සාගර ජලය අපවිත්‍ර කරන තෙල් විසුරුම්


වාර්ෂිකව තෙල් මෙට්‍රික් ටොන් මිලියන 500කටත් අධික ප්‍රමාණයක් සංසරණය වන ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ හදිසි තෙල් විසිරුමක් හෝ රසායනික ද්‍රව්‍ය විසිරීමක් ඇතිවීමට ඇති ඉඩකඩ ද බොහෝය. තෙල් විසිරුමක් සිදුවන්නේ කෙසේද? එය පාලනය කිරීමට ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳ දැන ගැනීමට අප සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මෙහෙයුම් කළමනාකාර ජගත් ගුණසේකර මහතා අද ට  සම්බන්ධ කර ගතිමු.


රට මෙන් අටගුණයක් විශාල සමුද්‍ර කලාපයක් සුරැකීම

ශ්‍රී ලංකාව මෙන් අටගුණයක් විශාල සාගර කලාපයක සමුද්‍ර දූෂණය වැළැක්වීමේ වගකීම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට පැවරිලා තිබෙනවා. නාවික කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ඉතාමත් වැදගත් තැනකයි. ඒ නිසාම අපිට යම් යම් වශයෙන් ලැබෙන ආර්ථිකමය වාසි තිබෙනවා. ඒ වගේම ලෝකයේ ප්‍රධාන නැව් මාර්ග ශ්‍රී ලංකාව ආසන්නයෙන් වැටී තිබෙනවා. උදාහරණයක් විදියට මැදපෙරදිග සිට චීනය, මැලේසියාව, ජපානය වැනි රටවලට තෙල් සපයන නෞකා සඳහා වන මාර්ග වැටී තිබෙන්නෙත් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව හරහායි.
නෞකා මගින් ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් සමුද්‍රයට හානි වෙනවා. ඉන් එකක් තමයි නෞකාව මගින් වන තෙල් විසිරීමෙන්. අනෙක් ආකාරය නෞකාවෙන් යම් රසායනික ද්‍රව්‍යයක් සාගරයට මුසු වීම. 

තෙල් මෙට්‍රික් ටොන් මිලියන 525 ක් සංසරණය වන ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව

වාර්ෂිකව ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව හරහා තෙල් මෙට්‍රික් ටොන් මිලියන 525ක ප්‍රමාණයක් සංසරණය වෙනවා. හම්බන්තොටට ආසන්න කලාපයෙනුත් දිනකට තෙල් නෞකා 200 - 300ත් අතර ප්‍රමාණයක් ගමන් කරනවා. ඒ ආකාරයෙන් තෙල් ප්‍රවාහනයට යොදාගන්නා නෞකා විශාල ප්‍රමාණයක් දෛනිකව මේ සීමාව හරහා ගමන් කරද්දී ඕනෑම මොහොතකදී කාලගුණික හේතුවක්, අත්වැරදීමකින් හෝ කාර්මික දෝෂයකින් නෞකාවක් අනතුරකට පත්වීමේ අවදානමක් තිබෙනවා. ඒ ඔස්සේ සාගරයට තෙල් විසිරීමේ විශාල අවදානමකුත් පැහැදිලිවම තිබෙනවා. 

තෙල් විසිරුමක් සිදුවෙන්නේ කොහොමද?

ඊට අමතරව ශ්‍රී ලංකාවේ වරායන්ට වසරකට නෞකා 5000කට අධික ප්‍රමාණයක් පැමිණෙනවා. ඒ නෞකාවලිනුත් ඕනෑම අවස්ථාවක වරාය තුළදී හෝ තෙල් විසිරීමේ අවදානමක් පවතිනවා. ගැඹුර මීටර් 20ට වැඩි නෞකාවන්ට ශ්‍රී ලංකාව සතු වරායන්ට ඇතුළු වීමට හැකියාවක් ඇත්තේ නැහැ. එයට හේතුව වරායන්වල ගැඹුර ප්‍රමාණවත් නොවීමයි.  ශ්‍රී ලංකාවට තෙල් ආනයනය කරන කුඩා ප්‍රමාණයේ නෞකාවල තෙල්, වරායේදී නළ මාර්ග ඔස්සේ තෙල් ගබඩා කරන ටැංකි වෙත පොම්ප කිරීමේ හැකියාවක් තිබෙනවා.  

විශාල ප්‍රමාණයේ තෙල් නෞකාවලට ඇතුළුවීමට නොහැකි නිසා ඒ නැව් උස්වැටකෙයියා වෙරළේ සිට කිලෝමීටර 09ක් පමණ ඈතින් ස්ථානගත කර තිබෙන පාවෙන ග්‍රාහක‍යකට (SPBM) බට මගින් සම්බන්ධ කර ඒ ඔස්සේ රට තුළට තෙල් පොම්ප කිරීම සිදු කරනවා. එතනදි  තෙල් නැවක් සම්පූර්ණ කරන්න දින 3ක පමණ කාලයක් ගත වෙනවා. මෙතනදිත් ඕනෑම අවස්ථාවක තෙල් විසිරීමක් වෙන්න ඉඩකඩ තිබෙනවා. 

