සමාජ මාධ්‍ය කියන්නේ ආගමක් නෙවෙයි


කලාව ඇයගේ නිවසේම තිබේ. කලාව තුළින් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් ඇය නමින් මාධවී ඇන්තනීය. ඇයගේ කලා දිවිය සහ තවත් කරුණු කතාබහ කරන්නට මෙවර ‘අද’ තරු කතාබහට අපි ඇයව මෙලෙස එක් කර ගත්තෙමු.

අලුත් තොරතුරු මොනවාද?

මේ දවස්වල ටෙලිනාට්‍ය දෙකක වැඩ කරගෙන යනවා. ඒ වගේම මම රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය දෙකක් විකාශය වෙන්න තියෙනවා. ගොඩක් වෙලාවට මේ මාසෙම පටන් ගනියි. මම සිංදු කිහිපයක් හදලා ඒවා එළි දක්වන්න හොඳම වෙලාව එනකල් තියාගෙන හිටියා. ඒක මගේ පළවැනි නිර්මාණය විදිහට එන එක කියලා කියන්න පුළුවන්. මොකද මම හපන් පැදුරේ සිටිනා විටනේ සිංදු හදලා තිබුණේ. ඒක නිසා අප්පච්චි මැදිහත් වෙලා හදපු පළවැනි නිර්මාණය විදිහට එය ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ එළි දක්වන්න ඉන්නවා. ඒකේ වැඩ ඔක්කොම ඉවරයි. මියුසික් වීඩියෝවත් කරලා ඉවරයි. කෝවිඩ් -19 පැමිණෙන්නත් කලින් තමයි ඒක ඉවර කළේ. නමුත් ගොඩක් කල් අතේ තියාගෙන හිටියා. ලබන අවුරුද්දේදී එය සුබ නිමිත්තකින් එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ යූ ටියුබ් චැනල් එකත් කරගෙන යනවා. ඒකේ කෑම හදනවා, ඒ වගේම තවත් විශේෂාංග ටිකක් සැලසුම් කරගෙන යනවා. ඒවා තමයි වැඩ කටයුතු.

යූ ටියුබ් චැනල් එක දැන් ගොඩක් ජනප්‍රිය වෙලා නේද?

ඇත්තටම ඔව්. පටන් ගත්තේ  කෝවිඩ් -19 පළවැනි රැල්ල කාලයේදී තමයි. ඒ කියන්නේ මැයි මාසයේදී වගෙයි. බොහෝම පුංචි කාලයක් ඇතුළත දී ගොඩක් දෙනෙක්ගේ ආකර්ෂණයත් ලැබුණා. ගොඩක් දෙනාගේ හිත දිනා ගන්න ලැබුණා. Subscribes ලක්ෂයකට සෑහෙන්න අඩු ප්‍රමාණයක් තමයි දැන් තියෙන්නේ. මම හිතාගෙන හිටියෙත් නැහැ එහෙම දෙයක් වෙයි කියලා. මට මේ දේ පටන් ගත්තාම දැනිච්ච දෙයක් තමයි මේක පුද්ගලිකවම මැදිහත් වෙන්න පුළුවන් මාධ්‍යයක් බව. චැනල් එකක දෙයක් විකාශය වෙනවා වගේ නෙමෙයි. මේක මගේ කියලා හැඟීමක් තියෙනවා. ඒකේ අධිකාරියක් මට හිමි වෙනවා. ඒකේ ප්‍රචාරය කරන්න ඕනේ මොනවද කියලා තීරණය කරන්න හැකියාවක් තියෙනවා වගේම මට ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා. ඒක නිසා මාත් එක්ක ඉන්න පිරිසත් ඉහළින් අගය කරනවා වගේම, මගේ හැකියාවන් ඒ හරහා ඉදිරිපත් කර ගැනීමටත් හැකියාවක් ලැබීම පිළිබඳවත් සතුටු වෙනවා.

චැනල් එකේ පටන් ගැනීම ම තියෙන්නේ සැමියා වෙනුවෙන් හදන කේක් එකක් නේද?

