සල්ලි හිඳී විල්ගමුවේ පානීය ජල ව්‍යාපෘතිය නවතී


  
මිනිපේ අමුණ සහ වැව් ආශ්‍රිතව කුඹුරු ගොවිතැනින් ජීවත් වන ජනතාගේ ජීවිතයේ දැවැන්තම අභියෝගය බවට පත්ව ඇත්තේ පිරිසුදු පානීය ජලය සපයා ගැනීමය. මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම වකුගඩු රෝගීන් පිරිසක් වාර්තා වනුයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වන අතර, මෙහිදී 1227ක ප්‍රමාණයක් ඉක්ම වූ රෝගීන් පිරිසක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.


හඳුනා නොගත් වකුගඩු රෝගයට පිළියමක් ලබාදීමේ අරමුණින් ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාදීමේ අරමුණ ඇතිව පානීය ජල ව්‍යාපෘති මෙන්ම ජනතාවට පිරිසුදු ජලය ලබාදීමේ වැඩසටහන් සහ ජල පෙරණ ගම්මාන මට්ටමින් සවිකිරීම ඇතුළු වැඩසටහන් රැසක් බලධාරීන් විසින් ක්‍රියාත්මක කරමින් සිටි අතර, විල්ගමුව ප්‍රදේශයේ ජනතාවගේ මෙම වකුගඩු රෝගී ගැටලුවට පිළියමක් ලෙස පිරිසුදු පානීය ජලය ලබාදීමේ අරමුණින් 2016 වසරේදී හීන් ගඟ පානීය ජල යෝජනා ක්‍රමය  ආරම්භ කෙරුණි. මේ සඳහා සැලසුම් සකස් කර ඇත්තේ 2013 වසරේදීය.

විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුලුගුණේ, උඩුවෙල්වල, නුගගොල්ල, මිවාඔබේ, සෝනුත්ත, 80 යාය, පේරකනත්ත, නාමිණිගම, විල්ගමුව, වනරාව, බත්ගම්පල, මොරගහඋල්පත, නාගොල්ල, හෙට්ටිපොළ, නාමිණිඔය, දේවගිරිය, ගුරුවෙලයාය, බෝගහවැව, මල්ගම්මන, මාරක, හඳුන්ගමුව, විහාරගම, කරව්ගහවැව, ගැඹුරුඔය, ලේඩියංගල, කුඹුකන්දන, අලිවංගුව, ටොප්වලපිටිය, තුන්හිරියාවැව, රදුන්නේවැව, රත්තොටයාය, මැදකන්ද, දුනුවලපිටිය යන ගම්මානවල වෙසෙන ජනතාව වෙනුවෙන් මෙම ජල යෝජනා ක්‍රමය මගින් සෙත සැලසෙන අතර, ඒ සඳහා අවශ්‍ය සියලු වැඩකටයුතු සිදුකෙරුණේ දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රමයක් ලෙසය.

මාතලේ විල්ගමුව ප්‍රදේශයෙන් ගලා බසින හීන් ගඟේ ජලය පානය කරන ඒ අවට කිසිදු පුද්ගලයෙකුට වකුගඩු රෝග නොමැතිවීමත්, කිසිදු මුත්‍රා රෝගයක් හට නොගැනීමත් පිළිබඳව සිදුකළ පර්යේෂණයකින් අනතුරුව මෙම ජල ව්‍යපෘතිය ආරම්භ කර ඇති අතර, මෙම ජල ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ පවුල් 12,000ක ජනතාවට ජල අවශ්‍යතාව සපිරේ. මෙහි මුළු ප්‍රතිලාභීන් පිරිස තිස්දහසක් පමණ වේ. දේශීය අරමුදල්, බැංකු ණය පදනම යටතේ මේ සඳහා රුපියල් මිලියන 3581ක් ඇස්තමේන්තු කර ඇති අතර, 2016 වසරේ අගෝස්තු මස 01 වැනි දින මෙය ආරම්භ කර ඇති බවත්, මෙම ව්‍යාපෘතිය 2018 ජූලි 31 වැනි දින අවසන් කිරීමට නියමිත බවත් එම ව්‍යාපෘති භුමිය ආසන්යේ සවිකර ඇති විශාල නාම පුවරුවක සඳහන් වේ.

