සහල් ඇතුළුව සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයකම මිල විශාල ලෙස ඉහළගොස් තිබෙනවා


අප්‍රේල් 21 වන දින රට තුළ සිදුවූ  පිපිරීම් නිසා අඩාළ වූ ජනජීවිතය තවමත් යථා තත්ත්වයට පත්වී නැත. මේ නිසා කර්මාන්ත හා ව්‍යාපාර සිදුකරන පිරිස් සේම පාරිභෝගික ජනතාවද දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවට වාර්තා වේ. මේ ආකාරයට පොදුවේ මහජනතාව පීඩාවට පත්ව සිටියදී ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කර තිබුණි. ආණ්ඩුව සිදුකළ මෙම ක්‍රියාව නිසා ලංකාවේ සාමාන්‍ය ජනතාව අසරණ තත්ත්වයකට පත්වූ බවද ජනතාව වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සඳහන් කරයි. මීට අමතරව ගෙවී ගිය දින කිහිපය තුළදී එළවළු හා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගොස් තිබෙන බවද ජනතාව සඳහන් කරති. මේ පිළිබඳව අද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති සමග කතාබහක නිරත විය.


මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම

ඉන්ධන මිල සූත්‍රයක් ක්‍රියාත්මක කරන්නේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යනකොට මේ රටේ ඉන්ධන මිල ඉහළ දමන්න හා පහළ යනවිට ඉන්ධන මිල පහළ දාන්න කියලා ආණ්ඩුව සඳහන් කරනවා. ඒත් ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වෙන්න ගත්ත දවසේ ඉඳලා විශාල ලෙස ඉන්ධන මිල ඉහළ දැම්මා. ඉන්ධන මිල අඩු කරනකොට අඩු කළේ සුළු මුදලකින්. මේ මාසය සැලකීමේදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් දෙකකින් අඩුවෙලා තියෙනවා. මේ නිසා සිදුවිය යත්තේ ඉන්ධන මිල අඩු කිරීම. ඒත් සිදුවුණේ ඉන්ධන මිල ඉහළ දැමීම. මෙවර ඉන්ධන මිල ඉහළ දැමීම සැලකිල්ලට ගෙන භාණ්ඩ හා සේවා මිල ඉහළ ගියේ නැහැ. ඒත් බොහෝ අවස්ථාවල ඉන්ධන මිල ඉහළ යනකොට බොහෝ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනවා. මෙවර භාණ්ඩ හා සේවාවල මිල ඉහළ නොගියත් ලබන මාසේ 10 වන දිනට සිදුවන ඉන්ධන මිල සංශෝධනයේදී මෙවර ඉන්ධන මිල ඉහළ යාමත් සැලකිල්ලට ගෙන භාණ්ඩ හා සේවා ගාස්තු ඉහළ දමන්න පුළුවන්. ආණ්ඩුව මේ දේවල් පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කරන්න ඕන.

සහල් මිල ඉහළ යාම

පසුගිය වගා කන්නයේදී අස්වැන්න වෙළෙඳපොළට පැමිණීම මේ වනවිට අවසන් වෙමින් තියෙන්නේ. මේ නිසා සහල් මිල මේ වන විටත් විශාල ලෙස ඉහළ යමින් තියෙන්නේ. ගොවියාගේ අස්වැන්න සහතික මිලකට මිලදී ගන්නා බවට රජය ඇතුළුව පෞද්ගලික වෙළෙඳුන් බොහෝ දෙනෙක් ප්‍රකාශයට 
පත් කළා.

 
ඒත් බොහෝ වෙළෙඳුන් වී මිලදී ගත්තේ රුපියල් 30 ට 32 ට වගේ මුදලකට කියලා ගොවීන් සඳහන් කළා. ඒ වගේ පොඩි මුදලකට වී මිලදී ගෙන මේ වන විට විශාල මුදලකට සහල් අලෙවි කරනවා. හැබැයි රජය පසුගිය කාලයේ  නිවේදනය කළේ නාඩු සහල් කිලෝවක් රුපියල් 80කටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 85කටත් අලෙවි කරනවා කියලයි. ඒත් මේ වන විට සමහර ප්‍රදේශවල නාඩු සහල් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 90ක් වැනි මුදලකට. 

