දිනෙන් දින වැඩි වන ලෝක ජනගහණයට සාපේක්ෂව වාසස්ථාන සඳහා භූමිය නිසි ලෙසින් භාවිතයට නොගන්නේ නම් ඇතිවන පාරිසරික හා ආර්ථික හානි බොහෝය. ස්ථිරසාර සංවර්ධන සංකල්පය තුළදී භූමි පරිභෝජනය සඳහා සුවිශේෂී ස්ථානයක් ලබා දෙන්නේ මේ නිසාවෙනි. ස්ථිරසාර ඉදිකිරීම් සමග බැඳුණු ස්ථිරසාර භූමි පරිභෝජනය පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර මහතා අද සමග සම්බන්ධ කර ගැනීමට අප සිතුවෙමු. මේ ඒ මහතා මේ පිළිබඳව දැක්වූ අදහස්ය.
ස්ථිරසාර ඉදිකිරීම් සඳහා භූමිය වැදගත් සාධකයකි
ස්ථිරසාර ඉදිකිරීම්වලදී ශ්‍රී ලංකාව වැනි රටකට භූමිය කියන්නේ විශේෂයෙන් සැලකිය යුතු සාධකයක්. අපි ඔස්ට්‍රේලියාව වැනි රටක් ගත්තොත් එහි ජනඝනත්වය පවතින්නේ ඉතාමත් අඩු අගයකයි. නමුත් ශ්‍රී ලංකාව ඒ හා සැසඳුවොත් අපේ නාගරික ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඉතාමත් අධික ජනඝනත්වයක් දැකගන්න පුළුවන්.
අපේ ජනගණත්වයට සාපේක්ෂව පවතින භූමි ප්‍රමාණය අඩුයි. ඒ නිසා භූමිය ඉතාමත් අරපිරිමැස්මෙන් වගේම නිසි කළමනාකරණයකින් භාවිතා කරන්න අපිට සිදුවෙනවා.
ඒ වගේම මේ භූමි පරිභෝජනයේදී ශ්‍රී ලංකාවේ පවතින හරිත ආවරණයට වන හානිය ඉතාම අවම කිරීම වැදගත් වෙනවා. ඒ නිසා හැකිතාක් ස්වාභාවික පරිසරය හා කෘත්‍රිම පරිසර පද්ධති අතර සමතුලිතතාවයක් පවත්වාගත යුතු වෙනවා. මේ නිසයි ශ්‍රී ලංකාව වැනි රටකට ස්ථිරසාර සංවර්ධනයත් සමග එන ස්ථිරසාර ඉදිකිරීම්වලදී භූමිය අතිශය වැදගත් සාධකයක් බවට පත්වෙන්නේ.
භූමිය පරිභෝජනයේදී මේ පිළිබඳ සැලකිලිමත් වන්න
යම් ඉදිකිරීමක් සිදුකරද්දී ප්‍රථමයෙන්ම අපි එහි සුරක්ෂිතභාවය තහවුරු කළ යුතුයි. එම ඉදිකිරීම තුළින් අවට පරිසරයට සිදුවන බලපෑම හා ඉදිකිරීමේ පැවැත්ම කියන කාරණා සලකා බලමින්. එතැනදී එම ඉදිකිරීමේ නීත්‍යනුකූලභාවය පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ප්‍රාදේශීය සභා, නගර සභා, නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය ආදී ආයතන මගින් විද්‍යාත්මක පදනමක් යටතේ පැන වූ නීති රීති සහ රෙගුලාසි තිබෙනවා ඉදිකිරීම් සම්බන්ධයෙන්. සාමාන්‍යයෙන් මාර්ගයක් අසල, ජලාශයක් අසල හෝ මුහුද අසල ඉදිකිරීමක් සිදුකිරීමේදී පවත්වාගෙන යා යුතු සම්මත දුරක් පවතිනවා.
අදාළ ඉදිකිරීම සඳහා යොදාගන්නා ඉඩමේ ස්වභාවය තවත් විශේෂ අවධානයක් යොමුවන සාධකයක්. ඉදිකිරීම් සඳහා අපි යොදාගන්න භූමිය දෙයාකාරයි. පෙරදී සංවර්ධනයකට ලක්වූ භූමියක් යොදා ගැනීමේදී එම භූමිය අපි දුඹුරු ක්ෂේත්‍රයක් විදිහට හඳුන්වනවා. පෙර සංවර්ධනයකට ලක්නොවූ ස්වභාවික පරිසර පද්ධතියට අයත්ව තිබූ භූමියක් යොදා ගැනීමේදී එම ඉඩම අපි හඳුන්වනවා හරිත ක්ෂේත්‍රයක් කියලා. සාමාන්‍යයෙන් හරිත ක්ෂේත්‍රයකට සාපේක්ෂව දුඹුරු ක්ෂේත්‍රයක ඉදිකිරීමක් සිදුකිරීමේදී වන පරිසර හානිය අවමයි. ඒ නිසා අපි හැකිතාක් උත්සාහ කළ යුතුයි දුඹුරු ක්ෂේත්‍රයක් ඉදිකිරීම් සඳහා යොදාගන්නත්, හරිත ක්ෂේත්‍රයක ඉදිකිරීමක් කරද්දී ඒ පරිසර පද්ධතියට වන හානිය අවම කරන්නත්.
