1972 ජනවාරි 10 බංග්ලාදේශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ විය. පාකිස්තාන සිරකඳවුරෙන් නිදහස් වූ බංගබන්ධු ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ ( මුජීබ්) තේජාන්විත පුනරාගමනය ස්වාධීන, ස්වෛරී බංගලාදේශයේ භූමියට නව යුගයක ආරම්භය සනිටුහන් කළේය. ඔහු සිය භූමියට පැමිණි දිනට පසු දිනම රටට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු ආරම්භ කළේය. බංග්ලාදේශය තම පළමු වසර තුළ ලැබූ විශිෂ්ට ජයග්‍රහණවලින් එකක් වූයේ ව්‍යවස්ථාව සාර්ථකව නිම කිරීම බව බොහෝ බෙංගාලි වැසියන්ගේ පොදු පිළිගැනීම වේ. ජයග්‍රහණය කෙතරම් විශාල වුවද එය නිවැරදිව කළමනාකරණය කිරීමට නොහැකි නම් ඉන් වගතුවක් සිදු නොවේ. විසඳිය යුතු මූලික ගැටලු වෙනුවට අනවශ්‍ය නව අර්බුද නිර්මාණය නොකිරීමට මුජීබ් සෑම විටම වගබලා ගත්තේය.
ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කටයුතුවලට නායකත්වය ලබාදීම සඳහා තීරණය කිරීමට මුජීබ් කල් මරමින් සිටියේ නැත. බංග්ලාදේශයේ ජනාධිපති ලෙස ඔහුට ලැබී තිබූ බලය ප්‍රකාරව 1972 ජනවාරි 11වැනිදා බංග්ලාදේශයේ තාවකාලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නියෝගය නිකුත් කළේය. එමගින් 1970 මැතිවරණයේදී නැගෙනහිර පාකිස්තානයෙන් තේරී පත් වූ හිටපු ජාතික සභාවේ සහ නැගෙනහිර පාකිස්තාන පළාත් සභාවේ සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ව්‍යවස්ථාදායක සභාව නිර්වචනය කළේය. ඉන්පසු ඔහු බංග්ලාදේශයේ 1972 ව්‍යවස්ථාදායක සභාවට අදාළ නියෝගය ප්‍රකාශයට පත් කළ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ වගකීම ව්‍යවස්ථාදායක සභාවට පැවරීය. මුජීබ්ගේ අනුග්‍රහය සහ නායකත්වය යටතේ ව්‍යවස්ථාදායක සභාව 1972 නොවැම්බර් 04වැනිදා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන ලදී. 1972 දෙසැම්බර් 16වැනිදා සිට එය ක්‍රියාත්මක කෙරිණි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථානුකූලවාදය සඳහා මුජීබ්ගේ දැඩි කැපවීම පිළිබඳ පැහැදිලි ස්ථාවරය ඉතාම කෙටි කාලයක් තුළදී ගත් එම තීන්දුවලින් පැහැදිලි වේ.
බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ කථානායක ලෙස සේවය කළ ෂිරින් ශර්මින් චෞද්රි ප්‍රකාශ කරන අන්දමට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව ගැන මුජීබ් හොඳින්ම දැන සිටියේය. ඔහුගේ මඟ පෙන්වීම යටතේ ව්‍යවස්ථාදායක සභාව ඉතා කෙටි කාලයක් එනම් වසරකට අඩු කාලයක් තුළ ඉදිරි දැක්මක් සහිත ලේඛනයක් ඉදිරිපත් කිරීමට සමත් විය. එවැනි ක්‍රියාවලියක් සකස් කිරීමට වෙනත් රටවලට වසර ගණනාවක් ගත වී ඇති බව ඉතිහාසය පෙන්වා දෙයි. සැබෑ කැපවීමකින් පසු ලැබූ මුජීබ් ජයග්‍රහණය ඉතාම වගකීමෙන් භුක්ති විඳීමට ඔහු සෑම විටම ප්‍රවේසම්සහගත විය. අර්බුදයක් විසඳීම සඳහා නව අර්බුද නිර්මාණය කර ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමේ දේශපාලනයෙන් මිදුණු ඔහු සෑම විටම ගැටලු විසඳීම සඳහා අව්‍යාජත්වය මත පිහිටා කටයුතු කළේය.