සම්බා වී කිලෝවක් අලෙවි කරන්නේ රුපියල් 108ක් හෝ ඊට වැඩි මුදලකට. යල කන්නයේ අස්වැන්න ලැබෙන්න තවත් මාස තුනක් විතර ගතවනවා. පවතින වියළි කාලගුණය නිසා මෙවර වගා කන්නයේ වී වගාකරන භූමි ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා අස්වැන්න අඩු වෙන්න පුළුවන්. මේ තත්ත්වය අනුව සහල් මිල ඉදිරියේදී තවත් ඉහළ යන්න පුළුවන්. මේ නිසා දැන්ම ඉඳල සහල් කිලෝවක් සඳහා පාලන මිලක් නියම කළයුතු වෙනවා. 

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම

අපනයනකරුවන් සඳහන් කරන්නේ තවමත් වෙළෙඳපොළට නිකුත් කරන්නේ අලුත් අවුරුද්දට පෙර ගෙන්වූ භාණ්ඩ කියලා. එහෙම තියෙද්දී ග්‍රාමීය හා අවට ප්‍ර‘දේශවල භාණ්ඩ මිල මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. මේ ආකාරයට පාරිභෝගික ජනතාව අසාධාරණයට පත්වෙනකොට ජනතාවට සාධාරණයක් කරන්න තමයි ස.තො.ස ආයතනය පිහිටුවලා තියෙන්නේ. 
මෙම අරමුණු නිසාම අලුත් අවුරුදු සමයේදී ජනතාවට සහන දෙන්න භාණ්ඩ වර්ග දෙසීයකට ආසන්න ප්‍රමාණයක මිල සැලකිය යුතු ලෙස අඩු කළා. හැබැයි අලුත් අවුරුද්ද ගෙවිලා දින දෙක තුනක් ගතවන විට සතොස ආයතනයත් භාණ්ඩ මිල ඉහළ දැම්මා. මේ නිසා අද වන විට පාරිභෝගික ජනතාවට සහන මිලට භාණ්ඩ ලබාදෙන ආයතනයක් නැහැ.     

එළවළු තොග හා සිල්ලර මිලේ වෙනස

බොහෝ ප්‍ර‘දේශවල ගොවීන්ට එළවළු අලෙවිකර ගැනීමට නොහැකි වෙලා තියෙනවා. එයට හේතුවෙලා තියෙන්නේ තොග වෙළෙඳුන් නිසියාකාරව තොග මිලදී ගැනීම සිදුනොකිරීමයි. සමහර ප්‍ර‘දේශවල එළවළු මිල විශාල ලෙස පහළ ගිහිල්ලා තියෙන්නේ. 

මේ නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිත ප්‍ර‘දේශවල එළවළු තොග අලින්ට කන්න දානවා කියලා වාර්තා වෙනවා. හැබැයි නගරයේ වෙළෙඳසැල්වල බොහෝ එළවළු අලෙවි කරන්නේ කිලෝවක් රුපියල් සියය ඉක්ම වූ මුදලකට. මේක විශාල විකෘතිතාවක්. ගොවියාත්, පාරිභෝගිකයාත් ආරක්ෂා කරගැනීමට රටට ජාතික වැඩපිළිවෙළක් අවශ්‍යයි.

ආර්ථික අර්බුදය

අප්‍රේල් 21 වන දින සිදුවූ පිපිරීම නිසා රටේ ආර්ථිකයට විශාල බලපෑම් එල්ල වෙලා තියෙනවා. මොකද අලුත් අවුරුදු නිවාඩුවෙන් පස්සෙ රැකියාවලට නොගිය පිරිසක් රට තුළ සිටිනවා. ආපනශාලා හා කුඩා හා මධ්‍ය පරිමාණ වෙළෙඳසැල්වල ආදායම අඩුවීම නිසා බොහෝ ආයතන සේවකයන්ගේ ප්‍රමාණය අඩුකරලා තියෙන්නේ.
මේ අර්බුදය නිසා එම ආයතනවල ආදායම අඩුවෙලා තියෙන්නේ. ජනතාවගේ මිලදී ගැනීම් ශක්තිය අඩු නිසා යම් ආයතනයක් නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කළත් ඔවුන්ගේ භාණ්ඩ විකුණා ගැනීමට නොහැකි තත්ත්වයකට මුහුණදීලා සිටින්නේ. 
මේ නිසා කෘෂි, ධීවර හා සත්ත්ව ගොවිපළවල කටයුතු විශාල ලෙස අඩපණ වෙලා තියෙන්නේ. මෙවැනි ආයතනවල නිෂ්පාදන ක්‍රියාවලියත් විශාල ලෙස පහළ දැමීමට ව්‍යාපාරිකයන් කටයුතු කරලා තියෙන්නේ. මේ නිසා කම්කරුවන්ට, නාට්ටාමින්ට දෛනික රැකියා අහිමිවෙලා තියෙන්නේ.

ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම

මේ වන විට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විශාල කැපකිරීමක් සිදුකරනවා. ඒත් මෙම ප්‍රහාර ගැන දේශපාලනඥයන් පරස්පර කතා සිදුකිරීම නිසා ජාතික ආරක්ෂාව පිළිබඳව ජනතාව තුළ තිබෙන විශ්වාසය සමහර අවස්ථාවල නැතිවෙලා යනවා.
මේ නිසා රටේ බොහෝ පිරිසක් තවමත් ජීවත් වන්නේ යම් බියකින්. ජාතික ආරක්ෂාව සඳහා  වැඩපිළිවෙළක් සකස් විය යුතුයි වගේම එම වැඩපිළිවෙළ අඛණ්ඩව දියත් කරන්න ඕන. එහෙම නැතුව දේශපාලනඥයන් සිදුකරන ප්‍රකාශ සැලකිල්ලට ගෙන ජනතාව තමන්ගේ ජන ජීවිතය ඉදිරියට ගෙන යාවි කියල හිතාගන්න බැහැ.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ගැනීම

මෙරටට අවශ්‍ය භාණ්ඩවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ලබාදෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්. ඒත් පවතින තත්ත්වය හමුවේ බොහෝ කර්මාන්ත කඩාවැටීමකට ලක්වෙලා තියෙන්නේ. කුඩා හා මධ්‍ය පරිමාණ ආයතනවලින් බොහෝ ආයතන ව්‍යාපාරික කටයුතු හෝ භාණ්ඩ නිෂ්පාදන කටයුතු සිදුකරන්නේ බැංකු ණය මත.
ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් ඔවුන්ගේ ආදායම විශාල ලෙස අඩුවෙලා තියෙන නිසා ණය වාරිකය හා පොලී වාරිකය ගෙවා ගැනීමට නොහැකිවෙලා තියෙන්නේ. මේ නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවන්ට පත්වෙලා ඉන්නේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන රජය මැදිහත් වෙලා බැංකු ණය ගෙවීම පිළිබඳව සරල ක්‍රම‘වේදයක් සකස් කරන්න ඕන.

විදුලි අර්බුදය

ලංකාවේ වැඩියෙන්ම දූෂණ වංචා සිදුවන සේවාවක් ලෙසට විදුලිය නම් වී තිබෙනවා. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල් අඟුරු මිලදී ගන්නා තැන ඉඳලා වංචා දූෂණ සිදුවෙනවා. රටේ විදුලි අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ලබාදෙන්න අවශ්‍ය විදුලි බලාගාර අපට නැහැ. විදුලි අර්බුදයක් ඇතිවුණාම තමයි විදුලි බලාගාර හදන්න මතක් වෙන්නේ. ඒත් අවසානයට වෙන්නේ වැඩි මුදලට ක්ෂණික මිලදී ගැනීම් යටතේ විදුලිය  මිලදී ගැනීම. මේ සෑම බරක්ම එකතු වෙන්නේ විදුලි බිලට.
මේ නිසා රටට ගැළපෙන අඩු වියදම් බලාගාර කඩිනමින් ඉදිකළ යුතුව තියෙනවා. යම් යම් අවස්ථාවල විදුලි බලාගාර ඉදිකරන්න උත්සාහ කළත් විවිධ ජාවාරම් ක්‍රියා නිසා ඒවා අතරමග නැවතිලා තියෙනවා. 