ඇත්තටම ඒක හරි ලස්සන කතාවක්. මට මෙහෙම දෙයක් කරන්න කිසිම අදහසක් තිබුණේ නැහැ. හැබැයි හැමදාම මම කරන දේවල් දන්න කියන දෙයක් තමයි ඒක. මොකද මම උයන්න දන්නවා, අත්වැඩ කරන්න දන්නවා. මැහුම් ගෙතුම්, කේක් හදන ඒවා වගේ දේවල් ආසාවෙන් කරන කෙනෙක්. ඉතිං මේකේ මුල වෙන්නේ, මම කවදාවත් Fondant අයිසින් කේක් එකක් හදා තිබුණේ නැහැ. මිලාන්ගේ උපන් දිනයට මට ඕන වුණා ඒ කේක් එකක් හදන්න. හැදුවෙත් එයා ආසම Star Wars චිත්‍රපටයේ ඉන්න Yoda කියන චරිතයයි. ඉතිං ඒක හදන විදිහ මල්ලිලා බලන් හිටියා. සජිත මගෙන් ඇහැව්වා ආයේ මේක හදන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ දවසක් දාගෙන එදාට කැමරාවක් අරං ඇවිල්ලා මේක කරමු කියලා කිව්වා. නමුත් එහෙම එකක් කරන්න මට උවමනාවක් නොතිබුණාට, ඒක කරවන්න මිලාන්ට හා රැෆෙල්ලා ප්‍රනාන්දුට ලොකුම උවමනාවක් තිබුණා. මම විශ්වාස කරේ නැහැ මට එහෙම කරන්න අවශ්‍යයි කියලා. ආයේ කේක් එක හැදුවා. ඉතිං එක කැමරා එකකින් ජීවන් විජේසිරි මල්ලියි, අපේ සජිත මල්ලියි වීඩියෝ කළා. ඒක හරි ලස්සනට ආවා. ඒ දර්ශන දකින කොට මට හිතුණා, මේ වැඩේ ඇත්තටම මරු නේද?, මීට වඩා වැඩ කරන්න පුළුවන් නේද? කියන දේ. මිලාන් මට වඩා උද්‍යෝගමත් වෙලා මට ඔක්කෝම බඩු ටික අරන් දුන්නා. ඉතිං එදා ඉඳන් මගේ චැනල් එකේ වීඩියෝ කටයුතු වගේම ප්‍රඩක්ෂන් කරන්නේ ඔක්කෝම එයා. ඒ වගේම අප්පච්චිගේ ඇසිස්ටන්ට් මල්ලි කෙනෙක් ඉන්නවා ඉරේෂ් ලක්මාල් කියලා. එයා සහ මිලාන් එකතු වෙලා තමයි මගේ යූ ටියුබ් චැනල් එක කරගෙන යන්නේ. අකිල ඉන්න ගෙදර කරන රූගත කිරීම්වලට අකිලත්, අම්මත්, ඒමි නංගිත්, බුවීත් උදව් වෙනවා. අප්පච්චි බලන් ඉඳලා අපිව අධීක්ෂණය කරනවා.

සමාජ මාධ්‍ය භාවිත කරන කෙනෙක් විදිහට මේ පිළිබඳව දකින්නේ කොහොමද?

ඇත්තටම කිව්වොත් ඒක අපි අවුස්ස ගත්ත නැති යකෙක්. අපි යකාගෙන් වැඩ ගන්න දන්නේ නැහැ. මේක ඉතාමත් හොඳ මාධ්‍යයක්. මම යකා කියන්න හේතුව තමයි, ඒක ඒ විදිහට හැසිරෙන්නත් පුළුවන්.

