පසුගිය දිනෙක ඉතා දුර්ලභ ගණයේ කළු කොටියෙකු මද්දකට හසු වී පසුව ප්‍රතිකාර කිරීමේදී මිය ගියේය. මේ පිළිබඳව සමාජය, පරිසරවේදීන් ඇතුළු පාර්ශ්ව රැසක්ම චෝදනා නැඟුවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටය. කඳුකරව වෙසෙන කොටින් ආරක්ෂා කිරීම සඳහා විශේෂිත වැඩසටහනක් වනජීවී දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ආරම්භ කර තිබේ. මේ ඒ පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකි.
'කැලෑ කොටි' ආරක්ෂා කරන අලුත් වැඩසටහන කුමක්ද?
මේ වැඩසටහන අපි අවුරුදු දහතුනකට පමණ පෙරදි කරපු දෙයක්. ඒ කාලේ ඉඳලා අපි කඳුකර පළාත්වල සංරක්ෂණය කළයුතු ප්‍රදේශ පිළිබඳව විශේෂ උනන්දුවකින් කටයුතු කළා. එතකොට ඒ වෙද්දි අපේ වැඩසටහන් තුළින් කඳුකර කොටින්ට ඒ ආරක්ෂාව ලැබුණා. අලි වගේම කොටින්ව ආරක්ෂා කරන්නත්, අපේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ සැලැස්මක් නිර්මාණය කළා. ඊට අදාළ නිලධාරීන් ක්‍රියා කළයුතු මෙහෙයුම් පටිපාටියකුත් හැදුවා. මේවා ඇත්තටම නිලධාරීන් ඒ කාලේ ඉඳලාම කරපු දේවල්. අපේ නිලධාරීන්ට පනතින් බලය තිබෙනවා. ඒ වගේම කාර්ය සංග්‍රහයේ වැඩ කරන්න බලය තිබෙනවා. ඒ වගේම ඔවුන්ට ලබාදෙන පුහුණුවලින් ඒ සඳහා අවශ්‍ය දැනුම ලබාදෙනවා. නමුත් මේ ඔක්කොම තිබුණත් අලි සමග කොහොමද, කොටි සමග කොහොමද වැඩ කරන්න ඕනේ කියලා වෙනමම දැනුමක් ලබා දී තිබුණේ නැහැ. ඒකට හේතු වූයේ ඔවුන් සාම්ප්‍රදායික ක්‍රම මගින් ඒ දේවල් කළ නිසා. නමුත් හදිසි අවස්ථාවකදී මහජන සහභාගීත්වය ලබාගැනීමට යාමේදී ඒ තත්ත්වය තුළ ගැටලුවක් ඇති වෙනවා. මොකද මිනිස්සුන්ට වනජීවී එකේ තිබෙන නීතිරීති, රෙගුලාසි සියලු දේ පැහැදිලි කරන්න බැහැ. ඔවුන් ඒවාට සවන් දෙන්නෙත් නැහැ. එම නිසා අප වෙනමම මෙහෙයුම් සැලැස්මක් නිර්මාණය කරලා ඒක කරන්න පැනෙව්වා.
ඊට අමතරව අපට උපකාර කරන විවිධ බාහිර ක්‍රියාකාරී පුද්ගලයන්, ආයතන සියල්ලම එකතු කරමින් අපි මූලික දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කළා. එහි පළමු පියවර පසුගිය සති අන්තයේ සහ සඳුදා දින ආරම්භ කළා. එහිදී කඳුකරයේ තිබෙන තේ වතු සමාගම් රැසක කළමනාකාරීත්වයට මේ පිළිබඳව ඉතා දීර්ඝ සහ සාර්ථක දැනුවත් කිරීමක් සිදුකළා. ඒ අය ඔවුන්ගේ කාර්යමණ්ඩලවලට මදු ඉවත් කිරීම, උගුල් ඉවත් කිරීම වැනි දෑ සම්බන්ධයෙන් දැනුවත් කරමින් ඔවුන්ව මෙහෙයවනවා. අපි එහි තවත් පියවරක් ලෙස එහි සිටින ද්‍රවිඩ ජාතිකයන්ට ඔවුන්ගේ භාෂාවලින්ම ඒ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනවා.
මදු අටවන පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද?
