සබරගමුව විශ්වවිද්‍යාලයේ සහ වෛද්‍ය පීඨයේ ගැටලු විසඳන්නේ කවදාද?


අනුබද්ධ විශ්වවිද්‍යාලයක් ලෙස 1992 වර්ෂයේදී ආරම්භ වූ සබරගමුව විශ්වවිද්‍යාලය තුළ අද වනවිට ශිෂ්‍යයන් පන්දහස් පන්සීයකට ආසන්න පිරිසක් ඉගෙනුම ලබයි. බලන්ගොඩ, බෙලිහුල්ඔය ප්‍ර‘දේශයේ පිහිටි සබරගමුව විශ්වවිද්‍යාලය 1996 වසරේදී ජාතික විශ්වවිද්‍යාලයක් වශයෙන් නම්කර තිබෙන අතර, ආරම්භක අවධියේ පීඨ හතරකින් සමන්විත වූ විශ්වවිද්‍යාල කටයුතු අද වනවිට පීඨ හතක් දක්වා පුළුල් වී ඇත. එහෙත් ඊට සාපේක්ෂව විශ්වවිද්‍යාල යටිතල පහසුකම් හා ශිෂ්‍යයන්ගේ සුබසාධක කටයුතු ඉහළ දමා නොමැති බව ශිෂ්‍ය සංගම් සඳහන් කරයි. කොළඹ සිට කිලෝමීටර් 161ක දුරින් පිහිටි මෙම විශ්වවිද්‍යාලයට තේරීපත්වන සියලුමදෙනාට නේවාසික පහසුකම් ලබාදීමට මුලින් සැලසුම් කර තිබූ බවද ශිෂ්‍ය සංගම් පෙන්වා දෙයි. එහෙත් අද වනවිට ස්ථිර නේවාසිකාගාර පහසුකම් හිමිව තිබෙන්නේ හිෂ්‍යයන් දෙදහස් පන්සීයකට ආසන්න ප්‍රමාණයකටය. මේ අනුව වලව A B C හා සමනල නේවාසිකාගාරය තුළ ශිෂ්‍යයන් එක්දහස් පන්සීයකට අධික පිරිසක් නේවාසිකව සිටිමින් අධ්‍යාපනය හදාරනු ලබයි. මීට අමතරව සිංහරාජ 1, 2, 3, 4, 5 නේවාසිකාගාර තුළ ශිෂ්‍යයන් දහසක් පමණ රැඳී සිටී.


මෙම ගැටලුවට විසඳුමක් ලෙස කුලී පදනමින් ලබාගන්නා නිවාස තුළ ශිෂ්‍යයන් කණ්ඩායම් කිහිපයකට නේවාසිකාගාර පහසුකම් ලබාදී තිබුණත්, අධික පිරිසක් එකම ස්ථානයේ රඳවා තැබීම හා පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා ගැටලු රැසක් නිර්මාණය වී තිබෙන බවද ශිෂ්‍ය සංගම් පෙන්වා දෙයි. මීට අමතරව කුලී පදනම මත ලබාගන්නා සමහර නිවාස තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රමාණවත් තරම් ආරක්ෂාවක් නොමැති බවත්, මේ නිසා ශිෂ්‍යාවන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටින බවත් ශිෂ්‍ය සංගම් සඳහන් කරයි.

ලෝකාන්තය ආසන්නයේ සුන්දර පරිසරයක විශ්වවිද්‍යාලය පිහිටා තිබුණද, ප්‍රදේශයේ යටිතල පහසුකම් දියුණු නොවීම හා ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් නොවීම යන කාරණා නිසා විශ්වවිද්‍යාලය අවට සිසුන්ට මුදල් ගෙවා හෝ ආරක්ෂිත පහසුකම් සහිත ස්ථාන සොයාගැනීම දුෂ්කර කටයුත්තක් බවට පත්ව තිබේ. විශ්වවිද්‍යාලයට අමතරව විශ්වවිද්‍යාලයට අනුබද්ධ සබරගමුව වෛද්‍ය පීඨයේ පවතින ගැටලු නිසා වෛද්‍ය ශිෂ්‍යයන් එකසිය හතළිස් පස්දෙනෙකු ගැටලු රාශියකට මුහුණදී සිටින බවද වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සඳහන් කරයි.

වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමේදී ප්‍රමාණවත් මංමාවත් සකස් කළයුතු වුවත්, වෛද්‍ය පීඨයට ඇතුල් වීමට තිබෙන්නේ අඩි 10 පළලකින් යුත් මාර්ගයක් බවත් මේ නිසා විශාල බස් රථයක් හෝ විශාල වාහනයකට වෛද්‍ය පීඨයට ඇතුල් විය නොහැකි බවද ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පෙන්වා දෙති. වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සායනික පුහුණුවට රත්නපුර රෝහලට ගමන් කළයුතු අතර, වෛද්‍ය පීඨයේ සිට රත්නපුර රෝහලට පවතින දුර කිලෝමීටර් හතකි. ශිෂ්‍යයන්ට ගමන් කිරීමට කුඩා බස් රථයක් ලබාදී තිබෙන බවත් එම බස් රථයෙන් එක්වරකට ගමන් කළ හැක්කේ ශිෂ්‍යයන් තිස්තුන් දෙනෙකුට පමණක් බවද වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පෙන්වා දෙයි.

සායනික පුහුණුව තවම ආරම්භ වී නොමැති වුවත්, සතියකට දෙවරක් පමණ රෝගීන් නිරීක්ෂණයට ශිෂ්‍යයන් රෝහලට ගමන් කළයුතු වේ. මීට අමතරව රසායනාගාර හා කායවිච්ඡේදන ශාලා වෙනත් ස්ථානයක පැවතීම නිසා දෙවන වසර ශිෂ්‍යයන්ට පෞද්ගලික වියදමින් එම ස්ථානවලට ගමන් කිරීමට සිදුව තිබේ. මීට අමතරව දේශන ශාලා ප්‍රමාණවත් නොවීම, රසායනාගාර පහසුකම් ප්‍රමාණවත් නොවීමේ ගැටලුවලටත් සිසුන්ට මුහුණ දීමට සිදුව තිබෙන අතර, මහාචාර්ය ඒකකය තවමත් ඉදිකර නොමැති බවද ශිෂ්‍ය සංගම් පෙන්වා දෙයි. වෛද්‍ය පීඨය තුළ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් ඉගෙනුම ලබන අතර, සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව එකසිය හතළිස් පහක් වුවත් නේවාසික පහසුකම් ලබාදී තිබෙන්නේ ශිෂ්‍යයින් හැත්තෑ පස්දෙනෙකුට පමණි. මෙම නේවාසිකාගාරයත් කුලී පදනමින් ලබාගත් එකක් බවත්, මෙම ශිෂ්‍ය කණ්ඩායම් දෙක සැලකීමේදී ශිෂ්‍යයන් හැත්තෑවකට නේවාසිකාගාර පහසුකම් අහිමි වී තිබේ. වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ට අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට අනිවාර්යයෙන්ම මාහාචාර්ය ඒකකයක් තිබිය යුතු වන අතර, රජරට වෛද්‍ය පීඨය තුළත් නිසි කාලයේදී මහාචාර්ය ඒකකය ස්ථාපිත නොකිරීම නිසා ශිෂ්‍ය කණ්ඩායම් කිහිපයකට නිසි කාලයේදී අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට නොහැකි විය.

ඉන් පාඩම් ඉගෙන ගෙන හෝ සබරගමුව වෛද්‍ය පීඨය තුළ මහාචාර්ය ඒකකය ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු කළයුතුව තිබුණත් බලධාරීන් ඒ පිළිබඳව මෙතෙක් අවධානය යොමුකර නොමැති බවද ශිෂ්‍යයෝ සඳහන් කරති. මීට අමතරව ආචාර්ය හිඟය නිසාත් ශිෂ්‍යයන් ගැටලු ගණනාවකට මුහුණදී සිටින අතර, තුන්වන ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගැනීමට පෙර යටිතල පහසුකම් ඇතුළු ශිෂ්‍ය සුබසාධනයට අදාළ කටයුතු වැඩිදියුණු නොකළහොත් ඉදිරියේදී ගැටලු විශාල ප්‍රමාණයකට මුහුණදීමට සිදුවන බවද එම පිරිස් පෙන්වා දෙති.

