සමාජවාදය සහ ධනවාදය මිශ්‍ර කළ ආර්ථික මොඩලය


15වැනි කොටස

බංග්ලාදේශය පසු කරනු ලැබූ පසුගිය වසර 50ක කාලය තුළදී රටේ ආර්ථික සංවර්ධනය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පුළුල් වී ඇති බව රහසක් හෝ අතිශෝක්තියක් නොවේ. මුජීබ් විසින් හඳුන්වා දෙනු ලැබූ ආර්ථික ප්‍රතිපත්තිය කාලානුරූපීව වෙනස්වන වෙළෙඳපොළ හඳුනා ගනිමින් රටේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා මූලිකත්වය දී ඇත. එය ශක්තිමත් ආදායම් වර්ධනයකට දායක වී ඇති අතර එමගින් යටිතල පහසුකම් මෙන්ම මානව සම්පත්වල දියුණුව සහ සමාජ ආරක්ෂණ ජාලය පුළුල් කිරීම සඳහා සැලකිය යුතු මට්ටමකින් ආයෝජනය කිරීමට රජයට හැකි වී තිබේ. රාජ්‍ය ක්‍රියාකාරකම්, පෞද්ගලික අංශයේ වර්ධනය, ආර්ථිකයේ විවිධාංගීකරණය සහ රාජ්‍ය නොවන සංවිධානවල සාධනීය ක්‍රියාකාරකම් නිසා දරිද්‍රතාව සැලකිය යුතු ලෙස අඩු වී ඇත.

සක්‍රීය ව්‍යවසායක පන්තියේ වර්ධනයත් සමගම කුඩා ගොවීන්ට සහ කාන්තාවන්ට රටේ ජාතික ආර්ථිකයට සම්බන්ධ වීම සඳහා අවස්ථා රාශියක් නිර්මාණය වී තිබේ. තොරතුරු තාක්ෂණ අංශයේ ආයෝජන පුළුල්වීම නිසා ආර්ථිකයේ සහ පරිපාලනයේ  විවිධාංගීකරණය සහ නවීකරණය සඳහා අසාමාන්‍ය ලෙස අවස්ථා රාශියක් බිහිවිය. එහිදී ගෘහස්ථ මට්ටමේ දුප්පත්කම අඩු කිරීමට හැකි වූ නමුත් සමාජ විෂමතා පුළුල් විය.

ආදායම්වල විෂමතාව වෙළෙඳ පොළ ආර්ථිකයන්හි පොදු ලක්ෂණයක් වන නමුත් රාජ්‍යයේ ආර්ථික ප්‍රතිපත්තියෙන් ජනතාවට හිමිවිය යුතු ආර්ථික අවස්ථා සහ ආදායම් නිවැරදිව බෙදීයාමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. මුජීබ්ගේ පරිපාලන කාලය තුළදී ජාතික ආර්ථිකයේ වර්ධනය සඳහා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ ඔහුගෙන් පසු විවිධ ප්‍රතිසංස්කරණවලට ලක්කරනු ලැබීය. මුජීබ් විසින් මූලිකත්වය දෙනු ලැබූ සමාජවාදී ආර්ථික මොඩලය ඔහුගෙන් පසු බලයට පැමිණි කොන්ඩකර් මොස්ටාක් අහමඩ්  ක්‍රමානුකූලව වෙනස් කළ අතර රටේ ආර්ථික සංවර්ධනය සඳහා බටහිර රටවල් සහ ඒවායේ වෙළෙඳපොළවල් ආකර්ෂණය කිරීමට හැකිවිය. මුජීබ් සහ ඔහුගේ මුදල් අමාත්‍යවරයා වූ තාජුදීන් අහමඩ් බටහිර රටවල් විසින් ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කළද නව නායකයා සහ ඔහුට සහාය වූ ෂියා වුර් රහ්මාන් එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කැමැත්තක් දැක්වීම මෙහිදී දැඩිව අවධාරණය කළ යුතු කාරණයකි.

