ඒකාබද්ධ විපක්ෂයේ සහෝදර දේශපාලන පක්ෂයක් වන ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සාම්ප්‍රදායික මතවාදයන්ට බාහිරව අදහස් ඉදිරිපත් කරන්නෙකි. සමාජ ප්‍රශ්න හමුවේ පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් හඬ නගන්නෙකු වන ඔහු දරන ස්ථාවරය දැන ගැනීමට බොහෝ දෙනා බලා සිටිති. වර්තමානයේ සිදු කරන දේශපාලන කටයුතු සම්බන්ධව අද පුවත්පත ඔහුගෙන් කරුණු විමසා සිටියෙමු.
මේදවස්වල ප්‍රධාන දේශපාලන කටයුත්ත වෙලා තියෙන්නේ මොකද්ද?
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන කටයුත්ත වෙලා තියෙන්නේ දිසා සමුළු කැඳවාගෙන යෑම. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන කටයුත්ත වෙලා තියෙන්නේ ඒ ඒ ප්‍රදේශවලට බලපාන කරුණු මුල්කර ගෙන උද්ඝෝෂණ කටයුතුවල නියැළීම.
ඒ සඳහා මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?
අපි රත්නපුර දිස්ත්‍රික්කයෙන් උද්ඝෝෂණ ආරම්භ කළා. පළාත් සභා මැතිවරණය ඉක්මනින් පවත්වන ලෙසට බල කරන සටන් පාඨය උද්ඝෝෂණයට ඇතුළත් වෙනවා. 15 වැනිදා ඇඹිලිපිටියේ ගොවි සමුළුවක් තියනවා. දැනට එම කාරණා දෙක විතරයි ක්‍රියාත්මක කිරීමට නියමිත වෙලා තියෙන්නෙ.
පසුගිය ජනාධිපතිවරණය අවසන් වූ පසුව මහින්ද රාජපක්ෂ මහතා සමග එකතු වූ දේශපාලන පක්ෂ හා මන්ත්‍රීවරුන්ගේ එකමුතුකම් තවමත් ඒ විදියටම තිබෙනවාද?
මම දන්න විදියට නම් මත ගැටීමක් නැහැ. අපි ඉල්ලනවා සන්ධානයක් හදන්න කියලා. අපි ඉල්ලනවා වැඩපිළිවෙළක් හදන්න කියලා. ඒක තාමත් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක මත ගැටීමක් විදියට සලකන්න ඕන නම් එහෙම ගන්න.
ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යටගැසීම සඳහා ඒකාබද්ධ විපක්ෂය නොයෙක් කරුණු සමාජගත කරන බවට චෝදනාවක් එල්ල වෙනවා. උදාහරණයක් විදියට ගොවි ජනතාව මුහුණ දී තිබෙන ගැටලු සම්බන්ධව අවධානයක්
යොමු නොකර ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ප්‍රකාශවලට උත්තර බැඳීමක් පමණක් සිදු කරන බවට පැවසෙනවා?
ඒ වගේ ප්‍රශ්නයක් තිබෙනවා තමයි. ඒකාබද්ධ විපක්ෂයට වැඩපිළිවෙළක් තිබෙනවා නම් කටයුතු කරන්න තිබුණා. ගම්මිරිස් ගොවියන්ගේ ප්රශ්නය ගැන අපි උද්ඝෝෂණයක් පැවැත්වුවා. ඒ ගැන කරුණු පැහැදිලි කිරීමට ජනමාධ්‍ය සාකච්ඡාවකුත් තිබුණා. මොකවත් නොකරනවාම නෙමෙයි. වැඩපිළිවෙළක් නැතිකමේ අඩුව තමයි ප්‍රශ්නයක් විදියට තියෙන්නේ.
ඔබතුමා අදහස් කරන වැඩපිළිවෙළ මොකද්ද?
ගොවියන්ට බලපාන කරුණු, ධීවරයන්ට බලපාන කරුණු, අනෙකුත් ක්ෂේත්රවලට බලපාන කරුණුවලට විසඳුම්, මේ ආණ්ඩුවට අපි කරන යෝජනා හා අදහස්වලින් සමන්විත වැඩපිළිවෙළක් අවශ්‍යයි. ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් දෙන යෝජනා ඇතුළත් කිරීමට නිරන්තරව අපි වගබලා ගන්න ඕන. උදාහරණයක් විදියට ධීවරයන් හා ගොවියන් පමණයි මම සඳහන් කළේ. ඊට අමතරව කම්කරුවන්, ගුරුවරුන්, ශිෂ්‍යයන්, වෛද්‍යවරුන් ඇතුළු සියලුම ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. එම පාර්ශ්ව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සෙවිය යුතුයි. ඒ සඳහා මාර්ගය අපි පෙන්විය යුතුයි. ආණ්ඩුවට එවැනි ඕනකමක් නැහැ. ඒකාබද්ධ විපක්ෂය විදියට අපි නිතරම බලන්න ඕන ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ කොහොමද කියලා.
ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතිපතා රැස්වෙලා සාකච්ඡා කරනවා. මේ කියන අවස්ථාවලදී ඔබතුමා ඔය කියන යෝජනා ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබුණෙ නැද්ද?