ඒකට විරුද්ධව නීති තිබෙනවා. සතුන්ට උගුල් ඇටවීම නීතියෙන් තහනම්. නීතිරීති කෙසේ තිබුණත්, මෙහි සමාජ විද්‍යාත්මක පැතිකඩකුත් තිබෙනවා. මදු අටවන පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්නවා කියන එක විසඳුමක් නෙවෙයි. ඒකෙන් වෙන්නේ ඒ මිනිස්සු ඊට පස්සේ වෙනත් ක්‍රම භාවිත කරන්න පටන් ගන්නවා. ඒ නිසා ඒකට හොඳම දේ ඒ මිනිස්සුන්ගේ හිත වෙනස් කිරීමයි සිදුකළ යුත්තේ. අපි උත්සාහ කරන්නේ ඒක සිදුකරන්නයි. අපි ඒ මිනිස්සුන්ව අල්ලලා දඩ ගහන එකෙන් වෙන්නේ වෙනත් හසු නොවන උපාය මාර්ගවලට යන එකයි. ඒ තත්ත්වයෙන් වෙන්නේ ආයෙත් කොටි, වනසතුන් දඩයම වැඩි වෙන එකයි. මද්දට අහුවෙලා සතෙක් මැරෙන නිසා මදු ගහන අයට දඩ ගහනවා කියන එක සරල දෙයක් වගේ පෙනුනට ඒක සරල කතාවක් නෙවෙයි. ඊට එහා ගිය විශාල දේවල් ටිකක් කරන්න තිබෙනවා. විශේෂයෙන් වනජීවී පනත හදන්න තිබෙනවා. අපි උත්සාහ කරන්නේ ඒ හැමදේම කරන්නයි.
'කළු කොටියෙකු' මිය යෑම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට විශාල අපකීර්තියක් එල්ල වුණා?
අපකීර්තියක් වුණේ නැහැ. අපිට අපකීර්තියක් වන ආකාරයට චෝදනා එල්ල කරන්න උත්සාහ කළ ප්‍රධාන හේතුව තමයි සමාජය ඒ තුළ දුටුවේ ඔවුන් පිටතින් දකින දේ විතරක් නිසා. අපි ඒ පිළිබඳව නිල ප්‍රකාශයක් තවම කළේ නැහැ. රජයේ ආයතනයක් ලෙස අපිට ඔවුන්ට විරුද්ධව එහෙම නිල ප්‍රකාශ නිකුත් කරන්න බැහැ. අපිට මෙහි විශාල චෝදනාවක් තිබෙනවා. අපි ඒක පිළිගන්නවා. නමුත් අධිකරණ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වන අවස්ථාවකදී අධිකරණ ක්‍රියාදාමය අභිභවා ගිහින් අපිට හිතෙන දේ කරන්න, කියන්න බැහැ. අපි මොන දේ දන්නවා වුණත්, අපි ඒ සිදුවීමේදී ක්‍රියා කළ ආකාරය කෙතරම් හොඳ වුවත් ඒ බව තහවුරු කිරීමට සමාජය සමග හෝ පරිසරවේදීන් සමග හෝ වාද විවාද කරලා ගැටෙන එක සදාචාරාත්මක නැහැ. අධිකරණ ක්‍රියාදාමය ඉවර වුණාට පසුව අපිට අපේ නිල නිවේදනය ප්‍රකාශ කළ හැකියි. සාධාරණ අධිකරණ තීන්දුවක් ලැබෙනකල් අපි නිහඬව ඒ සඳහා සහයෝගය ලබාදෙනවා. විවේචකයන්ට ඒ පිළිබඳව සංවරයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ අයට ඕන දෙයක් පැවසිය හැකියි. ඔවුන්ගේ ඒකපාර්ශ්වික තීරණ පවසන්න පුළුවන්. රාජ්‍ය ආයතනයක් ලෙස අපට එය සිදුකළ නොහැකියි.
දෙපාර්තමේන්තුවෙන් සමාජයට හෙළිකරන ඇතැම් වීඩියෝ දර්ශන හෝ තොරතුරු දඩයක්කරුවන්ට වාසි සහගත වනවා නෙවෙයිද?