ඒක හරි විදිහට කළමනාකරණය කළේ නැත්නම්, අවශ්‍ය නැති පුද්ගලික ජීවිතයේ හැමදේම මේක තුළ දාලා විනාශ කර ගන්න පුළුවන්. ඒත් ඒක හොඳට කළමනාකරණය කරන්න පුළුවන් ලස්සන දෙයක්. සමාජ මාධ්‍ය තුළ අපේ දක්ෂතාව තුළ යම් කිසි දෙයක් කරනවා නම් ඒක ලෝකේ ඕනෑම කෙනෙකුට පේනවා සහ බලන්න පුළුවන්. ඒක කොච්චර ලොකු දෙයක්ද? මිනිස්සු විදිහට තමන්ගේ දක්ෂතාව පෙන්වන්න පුළුවන් හොඳම තැනක් තමයි මේ සමාජ මාධ්‍ය කියන්නේ. රටේ හැමදේටම සමාජ මාධ්‍ය දැන් නැතුවම බැරි දෙයක් බවට පත් වෙලා තියෙන්නේ. අපේ බහුතරයක් මේකේ තියෙන බර දන්නේ නැහැ. ඇත්තටම මේකේ වටිනාකමක් තියෙනවා කියලා දැන ගන්න ඕනේ. අපි මේක අලුතින් ඉගෙන ගත්ත දෙයක්නේ. අපි ඉපදුණේ සමාජ මාධ්‍ය එක්ක නෙමෙයිනේ. නමුත් ඒක එක්ක ඉපදිච්ච අය මේක හොඳ විදිහට භාවිත කරයි. ලෝකේ ඉන්නේ සමාජ මාධ්‍ය භාවිතයෙන් බිහි වෙච්ච තරු. ‍බුද්ධිමත් කෙනෙකුට මේක හොඳ මෙවලමක්. ඒත් සමාජ මාධ්‍ය කියන්නේ ආගමක් නෙවෙයි. ඒක නාළිකාවක් පමණයි. ඒ වගේම මේ නාළිකාවට වග කියන කෙනෙක් නෑ. රැඟුම් පාලක මණ්ඩල නෑ. බලධාරීන් නෑ. මොළයක් නෑ. හදවතක් නෑ. ඒ නිසා ඒවා පාවිච්චි කරන අපි ස්වයං වාරණ, පාලන කරගන්න ඕනෙ. කියන්නා කෙසේ කිව්වත් අසන්නා, දකින්නා, කියවන්නා සිහි බුද්ධියෙන් ඒවා ගන්න ඕනෙ. මානුෂීයව දකින්න ඕනෙ. කාලීන උදාහරණයක් ගත්තොත්, කෝවිඩ් - 19 නැමැති ශ්වසන වෛරසයට ගොදුරු වුණා කියා හෝ නිරෝධායනයට ලක්වුණු සෙසු අය ගැන සමාජ මාධ්‍යවල ප්‍රකාශ වුණු පළියට ඒවා අදහන එක වැරදියි. ඒ වගේම ඇත්තටම එහෙම වැලඳිලා සුවපත් වුණු අය ගැන සති දෙකකට, තුනකට පසුවත් අවඥාවෙන් ඔවුන් දෙස බලන එක, ඒ අය යම් නීති විරෝධී දෙයක් හෝ වරදක් කළ අය ලෙස සමාජයෙන් කොන් කිරීම වගේ දෙයක් සිදු වෙනව නම්, ඒක ෆේස් බුක් එකේ වරදක් නෙවෙයි. එය මිනිස්සුන්ගේ මනුස්සකම පිළිබඳවත්, බුද්ධිය පිළිබඳවත් ප්‍රශ්නයක්. කෝවිඩ් වැලඳුණු කෙනෙකුට සති දෙකක් ගතවුණු පසුව PCR පරීක්ෂණයක් වත් කරන්න ඕනේ නෑ කියලයි වෛද්‍යවරු කියන්නේ. එහෙම එකේ ඇතැම් අය දිවි නහගන්න තැනට පත් කරන්න තරම් සමාජය කුරිරුයි නම්, ඒ කෝවිඩ්වලට වඩා ඉතාම දරුණු ආසාදනයක් ආත්මගත වෙලා නිසයි. ඒ ගැන එවැනි අමානුෂික අය බය වෙන්න ඕනෙ. ඔවුන් පව් සිදු කර ගන්න බය වෙන්න ඕනෙ. හේතුව පව් හෝදලා යවන්න බේතක් හොයා ගන්න බැරි නිසා. සුළුතර පිරිසක් හිතින් රෝගී වෙලා ගත ආරක්ෂා කර ගන්න උත්සහ කරනවා. හිත කෙලෙසිලා නම් තේරුමක් නෑ. එහෙම අයට සමාජ මාධ්‍ය වගේ modern තාක්ෂණයක් කැප නෑ. ඉතිං අපේ සමාජයට "ආදරේ ඕනෑ කෙරේ"

ඉදිරි කටයුතු සහ බලාපොරොත්තු?

ඉදිරියේදී තවත් අලුත් සිංදුවක වීඩියෝවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ ඕඩියෝ එක කරලා ඉවරයි. ඒක තමයි මගේ අලුත්ම වැඩේ. ඊට අමරතව අලුත් සිංදු හදන්න බලාපොරොත්තු වෙනවා. යූ ටියුබ් එකේ දැනට කරන්නේ විනෝදාංශයට කරන Cooking දේවල් විතරයි. ඒත් තවත් මට විනෝදාංශ සහ ආස දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම මගේ මතවාද ඉදිරිපත් කරන්න, මම ඉගෙන ගත්ත දෙයක් නිර්මාණාත්මක විදිහට ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මොකද මම බාහිර කථිකාචාර්යවරියක් විදිහටත් කටයුතු කරන නිසා ඒ දේවල්වලට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ Lock Down තත්ත්වයත් එක්ක ගොඩක් අය අන්තර්ජාලය ඔස්සේ ඉගෙන ගන්න දේවල් හොයනවා. ඉතිං මට තියෙන දැනුමෙන් ඒ අයට ඉගෙන ගන්න දෙයක් කරන්න මේ මාධ්‍යයන් භාවිත කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ලබන අවුරුද්දේ වැඩ පටන් ගන්න ටෙලි නාට්‍ය, චිත්‍රපට කිහිපයක්ම සැලැසුම් කරගෙන ඉන්නවා. දැන් තියෙන වාතාවරණය විසඳිලා ගිහිල්ලා හැමෝම නිරෝගීව අලුත් අවුරුද්ද පිළිගන්න පුළුවන් වේවි කියලා බලාපොරාත්තු වෙනවා. හෘද සාක්ෂියට අවංකව හරි දේ කරමින් වැඩ කටයුතු කරන්න. මොකද ඒ දේවල් අපිට පාලනය කරන්න පුළුවන් දේවල් නෙමෙයි. සමාජයට වගකීම් සහගතව ඉන්න සහ වැදගත් දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - සංකල්ප බණ්ඩාර



Recommended Articles