නව පාර්ලිමේන්තුවේ සැසිවාර පසුගිය සතියේ සිට ආරම්භ වූ අතර, මෙවර පාර්ලිමේන්තුවට අලුතින් පත් වූ මන්ත්‍රීවරුන්, මන්ත්‍රීවරියන් පිළිබඳ මේ දිනවල වැඩි වශයෙන් අවධානය යොමුව තිබේ. මේ අතර ජාතික ජන බලවේගයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත්කිරීමට එම බලවේගය තීරණය කළේය. විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ කථිකාචාර්යවරියක ලෙස කටයුතු කළ ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි කටයුතු කරන ආකාරය පිළිබඳ අද අප සමග මෙසේ අදහස් දැක්වීය.
ආචාර්යවරියක ලෙස මෙතෙක් කටයුතු කළ ඔබ දැන් මන්ත්‍රීවරියක්. ජාතික ලැයිස්තුවට නම ඇතුළත් කළත් මන්ත්‍රීවරියක් වෙන්න අදහසක් තිබුණද?
ජාතික ලැයිස්තුවේ නම් 29ක් ඉදිරිපත් කරලා තිබුණා. නමුත් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක විදිහට මාව පත්කරයි කියලා මම නම් කිසිම අවස්ථාවක හිතුවේ නැහැ. මන්ත්‍රීවරියක් වෙන්න අදහසක් තිබුණේ නැහැ. නමුත් මන්ත්‍රීවරියක් ලෙස පත්කිරීම ගැන සන්තෝසයි. ඒ වගේම පොඩි බයකුත් තියෙනවා. ඒ මොකද මන්ත්‍රී ධුරයක් කියන්නේ මට පුරුදු නැති එකක්. මන්ත්‍රී ධුරයේ වගේම පාර්ලිමේන්තුවේ කටයුතු කරන ආකාරය ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා මම හිතනවා. කොහොම වුණත් මම නියෝජනය කරන්නේ කණ්ඩායමක් (ජාතික ජන බලවේගය). එතැනදී මට යම් පහසුවක් තිබෙනවා.
මගේ දේශපාලන මතවාදී ගමන්මග තුළ මම පැමිණි ආකාරය සහ අපි ඇති කරගෙන තිබෙන එකඟතාවන් තිබෙනවා. මේ නිසා මේ මන්ත්‍රී ධුරයෙන් මම නියෝජනය කරන්නේ මොකක්ද කියලා මම දන්නවා. මේ නිසාම විශාල කණ්ඩායමක් මගේ පිටුපස ඉන්නවා කියන ශක්තිය මට තිබෙනවා. මම පාර්ලිමේන්තු යන්නේ මගේ පෞද්ගලික මතය වෙනුවෙන් පෙනී ඉන්න නෙවෙයි. මට පෞද්ගලික න්‍යායපත්‍රයක් නැහැ. අපේ වැඩපිළිවෙළ
ඊට වඩා පුළුල් වැඩපිළිවෙළක්. කොහොම වුණත් මම පුරුදු තැනින් ඉවත් වෙලා අලුත්ම අවකාශයකට යන්න තීරණය කිරීම බරපතළ තීරණයක්.මන්ත්‍රීවරියක් වීමට පෙර ඔබේ ගමන් මග ගැන කතා කළොත්?
මම විවෘත විශ්වවිද්‍යාලයේ ස්ථිර සේවයට පැමිණියේ 2011 වර්ෂයේ. ඊට පෙර කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂිකාවක් ලෙස කටයුතු කළා. වර්ෂ 2000 සිට බාහිර කථිකාචාර්යවරියක ලෙස කටයුතු කළා. මගේ පශ්චාත් උපාධිය සඳහා 2007 වසරේදී බ්‍රිතාන්‍යයට ගොස් නැවත පර්යේෂණවලට ලංකාවට පැමිණි අවස්ථාවේදී විවෘත විශ්වවිද්‍යාලයේ තාවකාලික පත්වීමක් ලැබුණා. ආචාර්ය උපාධිය අවසන් වන විට විවෘත විශ්වවිද්‍යාලයේ තිබුණ පුරප්පාඩුවකට මම අයදුම් කළා. මට මේ තනතුර ලැබුණා. මම වැඩ භාරගත්තේ 2011 අප්‍රේල් මාසයේ. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ අරගලය ආරම්භ වුණ කාලේදීම තමයි මම වැඩ පටන් ගන්නේ. මම වැඩ භාරගන්න විශ්වවිද්‍යාලයට ආපු දවසෙම වෘත්තීය සමිති වැඩවර්ජනයක්. පළමු වැනි දවසම මම වැඩ පටන් ගත්තේ වැඩවර්ජනයකින්.
විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියකට සාමාන්‍යයෙන් නොලැබෙන අත්දැකීම් විශාල ප්‍රමාණයක් මගේ මුල් අවධියේම ලැබුණා. ඒ කාලේ විශ්වවිද්‍යාලයේ තිබුණු අරගලයට සක්‍රීයව සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. එය මගේ ජීවිතයට විශාල බලපෑමක් කරපු දෙයක් වුණා. ඊට පෙර මම කළ රැකියාවන් සමග සැසඳීමක් කරන විට විශ්වවිද්‍යාල ආචාර්ය ධුරය මම ඉතාමත්ම ආසාවෙන් සිදුකළ එකක් වුණා.
මම උගන්වන්න බොහොම කැමතියි. ඒ සියල්ලටම වඩා මේ රැකියාව තුළ හිතන්න නිදහස තිබෙන අවකාශයක් ලැබුණා. ඒ තුළ ආයතනයක න්‍යායපත්‍රයකට කොටු නොවී වැඩ කරන්න පුළුවන්. විශ්වවිද්‍යාලය තුළ තිබෙන්න පුළුවන් ලොකුම දෙය ඒක. චින්තනයට තිබෙන නිදහස මම උපරිමයෙන්ම අත්වින්දා. විශ්වවිද්‍යාලය තුළ උගන්වන්න, මගේ පර්යේෂණවල යෙදෙන්න, සමාජයේ ක්‍රියාකාරී වෙන්න මේ කිසිම දෙයකට බාධාවක් වුණේ නැහැ. ඒ රැකියාව ඉතාමත්ම සතුටින්, ආසාවෙන් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වසර 05ක් වැනි කාලයකට සීමා වෙනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණෙන් පසුගිය පාර්ලිමේන්තුවට පත්කළ මන්ත්‍රීවරයාට එක දවසකින් ඉල්ලා අස්වීමට සිදු වුණා. ඔබටත් එවැනි දෙයකට මුහුණ දෙන්න සිදුවෙයිද ?
එක දවසකට පාර්ලිමේන්තු ගිහින් එන්න මම ආදරෙන් කරපු රැකියාවක් මම අතහරින්නේ නැහැ. මම මේ මන්ත්‍රී ධුරය භාර ගන්නේ අවුරුදු 05ම කටයුතු කරන්න. එහෙම නැතිනම් මම කීයටවත් විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙන්නේ නැහැ. වසර 05ම මන්ත්‍රී ධුරයේ කටයුතු කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ.
ජවිපෙ ප්‍රධාන එම කඳවුරේ එකම මන්ත්‍රීවරිය ලෙස පාර්ලිමේන්තුවේදී ඔබේ කාර්යභාරය කුමක්ද?
මන්ත්‍රීවරියක වූ පමණින්ම මම කාන්තාවන් පමණක් නියෝජනය කරනවා කියලා මම හිතන්නේ නැහැ. මම ස්ත්‍රීවාදී පැතිකඩකින් දේශපාලනය දිහා බලන කෙනෙක්. දේශපාලන ධාරාව තුළ ස්ත්‍රීන් සිටිය යුතුයි කියා මම හිතනවා. දේශපාලන සංස්කෘතිය සහ දේශපාලන තීරණ ගැනීමේදී ස්ත්‍රීන්ගේ අවශ්‍යතාව සහ ස්ත්‍රීවාදී දැක්ම අනුව ගනු ලබන තීරණවල කේන්ද්‍රීයව තිබිය යුතුයි කියන අදහසේ සිටිමිනුයි මම දේශපාලනය කරන්නේ.
