වර්ෂ 1988ක් වූ පෙබරවාරි මස 16වැනි දිනට හිරු උදාවූයේ අඳුරු දුම් වලාවන් මෙරට නිල් අහස සිඹින අතරේය. දිනය අඟහරුවාදාවක් විය. මුළුමහත් රට නොතිත් භීතියකින් ගිණි දළු ලා ඇවිළෙමින් තිබිණ. ළා හිරු ක්‍රමයෙන් සැඬ වී දහවල් මැදියමට ළඟා වූවේය. දහවල් දොළහ පසුවී මිනිත්තු විස්සක් ගතවෙත්ම කොළඹ අහස දෙදරුම් කන්නට විය. නොනැවතී ගලා ආ වෙඩි උණ්ඩ වරුසාවකින් මාහැඟි මිනිසෙකුගේ සිනහව අකල්හි උදුරාගෙන තිබිණි. සොබාදහම මොහොතක් නිහඬ වූවාක් මෙනි. මිහිකත රක්ත වර්ණයෙන් දිලිසිණ. එපමණකින් සුවහසක් රසික හදවත් සුවපත් කළ සිහල සිනමාවේ සිහින කුමරු සිය දිවිසැරිය අහවරකොට තිබිණි. මානවවාදී මිනිසෙක්ගේ උත්තුංග දේශපාලනික හෘදසාක්ෂිය එයින් නිමා විය. ආචාර්ය සරත් අමුණුගම මේ සාහසික ඝාතනය අරුත් ගැන්වූයේ 'සමනලයෙකුට වෙඩි තැබීමක්' ලෙසය. සමනලයා කිසිවෙකුට වරදක් නැති ප්‍රියශීලී අහිංසකයෙකි.
'විජය කුමාරණතුංග' තවමත් මෙරට සිනමාවේ සිහින කුමරාය. ප්‍රතිපත්තිගරුක දේශපාලනයේ මුදුන් මල්කඩකි. මෙසිරිලක සංස්කෘතික සමාජයේ භූමිකා කිහිපයකට පණ පෙවූ විජය වසර 42කුත් මාස කිහිපයක් ගතවෙත්ම පාපී සමාජයේ ගොදුරක්ව දිවි රඟ මඬලින් නික්ම ගියේය. බෙන්ජමින් කුමාරණතුංග සහ බියට්‍රිස් කුමාරණතුංග මව්පිය යුවළට දාව කෝවිලගේ විජය කුමාරණතුංග වර්ෂ 1945ක් වූ ඔක්තෝම්බර් මස 09 වැනිදාවක පවුලේ ළාබාලයා ලෙස රාගමදී ජන්ම දායාදාය ලැබීය. පියා ගම්මුලාදෑනි වූ අතර, විජය එක් සහෝදරයෙක්ගේ සහ සහෝදරියන් තිදෙනෙකුගේ සෙනෙහස ලැබීය. සීදූව මහා විද්‍යාලය, කඳාන ද මැසනද් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාල විජයගේ අධ්‍යාපනික වපසරිය පුළුල් කළේය. පාසල් අධ්‍යාපනය අහවරව පොලිස් සේවයට එක්වීමේ අභිලාසයෙන් පසුවුවද විජය සිනමාවට එක්වනුයේ දෛවෝපගත ලෙසිනි.
නව සිනමා නිර්මාණයකට නවක නළු නිළියන් අවැසි බව දන්වා සරසවිය පුවත්පතෙහි පළවූ දැන්වීමක් අනුව විජයට රංගන වාසනාව පෑදිණ. එනයින් සුගතපාල ද සෙනරත් යාපාගේ 'හන්තානේ කතාවෙන්' දිගු විචිත්‍රවත් ගමනක පළමු පියසටහන තැබිණි. ඒ 1969 වර්ෂයේදීය. විජය ප්‍රධාන භූමිකාවකට පණ දුන් පළමු සිනමා සිත්තම හන්තානේ කතාව වුවත්, ඊට මත්තෙන් ඔහු රඟපෑ 'මනමාලයෝ' සහ 'රෝමියෝ ජූලියට් කතාවක්' යන සිනමාපට සිනමා ශාලා වෙත ආවේය. එහෙත් එම නිර්මාණවල විජය ප්‍රධාන නළුවා නොවිණ. එනයින් බලන කල්හී 'හන්තානේ කතාව' විජයගේ රංගන අභිෂේකය විය. සිනමාවට අවතීර්ණ වීමට මත්තෙන් 'සිතිජය' නම් ගීත නාටකයක රඟපෑමේ වරම විජයට ලැබී ඇත.
විජය අකල්හි දිවි හැර යන විට සිනමා සිත්තම් 114ක ප්‍රධාන භූමිකා සඳහා පණ දී තිබිණ. මෙරට ජනප්‍රිය සිනමාවේ මෙන්ම කලාත්මක සිනමා මංපෙත සැරසීමටද විජයගේ රංගන කෞෂල්‍යය හේතුපාදක වී තිබිණ. ජනප්‍රිය සිනමාවේ සුගතපාල ද සෙනරත් යාපා, යසපාලිත නානායක්කාර, සුනිල් සෝම පීරිස් ආදී සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සිට මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය ධර්මසේන පතිරාජ, සුමිත්‍රා පීරිස්, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ආදීන් දක්වාම විජයගේ රංගන ප්‍රතිභාව මහෝපකාරී විය.