සැබවින්ම මුජීබ් ඇතුළු පවුලේ සාමාජිකයන් සහ ඔහුගේ සේවකයන් සියල්ලම සමූල ඝාතනය කිරීම ගැන විවිධ පාර්ශ්වයන් විසින් එක්සත් ජනපදය වෙත චෝදනා එල්ල කරති. 1987දී ඉන්දීය රෝ ඔත්තු ඒජන්සියේ ප්‍රධානියා බවට පත් වූ ඒකේ වර්මා එහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු වශයෙන් සේවය කළ අවධියේදී  මුජීබ් ඝාතනය කළ හමුදාවේ කුමන්ත්‍රණය ගැන දීර්ඝ විමර්ශනයක් සිදු කළේය. අදාළ ඝාතන කුමන්ත්‍රණයෙන් මාසයකට පසු ජාතික ආරක්ෂාව සඳහා වගකිව යුතු විවිධ ඉන්දීය රජයේ ආයතන සඳහා වර්මා විසින් පිටු නවයක රහස් ලේඛනයක් කෙටුම්පත් කළේය. වර්මාගේ විග්‍රහයේදී, මුජීබ් මරා දැමීමෙන් පසු ජනාධිපති පදවියට පත් වූ මොස්ටාක් කුමන්ත්‍රණය සැලසුම් අාකාරය ගැන විස්තර කර තිබේ. සමස්ත කුමන්ත්‍රණ ක්‍රියාවලිය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සුවිශාල කාර්යභාර්යක් ඉටුකළ බව ඔහු අවධාරණය කර ඇත.

කෙසේ හෝ වේවා, පශ්චාත්-මුජීබ් පරිපාලනය ආරම්භ වූයේ සමාජවාදී දිශානතියෙන් ඉවත් වී පෞද්ගලික අංශය ගොඩනැගීම සඳහා ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පිළිපැදීමට පොරොන්දු වෙමිනි. ප්‍රතිපත්තිමය දිශානතියේ සිදු වූ මෙම තීරණාත්මක වෙනස වර්තමානය දක්වාම බලයට පැමිණි සියලුම පාලන තන්ත්‍රයන් විසින් අඛණ්ඩව අනුගමනය කර ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකිය. එක් පසෙකින් චීනය ප්‍රමුඛ කරගත් සමාජවාදී රටවල ක්‍රියාත්මක වූ රාජ්‍ය සංස්ථාවට ප්‍රමුඛත්වය ලබාදෙමින් ග්‍රාමීය නිෂ්පාදිත ආර්ථිකය දියුණු කිරීමේ ක්‍රමය සහ අනෙක් පසින් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුද විසින් ප්‍රවර්ධනය කරන පෞද්ගලික අංශයට මූලික තැන ලබාදුන් ආර්ථික ක්‍රමය යන අර්ථ ක්‍රම දෙක මගින් බංග්ලාදේශයේ ආර්ථික උපායන් ශක්තිමත් විය.

කෙසේ වෙතත් පළමු පරම්පරාවේ ව්‍යවසායකයන් පන්තිය ශක්තිමත් පෞද්ගලික අංශයක් බවට පරිවර්තනය කිරීමේ ප්‍රතිපත්ති සඳහා මුලින් රාජ්‍ය සංවර්ධන මූල්‍ය ආයතනවලින් සහ පසුව රාජ්‍ය හා පෞද්ගලික වාණිජ බැංකුවලින් තෝරාගත් ව්‍යාපාරිකයන් අතට ණය ලබා දීම සඳහා දැවැන්ත මහජන සහයෝගයක් අවශ්‍ය විය. එය මනාව කළමනාකරණය කිරීමට රාජ්‍ය බැංකු ක්‍රමය ශක්තිමත් කරනු ලැබීය. විවිධ දේශපාලන හැල හැප්පීම් නිසා ආර්ථිකය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය විවිධ සංකූලතාවලට මුහුණ දුන්නද එහි අරටුව ශක්තිමත්ව තබා ගැනීමට බලයට පැමිණි ආණ්ඩු දැඩි උත්සාහයක් ගත්තේය.