ඊළඟ කාරණය තමයි ඉදිකිරීමක් සිදුකිරීමේදී හැකිතාක් සිරස් ලෙස එම ඉදිකිරීම සිදුකිරීම මගින් එහි ඉදිකිරීම් ඝනත්වය වැඩි කරලා භාවිතය වැඩි කරගන්න පුළුවන්. එමගින් ස්වාභාවික පරිසරයටත් යම් ඉඩ ප්‍රමාණයක් වෙන් කරමින් පාරිසරික හානිය අවම කරගත හැකියි. ඉදිකිරීම් ඝනත්වය වැඩි වීමත් සමග පරිසරයත් සමග පවතින සහ සම්බන්ධය නැතිවී යෑම අවම කරගන්න ස්වාභාවික පරිසර පද්ධතියක් කෘත්‍රිමව නිර්මාණය කිරීමේ විශේෂ ක්‍රමවේද රැසක් හරිත ඉදිකිරීම් තුළ පවතිනවා.
තවත් වැදගත් කාරණයක් ලෙස වර්තමානයේ බොහෝ දෙනෙක් සිදුකරන වරදක් තමයි ඉදිකිරීමක් සඳහා භූමියක් තෝරා ගත්තාම ඒ භූමිය තණකොළ ගහක්වත් නැතිවෙන්න පිරිසුදුකරලා ඉදිකිරීම සිදුකළාට පස්සේ නැවත විවිධ ශාක වර්ග රෝපණය කරන්න උත්සාහ කිරීම. එය කිසිසේත්ම සිදුනොකළ යුතු දෙයක්. ඉදිකිරීමක් සිදුකිරීමට පෙර අනිවාර්යෙන්ම ඒ සඳහා යොදා ගන්නා භූමිය පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදුකළ යුතුයි. ඒ ඔස්සේ එම පරිසර පද්ධතියට ආවේණික වූ සහ සුදුසු ශාක විශේෂ හඳුනාගෙන අදාළ ඉදිකිරීම ඊට සුදුසු ලෙසයි සිදුකළ යුත්තේ. එසේ නොමැතිව ඒ ප්‍රදේශයේ පරිසර තත්ත්වයන්ට නොගැළපෙන ශාක රෝපණය කිරීමට යෑම අසාර්ථකයි වගේම නඩත්තුවට වැයවන වියදම සහ කාලය අපතේ යෑමක් එමගින් සිදුවෙනවා.
අද වෙනකොට කොළඹ ප්‍රදේශය ගත්තොත් පුංචි වැස්සකට පවා යටවන තත්ත්වයකට නැවත පත්වෙමින් පවතිනවා. මීට හේතුව තමයි මෙම නාගරික ප්‍රදේශ තුළ පොළවට ජලය උරාගන්නා ප්‍රමාණය අවම වී තිබීම. ගොඩනැගිලි වගේම, මහා මාර්ග, පදික වේදිකා ආදී නාගරිකව ඉදිකෙරෙන සෑම ඉදිකිරීමක් මගින්ම මේ තත්ත්වය නිර්මාණය කෙරෙනවා. අද අපි අපේ ඉංජිනේරු දැනුම භාවිත කරන්නේ අහසින් වැටෙන වතුර ටික ඉක්මනින් මුහුදට යවන්න. නමුත් අපේ මුතුන්මිත්තෝ තමන්ගේ ඉංජිනේරු ඥානය ලෝකයක් පුදුම කරවන ආකාරයට සාර්ථකව භාවිත කළේ අහසින් වැටෙන හැම වතුර බිංදුවකින්ම ප්‍රයෝජනයට ගැනීමටයි. ඒ නිසා අපි හරිත ඉදිකිරීම් සිදුකරද්දී භූගත ජල මට්ටම ආරක්ෂා කර ගැනීමට වගේම ඉන් නිසි ප්‍රයෝජනයක් ගැනීමට අවධානය යොමු කරනවා.
ශ්‍රී ලංකාව ස්ථිරසාර භූමි පරිභෝජනයේ නියමුවාය
බටහිර රටවල සංකල්ප විදිහට අද අපි මේ ස්ථිරසාර භූමි පරිභෝජනය පිළිබඳව කතාකළත් මේ සඳහා ලෝකයටම පූර්වාදර්ශය සැපයූවේ අපේ ශ්‍රී ලංකාවයි. අපි අනුරාධපුර පොළොන්නරු යුගයන්වලට ගියොත් ඉතාමත් පැහැදිලියි පරිසරයත් සමග බැඳුණු ඉතා දියුණු ශිෂ්ඨාචාරයක් අප සතුව තිබූ බවට. අපි අනුමාන කරනවා ඒ සමයේදී ශ්‍රී ලංකාවේ වන ඝනත්වය 99%ක ප්‍රතිශතයක් පවතින්න ඇති කියලා. අපේ මුතුන්මිත්තන් පිරිසරයට අවම හානියක් කරමින් 1%ක් තරම් කුඩා භූමි ප්‍රමාණයක් කාර්යක්ෂමව නිසි ලෙස කළමනාකරණය කරගනිමින් සුවිසල් නිර්මාණ පවා සිදුකරන්න සමත් වුණා. ඒ වගේම පරිසරය රැකගනිමින් ලෝකයටත් බොහෝ දේ දායාද කරමින් තමන්ගේ ජීවිත කාලය අවසන් කරලා ඔවුන් නික්ම ගියේ සැබෑ ස්ථිරසාරත්වයේ නිජබිම ශ්‍රී ලංකාව බවට පසක් කරමිනුයි.
නඳුන් ශ්‍යාමාල්