'අහස් ගව්ව', 'එයා දැන් ලොකු ළමයෙක්' (1977), 'පොන්මනී' (1977), 'බඹරු ඇවිත්' (1977), 'මරුවා සමග වාසේ' ( 1977 ), 'අහසින් පොළොවට' ( 1979 ), 'ගඟ අද්දර' (1980), 'බැද්දේගම' (1980), 'පාර දිගේ' (1980), 'මහ ගෙදර' (1980), 'කරුමක්කාරයෝ' ( 1980 ), 'කැඩපතක ඡායා' (1989),'ක්‍රිස්තු චරිතය' (1990) ආදී සිනමා සිත්තම් විජයගේ කලාත්මක සිනමා මංපෙත එකළු වීමට හේතු විණ. ඔහු සිය සිනමා දිවියේදී 'ගෝඩ් කිංග්' නම් ඉංග්‍රීසි චිත්‍රපටියකට සහ 'නැංගුරම්' නැමැති දමිළ චිත්‍රපටියකටද දායකව දස්කම් පා ඇත.
මෙසිරිලක සිනමාවේ ස්වර්ණමය අවදිය විචිත්‍රවත් කළ 'රන් ඔන්චිල්ලා', 'අභිරහස', 'කේසර සිංහයෝ', 'හතරදෙනොම සූරයෝ', 'මේ දෑස කුමටද', 'තුෂාරා', %දුලීකා^, %සිකුරුලියා^, %සංගීතා^, %වාසනා^, %දියමන්ති^, %පෙම්බර මධු^, %අනුපමා^, %කුමර කුමරියෝ^, %හිඟන කොල්ලා^, %මොණරතැන්න^, %අංජානා^, %යසඉසුරු^, %මිහිඳුම් සිහින^, %නැවත හමුවෙමු^, %ජය සිකුරුයි^, %බිනරි සහ සුදු බණ්ඩා^, %පෙරළිකාරයෝ^, %ජය අපටයි^, %ඔබටයි ප්‍රියේ ආදරේ^, %රජ වැඩකාරයෝ^, %මමයි රජා^, %නොම්බර 17^, %දෑසේ මල් පිපිලා^, %මධුසමය^ ආදී සිනමා සිත්තම් ගණනාවකින් විජය මෙරට සිනමාලෝලී හදවත්හී සිහින කුමරා විය. විජය - මාලනී යුගයත්, විජය - ජෝති සුසංයෝගයත් එකල්හි මෙරට ජනප්‍රිය සිනමා ආලකමන්දාව එකළු කළහ.
විජයගේ සිනමා දිවිය සම්මාන, ඇගයීම් ගණනාවකින් යුතු විය. සරසවිය සිනමා සම්මාන එකොළහක්ද, ජනාධිපති, ස්වර්ණ සංඛ, රණ තිසර සහ OCIC සම්මානයෙන්ද ඔහු උපහාර ලැබීය. 1983 වර්ෂයේ සිට 1988 දක්වා අඛණ්ඩව වාර්තාගත ලෙස ජනප්‍රියම සිනමා රංගන ශිල්පියා ලෙස සරසවි සම්මානයෙන් පිදුම් ලැබීය. විජය 1990 වසරේ %කැඩපතක ඡායා^ සිනමා සිත්තමේ රංගනය නිමිත්තෙන් හොඳම නළුවාට හිමි ස්වර්ණ සංඛ සම්මානයෙන් පිදුම් ලබන විට දෛවෝපගත ලෙස ඔහු සිය දිවිසැරිය නිමාකොට තිබිණ. 'වරදට දඬුවම්' සහ 'සමාව' නමින් විජය සිනමා පට දෙකක්ද නිෂ්පාදනය කළේය.
ගායන ශිල්පියෙකු ලෙස සිනමා නිර්මාණ කිහිපයකටම සිය හඬ මාධුර්ය එක් කළ විජය නම් මහා කලාකරුවා ඒ උදෙසා දෙවතාවකදී සිනමා සම්මාන ඇගයීමට පාත්‍ර විය. එහෙත් අභාග්‍යය නම් ඒ ඇගයීම් දෝත දැරීමට එමතුදු ඔහු මිහි මත නොසිටීමය. 'සහරාවේ සිහිනය' චිත්‍රපටියට 'වළාකුළක් ගෙන මුවා කරමු හිරු' සහ 'දොළොස් මහේ පහන' චිත්‍රපටියට 'සාරා ගුවන විද නැගුන' වැනි ගී ගැයුම් උදෙසා 1990දී හා 1992දී හොඳම සිනමා පසුබිම් ගායනය උදෙසා සරසවිය සිනමා සම්මානය විජයට පිරිනැමිණි.