ඔහුගේ ජීවිත කාලය පුරාම මුජීබ් බෙංගාලි ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළේය. නැගෙනහිර බෙංගාලයේ ජනතාව දරිද්‍රතාවෙන්, කුසගින්නෙන්, අසමානතාවෙන් සහ සූරාකෑමේ ග්‍රහණයෙන් මුදා ගැනීමේ අරගලය දීර්ඝ සහ සංකීර්ණ එකක් විය. මුජීබ්ගේ සිහිනය වූයේ සෝනාර් බංග්ලා හෙවත් රන් සමෘද්ධිමත් බෙංගාලයක් ගොඩනැගීම සහ ඒ සඳහා සාමූහික ප්‍රයන්තයක ඇති වැදගත්කම රටේ අස්සක් මුල්ලක් නෑර සෑම අයෙකුටම පැහැදිලි කරදී ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමය. ඔහු දමමින් සිටි අත්තිවාරම වූයේ 1971 මාර්තු මාසයේදී ඔහු දිවුරා දුන් පොරොන්දුව ඉෂ්ඨ කිරීමේ ප්‍රායෝගික ක්‍රියාවලීයයි. “අපි 1952දී ලේ පූජා කළා. 1954දී ජනවරමක් ලබා ගත්තා. නමුත් තවමත් මේ රටේ පාලනය අපට භාර ගන්න දුන්නේ නැහැ. 1958දී අයුබ් ඛාන් අපේ මිනිසුන්ට එරෙහිව යුද නීතිය තද කර ඊළඟ වසර 10 සඳහා අපව වහලුන් කළා. 1966දී මහජනතාවගේ කරුණු හයේ ව්‍යාපාරය අතර තුරදී බොහෝ තරුණ තරුණියන් රජයේ වෙඩි උණ්ඩවලට නතුවුණා” යනුවෙන් මුජීබ් 1971 මාර්තු මාසයේදී සඳහන් කළේය.
එසේම, &අපි රුහිරය පූජා කරලා තියෙනවා. තවත් ඕනෙනම් තවත් පූජා කරනවා. නමුත්, දෙවියන්ගේ නාමයෙන්, අපි මේ රටේ ජනතාව නිදහස් කරන්නෙමු. මේ අරගලය විමුක්තිය සඳහායි. මේ අරගලය නිදහස සඳහායි" යනුවෙන් මුජීබ් දිවුරා පොරොන්දු වූයේය. බලයට පැමිණි පසු ඔහු කැපවී සිටියේ එම පොරොන්දුව ඉටුකිරීම සඳහාය. එසේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන රාමුව ලෙස ඔහු සංකල්ප ගත කරනු ලැබුවේ බෙංගාලයේ ජනතාව ආයාසයෙන් සටන් කළ දේශපාලන සහ ආර්ථික විමුක්තියේ ඓතිහාසික පසුබිමයි.
1972 නොවැම්බර් 04වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම පිළිබඳ මුජීබ් විසින් කරන ලද ව්‍යවස්ථාදායක සභා කතාව, ජාතිය මුහුණ දෙමින් සිටි අරගලයේ ඓතිහාසික සන්දර්භය මෙන්ම සමාජ-ආර්ථික හා දේශපාලනික ක්ෂේත්‍ර ඇතුළු සමස්ත පරාසය ගැන ඔහුට තිබු ගැඹුරු අවබෝධය තහවුරු කළ අගනා ලියවිල්ලක් විය. 1948 සිට 1971 දක්වා වූ වසර 23ක් පුරා කළ අරගලය, භාෂා ව්‍යාපාරයේ මතුවීමේ සිට නිදහස් ස්වෛරී බංගලාදේශයක් වෙනුවන් සිදුකළ විමුක්ති අරගලය සංක්ෂිප්ත ගත කිරීමට ඔහු එය අවස්ථාවක් කරගත්තේය.