අධ්‍යාපනය ගැන, කාන්තාව ගැන, ජාතික ආරක්ෂාව, ආර්ථිකය ගැන කතා කළත් මම බලන්නේ ඒ කෝනයෙන්. මම බොහොම නිහතමානීව කියන්නේ එය මගේ දේශපාලනයයි. ඒ තුළ මම වැඩ කරපු ක්‍ෂේත්‍ර කිහිපයක් ගැන මම මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනය සහ ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මට ලැබෙන මේ ජාතික වේදිකාව භාවිත කරලා අපි විශ්වාස කරන මතවාදය ජනතාව අතරට ගෙන යන්නත් බලාපොරොත්තු වෙනවා. මොකද මම එහෙම කියන්නේ, අපි නියෝජනය කරන්නේ විකල්ප ආකාරයට දේශපාලනය කිරීමේ කඳවුරක්.
ඔබ සඳහන් කළ ආකාරයට ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් මේ දිනවල වැඩි කතාබහක් ඇතිව තිබෙනවා. ඒ වගේම ළමා හා කාන්තා කැබිනට් අමාත්‍යාංශයක් ඇති නොකිරීම ගැනත් සාකච්ඡා වෙනවා. මේ සම්බන්ධයෙන් කතා කළොත්?
ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරද්දී ඒ ගැන පාර්ලිමේන්තුව තුළ වගේම පාර්ලිමේන්තුවෙන් පිටත මට කරන්න පුළුවන් කාර්යයන් තිබෙනවා. ළමා ආරක්ෂාව ගැන මතුව තිබෙන ගැටලු අවධානයට යොමු කිරීම ප්‍රධානම කාර්යයක්. මෙවැනි ගැටලු හඳුනාගෙන නීති සම්පාදනය කිරීමට තමයි පාර්ලිමේන්තුවක් තිබෙන්නේ. ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් මේ රටේ තිබෙන නීති ඉතාමත්ම යල් පැනපු නීති. මේ ක්‍ෂේත්‍රයේ අවුරුදු ගණනක් වැඩ කරපු නිසා මම ඒ ගැන දන්නවා. මේ නීති වෙනස් කරන්න අපි අවුරුදු 15ක් පුරා උත්සහ කරනවා. නමුත් තවමත් ඒ නීති වෙනස් වෙලා නැහැ. අනිවාර්යෙන්ම වෙනස් වියයුතු නීති තිබෙනවා. ළමා ආරක්ෂණය පිළිබඳ තිබෙන ව්‍යුහවලත් ලොකු ඝට්ටන තිබෙනවා. උදාහරණයක් විදිහට කියනවානම් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය තිබෙනවා. නමුත් ඊට සමගාමීව පරිවාස හා ළමා ආරක්ෂණ සේවාව තිබෙනවා. මේ ආයතන දෙක අතර සම්බන්ධීකරණය ඉතාම දුර්වලයි. මේ ආයතනවල වැඩ බෙදාගෙන නැහැ. ඒක අච්චාරුවක් වෙලා තියෙන්නේ. මේ නිසාම
ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තිබිය යුතු සේවාවන් ළමුන් අතරට යන්නේ නැහැ. කුමක් හෝ ප්‍රශ්නයක් නිසා නීතිය හමුවට එන ළමයෙක් මේ අායතනවල තිබෙන දුර්වලතා නිසා තවත් අපහසුතාවට ලක් වෙනවා.
