සහලින් ස්වයංපෝෂිත වීමේ ඉලක්කය දැන්වත් සපුරමුද?


සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග

අන් කවරදාටත් වඩා ගැති නොවුණු ආර්ථික පිළිවෙතක අවශ්‍යතාවය පිළිබඳ කරුණු සාකච්ඡා වෙමින් තිබේ. මුළුමහත් ලෝකයම වෙළාගත් ව්‍යසනයක් හමුවේ අපගේ කුසගින්න දේශීය භවභෝග සම්පත් තුළින්ම නිවාගැනීමට සිදුවීම ඉදිරියේ ඇති වන අභියෝගයයි. විශ්මය නම් එය ලොව හැම රටකටම සාධාරණ වීමේ ඉඩකඩක් නිර්මාණය වී තිබීමය. එවැනි වටපිටාවක් සොබාදහම විසින් නිර්මාණය කොටදී ඇත. අතීතයේ අපි අවැසි ආහාර භෝග වගාකොට පරිභෝජනය කළ ජාතියක් වී සිටියෙමු. එහෙත් වර්තමානය වන විට එදිනෙදා බත්පතට අවැසි වැඩිමනක් කළමනා ලොව කොහෝ හෝ රටකින් ගෙන්වා ගැනීමට තරම් අපි දීන වී සිටිමු. එහෙත් දෛවයේ සරදමකට මෙන් මෙම ව්‍යසනකාරී මොහොත යළි ආපසු හැරීමට බලකරන වටිනා අවස්ථාවක් අප වෙත නිර්මාණය කොටදී ඇත. එහෙයින්ම අපගේ ප්‍රධාන ආහාරය වන බත සරි කිරීමට මහෝපකාරි වන වී වගාව පිළිබඳව නිසි විශ්ලේෂණයක යෙදීමට කාලය එළැඹ තිබේ.

මෙවර මහ කන්නය අරඹයා සිදුකළ වී වගාවේ අස්වනු නෙළීමේ කටයුතු මේ වන විට මුළුමනින්ම නිමා වී තිබේ. ඉකුත් මහ වැස්සෙන් වී වගාව වෙත සිදුවූ හානිය පසෙක තැබුවද මෙවර මෙරට වී වගා වපසරිය ඉතා ඉහළ තැනෙක පවතී. එහෙයින්ම සාර්ථක වී අස්වැන්නක් ලැබීමේ ඉඩ අවකාශයද  උදාවී තිබිණි. පවතින තත්ත්වය හමුවේ මෙවර මහ කන්නයේ සමස්ත වී අස්වැන්න හා සම්බන්ධ අවසන් වාර්තා ලබාගැනීම ගැටලු සහගතය. එහෙත් එය ඉහළ අගයක පැවතිය හැකි බව නොඅනුමානය.

ඉකුත් වසර කිහිපය පිළිබඳව අවධානය යොමුකරන විට වාර්තාගත වී අස්වැන්නක් ලබා ඇත්තේ 2015 වෂරේදීය. 2015 වර්ෂයේ යල කන්නයේ මෙරට වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 1,942,000 (දහනව ලක්ෂ හතළිස් දෙදහසකි ) කි. එහිදී මාස්” කන්නයේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 2,877,000 ( විසිඅට ලක්ෂ හැත්තෑහත්දහසකි )ක් දක්වා ඉහළට පැමිණියේය. මේ අනුව වසරේ සමස්ත වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 4,819,000කි. ( හතළිස් අට ලක්ෂ දහනව දහසකි)  මෙය 2014 වර්ෂයේ මෙරට වී නිෂ්පාදනයට සාපේක්ෂව 42.6෴ක පැහැදිලි වර්ධනයකි. 2014 වර්ෂයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 3,381,000 පමණක් විය.  2015 වර්ෂයේ ලැබූ අන්දමේ වාර්තාගත වී අස්වැන්නක් මෙවර මහ කන්නය අරඹයා වෙළෙඳපොළට පැමිණ තිබිණි. වී අලෙවි මණ්ඩලය ප්‍රධානව තවත් රාජ්‍ය ආයතන කිහිපයක මැදිහත් වීමෙන් රජය රුපියල් පනහක සහතික මිලට ගොවීන්ගෙන් වී මිලට ගැනීමට සැලසුම් කළේ ඒ අනුවය. මෙසේ මිලදීගත් රජය සතු වී සංචිත නිවැරදිව කළමනාකරණය කරගැනීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාවය අන් කවරදාටත් වඩා මෙම අනපේක්ෂිත තත්ත්වය හමුවේ නිර්මාණය වී ඇත.