නිදහස සඳහා වූ දීර්ඝ දුෂ්කර අරගලය 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික මූලධර්මය නිර්මාණය කළේය. මුජීබ් මහත් ආඩම්බරයෙන් සිය කතාව ආරම්භ කළේ මෙලෙසය. “බෙංගාලි ජාතිකයන් මිලියන 75ක් තමන්ගේම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට සූදානම් වන පළමු අවස්ථාව අදයි. ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වූ බංග්ලාදේශ මහජන නියෝජිතයන් තම රටට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලබා දෙන පළමු අවස්ථාව මෙයයි. බෙංගාල ඉතිහාසයේ බෙංගාල ජාතිකයන් තමන්ගේම ව්‍යවස්ථාවක් දායාද කරන පළමු අවස්ථාව මෙයයි.”
1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විද්වතුන් විසින් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් ලෙස හඳුන්වා දී ඇත. මුජීබ් තම කතාවේදී මෙසේ කිව්වේය. “මේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ලියැවී තිබෙන්නේ දිවි පිදූවන්ගේ ලේවලින්.” මෙම ව්‍යවස්ථාව පිටරටකින් හෝ ඊනියා බටහිර බුද්ධිමතුන් යැයි කියා ගන්නා අයවලුන්ගෙන් නොව ස්වදේශීය මිනිසුන්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු හැඳින්වීය.
අන්වර් හුසේන් චෞද්රිට එදිරි බංග්ලාදේශය හෙවත් 08වැනි සංශෝධන නඩුව ලෙස ප්‍රසිද්ධ නඩුව ස්වාධීන බංග්ලාදේශයේ ව්‍යවස්ථාමය ඉතිහාසයේ වැදගත් තීන්දුවකි. පාර්ලිමේන්තුව විසින් ව්‍යවස්ථාවට කරන ලද සංශෝධනයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කළ පළමු තීන්දුව එයයි. අදාළ තීන්දුව ඔස්සේ ව්‍යවස්ථාවේ ඇති නෛසර්ගික ස්වභාවය සහ නිදහසින් පසු නිදහස වෙනුවෙන් දිවිපූජා කළ මිනිසුන්ට ව්‍යවස්ථාව කෘතගුණ දක්වා ඇති ආකාරය පැහැදිලි කර ඇත. එසේම ආචාර්ය මොහිදින් ෆාරුක්ට එදිරිව බංග්ලාදේශය නමැති නඩුවේ විනිශ්චය සඳහන් කර ඇති ආකාරයට, "බංග්ලාදේශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැරණි යටත් විජිත බලය සමග සාකච්ඡා කර සමථයකට පත් වීමක ප්‍රතිඵලයක් හෝ බාහිර ස්වෛරී බලයක එකඟතාවෙන් හෝ අනුමැතියෙන් සකස් කරන ලද්දක් නොවේ. එය සංසන්දනාත්මක විස්තරයක් සහිත අනෙකුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්ගෙන් වූ ඓතිහාසික නිදහස් සටනේ ඵලයකි.”
ජාතිකවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, රාජ්‍ය ආගමින් නිදහස් කිරීම සහ සමාජවාදය යන කුලුනු හතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික සාරධර්ම බව මුජීබ් ඉතා සරල ලෙස අර්ථ දැක්වීය. මෙම වටිනාකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මාර්ගෝපදේශක ශාරය තීරණය කළ මූලික මූලධර්ම වේ. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව රටේ උත්තරීතර නීතිය ලෙස ක්‍රියා කළ යුතු අතර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය මෙහෙයවීම සඳහා සාරධර්ම සහ මූලික මූලධර්ම වැදගත් මෙහෙයක් ඉටුකරනු ලබයි. මුජීබ්ට, ජාතිකවාදය (නැෂනලිස්ම්) යනු හැඟීමකි. ඔහු එය මෙසේ විස්තර කළේය.”ජාතිකවාදය කියන්නේ හැඟීමක්. ඒ නිසා තමයි අරගල සහ ලේ වැගිරීම් ඔස්සේ බෙංගාලි ජාතිය නිදහස ලබා ගත්තේ. අපට නිදහස ලැබුණු පදනම, අප අරගල කළ පදනම, මම බෙංගාලි සහ බෙංගාලි ජාතිකත්වය මගේ වන්නේ එම හැඟීම ඇති නිසයි."
