සරණ බන්ධනයට ප්‍රථමයෙන් ජ්‍යෝතිෂ පොරොන්දම් පරීක්ෂාවේදී පළමුවෙන්ම කළයුත්තේ රැගෙන එන කේන්දර පසෙකලා උපන් වර්ෂය, මාසය, දිනය, වේලාව හා ස්ථානය පමණක් උපයෝගී කරගෙන තමා විසින්ම කේන්දර සකස් කරගත යුතුය. එවිට තමාට විශ්වාසයක් සහිතව පරීක්ෂාවේ යෙදිය හැක. මෙහිදී ලැබෙන දළ කේන්දර සටහනට වඩා උචිත වන්නේ භාව කේන්දර සටහනයි. මීට හේතු වන්නේ ලග්නයක් පැය දෙකක් පමණ කාලයක් උදාව පැවතීම නිසා නිවැරදිව උපත ලබන මොහොතේ ග්‍රහ පිහිටීම වෙනස් විය හැකි නිසයි. ලග්නයකට දෙර්කාණ තුනකි. දෙර්කාණයකට මිනිත්තු 40ක් පමණ ගතවේ. මේ අනුව පළමු භාවයේ සිටි ග්‍රහයා ඊළඟ භාවයට අවතීර්ණ වීමට හැකියාව ඇත. ලග්නගත කේන්දර‘යේ සටහන් වී ඇති කුජ සිකුරු, කුජ ශනි, රවි කුජ, චන්ද්‍ර ශනි යන අසුභ ග්‍රහ සංයෝග වෙනස් වනවා පමණක් නොව, ගුරු සඳු හා ධර්මකර්මාධිපති යනාදී සුභ යෝගද වෙනස් වේ. මේ බව නවාංශකයෙන්ද නොපෙන්වන අවස්ථා බොහෝය. ඇතැමුන් නවාංශකයද උපයෝගී කර නොගෙනම පොරොන්දම් පරීක්ෂාවේ යෙදෙති. විසි පොරොන්දම් ලකුණු ප්‍රමාණය සියයට 60ක් ඉක්ම වූ පමණින් විවාහයට සුදුසු යැයි පවසති. එසේ කිරීම ඉතා බලවත් අපරාධයකි. ජීවිත දෙකක් මහත් දුකකට පත්කිරීමක් බව ඔවුන් නොසිතනවා විය හැකිය. සමහරවිට මෙයට බොහෝ හේතු වන්නේ බුලත් අතක ගුරුපඬුරක් තබා කේන්දර දෙක ඉදිරිපත් නොකිරීම විය හැක. ඇතැම්විට ශාස්ත්‍රය හරිහැටි නොදන්නාකමද විය හැක.
විශේෂයෙන්ම කේන්දරවල ලග්නය, සඳු සිටින භාවය, උපන් නැකැත, නාඩි පොරොන්දම, යෝනි පොරොන්දම, රාශාධිපති හා ගෙවන දශා කල ගැන විශේෂ පරීක්ෂාවක් කළ යුතුය. ඊළඟට වැන්දඹු දෝෂ, විෂකන්‍යා යෝග, ශාරීරික යෝග්‍යතා හෙවත් සෞඛ්‍යය, දරු සම්පත් වාසනා, ඉදිරි දියුණුව, ධනය ලැබීම යනාදිය කෙරේ ඇති සුභාසුභ පරීක්ෂා කළ යුතුම වේ. ඉහත කී කරුණුවල නිවැරදිභාවය විවාහ අපේක්ෂිත දෙදෙනාගේ අත්ල රේඛා පරීක්ෂාවෙන් ඉතා හොඳින් වටහාගත හැක. බොහෝවිට පොරොන්දම් පරීක්ෂාව සඳහා පැමිණෙනුයේ දෙමාපියන් හෝ වැඩිහිටියෙකු පමණි. ඊට හේතුව නොදන්නාකම හෝ නොසැලකිලිමත්කම විය හැක. නමුත් දෛවඥ තෙමේ ඒ අයට කරුණු පැහැදිලි කර දිය යුතුයි. එසේම මීට හේතු වන්නේ ප්‍රථම බලන ලද කේන්දර නොගැළපීම විය හැක. පොරොන්දම් බැලීමට පැමිණෙන තත්කාල කේන්දර පරීක්ෂාවක් තිබෙන බව ඇතැමුන් නොදනී.
