අප්‍රේල් පළමුවැනිදාට යෙදෙන මෝඩයන්ගේ දිනය සැමරීම සඳහා දෙහිවල මුහුදු තීරයේ දැවැන්ත උත්සවයක් සංවිධානය කරතිබෙනු දැකීමෙන් පස්වනක් ප්‍රීතියෙන් පිනාගියෙමි. මතක ඇති කාලෙක කවුරුන් හෝ කළ බුද්ධිමත්ම වැඩේ යැයි මම කොළයක ලියා පොතක් ඇතුළේ දැමීමි.
උත්සවයට සහභාගි වීම සදහා පූර්ව දැනුම්දීමක් කර ආසන වෙන් කරගත යුතුයැයි දන්වා තිබූ බැවින් මම දුරකථන ඇමතුමක්ගතිමි.
"මේ පාර්ටියට සහභාගි වෙන්න නම් තමන් මෝඩයෙක් කියලා ඔප්පු කරන්න ඕන මුලින්ම. දැන් සර් කියන්න බලන්න ජීවිතේදි කරපුමෝඩම වැඩේ?"
මට හිනාවක් පහළ විය. මා කළ ඕනෑම වැඩක් බය නැතුව කියන්න ජීවිතේ ප්‍රථම වතාවට අවස්ථාවක් ලැබිණි.
"මම කසාද බැන්දා"
"අයියෝ සර්, ලෝකෙ හැම එකාම කරන ඒව කරලා හරියන්නේ නෑ. හැමෝම කරන්නෙ නැති එකක් කියන්න"
"මම දික්කසාද වුණා"
"සර්, දික්කසාද වෙලා දෙවෙනිපාරටත් බැන්දෙ නැත්තම් තාම මෝඩම වැඩේ කරලා නෑ. හරි කමක් නෑ මෝඩ වැඩ දෙකක් කරලාතියෙන හින්දා අවස්ථාවක් දෙන්න බලන්නම්. ඒත් තරගකාරීත්වය හොඳටම වැඩියි. වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා"
පාර්ටියේ සංවිධායක කියාගෙන ගියේය.
"එතකොට දැනට කී දෙනෙක් විතර ඉල්ලුම් කරලා සුදුසුකම් ලබලා තියෙනවද ඊළඟ වටයට?" මම ඇසීමි.
"හැට නවලක්ෂයක්!" කියූ ඔහු දුරකථනය විසන්ධි කළේය.
හට නව ලක්ෂයයි මායි විතරක් ඉල්ලුම් කරන්න හේතුව මට සිතාගත නොහැකි විය. පසු දින මම නැවත කතා කළෙමි.
"සර්, දැන් නම් තත්ත්වය බරපතළයි. ඊයේ තව ලක්ෂ අනූ තුනක් ඉල්ලුම් කළා. මේවෙනකොට ලක්ෂ එකසිය හැට දෙකක් ඉල්ලුම්කරලා තියෙනවා පාටියට එන්න. මුන් කරලා තියෙන මෝඩ වැඩේ හැටියට අවස්ථාව නොදීත් බෑ"
වෙනදට එක එක පාර්ටිවලට බෙදිලා හිටියට හරි දවසෙදි ලංකාවේ ඡන්දදායකයෝ ඔක්කොම තමන්ගේ අයිතිය වෙනුවෙන් පෙනීසිටිනවා කියන්නේ ධනාත්මක ලක්ෂණයකි.
ඊළඟ දිනයේදී සංවිධායකයන්ගෙන් මට ඇමතුමක් ලැබිණි.
"සර්, අපි මෝඩ දිනය ඔන්ලයින් සමරන්න තීරණය කළා. කෝටි එකහමාරක් දෙහිවල වැල්ලට දාන්න බෑනේ. එහෙනම් ඔක්කොමදාන්න වෙන්නෙ මුහුදට තමා. මොකද හැමෝගෙම මෝඩකම් ගොඩක් සමාන නිසා, මෝඩයෝ කීප දෙනෙකුට විතරක් අවස්ථාවදීලා රටේ බහුතරයක් මෝඩයන්ගේ හිත් රිද්දන්න හොඳ නෑනේ"
මට මෝඩ සංවිධායක ගැන සංවේගයක් උපණි.