ඒ හා සමානව, මුජීබ් ප්‍රජාතන්ත්‍රවාදය නිර්වචනය කළේ සාමාන්‍ය මිනිසුන්ගේ සුභසාධනය සහතික කරන පාලන ක්‍රියාවලියක් ලෙසය. වර්තමාන සන්දර්භය තුළ, ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාවගේ සංවර්ධන අභිලාෂයන් තුළ ගැඹුරින් මුල් බැස ඇති ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ඵලදායී ක්‍රියාවලියක් බව බොහෝ විට අවධාරණය කෙරේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුලුනක් ලෙස එය ඇතුළත් කිරීමේදී මුජීබ් සිතුවේද එයමය.
මුජීබ් සමාජවාදය පැහැදිලි කරනු ලැබුවේ ‘සූරාකෑමෙන් තොර සමාජයක් ලෙසය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාවෙන් මෙය මනාව පිළිබිඹු වේ. “ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය හරහා සූරාකෑමෙන් තොර සමාජවාදී සමාජයක් එනම් සියලුම පුරවැසියන් සඳහා සුරක්ෂිත වන්නා වූ නීතියේ ආධිපත්‍ය, මූලික මානව හිමිකම් සහ නිදහස, සමානාත්මතාව සහ යුක්තිය, දේශපාලන, ආර්ථික හා සමාජීය යන කාරණා සාක්ෂාත් කර ගැනීම රාජ්‍යයේ මූලික අරමුණ විය යුතුය.”
ව්‍යවස්ථාවේ පෙරවදනේ, දුප්පත් මිනිසුන්ගේ ජීවිතවලට ප්‍රීතිය ගෙන ඒම පිළිබඳ මුජීබ්ගේ වුවමනාව කැටිකොට ඇත. බෙංගාලි ජනයාගේ දේශපාලන හා ආර්ථික විමුක්තිය ඔහුගේ අරගලයේ හරය වූ අතර ව්‍යවස්ථාවේ හරය වූයේ එම අරගල කළ මිනිසුන්ගේ ජීවිතවලට ප්‍රීතිය ගෙන ඒම සඳහා නීත්‍යනුකූල ව්‍යුහයක් නිර්මාණය කිරීමය. රාජ්‍ය ප්‍රතිපත්තිවල මූලික මූලධර්ම සහ මූලික අයිතිවාසිකම් ගැන සඳහන් කොටස් සියල්ලේම මෙම තේමාව ඉතා පැහැදිලිව අර්ථ ගන්වා තිබේ.
මුජීබ් සමාජ සාධාරණත්වයේ අවශ්‍යතාවද අවධාරණය කළේය. ඔහු එය “සැමට දේශපාලන, ආර්ථික සහ සමාජ සාධාරණත්වය සුරක්ෂිත කිරීම” ලෙස පුළුල් අර්ථයකින් විග්‍රහ කළේය. රජය ආගමෙන් නිදහස් කර තබා ගැනීම (සේකියුලරිස්ම්) සඳහා ඔහු මූලික අවධානයක් යොමු කළේය. “ඕනෑම ආගමක් ප්‍රකාශ කිරීමට, පිළිපැදීමට හෝ ප්‍රචාරය කිරීමට සෑම පුරවැසියෙකුටම ඇති අයිතියක් ලෙස ඔහු පිළිගත් අතර එය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුලුනු හතරෙන් එකක් ලෙස දක්වා ඇත.” තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ‘ජනතාවගේ කැමැත්ත සහ සහභාගීත්වයඅවශ්‍ය බව මුජීබ් නැවත නැවතත් අවධාරණය කළේය. එය ඔහුගේ දේශපාලන දර්ශනය සාර්ථක වීම සඳහා ඉවහල් වූ මූලික ගුණාංගයක් විය.
ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක සාර්ථකත්වය රඳා පවතින්නේ එය පවතින පාලකයාගේ පටු දේශපාලන අරමුණු සහ බලය ශක්තිමත් කිරීම මත නොවේ. එනම් එය කෙතරම් දුරට අනාගත පරම්පරාව ගැන සිතා ඔවුහු වගකීමට නතු කරමින් ලියා ඇත්තේද යන්න මතය. මුජීබ් තම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදී ඊට අනාගත දැක්මක් ලබා දීමට අමතක කර නැති අතර ව්‍යවස්ථාව යථාර්ථයක් කරගැනීමට අනගාත පරම්පරාවලින් ඉටුවිය යුතු වගකීම ගැන සෑම විටම අවධාරණය කළේය.
ෂිරින් ශර්මින් චෞද්රි පවසන පරිදි, "අනාගත පරපුරට සූරාකෑමෙන් තොර සමාජයක් ගොඩනැගිය හැකි නම් තම ජීවිත කාලය පුරාවට කරන අරගලය අර්ථවත් වනු ඇති බව මුජීබ්ගේ දැඩි විශ්වාසය විය. අනාගත පරපුර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දක්වා ඇති ජාතිකවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය සහ ආගමෙන් රාජ්‍ය සංස්ථාව වෙනකොට තබා ගැනීම යන සාරධර්ම අගය කරන විට ඔහුගේ කැපකිරීම සම්පූර්ණ වනු ඇත.”
මුජීබ්ගේ පණිවිඩය ඉතාම පැහැදිලිය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ හරය සාක්‌ෂාත් කරගත හැක්කේ එමගින් රටේ දුක්විඳින ජනතාවගේ ජීවිතවල යහපත් වෙනස්කම් ඇති කිරීමට හැකි වූ විටය. දරිද්‍රතාව සහ අසමානතාව තුරන් කරමින් සෑම දෙනාගේම ආහාර සුරක්ෂිතතාව, අධ්‍යාපනය සහ සෞඛ්‍ය රැකවරණය සහතික කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ ප්‍රතිඥා දීමට ඔහු කටයුතු කළේය. “මුජීබ් විසින් සකස් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිඥා බංග්ලාදේශයේ ජනතාවගේ සංවර්ධන අභිලාෂයන් ඉටු කිරීම සඳහා අවධානය යොමු කර ඇත. මුජීබ්ගේ ‘සෝනාර් බංග්ලා’ පිහිටුවීමේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අරමුණු සාක්ෂාත් කර ගැනීම අපට සහ අනාගත පරම්පරාවන්ට භාර වගකීමකි” යනුවෙන් කලක් පර්ලිමේන්තු කථානායක මෙන්ම බංග්ලාදේශයේ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශර්මින් චෞද්රි පවසන්නීය.
අසමසම ධෛර්යක් සහ තම ජනතාව කෙරෙහි පරාර්ථකාමී ආදරයෙන් ජීවත් වූ නායකයෙකු වූ මුජීබ් ලෝකයේ නිදහසට ආදරය කරන සියලුම මිනිසුන්ට ආලෝකයක් බව අවිවාදයෙන් පිළිගත හැකි කාරණයකි. ස්වාධීන රාජ්‍යයක් බවට පත් වී මාස කිහිපයක් තුළ ශක්තිමත් ව්‍යවස්ථාවක් නිර්මාණය කර රාජ්‍ය ගොඩ නැගීම සඳහා ශක්තිමත් පදනම දැමුවේය. ඊළඟ පියවර වූයේ රාජ්‍ය ගොඩ නැගීමය.
අගමැති ෂීක් මුජිබර් රහ්මාන් 1973 මාර්තු 16 පාර්ලිමේන්තුවේ විවාදයට සහභාගි වෙමින්. මෙම ඡායාරූපය 1973 මාර්තු 07වැනිදා බංග්ලාදේශයේ පළමු මහ මැතිවරණයෙන් ඔහුගේ පක්ෂය ජයග්‍රහණය කර සති කිහිපයකට පසුවය.
සටහන - නිලන්ත ඉලංගමුව
මතු සම්බන්ධයි...