අවස්ථා ලැබෙනවා. අදහස් ඉදිරිපත් කරනවා. නමුත් මේ දක්වා වැඩපිළිවෙළක් සකස් කරගන්න බැරි වුණා. එම වැඩපිළිවෙළ එළිදක්වලා නැහැ. හිටපු ජනාධිපතිවරයා කියා තිබුණා මහින්ද චින්තය යාවත්කාලීන කිරීමයි කළ යුත්තේ කියලා. ඒ කියන කතාවේ ඇත්තක් තිබෙනවා. මහින්ද චින්තනය අදට ගැළපෙන පරිදි සකස් කිරීම කළ යුතුයි.
ජනාධිපති අපේක්ෂකයන් ගැන සමාජයේ අදහස් පැතිරෙනවා. ඒ ඒ පක්ෂවලින් ඉදිරිපත් වෙන පුද්ගලයන් ගැන, ඉදිරිපත් කළ යුතු පුද්ගලයන් ගැන කියවෙනවා. එතැනදී ඔබතුමා මොනවගේ ස්ථාවරයකද ඉන්නේ?
සමාජයේ කතාබහ ගියාට ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුද කියා ඒකාබද්ධ විපක්ෂය තවම තීරණයක් ගෙන නැහැ.
බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ ගැන ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් කතා වෙනවා?
ඒ නම් දෙකම ඇහෙන්න තියෙනවා. නමුත් තීරණයක් අරන් නැහැ. ඔවුන් දෙදෙනා පමණක් නොවෙයි චමල් රාජපක්ෂ පසුපස යන අයත් ඉන්නවා. ඒ අනුව තිදෙනෙකු පසුපස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු යනවා.
මේ හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ බෙදීමක් හට නොගන්නා බවට ඔබට දිය හැකි සහතිකය මොකද්ද?
එහෙම තුන්දෙනෙක් පසුපස මන්ත්‍රීවරු යනවා නම් බෙදීමක් ඇතිවෙනවා තමයි. එවැනි බෙදීමක් තියෙන නිසා සාකච්ඡාවක් අවශ්‍යයි. බෙදීමට හේතු වන කාරණා සාකච්ඡාවට ගත යුතුයි.
මැතිවරණයට තවත් අවුරුදු එකහමාරකට වැඩි කාලයක් තිබියදී ජනාධිපති අපේක්ෂක මාතෘකාව සමාජය ඉදිරියට ගෙන ඒම සුදුසුද?
ඒක එතරම් වැදගත්කමක් නැහැ මේ වෙලාවේ. ආණ්ඩුවේ ගමන අවසන් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ ඇතුළෙ සිටින මන්ත්‍රීවරුන් ඒකාබද්ධ විපක්ෂයට ඇදලා ගන්න ඕන. ඒ සඳහා කළ හැකි සෑම දෙයක්ම කරන්න ඕන. මේ ආණ්ඩුවේ ගමන අඩාළ වන විදියට වැඩ කරන්න වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න ඕන. ආණ්ඩුවක් ගත් පසුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් සමාජයට ඉදිරිපත් කරන්න ඕන. අපේ ආණ්ඩුවකදී වැඩ කරන්නේ මෙහෙමයි කියලා ජනතාවට අවබෝධයක් ලබා දෙන්න ඕන. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අණ්ඩුවේ ඉන්න මැතිඇමතිවරුන්ට අපි ආරාධනා කරන්න ඕන. 16 දෙනාට අතිරේකව තවත් අය එකතු කර ගන්න ඕන.
ආණ්ඩුවේ සිටින මැතිඇමතිවරු ඔබ ඔය කියන වැඩපිළිවෙළ පිළිගෙන එන්න සූදානම් කියලද හිතන්නේ?
එම මන්ත්‍රීවරුන්ගේ දේශපාලන ස්ථාවරත්වය වෙනස් කරගෙන තමයි එන්න වෙන්නේ. ආණ්ඩුවේ සිටියදී දරන දේශපාලන ස්ථාවරයේ ඉඳගෙන ආණ්ඩුවෙන් එළියට එන්න බැහැ. එම මතය වෙනස් කරගන්න ඕන.
ඔබතුමාගේ පක්ෂය ඇතුළුව වාමාංශික පක්ෂ එකමුතුව මේ දිනවල මොනවද කරන්නේ?
අපේ පක්ෂය ඇතුළත් සමාජවාදී ජනතා පෙරමුණ ජනමාධ්‍ය සාකච්ඡා තියන එක විතරයි කරන්නේ.
ඒ කියන්නේ වමේ දේශපාලන පක්ෂවලට වෙනත් දේශපාලනයක් නැහැ කියන එකද? පැරණි වමේ දේශපාලන නායකයන්ට මොකද වුණේ?
ඒ පක්ෂවලට අද තියෙන හැකියාව නිසයි එහෙම වෙලා තියෙන්නේ. අවංකව ඒකනේ ඇත්ත. එම පක්ෂවලට අතීතයේ තිබුණු ප්‍රතිපත්ති ඔක්කොම තිබෙනවා. නමුත් අපි දැන් ප්‍රධාන වශයෙන් කරන්නේ අපේ පක්ෂවලට ආවේණික වැඩ කරගෙන යන අතර සතිපතා ජනමාධ්‍ය සාකච්ඡා පවත්වන එකයි.
අන්තිමේදී වමේ නායකයන් ජනප්‍රියවාදී දේශපාලන රැල්ලට එකතු වුණා නේද?
අපි පුළුවන් තරම් ජනප්‍රිය වෙන්න ඕන. නැත්නම් ආණ්ඩු බලයක් ගන්න බැහැ.