සහශ්‍රකයන් සහ දේශපාලනය


සහශ්‍රකයන් යන යෙදුම සාමාන්‍යයෙන් භාවිත කෙරෙන්නේ 21 වන සියවස ආරම්භයේදී වැඩිහිටිභාවයට පැමිණි පුද්ගලයන්ටයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධ විවිධ වූ අර්ථකථන පවතී.  Generations: The History of America's Future නම් කෘතිය රචනා කළ නීල් හෝව් සහ විලියම් ස්ට්‍රෝස් මුලින්ම මෙම යෙදුම භාවිත කිරීමේ ගෞරවය හිමි කර ගනිති.  හෝවේ සහ ස්ට්‍රෝස් පෙන්වා දෙන්නේ 1982 සහ 2004 වසර අතර කාලය තුළදී උපත ලැබූ පුද්ගලයන් සහශ්‍රකයන් ලෙසින් හඳුන්වාදිය හැකි බවයි. 

සහශ්‍රකයන් ඊට පෙර පරම්පරාවට සාපේක්ෂව ඉලෙක්ට්‍රොනික සහ තාක්ෂණික ලෝකයට වැඩි වශයෙන් නිරාවණය වූ පිරිසකි. ඒ හේතුවෙන්ම සහශ්‍රකයන්ගේ චින්තනය පෙර පරම්පරාවල චින්තනයට වඩා වෙනස් වේ. ඔවුන්ගේ දේශපාලනික තීරණද පෙර පරම්පරාවේ දේශපාලනික තීරණවලට වඩා බෙහෙවින් වෙනස් වන අතර, සමාජ සාධාරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සහශ්‍රකයන්ගේ ලක්ෂණයකි. සහශ්‍රකයන්ගෙන් පසුව බිහි වී ඇති Generation Z වශයෙන් හැඳින්වෙන නවතම පරම්පරාව ඊටත් වඩා ප්‍රගිතිශීලී ලක්ෂණ පෙන්නුම් කරමින් සිටී. ඔවුන් වෙත තොරතුරු ලැබීම පෙර පරම්පරාවලට සාපේක්ෂ ලෙස ඉතා හොඳින් සිදුවන බැවින් ඔවුන් ගන්නා තීරණ පාලනය කිරීමේ හැකියාව සුළු කණ්ඩායමකට සිදුකළ නොහැකි වේ. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ කළ සමීක්ෂණවලදී පෙනී ගියේ සහශ්‍රකයන්ගෙන් සියයට 50කට පැහැදිලි දේශපාලන පක්ෂයක් නොමැති වීමයි. එනම් ඔවුන් පාවෙන ඡන්ද බවට පත් වී තිබේ. සහශ්‍රකයන්ගෙන් සියයට 29ක් තමන් ආගමික වශයෙන් බැඳීමක් නොමැති පුද්ගලයන් බවද ඇමරිකාවේ සිදුකෙරුණු සමීක්ෂණවලදී හෙළි  වී ඇත.  

එක්සත් රාජධානියේ සහශ්‍රකයන් සම්බන්ධයෙන් කෙරුණු සමීක්ෂණයකදී පෙනී ගියේ සමාජ ලිබරල්වාදය කරා ඔවුන් විශාල වශයෙන් යොමු වෙමින් පවතින බවයි. ඔවුහු පෙර පරම්පරාවලට වඩා සම්භාව්‍ය ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති සඳහා ඉහළ සහයෝගයක් ලබාදෙති. විශේෂයෙන් නව ලිබරල්වාදී ප්‍රතිපත්ති කෙරෙහි විරෝධයක් ඔවුන් තුළ පවතින අතර, වාමවාදී ප්‍රවණතාවක්ද බටහිර ලෝකයේ සහශ්‍රකයන් වෙතින් දැකගත හැකි වේ. 

මානව අයිතිවාසිකම් පමණක් නොව සත්ත්ව අයිතිවාසිකම් ගැන පවා සහශ්‍රකයෝ උනන්දු වෙති. උදාහරණයක් ලෙස සත්ත්ව පරීක්ෂාවන්ට, අසාධාරණ ලෙසින් මිනිසුන්ගේ ශ්‍රමය භාවිත කිරීමට ආදියට ඔවුහු විරුද්ධ වන අතර, එවැනි ක්‍රම මගින් නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ පවා මිලදී නොගැනීමට කටයුතු කරති. 

ශ්‍රී ලංකාවේද සහශ්‍රකයන් පෙර පරම්පරාවට වඩා විශාල වශයෙන් වෙනස් වන අතර, ඔවුහු සමාජ සාධාරණත්වය වෙනුවෙන් වැඩි විශ්වාසයක් තබති. එයින් අදහස් වන්නේ 21 වැනි සියවස වන විට වැඩිවියට පත් වූ සෑම කෙනෙකුම එලෙස පැරණි ක්‍රමයට විරුද්ධ වන බවක් නොවේ. නමුත් බහුතරය තුළ එවැනි පරමාදර්ශ කෙරෙහි විශ්වාසයක් ඇති වී තිබේ. මෙය සිදුවන්නේ තාක්ෂණික ලෝකයේ සිදුවන පොළාපැනීම්වලට සාපේක්ෂ ලෙසිනි. ඔවුන් වෙත ඉතා ඉක්මනින් තොරතුරු පැමිණීමත්, ඒ නිසා තීරණ ගැනීම අගතිගාමී නොවීමත් සිදුවෙයි. මේ අනුව ලංකාවේද, ලෝකයේද දේශපාලනය නිර්ණය කිරීමේ මහා බලවේගය බවට පත්වන්නේ පාවෙන ඡන්දයි. 

දර්ශන අශෝක කුමාර 

 



Recommended Articles