ඒ වගේම ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගමන් ගන්නා නෞකාවකට ඉන්ධන අවශ්‍යතාවක් ඇති වුණොත් එම නෞකාව තිබෙන ස්ථානයට ළඟාවෙලා ඊට තවත් නෞකා විශේෂයක් ඔස්සේ තෙල් ලබාදීමේ සේවාවක් සිංගප්පූරුව හැරුණාම ශ්‍රී ලංකාවත් මේ කලාපය තුළ සිදු කරනවා. ආයතන දහයකට වැඩි ප්‍රමාණයක් දැන් එම සේවාවේ නිරත වෙනවා. එවැනි අවස්ථාවකත් තෙල් විසිරීමේ අවදානමක් තිබෙනවා වගේම නෞකා ගැටීමක්, අනතුරක් හෝ කාර්මික දෝෂයක් හේතුවෙනුත් මෙවැනි අවදානම් තත්ත්වයක් මතුවිය හැකියි.
හානි බොහෝමයි

සාමාන්‍යයෙන් පෙට්‍රල් හෝ ඩීසල් වැනි දෙයක් සාගර පරිසරයට මුසු වුණොත් ඒවා රැඳී තිබෙන්නේ නැහැ. ඒවා වාෂ්ප වී යනවා. නමුත් බන්කර් තෙල් හෝ පිරිපහදු නොකළ බොරතෙල් වැනි දෑ වාෂ්ප වෙන්නේ නැහැ. ඒවා සාගර පිරිසරයේ දිගු කාලයක් රැඳී තිබෙනවා. මේවා ජල තලය මත පාවෙමින් සාගර ජල තරංග සහ සුළඟේ තත්ත්වය මත පැතිරීම සිදු වෙනවා. රසායනික ද්‍රව්‍ය විසිරීමක් සිදුවුණොත් සමහර රසායන ද්‍රව්‍ය තිබෙනවා සාගර පරිසරයට මුසු වුවහොත් තවත් විෂ රසායනික නිකුත් කරනවා, විෂ වායුවක් ඇති කරනවා, සාගර ජලයේ දිය වෙලා යනවා වගේ විවිධ දේ සිදු වෙනවා. 

මේ ආකාරයට තෙල් විසිරීමක් හෝ රසායනික ද්‍රව්‍ය විසිරීමක් සාගරයේදී සිදුවුණොත් මුහුදු පරිසරයට සම්බන්ධ කොරල් පර, මුහුදු තෘණ, කඩොලාන වැනි සංවේදී පරිසර කලාපයන්ට සහ මුහුදු ජීවීන්ට සම්පූර්ණයෙන්ම හානි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කඩොලාන වැනි පරිසර පද්ධතියකට සිදූ වූ එවැනි හානියක් යම්තාක් දුරකට ‍හෝ යථා තත්ත්වයට පත්වීමට වසර 10කටත් වඩා වැඩි කාලයක් ගත වෙනවා. ඒ වගේම මේවා වෙරළ තීරයට ව්‍යාප්ත වුණොත් මිනිස් ජීවිතවලටත් විවිධාකාරයෙන් හානි වෙනවා වගේම වෙරළ හා බැඳුණු සංචාරක කර්මාන්තයටත් විශාල බලපෑමක් සිදුවෙනවා. ඒ වගේම මෙයින් ධීවර කර්මාන්තයත් දැඩි කඩා වැටීමකට ලක්වෙන්න ඉඩ තිබෙනවා. මොකද, යම් තෙල් හෝ රසායනික විසිරීමක් සිදුවුණොත් එම කලාපයේ හා ඒ අවට කලාපවල මසුන් මැරීම හෝ කලාපයන්ට ඇතුළුවීම තහනම් කරන්න සිදුවෙනවා අවදානම් තත්ත්වය සම්පූර්ණයෙන්ම පහව යන තෙක්ම. සමහර අවස්ථාවලදී මේවා වෙරළෙන් එහාටත් හානි පැමිණවිය හැකි ද්‍රව්‍යයන් වුණොත් එම ප්‍රදේශවල සිටින ජනතාව පවා වහාම ඉවත් කරන්න අපිට සිදුවෙනවා. අද ලෝකයේ වෙනත් රටවලට ආසන්න සමුද්‍ර කලාපවල සිදුවන ආකාරයේ මහා පරිමාණයේ තෙල් විසිරීමක් මේ කලාපයේ සිදුවුණොත් සිදුවන හානිය ඉතාමත් වැඩියි. ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් විශාල කොටසක් එතනදි යම් කාලයකට අහිමි වෙන්න පුළුවන්. මේ ආකාරයෙන් පරිසර, සමාජ, ආර්ථික, සෞඛ්‍යමය ගැටලු රාශියක් මේ හරහා කෙටිකාලීනව හෝ දීර්ඝකාලීනව ඇති වීමට හැකියි. 

තෙල් හෝ රසායනික විසිරීමක් පාලනය කරන්නේ කොහොමද?