2007 වසරේදී යෝජනා වූ වෛද්‍ය පීඨයට රත්නපුර, වෙරලූප ප්‍ර‘දේශයේ ගොඩනැගිලි කිහිපයක් ඉදිකළ නමුත් පීඨ සංකීර්ණයේ ඉදිකිරීම තවමත් ආරම්භ කර නොමැත. 2017 හා 2018 වසරවලට අදාළව ශිෂ්‍යයන් බඳවාගැනීම් සිදුකළද වෛද්‍ය පීඨය සම්පූර්ණයෙන්ම ඉදිකර අවසන් නොකළ නිසා ඊළඟ ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගැනීමේ ගැටලුසහගත තත්ත්වයකට පත්ව සිටින බවද ශිෂ්‍ය සංගම් සඳහන් කරයි. සබරගමුව විශ්වවිද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගණය පවා තවමත් ඉදිකර නැත. එහෙත් විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යයන අංශය 2007 වසරේදී ආරම්භ කර තිබේ. එවන් තත්ත්වයක් තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ක්‍රීඩා දක්ෂකම් දියුණු කිරීමට අවශ්‍ය ක්‍රීඩාංගණයක් ලබාදීමටවත් බලධාරීන්ට නොහැකි වී ඇත. ශිෂ්‍යයන් පෙන්වාදෙන ආකාරයට සබරගමුව විශ්වවිද්‍යාලයට නේවාසික වෛද්‍යවරයෙකු නොමැති අතර, මේ නිසා වෛද්‍ය මධ්‍යස්ථානය පැය 24 පුරාම ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී තිබේ. 

පවතින තත්ත්වය නිසා ශිෂ්‍යයෙකු රෝගාතුර වූ පසු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් හෝ බලන්ගොඩ මූලික රෝහලට ගොස් ප්‍රතිකාර ගැනීමට සිදුව තිබේ. ශිෂ්‍ය සුභසාධනය යටතේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අධ්‍යාපනික, කලා, දේශපාලන කටයුතු කිරීමට ශිෂ්‍ය මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කළද, විශ්වවිද්‍යාල ආරම්භ කර වසර දහනවයකට  ආසන්න කාලයක් ගතවුවද එවැනි පහසුකමක් ලබාදීමට බලධාරීන්ට මෙතෙක් නොහැකි වී ඇත. මේ නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැනුම වර්ධනය කරගැනීමට ඒකරාශී වීමේ අයිතිවාසිකම අහිමි වී ගොස් තිබේ.

2015 වසරේදී තාක්ෂණික පීඨයට ශිෂ්‍යයන් බඳවාගැනීමට සැලසුම් කර තිබුණත් තාක්ෂණ පීඨයක් ඉදිකිරීමට මෙතෙක් නොහැකි වී තිබේ. එහෙත් තාක්ෂණ පීඨය ඉදිකර කඩිනමින් ශිෂ්‍යයන් බඳවාගන්නා ලෙසට ශිෂ්‍ය සංගම් සිදුකළ ඉල්ලීම්වලට අනුව 2017/2018 වසරට අදාළව ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවාගැනීම් සිදුකර ඇත. අදාළ බඳවාගැනීම් සිදුකිරීමට පෙර වසරක් තුළ තාක්ෂණ පිඨය ඉදිකරන බවට බලධාරීන් පොරොන්දු වී විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි කීපයක් මූලික කර ගනිමින් පළමු කණ්ඩායමේ අධ්‍යයන කටයුතු ආරම්භ කළ බවද ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පෙන්වා දෙති. එහෙත් මෙතෙක් තාක්ෂණ පීඨයේ වැඩකටයුතු ආරම්භ නොකිරීම නිසා දෙවන කණ්ඩායම බඳවා ගැනීමට නොහැකි වී තිබේ. මීට අමතරව විශ්වවිද්‍යාලයේ වෙනත් කටයුතු සඳහා ඉදිකළ ගොඩනැගිලි තුළ තාක්ෂණ පීඨයේ පළමු ශිෂ්‍ය කණ්ඩායම තවම අධ්‍යාපන කටයුතු සිදුකිරීම නිසා එම ශිෂ්‍යයන් විවිධ ගැටලුවලට මුහුණපා සිටින බව ශිෂ්‍ය සංගම් පෙන්වා දෙයි.

