතාවට එදිනෙදා ජීවිතයේදී අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වෙලා තිබෙනවා. මෙය අපට ගැටලුවක් බවට පත්වෙලා තිබෙන්නේ අවභාවිතාව නිසා.
ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් අංශු නිසා සිදු වන පරිසර දූෂණය, ප්ලාස්ටික් මගින් සිදු වන සාගර දූෂණයේ නවතම පැතිකඩ බවට මේ වන විට පත්වෙලා තිබෙනවා වගේම මානව සෞඛ්‍ය වෙත දැඩි බලපෑමක් ඇති කළ හැකි තත්ත්වයක් විදියට මේ වෙද්දි හඳුනා ගෙන තිබෙනවා. 

පොලිතින් සහ ප්ලාස්ටික් විවෘත පරිසරයට සහ සාගරයට බැහැර කළාම මේවා හිරු එළිය, වැස්ස, සාගර තරංග සහ විවිධ ජීව විද්‍යාත්මක විපර්යාසයන්ට කාලයක් තිස්සේ ලක්වීමේ ප්‍රතිඵලයක් විදියට පියවි ඇසට නොපෙනෙන ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් බවට පත්වෙනවා. ඒ ආකාරයෙන් වියෝජනයේදී ස්වාභාවිකව ඇතිවන ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් වගේම මේ වන විට විවිධ රූපලාවණ්‍ය ද්‍රව්‍ය (Face Wash, Scrubs), දන්තාලේප, පර්යේෂණ කටයුතු ආදී විවිධ කටයුතු සඳහාත් මේ ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් වෙනමම නිෂ්පාදනය කරනු ලබනවා.

ගෘහාශ්‍රිතව නිෂ්පාදනය වන අපිරිසුදු ජලයත් ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ජනනය වන ප්‍රභවයක් බවට හඳුනා ගෙන තිබෙනවා. විශේෂයෙන්ම රෙදි පිරිසුදු කිරීමේ ක්‍රියාවලියේදී ජලයට ක්‍ෂුද්‍ර කෙඳිති (micro fibers) නිදහස් වීම සිදු වෙනවා. ඇතැම් ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ඉතා සියුම් වන නිසා මේ අවට පරිසරයේ දුහුවිල්ලත් සමග රැඳී පවතිනවා. ඒ වගේම නැව් හා බෝට්ටුවලින් සහ ඒ ආශ්‍රිත ප්‍රවාහන කටයුතුවලදී ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් සාගර පද්ධතිවලට එක්වීමේ අවදානම පවතින අතරම නිසි පිරිසුදු කිරීමේ ක්‍රියාවලියකින් තොරව පරිසරයට මුදා හරින කාර්මික අපද්‍රව්‍ය සහ අපජලයේත් විශාල ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. 

මේ ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් නිසා සිදුවන හානිය ඉතාමත් වැඩියි. ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ජලජ ජීවීන්ගේ ශරීරගත වුණාම ඒවා විෂ වීමෙන් ජලජ ජීවීන් විනාශ වෙලා යනවා. කොරල්පර වැනි ජලජ පරිසර පද්ධතිවලට මිශ්‍ර වීමක් සිදු වුණොත් ඒවායේ වර්ධනය අඩාළ වෙනවා සහ කොරල් ක්‍රමයෙන් මිය යනවා. ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ජලයේ පවතින කොට ඒවා වටා ඇල්ගී බැ‍ඳෙනවා. මේ ඇල්ගී ආහාර දාමයේ පහළම මට්ටමේ සිටින ප්ලවාංග විසින් ආහාරයට ගැනීම නිසා ඒවා විෂ වී ප්ලවාංගයන් මිය යනවා. එමගින් ආහාර දාමවල පහළම ජීවීන් මියයාම නිසා ආහාර දාමයන් වෙත විශාල බලපෑමක් සිදු කරනවා. ගොඩබිමේදී මේ ඉතා සියුම් ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ශ්වසනයෙන්, සම හරහා, ආහාර මගින් සහ ජලයෙන් ආදී විවිධ ක්‍රමවලින් මිනිසුන්ගේ ශරීරගත වීමෙන් පිළිකා තත්ත්ව, ආසාත්මිකතා, ශ්වසනාබාධ ඇති කරනවා. 

ඒ නිසා මේ තත්ත්වයේ භයානක බව අපි අවබෝධ කර ගැනීම සහ දැනුවත් වීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම කෘත්‍රිමව ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් යොදාගෙන සිදු කරන නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ භාවිතය සහ මෙරටට ගෙන්වීම පිළිබඳ දැඩි නියාමනයන් ඇති කිරීමේ අවශ්‍යතාව තිබෙනවා. ඊට පරිසර හිතකාමී ආදේශක ඕනතරම් පවතිනවා. 

මිථ්‍යයාව පසෙකලා සමාජ වගකීම ඉටු කරන්න

අපේ මිනිසුන්ගේ මිථ්‍ය‍ාවක් තියෙනවා මුහුදට කුණු දැම්මට ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් ඇත්ත තත්ත්වය තමයි ඒවා මුහුදට විශාල ලෙස අහිතකර බලපෑම් සිදු කරනවා. ගොඩබිමින් වන දූෂණ තත්ත්වයන් ගැන සලකද්දී පොලිතින් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදට බැහැර කිරීම, අසූචි වැනි දෑ බැහැර කිරීම, රසායනික ද්‍රව්‍ය සහ වෙනත් අපද්‍රව්‍ය බැහැර කිරීම වැනි ක්‍රියාවන් නිරන්තරයෙන් දකින්න ලැබෙනවා. ඒ ඔස්සේ අපේ සාගර කලාපය වෙත දැඩි අයහපත් බලපෑම් සිදු වෙලා තිබෙනවා.

මේ සෑම විනාශයක්ම සිදු වෙලා තියෙන්නේ මුහුද පිළිබඳ නිසි දැනුවත්භාවයක් ජනතාව සතුව නොමැති වීම නිසා. ඒ තත්ත්වය නැති කරන්න හැකියාව තියෙන්නේ අධ්‍යාපනය මගින්. ඒ නිසා මේ පිළිබඳ අපේ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු වීම ඉතා වැදගත් වෙනවා. මේ පරිසර විනාශය තවත් උග්‍ර අතට හැරුණොත් සමස්ත මානව සංහතියේම විනාශය ඒ සමග සිදු වෙනවා.
මේ තත්ත්වයන් වළක්වා ගන්න ගෘහස්ථ මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා නිසි ප්‍රායෝගික අපද්‍රව්‍ය කළමනාකරණ සැලසුමක් ක්‍රියාත්මක විය යුතු වෙනවා. ඒ වගේම ජනතාවගේ පරිභෝජන රටාව පරිසර හිතකාමී ආකාරයට සිදුවීම වැදගත් වෙනවා. ඊට අමතරව සමාජයේ සෑම ක්‍ෂේත්‍රයක්ම තමන්ගේ සමාජ වගකීම පිළිබඳ අවබෝධ කරගත යුතුයි. පරිසරය සුරැකීම අපේ සමාජ වගකීමක් බව පවුලෙන් වගේම පන්සලෙන්, පල්ලියෙන් සහ කෝවිලෙන් ජනතාවට අවබෝධ කර දිය යුතු කාලයක් දැන් උදාවී තිබෙනවා. 

නදුන් ශාමෙල්



Recommended Articles