ප්‍රථමයෙන්ම කළයුතු වන්නේ අපේක්ෂක අයගේ කේන්දරය නිවැරදිව සාදවාගෙන විවාහයට නිසි කාලය දැනගැනීමයි. ඉන් අනතුරුව විවාහය සඳහා ඉතාම හොඳින් ගැළපෙන ලග්න හා නැකැත් මොනවාද යන්න විමසා දැනගැනීමයි. ඇතැම් දක්ෂතා සහිත දෛවඥවරු විවාහ සහකරුගේ හැඩරුව, උගත්කම, ධනවත් බව, ගුණාගුණ පමණක් නොව පදිංචි ප්‍රදේශය පවා කියනු ඇත. නමුත් දැන් පවතින තත්ත්වය අනුව ගුරු පඬුරු ගැන විශේෂ සැලකිල්ලක් දක්වනු ඇත. කරුණු මෙසේ හෙයින් ඉහත කී පරිදි නිසියාකාරව උනන්දුවෙන් කේන්දර සාදා ඵල ප්‍රකාශ කරන දෛවඥ කෙනෙක දැන විශ්වාසයෙන් කරුණු විමසා සිටිය යුතුම වේ.
පොරොන්දම් කරුණු බොහෝ ස්ත්‍රී පක්ෂය හෙවත් අපේක්ෂක අයගේ මව විසින් පරණ ලිතක් උපයෝගී කරගෙන පරීක්ෂාව කරගන්නා බව නොරහසකි. ඇතැම් අය කුජ දෝෂ ගැනද විශේෂ දැනුමක් තිබෙන බව හොවා දක්වයි. ඉතින් ඒ අයගේ දැනුම තවදුරටත් දියුණු කර ගැනීම සඳහා මේ ලිපිය මහෝපකාරී වන ලෙස ලියා දක්වමි.
පළමුවෙන්ම ඉහත කී පරිදි භාව ස්වූඨ හා ග්‍රහ ස්වූඨ සහිතව භාව සටහනක් සහිතව පැහැදිලි ශාස්ත්‍රානුකූල කේන්දරයක් සාදන්න දන්නා දෛවඥ මහතකු ලවා සාදවා ගන්න. යෝජිත කේන්දරයත් එසේ සාදා තිබීම වැදගත් වේ. දැන් පහත සඳහන් දෝෂ තිබේදැයි පරීක්ෂාකර බලන්න. විසා, කැති, අස්ලිස, සියාවස යන නැකැතකින් කුජ, රවි, ශනි යන දිනක 12, 2, 7 යන තිථිය ලත් දිනක උපත ලබා තිබේදැයි බලන්න.
එසේ පිහිටා තිබේ නම් විෂකන්‍යා යෝගයයි. මෙය ස්ත්‍රී පුරුෂ දෙදෙනාටම පොදු වේ. දෙදෙනාම එකම නැකැතක, එකම පාදයේ නම් කඩහන්දි මාරක යෝගය බව දැනගන්න. ඊළඟට අවිවාහක යෝග තිබේදැයි බලමු. ලිංගික දුබලතා හෝ ආධ්‍යාත්මික ගුණ හෙවත් පැවිදි පින සහිතද යන්න බැලිය යුතුයි. කේන්දරයේ ගුරු, ශනි, රවි බලවත් වී 7 අධිපති කුජ, සිකුරු, දුර්වල නම් විවාහයකට නුසුදුසු බලවත් දෝෂයකි. 12වැනි භාවයේ කුජ, ශනි, රවි, රාහු, දුර්වල වී සිටීමෙන් දරු සම්පත් කෙරේ කාර්යයට මැලි වේ. ඉහත කී ශනි මංගල යෝග 1, 7, 12, 4, 10, 2 යන ස්ථානවල දෘෂ්ඨි වශයෙන් හෝ තිබේදැයි බලන්න. තවද 7 හා 8 යන භාවයන්හී කුජ සමග රාහු සිටීම බලවත් වැන්දඹු යෝගයකි. දෙවන භාවයේ අධිපති ග්‍රහයා 6, 8, 12 දුර්වල හෝ පාපී ග්‍රහණයකට යටත්ව සිටින්නේදැයි බලන්න. මෙය බහු විවාහ යෝගයකි. කුජ සිකුරු යෝගය 3 හා 9 හැර කොතැනක සිටියත් ඉහත කී යෝගයමයි. 5වැන්න, 7වැන්න හා ලග්නාධිපති හෝ පළමු කී දෙදෙනා හෝ එක්ව සිටීනම් ද අවිවාහක යෝගයකි.