ශ්‍රී ලංකාව අවට සමුද්‍ර කලාපය තුළ මෙවැනි දෙයක් සිදුවුණොත් එය පාලනය කිරීමේ ප්‍රධාන වගකීම තිබෙන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සතුවයි. ඒ  නිසා අපි ඒ සඳහා හදිසි තෙල් විසිරීමක් පාලනය කිරීමේ ජාතික සැලැස්මක් සකස් කර තිබෙනවා. මෙවැනි හදිසි තෙල් හෝ රසායනික ද්‍රව්‍ය විසිරීම් වළක්වා ගන්න අද වෙනකොට නෞකා නිෂ්පාදනය කිරීමේදී විවිධ ආරක්ෂිත ක්‍රමවේද යොදාගෙන තිබෙනවා. ඒ ඔස්සේ එවැන්නකට තිබෙන ඉඩකඩ යම් මට්ටමකින් අවම කර තිබුණත් ලෝකයේ සිදුවන තෙල් විසිරුම් වලින් 45෴ක්ම සිදුවන්නේ මිනිස් අත්වැරදීම් නිසයි. 
නෞකාවක් අනතුරට පත් වුණාම හෝ යම් හේතුවක් නිසා තෙල් විසිරීමක් සමුද්‍රයේදී සිදුවුණොත් ඒ නෞකාවේ කපිතාන්වරයා වහාම ළඟම ඇති වරායට දැනුම් දිය යුතුයි. ඒ දැනුම් දුන් වහාම නාවික හමුදාව සහ වෙරළාරක්ෂක අංශ හැකි ඉක්මනින් එම ස්ථානයට ළඟා වෙනවා. එමගින් අපි තොරතුරු ලබා ගන්නවා අනතුර සිදුවෙලා තිබෙන ස්ථානය, කොපමණ තෙල් ප්‍රමාණයක් නැවේ තිබුණද, ඒ තෙල් වර්ගය මොකක්ද ආදී කාරණා සම්බන්ධයෙන්. මම කලින් සඳහන් කළා වගේ තෙල් ජල තලය මත පාවෙමින් ව්‍යාප්ත වෙන නිසා එය වළක්වන්න අපි මුලින්ම කරන්නේ ඒ තෙල් ස්ථරය වට කරලා තවත් ව්‍යාප්ත නොවෙන්න භෞතික බාධකයක් (Boom) යොදලා එක් තැනකට කොටු කරගැනීම.  ව්‍යාප්තවීම ඒ ආකාරයෙන් පාලනය කළාට පසු මේ තෙල් ජලයෙන් වෙන් කරගන්න අපි විශේෂ උපකරණයක් (Oil Skimer) භාවිත කරනවා. 

මුහුද මැදදි මේ උපකරණ භාවිත කරලා ඒ තෙල් විසිරුම පාලනය කර හානිය සැලකිය යුතු මට්ටමකින් වළක්වා ගන්න හැකියාව තිබෙනවා. මේ ක්‍රමවේදයෙන් පාලනය කරන්න නොහැකි තත්ත්වයක තිබුණොත් තෙල් විසිරුම්කාරක රසායනිකයක් අපි ඒ තෙල් ස්ථරයට ඉහිනවා. එමගින් ඒ තෙල් ස්ථරය කුඩා තෙල් බිංදු බවට පත්වී මුහුදු ජලයේ දියවී යනවා. මෙතනදි කරන්නේ තෙල් ඉවත් කිරීම නොව ස්ථරයක් ලෙස පවතින තෙල් දිය කරලා ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය මත ඒවා ස්වාභාවිකව වියෝජනය වීමට ඉඩහැරීම පමණයි. නමුත් මේ තෙල් විසිරුම්කාරකය භාවිත කරන්නේ මීටර් 20ට වඩා ගැඹුරක් සහිත තැන්වල හෝ සංවේදී පරිසර පද්ධතියක් නොමැති ස්ථානයක පමණයි. මොකද එමගින් සම්පූර්ණයෙන් තෙල් ඉවත් නොකරන නිසා. මෙය තමයි මේ සඳහා මුහුද මැදදි අපි භාවිත කරන යාන්ත්‍රික සහ රසායනික ක්‍රමවේදය. මුහුදේ ස්වභාවය හා ඒ අවට කාලගුණය රළු තත්ත්වයක තිබෙනවා නම් මේ ක්‍රමවේද අපිට භාවිත කරන්න අපහසුයි. ඒ නිසා අපි කරන්නේ ඒ තෙල් ස්ථරයට සංවේදී පරිසර කලාපවලට හෝ මෝය කටකට ඇතුළු වීමට නොහැකි විදියට ඒ ස්ථානවලට Booms යොදා තෙල් ස්ථරයට වෙරළ තීරයට එන්න ඉඩ දෙනවා. ඒ විදියට වෙරළ තීරයට ආසන්න වුණාට පස්සේ හැකි ඉක්මනින් මිනිස් ශ්‍රමය සහ උපකරණ යොදා ඒවා ඉවත් කිරීමයි. අවසානයේදී පවතින නීතිමය රාමුව යටතේ අපි නඩු පැවරීම මගින් වගකිව යුතු අංශයන්ගෙන් සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම සිදුකරනවා.

නඳුන් ශ්‍යාමාල්



Recommended Articles