පාරිභෝගික ආරක්ෂාව

පාරිභෝගිකයා ආරක්ෂා කරන්න තමයි පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවලා තියෙන්නේ. හැබැයි ඒ ආයතනයෙන් නිසි ලෙස වගකීම් ඉටුවෙනවාද කියලා සොයා බලන්න අවශ්‍යයි. මොකද ලංකාවේ නීතියට අනුව සෑම වෙළෙඳ සැලක්ම අලෙවි කරන භාණ්ඩවල මිල ජනතාවට පෙනෙන ලෙස ප්‍රදර්ශනය කරන්න ඕන. නමුත් බොහෝ ස්ථානවල මිල ප්‍රදර්ශනය කරන්නේ නැහැ. මිල ප්‍රදර්ශනය කරන බොහෝ ස්ථානවල ඒවා ප්‍රදර්ශනය කරන්නේ පහසුවෙන් ජනතාවට දැකබලා ගැනීමට නොහැකි තැන්වල. ඒ වගේම සමහර භාණ්ඩවලට පාලන මිලක් වගේම නිශ්චිත බරක් සඳහන් වෙනවා. මේ පිළිබඳවත් ගැටලු තියෙනවා. මේ සෑම දෙයක් ගැනම වගකිව යුතු ආයතන සොයාබැලීම කරන්න ඕන. වැරදි කරන පිරිසට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න ඕන.    

බස් ගාස්තු හා අනෙකුත් ප්‍රවාහන ගාස්තු 

බස් ගාස්තුව සාධාරණද කියන කාරණය ගැන ගැටලු තියෙනවා. මොකද ඉන්ධන මිල සුළු මුදලකින් ඉහළ යන විට බස් ගාස්තුව සිතාගැනීමටත් නොහැකි ආකාරයට ඉහළ යනවා. ජාතික ප්‍රතිපත්තියට අනුව නිශ්චිත බස් ගාස්තුවක් තිබුණත් බොහෝ බස්රථවල ඉතුරු මුදල් ලබාදීමේදී එය නිසි ලෙස සිදුවෙන්නේ නැහැ. 
ත්‍රි‘රෝද රථ සේවාවත් මේ රටේ මගී අවශ්‍යතා සම්පූර්ණ කරන සේවාවක්. හැබැයි එම සේවාවට නිශ්චිත ගාස්තුවක් නැහැ. මගීන් ආරක්ෂා කිරීමට ගාස්තු මීටර් හඳුන්වා දුන්නත් ඒවාත් නිසි පාලනයක් නැහැ. මේ නිසා බස් මගීන් සේම ත්‍රි‘රෝද රථවලින් ගමන් පහසුව සපයා ගන්න බොහෝ දෙනෙකු පීඩාවට පත්වෙනවා. 

ඖෂධ මිල ඉහළ යාම

මේක බරපතළ කාරණයක්. ඖෂධ මිල අඩුකරනවා කියලා රුපියල් කෝටි ගණනක් වියදම් කරලා මාධ්‍ය සංදර්ශන පැවැත්වුවා. ඖෂධ කිහිපයක මිල සුළු වශයෙන් අඩුවීමක් සිදුවූවා. ඒත් මේ වන විට ඖෂධ මිල විශාල ලෙස ඉහළ දමලා තියෙනවා. මේ නිසා වකුගඩු රෝගීන්, පිළිකා රෝගීන් දැඩි දුෂ්කරතාවන්ට පත්වෙනවා. රටේ නිදහස් සෞඛ්‍ය සේවාවක් තියෙනවා කියලා දේශපාලනඥයන් පම්පෝරි ගහනවා. ඒත් රජයේ රෝහලකට බොහෙත් ටිකක් ගන්න යන රෝගියෙකුට තමන්ගේ රෝගී තත්ත්වය සුවකර ගැනීමට අවශ්‍ය ඖෂධවලින් විශාල ප්‍රමාණයක් පෞද්ගලික ඖෂධ වෙළෙඳ සැල්වලින් මිලදී ගැනීමට සිදුවෙලා තියෙනවා. අද වනවිට රෝහල් තුළ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා රොගීන්ටත් ඖෂධ හා උපකරණ මුදල් දීලා රෝහලට ගෙනැවිත් දෙන්න සිදුවෙලා තියෙන්නේ. එහෙම තියෙද්දි විශ්‍රාම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප රුපියල් පහළොස්දාහකින් වැඩි කරන්න යෝජනා කරලා තියෙන්නේ. දැනට ඉන්න දේශපාලනඥයෝ නඩත්තු  කරන්න ජනතා බදු මුදල් කෝටි ගණනක් වැයකරනවා. බොහෝ දේශපාලනඥයන් සංවර්ධන ව්‍යාපෘතිවලින් කොමිස් ගන්නවා කියලත් චෝදනා තියෙනවා. දේශපාලනය කියන්නේ ගරු සේවයක්. ඒත් මේ රටේ දේශපාලකයන් දේශපාලනයට ඇවිත් තියෙන්නේ හම්බ කරගන්න.



Recommended Articles