ඇතැම් වෙලාවට මේ ආයතනවල ක්‍රියාකාරීත්වය හේතුවෙන් ඒ ළමයට සිදුවුණ සිද්ධියට වඩා අමාරු තත්ත්වයකට දරුවන් පත්වෙනවා. මේ නිසා ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වෙනස්කම් රාශියක් සිදුවිය යුතුව තිබෙනවා. අලුත් අධිකරණ ඇමති මේ කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
ළමුන්ට, කාන්තාවන්ට, කැබිනට් අමාත්‍යාංශයක් නැහැ කියන දේ මම දකින්නේ වෙනස් විදිහට. කාන්තාවන් වෙනුවෙන් වෙනම අමාත්‍යාංශයක් වෙනුවෙන් අපි පෙනී සිටින්නේ කාන්තා සුබසාධනය කරන්න විතරක් නෙවෙයි. කාන්තාවන්ගේ භූමිකාව දේශපාලනය සහ රාජ්‍ය යාන්ත්‍රණය තුළ මූලික තැනකට ගෙනෙන්න තමයි කාන්තා අමාත්‍යාංශයක් ඇති කළ යුත්තේ කියලා අපි කියන්නේ. ලංකාවේ ජනගහනයෙන් 52෴කට වැඩි ප්‍රමාණයක් කාන්තාවන් ඉන්නවා. ඔවුන්ව නියෝජනය කිරීම සඳහා, ඔවුන්ගේ අවශ්‍යතාවන් අපේ මූලික ධාරාවන් තුළ නියෝජනය කිරීමක් තමයි කාන්තා අමාත්‍යාංශයකින් සිදුවිය යුත්තේ.
නමුත් මීට පෙර තිබුණු කාන්තා අමාත්‍යාංශවලින් එය සිදුවෙලා නැහැ. ඒ නිසා දැන් තියෙන විදිහටම මේ දේවල් සිදුවෙනවානම් මේ අමාත්‍යාංශය නැති වුණා කියලා වෙනසකුත් නැහැ. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශ යටතේ පෙර පාසල් සමග කාන්තා අමාත්‍යාංශය ඇතුළත් කර තිබෙනවා. මේ තත්ත්වය තුළ මේ රටේ කාන්තාවන්ට තිබෙන අර්බුදය මොකක්ද කියලා මේ බෙදීමෙන්ම පැහැදිලි වෙනවා. අපි ඉන්න තත්ත්වය කොතැනද කියලා තේරුම් අරගෙන අපේ අරගලය පටන් ගන්න ඕන කොතනින්ද කියලා දැන්නම් අපිට හොඳටම පැහැදිලියි.
ජනතා විමුක්ති පෙරමුණ සමග මෙවර විද්වත් කණ්ඩායම් එක්ව ජාතික ජන බලවේගය ලෙස මැතිවරණයට ඉදිරිපත් වුණත් පාර්ලිමේන්තුවේ ජනතා විමුක්ති පෙරමුණට හිමිවුණ ආසන සංඛ්‍යාව අඩු වුණා. මේ සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු වී තිබෙනවාද?
මැතිවරණයේ ඡන්ද සංඛ්‍යාව සම්බන්ධයෙන් අපේ කියවීමක් තිබෙනවා. මේ මොහොතේ අපේ විරුද්ධවාදීන් විසින් ඉදිරිපත් කරන දේශපාලන මතවාදය ඉතාමත්ම බලවත් වී තිබෙනවා. ඒ මතවාදය ප්‍රගුණ කරන්න ඔවුන්ට අවශ්‍ය සම්පත් තිබෙනවා. අපිට එහෙම දෙයක් නැහැ. ඒ විතරක් නෙවෙයි විරුද්ධවාදීන් විසින්ම අපේ මතවාදය යටපත් කරන්නත් ඒ හා සමාන ශක්තියක් යොදවනවා.
වත්මන් ආණ්ඩුව පාර්ශ්වය නියෝජනය කරන දේශපාලන මතවාදය සහ අපේ ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන විකල්ප මතවාදය අතර තිබෙන අරගලයෙන් තමයි අනාගතයේ දේශපාලනය තීරණය වෙන්නේ. මොකද මේ පවතින ක්‍රමයට විකල්පයක් යෝජනා කරන්නේ අප විසින්. ඒක නිසාම තමයි ඔවුන් අපිව පරද්දන්න මේ තරම් මහන්සි වෙන්නේ. මෙවර ඔවුන් සාර්ථක වුණා. අපේ මන්ත්‍රී සංඛ්‍යාව අඩු වුණා. නමුත් ඡන්ද සංඛ්‍යාවේ වෙනසක් නැහැ. ඒ නිසා ඉදිරියේදී තිබෙන මෙම අරගලයට මුහුණ දෙන්න අභියෝග රාශියක් තිබෙනවා. දේශපාලනය කරද්දී ඒ අභියෝග භාර ගන්න වෙනවා.