විවාහයකදී දෙපාර්ශ්වයේ වැඩිහිටියන් විශේෂයෙන් බලාපොරොත්තු වන ප්‍රධාන සාධකය නම් දරු සම්පත්ය. එය ඉටු නොවීම මත විවාහ කඩාකප්පල් වේ. ඒ නිසා පහත සඳහන් යෝග පරීක්ෂාව ඉතා වැදගත් වේ. දෙදෙනාගේම 5 වැන්න රාහු, කුජ, ශනි සිටීමද, දුබල එම ග්‍රහයින් 4 හෝ 6 සිටීමද, සඳුගෙන් දෙපස සිටීමද දෙදෙනාටම දුර්වල කුජගේ මහ දශා හෝ අතුරු දශා ලබන බව පෙනේ. ස්ත්‍රී පක්ෂයේ දුර්වල හෝ නීච සඳු 5 වැන්නේ සිටීම හෝ ඒ සඳුගේ දශාව ලබන විට විවාහ වීමද, 5 අධිපති පාප සංයෝගව හෝ 6, 8, 12 හෝ මේෂ, මිථුන, සිංහ, කන්‍යා යන රාශියක සිටීමද, ගුරු නීචව සිටීමද, කුජ කේතු හෝ රාහු සමග 8වැන්නේ නම් ශල්‍යකර්ම නිසාද දරු සම්පත් හීන කෙරේ. තුන් කුළුදුල් දෝෂය එතරම් ගණන් නොගතත්, ලේ ඥාති සම්බන්ධය අති දුර්විපාක ඇතිකරයි. අංගවිකල දරුවන් උපදිනුයේ එවිටයි. නිවුන් දරු හෝ සහෝදර දෙදෙනෙකුගේ මංගල උත්සව එකම දින පැවැත්වීමත්, විවාහ අපේක්ෂිත දිනට ප්‍රථම දෙපාර්ශවයේ යම් ඥාතියෙකු මියගියහොත් වැන්දඹු දෝෂ සහිත නිසා මාස 6කට වැඩි කාලයක් කල් දමන්න.
ඊළඟට ඇතිවන ප්රශ්නය දැන් බටහිර හා ලංකාවේ ධනවත් මෙන්ම ජනාදරයටපත් අයට අවුලක් නොවෙතත්, සංස්කෘතික සමාජය පිළිකුල් කරන බහු විවාහ යෝගයි. අඩු වශයෙන් හෝ වැඩිහිටි රහස් ලිංගික සම්බන්ධතා බහු විවාහ සම්බන්ධතා වලට මුලපිරීමකි. එවැනි අදහස් දරන අයගේ උපන් කේන්දරවල පහත සඳහන් යෝග පිහිටනු ඇත. සිකුරු 12 හෝ මීනයේ නම්ද, ඉහත කී කුජ සිකුරු යෝගයද, 8 වැන්න අධිපති 7, 1 සිටීමද, 7 වැන්නේ පාපියකු සිටීම හෝ වැඩි ප්‍රමාණයක් සිටීමද, කුජ, සිකුරු හෝ 7 අධිපති මීන, ධනු, මිථුන යන රාශිගත වීමද, කුජ සිකුරු 6වැන්නද යන ග්‍රහ පිහිටීම් ඇත්නම් අනිවාර්ය බහු විවාහ වේ. කෙටියෙන් මතක තබාගන්න. රාහු සිකුරුද, කුජ සිකුරුද, රවි සිකුරු ද එම ග්‍රහයන්ගේ රාශිවල පරිවර්තන යෝග තම තමන්ම තැන්පත්ව සිටීමද, මීට අමතරව හීන සඳු 5 හෝ 7 වැන්න සිටීමද අසුබය. රාහු සමාජ රෝග සාදන්නෙකි. කේතු ස්ථානගත ශල්‍යකර්ම කරන්නෙකි. ශනි 4, කුජ කේතු 10 බලවත් සිකුරුගේ සංයෝග හෝ දෘෂ්ඨි ශල්‍ය වෛද්‍යවරයෙකි. රාහු සිටින තැන සොයා ගන්න.
දෝෂ භංග වන ලෙස මෙවැනි කේන්දර ගළපන ආකාරයත් මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න. ඉහත සඳහන් කරුණු සාවධානව පිළිගන්න. දැනට බොහෝවිට ඔබ අතේ ඇත්තේ දළ කේන්දර සටහනක් නිසා තැති නොගන්න. වාසනා ගුණ මතුකර ගන්න නම් ධාර්මික වන්න.
ජ්‍යෝතිෂ, වාස්තු, හස්ත රේඛා පරීක්ෂක හා උපදේශක දෛවඥ ඩබ්.එස්. රාජපක්ෂ ගම්පහ