ඔය කියන්නේ කළු කොටියාගේ දර්ශන මාධ්‍යයට නිකුත් කළ එක ගැනනේ. අපි කිසිම අවස්ථාවකදී මේ සත්ත්වයා කොතැනද ඉන්නේ කියලා කිව්වෙ නැහැ. මාධ්‍යයට එහි දර්ශන ලබාදීම ඇත්ත. ඊට කලින් ඒ අවට මිනිස්සු ඕනෑතරම් ඒ කළු කොටියාව දැකලා තියෙනවා. ඒ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු මේ සතා ගැන හැමදේම දන්නවා. සතෙකු දැකලා එයාව හංගාගෙන ඉන්න එක නෙවෙයි සංරක්ෂණය කරනවා කියන්නේ. සතාව හංගාගෙන ඉන්නවට වඩා සමාජය සංවර වෙන්න ඕනේ. එතකොටයි මේ හැමදේම අපිට සංරක්ෂණය කරන්න පුළුවන්. ඒකයි අපි හැදිය යුත්තේ.
පසුගිය දිනෙක මෙහෙයුමකදී තරුණ වනජීවී නිලධාරියෙක් මිය යාමට හේතුව වූයේ ඔවුන්ට අත්දැකීම් සහ නිසි පුහුණුවක් නැතිකමද?
නැහැ. එහෙම දෙයක් නෙවෙයි. එවැනි සිදුවීමක් ඕනෑම මොහොතක, ඕනෑම මෙහෙයුමකදී සිදුවිය හැකියි. මේක එතරම් අවදානම්කාරී රැකියාවක්. අපේ දෙපාර්තුමේන්තුවේ මීට පෙරත් විවිධ මෙහෙයුම්වලදී සියය ඉක්මවා ගිය නිලධාරීන් මිය ගිහින් තිබෙනවා. දඩයක්කරුවන්ගේ වෙඩි ප්‍රහාරවලින් අපේ දෙපාර්තමේන්තුවේ ඉතා පළපුරුදු නිලධාරීන් පවා මිය ගිහින් තිබෙනවා. %පුහුණුවක් නැතිකම, අත්දැකීම් නැතිකම^ කියලා චෝදනා කරන්නේ පටු මානසිකත්වයෙන්. පුහුණුව අපි උපරිමයෙන් ලබාදෙනවා. පුහුණුව නොලැබීම නෙවෙයි මෙතන තිබෙන්නේ. ඕනෑම මෙහෙයුමකදී පළපුරුදු නිලධාරීන්ට පවා ජීවිත අහිමි විය හැකියි.
මේ අලුත් වැඩසටහන මඟින් ඉදිරියේදී මෙවැනි ගැටලු ඇති නොවෙයිද?
ඔව්. මේක ආයතනයක් විදිහට රජයේ සහයෝගයෙන් සිදුකරන වැඩක්. වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල හතර මායිම අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. සමාජයේ අයිතිකාරයෝ රැසක් ඉන්න භූමියක් තමයි අපි මැදට පැනලා ආරක්ෂා කරගන්න හදන්නේ. එතකොට හැමදෙනාටම මේ ගැන විශාල වගකීමක් තියෙනවා. අපිට නීතියෙන් බලයක් තිබෙනවා. අපි ඒකට වගකියනවා. අපි තමයි යම් සිදුවීමක් සිදුවූ පසු වග කිවයුත්තේ. අපි සමාජයෙන් සිදුකරගන්න ඕනේ ඒ අයව එකතු කරගන්න එක. ඒ එකතු කරගැනීම නිසි ලෙස සිදුකරගන්න තමයි අපි මේ කටයුතු කරන්නේ. අපි 2000 වසරේ ඉඳලා එය හරියාකාරව කරගෙන ආවා. ඒ නිසා තමයි යම් ආකාරයකට හෝ අපිට මේ සතුන්ව රැකගන්න පුළුවන් වුණේ. සමාජය මේ සතුන් ගැන නොදැනුවත්වම නෙවෙයිනේ වැඩ කරන්නේ. දඩයමක් කරනවා කියන්නේ, උගුල් අටවනවා කියන්නේ ලංකාවේ නීතියෙන් තහනම්, දඬුවම් ලැබෙන දෙයක් කියලා සමාජයම දන්නවා. ලංකාවේ කැලෑ කපන එක තහනම් කියන එක මිනිස්සු දන්නවා. මේ සමාජයේ හැදියාව, සංවරකම පිළිබඳව ගැටලුවක් තමයි තිබෙන්නේ. අපි ඒකයි හදන්න ඕනේ.