"දැන් මෝඩ දිනයට ඔහෙලා සංවිධානය කරන ඉවෙන්ට් මොනවද?" මම ඇසුවෙමි.
"ලක්ෂ එකසිය හැටතුනටම සහභාගි වෙන්න පුළුවන් එක ඉවෙන්ට් එකක් අපි හදලා තියෙන්නේ" සංවිධායක ආඩම්බරයෙන් කීය.
"ඒ මොකක්ද?" එයට සහභාගි වීමේ නොතිත් ආසාවෙන් ඇසීමි.
"මුකුත් නෑ. ඒ තරගෙදි කරන්න තියෙන්නේ වෙනදා කරන වැඩ ටිකම කරලා දවස ගෙවලා දාන්න"
"ඉතිං ඒක කොහොමද අමුතු වැඩක් වෙන්නේ" මට පැනයක් නැගිණි.
"අමුතු නෑ. ඒ වුණාට ඒක තමයි මෝඩම වැඩේ"
"තව මොනවද තරග තියෙන්නේ" මට අභියෝගාත්මක මෝඩ වැඩක් කිරීමට අවශ්‍ය විය.
"හරි. ඒකට විශේෂ තරග තියෙනවා. අංක එක. සීනිවලට තිබුණු රුපියල් පනහේ බද්ද අයින් කරලා බද්ද සත විසි පහට අඩු කළත්සීනි මිල රුපියල් පනහකින් අඩු නොවීම සාධාරණීකරණය කරලා පෙන්නන්න ඕනේ"
"අම්මෝ. හරිම අසාධාරණයි. මෝඩ අපි කොහොමද ඔච්චර ලොකු ගණන් හදන්නේ. ඕකට නම් අයින්ස්ටයින්වත් ඕන වේවි" මමඅපැහැදීම ප්‍රකාශ කළෙමි.
"තරග අංක දෙක. ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 47වූ විට, යම් පනතකට පක්ෂව ඡන්ද 22ක්, විපක්ෂව 11ක් හා භාවිත නොකළ ඡන්ද 14ක් තිබියදී, 25ක් පක්ෂව ඡන්දය දී නැතැයි යන මතය උඩ ජයග්‍රාහකයා පරාද යැයි නිගමනය කර තිබීම දත්තය ලෙස ගෙන,
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 162ක්ව තිබියදී විපක්ෂව හා පාවිච්චි නොකළ ඡන්ද ප්‍රමාණය ලක්ෂ 93ක් වුවද, ලක්ෂ 69ක් ලබාගත් පුද්ගලයා ජයග්‍රහණය කළ බව, ජිනීවා ප්‍රමේයය අනුව සාධනය කර පෙන්වන්න"
එය අසා සිටි මගේ තොල කට වියැළුණි.
"තමුසෙලාට ඔල්මාදෙද ඕයි? මෝඩ නෙමෙයි ඔහේලට පිස්සු. ඔය ගණන්වල කිසි වැරැද්දක් නෑ. ඒක තේරුම්ගන්න බැරි තරම්අපි මෝඩ නෑ. බොරු නම් අහනවා ඕන මෝඩයෙක්ගෙන්" මම දොස් කීමි.
"හරි හරි. එහෙනම් තුන්වෙනි එක. සිංහරාජේ හෝ වෙන කොහේවත් කැලෑ කැපෙන්නෙ නෑ කියලා ඔප්පු කරලා පෙන්වනවකෝඑහෙනම්"
"සිංහරාජේ කියන්නෙ මොකක් ද?"
"මට හිතෙන්නේ මහත්තයට හොඳටම සුදුසුකම් තියෙනවා වසරේ හොඳම මෝඩයාට හිමි කුසලානෙටත් අයදුම් කරන්න"
"ඒ තරගෙට පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුත් සහභාගි වෙනවද මල්ලි?"
සුරත් ද මැල්