ඉතිහාසයේ ජනාධිපතිවරයෙකු ලබාගත් ඉහළම ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් ශ්‍රී ලංකාවේ අභිනව 07 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කිරීමට මෙය අවස්ථාවක් කරගනිමි. එසේම එතුමාගේ විජයග්‍රහණය වෙනුවෙන් සිය ඡන්දය භාවිත කරනු ලැබූ 69 ලක්ෂයකට අධික ජනතාවට මේ අවස්ථාවේදී ගෞරව පූර්වක ස්තුතිය ප්‍රකාශ කරන්නෙමු.
එසේම නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්රමුඛ එම කොමිෂන් සභාව, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවලට මෙන්ම බහුතරයක් වන රාජ්‍ය සේවකයන්ටද අප ස්තුතිය ප්‍රකාශ කරන්නෙමු.
අතිශය කාර්යබහුල අවස්ථාවක මේ සතියේදී කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට සිදුව තිබේ. නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාවට අනුරාධපුරයට ගොස් සිටි අවස්ථාවේදී මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය සම්පාදනය කරන්නෙමි.
මෙවර මැතිවරණය ආරම්භයේදීම අප පවතින දේශපාලන සංස්කෘතියට නව අරුතක් එක් කරමින් ප්‍රතිපත්තිගරුක, මඩ දේශපාලනයෙන් තොර ආදර්ශවත් මැතිවරණ ව්‍යාපාරයක් පවත්වාගැනීමට කටයුතු කළෙමු. ඒ සඳහා අපගේ මැතිවරණ යාන්ත්‍රණය තුළ සිටි සියලුම පාර්ශ්වයන්ගෙන් වැඩි සහායක් ලැබිණි.
එසේම පරිසරය ආරක්ෂා කරමින් මෙවර මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන යෑමට කටයුතු කළෙමු. පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතයෙන් තොර මැතිවරණ ව්‍යාපාරයක් අප පවත්වාගෙන ගිය අතර, මැතිවරණ කටයුතු හේතුවෙන් පරිසරයට මුදාහළ කාබන් ප්‍රමාණය පිටුදැකීම වෙනුවෙන් පැළ සිටුවීමේ ව්‍යාපාරයක්ද ආරම්භ කිරීමට කටයුතු කළෙමු.
මෙවර ලැබූ ප්‍රතිඵලය ගැඹුරින් විග්රහ කිරීමට මෙය අවස්ථාවක් කර නොගත්තත් ඒ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වෙයි. නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජාතිය අමතා කළ ප්‍රකාශයේ සඳහන් කළ අයුරින් ඔහු ජනපති ධුරයට පත්වූයේ බහුතර සිංහල ජනතා ඡන්දයෙනි.
මෙවර අප ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තෝරාගත්තේ ජාතික අපේක්ෂකයෙකු ලෙසිනි. ජාතික අපේක්ෂකයෙකු ලෙස ඔහු තම ජයග්‍රහණය වෙනුවෙන් දමිළ හා මුස්ලිම් ජනතාවද සහාය දක්වනු ඇති බවට අපේක්ෂා කළේය. කෙසේ වෙතත් මේ ප්‍රතිඵලයෙන් එය සිදු නොවීය. එසේ වුවද ගෝඨාභය රාජපක්ෂ මහතා දැන් සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම ජනපතිය.
ඒ අනුව ඉදිරියේදී ඔහු සෑම ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙන්ම සේවය කරනු ඇත. ඉදිරි පස් වසරක කාලය තුළ ඔහු මේ බව ක්‍රියාවෙන්ම තහවුරු කර පෙන්වනු ඇති බවට මට පූර්ණ විශ්වාසයක් තිබේ.
එසේම අපගේ ප්‍රතිවාදී අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ ප්‍රතිඵලයට ගරු කරමින් කටයුතු කළ ආකාරය පිළිබඳ ඔහුට ස්තුතිය ප්‍රකාශ කරන්නෙමි. ඔහු නියෝජනය කළ හම්බන්තොට දිස්ත්‍රිකකයේ ඔහුගේ ඡන්ද ප්‍රතිශතය 25%ක් පමණ වීමෙන් පෙන්නුම් කළේ එම දිස්ත්‍රික්කයේ ජනතාව අප කෙරෙහි තබා ඇති විශ්වාසයයි. මෙම විශ්වාසය දීර්ඝකාලයක් පුරා ජනතාව අප වෙනුවෙන් තැබූ විශ්වාසයයි.
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතිමින් ප්‍රකාශ කළේ තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සියලු කරුණු ඉතාමත් සැලසුම්සහගත ලෙස තම ධුර කාලයේදී ඉටු කිරීමට කටයුතු කරන බවයි. ඒ සඳහා ඔහුට ශක්තිමත් රජයක් බිහිකර ගැනීමට කටයුතු කළ යුතු වෙයි.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම නිල වශයෙන් ආරම්භ වන්නේ නව අග්‍රාමාත්‍යවරයෙකු යටතේ නව ආණ්ඩුවක් පත් වූ විටය. ඒ සඳහා මුලින්ම සිදුවිය යුතු වන්නේ ඉතාමත් ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා ජනතාවට නව පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමට අවස්ථාව ලබාදීමයි.
මේ සඳහා එක්සත් ජාතික පක්ෂය සිය පූර්ණ සහාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදෙනු ඇතැයි අපි විශ්වාස කරමු. එක්සත් ජාතික පක්ෂය බොහෝ අවස්ථාවලදී ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටින බව ඔවුන් පුන පුනා ප්‍රකාශ කරන බැවින් ජනමතයට හිස නමමින් පාර්ලිමේන්තු මැතිවරණයකට පිවිසීමට අවශ්‍ය වටපිටාව ඔවුන් විසින් නිර්මාණය කරනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි.
ශ්‍රී ලංකාව ආර්ථික, දේශපාලන, සංස්කෘතික ආදී සියලුම ක්ෂේත්රවලින් ගැටලු ගණනාවකට මුහුණදෙන අවස්ථාවේදී නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය පාලන කාලය තුළ නොයෙකුත් අභියෝග සඳහා මුහුණදීමට සිදුවනු ඇත. එහිදී රටක් ලෙස අප වැටී සිටින ගැටලුකාරී තත්ත්වයෙන් ගොඩ ඒම ඔහුට පමණක් සිදුකළ නොහැක. එය සමස්ත රටවැසියන්ගේ ඒකාබද්ධ වෑයමකින් කළ හැකි දෙයකි.
එම කාර්යය නව ජවයකින්, නව දැක්මකින් ඉදිරියට ගෙන යෑමට මේ හොඳම කාලයයි. අප සියලු දෙනාම එක්ව වැඩ කරන රටක් නිර්මාණය කරමු!
ඔබට සුබ අනාගතයක්!
ලබන සතියේදී යළිත් හමුවෙමු!