වත්මන් බංග්ලාදේශයේ ආර්ථික දියුණුව සඳහා පාදක වූ මුජීබ්ගේ දැක්මෙහි තිබූ ගුණාංග මොනවාද යන්න මෙහිදී විමසා බැලිය යුතුවේ. මුජීබ්ගේ දැක්මට වඩාත් අනුරූප වන පරිදි රටේ ආර්ථිකය ප්‍රතිනිර්මාණය කළ ප්‍රධාන ප්‍රතිපත්තිමය මැදිහත්වීම් පහක් මෙහිදී ඉදිරිපත් කළ හැකිය.

01. මූල්‍ය අංශයේ නියාමන විනය විශාල වශයෙන් ශක්තිමත් කිරීම. මනාව පරිපාලනය වන ඕනෑම රාජ්‍යක් විසින් පනවන ලද සම්බාධකවලට ණය පැහැර හරින්නන් නිරාවරණය කිරීම. එමගින් රටේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන කීර්තිය වැඩිදියුණු කිරීම සහ මංකොල්ලකරුවන්ට දේශපාලන රැකවරණය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම.

02.  සමාජ සාධාරණත්වය සහ වෙළෙඳ පොළ කාර්යක්ෂමතාව යන මූලික කාරණා දෙක මත පදනම්ව කුඩා හා මධ්‍යම ව්‍යවසායකයන් සහ ක්ෂුද්‍ර ව්‍යවසායකයන්ට වඩාත් හිතකර රාජ්‍ය ණය ක්‍රමවේදයක් නිර්මාණය කිරීම.

03. රටේ ප්‍රමුඛ කර්මාන්තය වන නිමි ඇඳුම් කර්මාන්තශාලාවල සේවය කරන කම්කරුවන්ට ඔවුන් සේවය කරන ව්‍යවසායන්හි හවුල්කරුවන් වීමට මුලදී මහජන අරමුදල් හරහා සහාය වීම. පසුකාලීනව බංග්ලාදේශය ඇඟලුම් කර්මාන්තයෙන් ශක්තිමත් වීම සඳහා මෙය ඉතා තීරණාත්මක ප්‍රතිපත්තියක් විය. 

04. රාජ්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් ඊට අදාළ මහා පරිමාණ ආයෝජන සඳහා වැඩි අවධානයක් යොමු කිරීම.

05. මැතිවරණයට තරග කිරීම සඳහා විශාල මුදලක් ආයෝජනය කළ හැකි අය විසින් ජාතික පාර්ලිමේන්තුවේ සිට පළාත් පාලන ආයතන දක්වා තේරී පත්වන ආයතනවල වැඩි වැඩියෙන් බලය අල්ලා ගැනීමත් සමග ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේදී එකිනෙක ඇසතු පෞද්ගලික ධනය ඉටු කළ බලපෑම්සහගත භූමිකාව ගැන මුජීබ් දැඩි සැලකිල්ලක් දැක්වීය. මුජීබ් තම දේශපාලන ජීවිතය පුරාම මෙම ප්‍රභූ ග්‍රහණයට එරෙහිව සටන් කරමින් තාජුදීන් අහමඩ් වැනි  නිහතමානී පුද්ගලයන්ට ඔවුන්ගේ ධනවත් විරුද්ධවාදීන්ට එරෙහිව මැතිවරණවලට මුහුණදී ජයග්‍රහණය කිරීමට හැකි පරිසරය නිර්මාණය කළේය.

මුජීබ්ගේ මෙම දුරදක්නා ප්‍රතිපත්තිවල අස්වැන්න බංග්ලාදේශය නෙළමින් සිටින්නීය. දූෂණ වංචා ඇතුළු අප්‍රසන්න පුරුදු රාජ්‍ය සහ පෞද්ගලික සංස්ථාවන් තුළින් සම්පූර්ණයෙන් පහව ගොස් නැතත්, බංග්ලාදේශය මේ වන විට ලබා ඇති දියුණුව ප්‍රශංසනීය වේ. දියුණු වෙමින් පවතින රටවලට ඉන් ඉගෙනගත හැකි පාඩම් රාශියක් තිබේ.

සේයාරූ - බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තය

සටහන - නිලන්ත ඉලංගමුව

පසුගිය කොටස කියවීම සඳහා පිවිසෙන්න - https://bit.ly/3qSTnlw



Recommended Articles