ජලසම්පාදන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ, පෞද්ගලික ආයතනයක් වෙත කොන්ත්‍රාත් පදනම යටතේ මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට අවසර ලබාදී ඇති අතර, කෙසේ වෙතත් මේ වනවිට මෙහි ප්‍රධාන ජල ටැංකිය සුලුගුණේ ගම්මානයේ ඉදිකර තිබේ. මෙහි පොම්පාගාරය හීන් ගඟ ආසන්යේ ඉදිකර ඇති අතර, පිරිපහදු සිදුකිරීමේ ස්ථානය සුලුගුණේ ගම්මානය ආසන්නයේම අඩක් නිම කර තිබේ. මෙම ඉදිකිරීම් සඳහා අදාළ සමාගම විසින් ගෙනැවිත් ඇති විශාල යන්ත්‍ර සූත්‍ර සහ වාහන අමුද්‍රව්‍ය, සිමෙන්ති ආදියද මෙහි ඇති අතර, එක් මුරකරුවෙකු පමණක් මෙම ස්ථානයේ රැඳී සිටින අයුරු දැකගත හැකිය. මෙවැනි වටිනා ව්‍යාපෘතියක් බලධාරීන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් අද වනවිට අතරමග නතර වී තිබීම පිළිබඳව ජනතාව තුළ ඇත්තේ මහත් වූ කනස්සල්ලකි. මෙම ව්‍යාපෘතිය මුරකරුවෙකුට පමණක් සීමා කරමින් ඉදිකිරීම් අතරමග නවතා දමා ඇති අතර, මෙහි විශාල ජල ගබඩා හතක ඉදිකිරීම් අවසන්ව ඇති බවත්, මෙහි ජල නළ එළීමද ප්‍රදේශ ගණනාවක සිදුකොට අවසන් බවත් ඔවුහු සඳහන් කරති. මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමට ලබාගත් සමාගම මේ වනවිට බංකොලොත් වී ඇති බවත්, ව්‍යාපෘතියේ සේවය සඳහා ප්‍රදේශයේ ජනතාව පැමිණි අතර, ඔවුන්ටද හිඟ වැටුප් පවා ලබා ගැනීමට ඇති බවත් ප්‍ර‘දේශවාසීහු පවසති. අදාළ සමාගමේ ඇති වූ මූල්‍ය අර්බුදකාරී තත්ත්වයක් හේතුවෙන් අදාළ වැටුප් ගෙවීම් සහ මෙහි ඉදිකිරීම් නතර වී ඇති බවද මෙහිදී අනාවරණය විය.

මේ පිළිබඳව අප වෙත අදහස් දැක් වූ ලග්ගල ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති විශ්‍රාමලත් විදුහල්පති විජයරත්න බංඩා මහතා පවසා සිටියේ මෙවැන්නකි.
“මෙම ව්‍යාපෘතිය  අතරමග නතර කිරීම නිසා මහජන ධනය විශාල ලෙස අපතේ ගොස් තිබෙනවා. මේ ප්‍රදේශයේ විශාල ගොවි ජනතාවක් ඉන්නේ. රටට බත සපයමින් විශාල මෙහෙවරක් කරන ගොවීන් අද වනවිට රෝගීන් බවට පත්වෙලා. මේ තත්ත්වය තේරුම් අරන් තමයි මේ ජල ව්‍යාපෘතිය ආරම්භ කළේ. නමුත් කුමන හෝ තැනක මේ ව්‍යාපෘතිය වරද්දගෙන තිබෙනවා. ජනතා මුදල් විශාල ලෙස විනාශ වීමක් දැන් වෙලා තියෙන්නේ. යන්ත්‍ර සූත්‍ර දිරාපත් වෙලා. මේ පිළිබඳව බලධාරීන්ට දැන් වූ පසු ඒ අය එක එක කෙනාට බෝලෙ පාස් කරන තත්ත්වයක් අද තියෙන්නේ. අපි ඉල්ලන්නේ මේ පිළිබඳව වගකිව යුතු බලධාරීන් වහා මැදිහත් වී විසඳුම් ලබාදිය යුතු බවයි. එසේ නොකරන්නේ නම් ප්‍රදේශයේ ජනතාව සමග ඉදිරියේ දැවැන්ත විරෝධතාවක් සිදුකර අපේ අයිතිය අපිට ලබාගන්න සිදුවේවි.*
ප්‍රදේශයේ මහජන නියෝජිතවරිය වන මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය මේ පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි.