ජාතික ජන බලවේගය අපි නිර්මාණය කළේ වඩා පුළුල් සන්ධානයක් වෙනුවෙන්. ප්‍රගතිශීලී, වාමාංශික, ප්‍රජාත්‍රන්ත්‍රවාදය අගයන ජනතා විමුක්ති පෙරමුණේ නොවන තව පිරිස් බොහොමයක් ඉන්නවා. ඒ පිරිස් එකතු කර ගන්නයි අපි මේ උත්සාහ කරන්නේ. ඒ සඳහා මාව පාවිච්චි කරන්න පුළුවන්. මාව පාවිච්චි විය යුත්තේ ඒ සඳහායි. ජනතා විමුක්ති පෙරමුණ සමග සෘජුව සම්බන්ධ වෙන්න අකමැත්තක් තිබෙන පිරිසකට වුණත් ජාතික ජන බලවේගය සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ජාතික ජන බලවේගය වෙනුවෙන් මන්ත්‍රී ධුරයක් වෙන් කිරීම තුළින් ජනතා විමුක්ති පෙරමුණ මේ කියන කාරණයට විවෘතයි කියලා ඔවුන් පෙන්වලා තිබෙනවා. ජාතික ජන බලවේගය ගැන මිනිස්සු තුළ යම් සැකයක් තිබුණානම් මේ මන්ත්‍රී ධුරයට මාව පත්වීමත් සමගම එය නැති වෙනවා. ඒක ප්‍රයෝජනවත් කියලා මම හිතනවා.
ගියවර පාර්ලිමේන්තුව නියෝජනය කළාට වඩා අඩු කාන්තා නියෝජනයක් මෙවර පාර්ලිමේන්තුවේ දක්නට ලැබෙනවා. නමුත් ප්‍රධාන පක්ෂ සියල්ලම ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ධුරයක් හෝ කාන්තාවන් වෙනුවෙන් වෙන්කර තිබෙනවා. එය දකින්නේ කෙසේද?
ඒ තත්ත්වය ඇති කළේ අපි. ඒ නිසා එහි ප්‍රසාදය ජාතික ජන බලවේගයට ලැබිය යුතුයි. ඒ මොකද දේශපාලනයේ ශක්තිමත් කාන්තා නියෝජනයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපතිවරණයේ සිට දේශපාලන වේදිකාවේ ශක්තිමත් කාන්තා නියෝජනයක් ඉදිරිපත් කළේ අපි. ජනාධිපතිවරණයේදී අපි කාන්තා ප්‍රඥප්තියක් ඉදිරිපත් කළා. මෙවර මැතිවරණයට අපි කාන්තාවන් 20ක් ඉදිරිපත් කළා. ජනාධිපතිවරණයේ සිටම කාන්තා දේශපාලනය ගැන අවධානයක් ලැබෙන්න හේතුවක් වුණේ ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව සහ ජාතික ජන බලවේගය ලෙස අපි කරපු වැඩකටයුතු. අපි මැතිවරණයට ඉදිරිපත් කළේ යම්කිසි දේශපාලන අත්දැකීමක් තිබෙන කාන්තාවන්. අපේ දේශපාලන වේදිකා සියල්ලේම අඩුම තරමේ එක කාන්තාවක් හෝ කතා කළා. මේ නිසා දැන් කාන්තාවන්ට තිබෙන අවකාශය විවෘත වෙලා තියෙන්නේ. කිසිම පක්ෂයකට ඒක අතහැරලා යන්න බැහැ. මේ තත්ත්වය සියලු කාන්තාවන්ටම හොඳයි. මේ තත්ත්වය ඇති කළේ අපි කියන සතුට අපිට තිබෙනවා.
චාමර සම්පත්/ ඡායාරූපය - ඉසුරු පෙරේරා