දෙවැනි ලෝක යුද්ධයත් සමගින් මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම සම්බන්ධයෙන් බරපතළ අභියෝගයක් එල්ල විය. පළමු වරට පරමාණු බෝම්බයක් පුපුරුවා හරින ලද්දේ දෙවැනි ලෝක යුද්ධයේ දීය. මිනිස් වර්ගයා මිනිත්තු කිහිපයක් තුළදී සහමුලින්ම තුරන් කර දැමීමට හැකි අවි ආයුධ මිනිස් වර්ගයාම සතු බව දෙවැනි ලෝක යුද්ධයේදී හොඳින් සනාථ විය.
දෙවැනි ලෝක යුද්ධය විසින් ලෝකය වෙත බරපතළ වේදනාවක් ගෙන එනු ලැබීය. මිනිසා තමන් උසස් සත්ත්වයෙකි, ශිෂ්ට සම්පන්න සත්ත්වයෙකි යන ආප්තය තමන් වෙතම කියාගැනීම සම්බන්ධයෙන් දාර්ශනිකයන් අතර විශාල සංවාදයක් ඇති විය. මක්නිසාද යත් මිනිසුන් මෙතෙක් විශ්වාස කර ගෙන තිබූ පරමාදර්ශ තවදුරටත් වලංගු වන්නේ ද යන්න දෙවැනි ලෝක යුද්ධයත් සමගින් ප්‍රශ්නකාරී ලෙස ඉස්මතු වන්නට විය.
සාංදෘෂ්ටිකවාදය ඉස්මතු වන්නේ මෙවැනි සංදර්භයක් යටතේය. සාංදෘෂ්ටිකවාදය පිළිබඳ අදහස 19 වැනි සියවසේ අගභාගයේ සිට යුරෝපීය දාර්ශනික කථිකාව තුළ පැවතියද ස්ථාපිත වූයේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවයි. උපතින් හෝ කිසියම් කුලකයකට අයිති වීමෙන් හෝ මිනිස් ආත්මය (human subject) ගොඩනොනැගෙන බව සාංදෘෂ්ටිකවාදීහු පෙන්වා දුන්හ. උදාහරණයක් ලෙස ජර්මානුවෙකු ලෙස ඉපදීම ආර්ය ජන කොට්ඨාසයට අයත් වීමක් ලෙසත් සෙසු ජාතීන්ට වඩා එවැනි පුද්ගලයන් උසස් බවටත් ඇඩොල්ෆ් හිට්ලර් පෙන්වා දුන්නේය. එහෙත් සාංදෘෂ්ටිකවාදීන් පෙන්වා දුන්නේ මිනිස් ආත්මය කලින් නිර්ණය වූවක් නොවන බවයි. මිනිස් ආත්මය ක්‍රියාවේ, වචනයේ, ජීවත් වීමේ රටාවේ නිර්මාණයක් බවයි. එනම් කිසියම් පුද්ගලයෙකු තුළ පවතින සාරය ඔහුගේ හෝ ඇයගේ පැවැත්මේ ස්වභාවය අනුව තීරණය වන බව සාංදෘෂ්ටිකවාදයේ පිළිගැනීමයි.
මෙනයින්, සාංදෘෂ්ටිකවාදයේ කේන්ද්‍රීය ඉගැන්වීම බවට මනුෂ්‍යයාගේ සාරය නිර්මාණය වන්නේ ඔහුගේ පැවැත්ම අනුව (existence precedes essence) වන බවයි. කිසියම් පුද්ගලයෙකු සොරකම් කරන්නේ නම් ඔහුගේ එම පැවැත්ම අනුව සොරා යන සාරය නිර්මාණය වෙයි. එබැවින් කිසිවෙකුත් කිසිවක් උපතින් හෝ සමාජ කුලකයක් තුළින් හෝ නොලබන බව සාංදෘෂ්ටිකවාදීහු පිළිගත්හ. මෙනයින්, හිටලර්ගේ ආර්යය ප්‍රවාදයට දාර්ශනික ප්‍රහාරයක් එල්ල කෙරිණි.
සාංදෘෂ්ටිකවාදයේ පිතෘ වරුන් ලෙස සැලකෙන්නේ සොරෙන් කියැකිගාර්ඩ්, ෂෝන් පෝල් සාත්, ෆ්‍රෙඩ්රීක් නීට්ෂේ වැනි අයයි. එහෙත්, බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද නජජ්ජා වසලෝ හෝති - නජජ්ජා හෝති බ්‍රාහ්මණෝ කම්මනා වසලෝ හෝතී - කම්මනා හෝති බ්‍රාහ්මණා ගාථාවෙහි සාංදෘෂ්ටිකවාදයේ මූලික අදහස පවතී. කෙනෙකුගේ ක්‍රියාවෙන් මිස කෙනෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු නොවන බව පෙන්වා දීම සැබැවින්ම සාංදෘෂ්ටිකවාදී අදහසකි.
සාංදෘෂ්ටිකවාදීහු මනුෂ්‍ය පැවැත්මේ නිදහස පිළිබඳ නිරන්තරයෙන් අවධාරණය කළහ. තවදුරටත් බැමි මතින් බැඳෙමින් තමන්ගේ නොවන ජීවිතයක් ගතකිරීමට ඔවුහු විරුද්ධ වූහ. එහි දී සත්‍යවාදී බව (authenticity) සාංදෘෂ්ටිකවාදයේ ප්‍රධාන ඉගැන්වීමක් ලෙස පවතී. සමාජය විසින් පනවන ලද සදාචාර මත පාදකව අපගේ නොවන අනුන්ගේ ජීවිතයක් ගත කිරීම මෙනයින් සාංදෘෂ්‍ටිකවාදයේදී ප්‍රතික්ෂේප කෙරිණි.
සාංදෘෂ්ටිකවාදයේදී ඕනෑම කෙනෙකුට ඕනැම තත්ත්වයකට පත් වීමේ හැකියාව පිළිගන්නා අතර ඒ ඒ පුද්ගලයාට අදාළ ලේබල් කිරීම්, ඒකාකෘතිකරණයන් ආදිය පසුව පැමිණෙයි.
සාංදෘෂ්ටිකවාදය පසුකෙලදී නාට්‍ය, සාහිත්‍ය, මනෝවිද්‍යාව සඳහා පමණක් නොව ආගමික ඉගැන්වීම් පැහැදිලි කිරීම සඳහා ද යොදා ගැණින.