“ලග්ගල ආසනයේ විල්ගමුව කියන්නේ හැම අතින්ම දුෂ්කර ප්‍රදේශයක් ලෙසයි බොහෝ අය හඳුන්වන්නේ. ගොවි ජනතාවක් විශාල වශයෙන් ජීවත් වන ප්‍රදේශයක් වන මෙහි මිනිපේ 3 -4 පියවර යටතේ ගොවි තැන් සිදුකරමින් ජනතාව ජීවත් වෙනවා. මෙයට පිළියමක් ලෙස විල්ගමුව ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාදීමේ අරමුණින් පැවැති රජය විසින් මීට පෙර සැලසුම් කර තිබූ හීන් ගඟ ජල ව්‍යාපෘතිය ආරම්භ කළා. විශාල මුදල් ප්‍රමාණයක් යොදවා මේ ව්‍යාපෘතිය ආරම්භ කළා. දැනට සියයට පනහක පමණ වැඩ අවසන් වෙලා තියෙන්නේ. නමුත් 2016 දී ආරම්භ කරලා, මේ ව්‍යාපෘතිය බාරගත් අදාළ කොන්ත්‍රාත් සමාගම විසින් 2018 වසරේදී මෙහි වැඩ අතරමග නතර කළා. ඒ එම සමාගමේ ඇති වූ මූල්‍ය ප්‍රශ්නයක් නිසා. මේ පිළිබඳව අවස්ථා කිහිපයකදීම එවකට රජයේ ජල සම්පාදන අමාත්‍යවරයා මෙන්ම අනෙකුත් පිරිස් දැනුම්වත් කළා. මැතිවරණ කාලයත් ඒ සමග ආවා. දැනට මෙහි වැඩ නතරවීම පිළිබඳව නැවත අදාළ බලධාරීන් දැනුම්වත් කරලා තියෙන්නේ. මෙය අපි වසර ගණනාවක් තිස්සේ බලාපොරොත්තු වුණු ව්‍යාපෘතියක්. වත්මන් රජයෙන් අපි ඉල්ලා සිටින්නේ මේ අදාළ කොන්ත්‍රාත් සමාගම පිළිබඳව සොයා බලා මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට ඔවුන්ට හැකිවන ආකාරයේ වැඩපිළිවෙළක් සකස් කර හෝ වෙනත් අයෙකුට මෙය පවරා හැකි ඉක්මනින් මෙම ව්‍යාපෘතිය නිම කර දෙන ලෙසයි. විල්ගමුව ජනතාවට පිරිසුදු පානීය ජලය ලබා ගැනීමට ඇති එකම ව්‍යාපෘතිය මෙයයි. ඒ නිසා කඩිනමින් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස අපි ඉල්ලනවා.
හිටපු පළාත් සභා මන්ත්‍රී ගමගෙදර දිසානායක මහතා මෙම ජල ව්‍යාපෘතිය අතරමග නැවතීම පිළිබඳව අදහස් දක්වමින් පැවසූයේ මෙවැන්නකි.

“විල්ගමුව ප්‍රදේශයේ නිදන්ගතව ඇති වකුගඩු රෝගයට පිළිමක් ලෙස මෙම ජල ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙන්නේ. නමුත් කනගාටුවට කරුණ වන්නේ අපේ රටේ ව්‍යාපෘතියක් ආරම්භ කළ විට අවසානයක්  සිදුකිරීම සිදුවන්නේ ඉතා කලාතුරකින් වීම. ජනතාව පැත්තෙන් බලන විට මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයක්. පැවැති රජය් හා පවතින රජයන්වල වගකීම විය යුත්තේ ජනතාවට සහන සැලසීමයි. නමුත් දැන් සිදුවන්නේ එහි අනෙක් පැත්ත. ජනතාවගේ අවශ්‍යතාවන්, ඉල්ලීම් දිනා ගැනීමට අරගල සිදුකළ යුතුයි. දිනාගත් පසුව ඒ ව්‍යාපෘති හරි මාර්ගයේ ආරම්භ කිරීමටත් කටයුතු කිරීමට ඔවුනට සිදුවෙලා. මේ තත්ත්වය මත ජනතාව දැඩි කලකිරීමක ඉන්නේ. මෙය මේ ප්‍රදේශයට වටිනා ව්‍යාපෘතියක්. මේ පිළිබඳව අදාළ බලධාරීන් සොයා බැලිය යුතුයි. 

රත්තොට - රුවන් ධනංජය



Recommended Articles