සිය ගණනක් වු ගීත ගැයූ විජය ගීත කැසට් 10ක්ද නිකුත්කොට තිබිණ. 'ආදරයක හැඟුමක් සිතෙහි', 'ගඟ අද්දර', 'කවුළුව අතරින්', 'වේදනා', 'දිනකර පායා', 'විජය ගී', 'සීත රැයේදී', 'මංගල නැකත', 'සුදු දුව', 'රූස්ස ගහ ළඟ', 'බලන්න අරුණ සමග', 'එක වරක් ඔබට මා එපා නම්', 'කරඹ යායේ', 'මිණි කිංකිණි හඬ පරදා', 'රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ', 'තව ටික දොහයි', 'පාට සරුංගල් වාගෙයි අපේ ජීවිතේ', 'සැරයටියෙන් අපි යනෙන තුරා', 'මහ ශාක්‍ය කුලේ' යනාදී මිහිරි සහ අර්ථපූර්ණ ගීත ගණනාවක් ඔහුගේ මධුර හඬින් ජීවය ලැබීය. ගැයූ කවර හෝ ගීතයකින් මුදල් ඉපයීමේ පිළිවෙතෙහි නොපිහිටි විජය සිය ප්‍රතිපත්තිගරුකභාවය සාක්ෂාත් කළේය.
උත්තුංග මානව ළැදි මිනිසෙකු ලෙස සමසමාජ පක්ෂයෙන් තම දේශපාලන දිවිය ආරම්භ කළ විජය අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 1977 මහ මැතිවරණයේදී කටාන ආසනයට තරග වැදී මනාප 19,738ක් ලබාගනු ලැබීය. 1982 ජනාධිපතිවරණයේදී හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ ජයග්‍රහණය සඳහා සටන් වැදිණ. එහෙයින්ම මැතිවරණයයෙන් අනතුරුව 'නැක්සලයිට් චෝදනා' මත විජය සිරගත කෙරිණ. 1983 අතුරු මැතිවරණය සඳහා මහර ආසනයෙනුත්, 1984 අතුරු මැතිවරණයේදී මින්නේරිය ආසනය සඳහාත් තරග කළද මානවාදී මිනිසෙකුගේ අපේක්ෂා සඵල කිරීමට මෙරට සමාජය කාරුණික වූයේ නැත. මරණය ඔහු කරා එන විට මහජන පක්ෂය නිර්මාණයකොට විජය එහි නායකත්වය ඉසිලීය. 1986 වර්ෂයේදී විජය ඇතුළු පිරිවර ඒ වන විට එල්.ටී.ටී. ඊ ත්‍රස්තයන්ට නතුව තිබූ උතුරේ යාපනයට යෑම ඔහුගේ දේශපාලන භූමිකාවේ කඩයිම් මතකයකි. සමාජ සංහිඳියාව අගය කළ මානවවාදී මිනිසෙකුගේ උත්තුංග බවට එය තවත් එක සුවිශේෂී නිදසුනක් පමණි.
මාලිනී ෆොන්සේකා, නීටා ප්‍රනාන්දු, ගීතා කුමාරසිංහ, ස්වර්ණා මල්ලවආරච්චි ආදී සුරූපී නිළි කතුන් සමග සිනමා රඟමඬල එකළු කළ විජය මියෙන විට චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග විවාපත්ව දරු දෙදෙනෙකුට පිය සෙනෙහස දැක්වීය.
විජයගේ අවමංගල අවස්ථාව විසල් ජන සහභාගීත්වයකින් පැවත්විණ. ලොවක් වසඟ කළ සිනහා සපිරි මුහුණ සඟවා තිබිණ. විජයගේ අවසන් මොහොත 1988 වර්ෂයේ පෙබරවාරි 21වැනිදාක යෙදී තිබිණ. අවමංගල උත්සවය සජිවීව රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරුණු අතර, මෙරට අවමංගල්‍ය උත්සවයක් එසේ විකාශනය කළ පළමු අවස්ථාවද එය විය. ඔහුගේ මරණයත් සමග පුද්ගලයෙක් ගිනි තබාගත් බව හා කිහිපදෙනෙකු දිවි නසා ගත් බවටද එවක කරුණු වාර්තා විය. සුවහසක් සිනමාලෝලීන්ගේ සමනල් සිහින සැබෑ කළ, උත්තුංග දේශපාලනික මානවයෙකුගේ මරණය සිදුවූ අඟහරුවාදාව %අඳුරු අඟහරුවාදා^ ලෙස පසු කලෙක නම් විණ.
සියල්ල අහවරව කලක් ගතවී ඇත. එහෙත් තවමත් මෙරට සංස්කෘතික සමාජයේ ජන මන පොඹයන සිනමා තරුව විජයය. 1997 වර්ෂයේදී විජය රඟපෑ අවසන් චිත්‍රපටය ලෙස 'ඇය ඔබට බාරයි' සිනමා ශාලා වෙත ආවේය. එයින් මතු විජයගේ සිනමා භූමිකාව අහවර විණ. එසේ තිබියදීත් තවමත් ජනප්‍රසාදිත සිනමා තරුව විජයමය.
බුල්නෑව ප්‍රදීප් රණතුංග