කළමනාකරණ අධ්‍යයන පීඨයට හා සමාජීය විද්‍යා භාෂා පීඨයන්වලට බඳවාගන්නා ශිෂ්‍ය ප්‍රමාණය ඉහළ දැමීමට කටයුතු කළද පීඨයේ පහසුකම් වැඩිදියුණු කර නොමැත. මීට අමතරව කළමනාකරණ පීඨයේ තෙවන අදියරේ හා සමාජීය විද්‍යා පීඨයේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු මෙතෙක් ආරම්භකර නොමැති බවත්, මේ නිසා දැනට ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ආචාර්යවරුන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද ශිෂ්‍ය සංගම් සඳහන් කරයි.

විශ්වවිද්‍යාල තුළ පිහිටි සුවිශේෂී පීඨයන් වන්නේ කෘෂි විද්‍යා පීඨයයි. විශ්වවිද්‍යාලය ආරම්භයේ සිටම පවතින කෘෂි විද්‍යා පීඨයට තවමත් ස්ථිර පීඨ සංකීර්ණයක් ඉදිකර දීමට බලධාරීන්ට නොහැකි වී ඇත. මේ නිසා තවමත් කෘෂි විද්‍යා පීඨය පවත්වාගෙන යන්නේ කාන්තා නේවාසිකාගාරයට වෙන්කළ කොටසේ බව ශිෂ්‍ය සංගම් පෙන්වා දෙයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධ විශ්වවිද්‍යාලයක් ලෙස ආරම්භ කළ සබරගමුව විශ්වවිද්‍යාලය තුළ කොතරම් ගැටලු පැවතියත්, ශ්‍රී ලංකාව තුළ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී 2015 වසරේදී 12 වන ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ මෙම විශ්වවිද්‍යාලයයි.

මීට අමතරව එම වසරේ ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණයට අනුව දොළොස්දහස් දෙසිය හැත්තෑ හත්වන ස්ථානය හිමිකරගෙන තිබේ. පීඨ හතකින් සමන්විත විශ්වවිද්‍යාලය තුළ උපාධි පාඨමාලා දාහතරක් මූලික කර ගනිමින් උපාධි පිරිනැමීම සිදුකරනු ලබයි. ප්‍රශ්නය වී තිබෙන්නේ විශ්වවිද්‍යාලයක් ලෙස ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකිරීමය. පොදුවේ සෑම විශ්වවිද්‍යාලයකම හා උසස් අධ්‍යාපන ආයතනයකම කුමන හෝ ගැටලුවක් පැවතීම සාමාන්‍ය  තත්ත්වයක් ලෙස සලකනු ලබයි. එහෙත් සබරගමුව වෛද්‍ය පීඨය සැලකීමේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය මූලික පහසුකම්වල සිට ගැටලු පවතී. මේ නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය මූලික පහසුකම් හෝ ලබාදීම බලධාරීන්ගේ වගකීමකි.      

විශ්වවිද්‍යාලයේ පවතින ගැටලු පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඇතුළු සියලුම බලධාරීන්ට වසර ගණනාවක සිට දැනුවත් කිරීම් සිදුකර තිබෙන බවට විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සඳහන් කරයි. මීට අමතරව වෛද්‍ය පීඨයේ පවතින ගැටලු පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට හා පසුගිය ආණ්ඩුවේ දේශපාලනඥයන් දැනුවත් කිරීමට කටයුතු කර තිබෙන බවට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පෙන්වා දෙයි. එහෙත් අදාළ ගැටලු විසඳීමට මෙතෙක් කිසිදු බලධාරියෙකු උනන්දුවක් නොදක්වන බවට දෙමාපිය සංගමය හා ශිෂ්‍ය සංගම් සඳහන් කරයි.               



Recommended Articles