සමහර වර්ෂ වලදී දැවැන්ත වී අස්වැන්නක් ලබාගත් නමුත් ප්‍රධාන පෙළේ වී නිෂ්පාදිත රටක් බවට පත්වීමට ශ්‍රී ලංකාවට තවමත් නොහැකි වීම ගැටලු සහගතය. තවමත් සමහර කාලවලදී රට හාල් කෑමේ අරුමයට අප මැදිව සිටිමු. ලොව ප්‍රමුඛතම වී නිෂ්පාදකයා වන චීනයේ වාර්ෂික නිෂ්පාදනය වී මෙට්‍රික් ටොන් දසලක්ෂ 205කි. දෙවන ස්ථානය ගන්නා ඉන්දියාවේ නිෂ්පාදනය වී මෙට්‍රික් ටොන් දසලක්ෂ 155කි. ලෝක වී නිෂ්පාදන ක්‍රියාන්විතයේ තෙවන්නා බවට ඉන්දුනීසියාව පත්වනුයේ මෙට්‍රික් ටොන් දසලක්ෂ 70ක වාර්ෂික වී අස්වැන්නක් ලබමිනි. අනතුරුව වියට්නාමය මෙට්‍රික් ටොන් දසලක්ෂ 44ක්ද,  තායිලන්තය මෙට්‍රික් ටොන් දසලක්ෂ 37ක්ද,  මියන්මාරය මෙට්‍රික් ටොන් දසලක්ෂ 34ක්ද, බංග්ලාදේශය මෙට්‍රික් ටොන් දසලක්ෂ 34ක්ද, පිලිපීනය මෙට්‍රික් ටොන් දසලක්ෂ 19ක්ද,  බ්‍රසීලය මෙට්‍රික් ටොන් දසලක්ෂ 14ක්ද,  ජපානය මෙ.ටොන් දසලක්ෂ 11ක වාර්ෂික අස්වැන්නක් ද ලබමින් ලොව ප්‍රමුඛ වී නිෂ්පාදකයන් දසදෙනා අතර රැදෙයි.

 

පාකිස්ථානයට ලෝක වී නිෂ්පාදනයේ එකොළොස් වැනි ස්ථානය හිමිව ඇත්තේ මෙට්‍රික් ටොන් දසලක්ෂ 09ක වාර්ෂික අස්වැන්නක් ලැබීම හේතුවෙනි. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය පාකිස්ථානයේ නිෂ්පාදනයෙන් හරි අඩකි. එහෙයින් ලෝක වී නිෂ්පාදනයේ 11වන ස්ථානයට පැමිණීමට වුවද ශ්‍රී  ලංකාව සිය නිෂ්පාදනය සියයට සියයකින්  ඉහළ දැමිය යුතුව පවතී. ආසන්න වශයෙන් හෙක්ටයාර් 750, 000 (හත්ලක්ෂ පනස්දහසක් ) ක පමණ වාරි බිම් වපසරියක් මෙරට තුළ පවතී. මහ කන්නයේ වැඩි බිම් ප්‍රමාණයක් වී වැපිරීම සිදුවුවද යල කන්නයේ එය හෙක්ටයාර් ලක්ෂ පහකට පමණ අඩුවේ. පෑවිල්ලකදී එය තවත් සීමා වේ. මෙය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වගා රටාවයි. යල කන්නයේ එළවළු, අතිරේක භෝග ආදී වගාවකට වැඩි නැඹුරුවක් තිබීම යල් කන්නයේ වී වගා බිම් ප්‍රමාණය අඩුවීමට එක් හේතුවකි. ප්‍රමාණාත්මකව වැස්ස අඩු වීම සහ ජල සම්පාදන ක්‍රියාවලියේ පසුගාමී තත්ත්වයන් ද ඊට හේතු වේ.

2050 වර්ෂය වන විට ලෝක ජනගහනය බිලියන 10.5ක් පමණ වන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණන් බලා තිබේ. ‍මේසා විශාල ජනකායකට ආහාර සැපයීමේදී පසු අස්වනු හානිය වැළකීමට මුල්තැන දිය යුතු යැයි ලෝක ආහාර සංවිධානය ද කියයි. මෙම අභියෝගාත්මක, ව්‍යසනකාරී තත්ත්වය හමුවේ එය තවදුරටත් තීරණාත්මක වී තිබේ. පශ්චාත් අස්වනු හානිය විවිධ මට්ටමින් සිදුවන බව කෘෂි විද්‍යාඥයෝ පවසති. ගොවිපොළේදී, ප්‍රවාහනයේදී, ඇසුරුම් කිරීමේදී, ගබඩා කිරීමේදී මෙන්ම පරිභෝජන අවස්ථාවේදීද කෘෂි නිෂ්පාදන හානිය සිදුවේ. එසේම විවිධ සතුන්ගෙන් සිදුවන හානියද සුළුපටු නොවේ. මෙම අසානාසිය සහතික මිලට මිලදී ගන්නා වී තොග සඳහා අත් නොවීමට වග බලා ගැනීම රජය සතු අත්හල නොහැකි වගකීමකි. මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ සහලින් ස්වයංපෝෂිත වීමේ ඉලක්කය එවිට තවදුරටත් ආසන්නයට පැමිණෙනු ඇත.



Recommended Articles