සජිත් ප්‍රේමදාස ඇමතිතුමාටයි, මටයි පක්ෂයෙන් ඉල්ලීම් ඇවිත් තිබෙනවා


ප්‍රධාන දේශපාලන පක්ෂ මේ දිනවල ලහිලහියේ සූදානම් වන්නේ ලබන වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට මුහුණදීම සඳහා වැඩසටහන් සංවිධානය කිරීමටය. ඒ උණුසුම් දේශපාලන කාල පරිච්ඡේදයක් ගෙවෙමින් තිබෙන මොහොතකය. මෙම පසුබිම තුළ එක්සත් ජාතික පක්ෂය ගම් මට්ටමේ සංවිධාන ශක්තිමත් කරමින් පාක්ෂිකයන් පිරිස රඳවාගැනීම සඳහා සැලසුම් සකස් කර තිබේ. එම වැඩපිළිවෙළ දිනවීම සඳහා එජාප නායකත්වය ඇතුළු පක්ෂයේ නව නිලධාරී මඬුල්ල ඇපකැප වී සිටිති. ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ දියත් කරන වැඩපිළිවෙළ සම්බන්ධව වැඩිදුරටත් කරුණු දැනගැනීම සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සම්බන්ධ කර ගතිමු.


එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක තනතුර ලැබීමෙන් පසුව කාර්යබහුල ඇති නේද ඇමතිතුමා?

පසුගිය මාස දෙකේම මම පාක්ෂිකයන්ට කතා කළා. ජනතාවගේ සිතුවිලි, හදවත්වල තියෙන වේදනා, ප්‍රශ්න අපට මැනගන්න පුළුවන් වුණා. ඒ මැනිල්ලත් එක්ක තමයි අපේ වැඩසටහන පටන්ගන්නේ. ලොකු ප්‍රතිංස්කරණ ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. පක්ෂයේ ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික්කවල තියෙන කළමනාකරණ ගැටලු, වෘත්තීය සමිති ප්‍රතිසංවිධානය, පක්ෂයේ උඩින් එන චිත්‍රය, සිංහල බෞද්ධ ඡන්ද පදනමට පක්ෂයේ තියෙන ස්ථානගත කිරීම වැනි ගැටලු තිබෙනවා. අපි මේ ගැන දැනට පක්ෂය තුළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. අපි හිතනවා ඉදිරි මාස දෙක තුන ඇතුළත ඉතා ක්‍රියාශීලී වැඩ කොටසක් පටන් ගන්න. ප්‍රධාන දේ තමයි දිස්ත්‍රික් මට්ටමේ, ආසන මට්ටමේ තියෙන දුර්වල සංවිධායකවරුන්ගේ වෙනස් කිරීමක් අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. ඒ සංවිධායකවරුන් සමග අපි දැන් කතා කරගෙන යනවා. සමහර කට්ටිය හරි හොඳ මිනිස්සු. නමුත් ඒ ගොල්ලෝ ජවයකින් වැඩ කරන්නෙ නෑ. පක්ෂයට කැපකිරීමක් තියෙන්න ඕන. සංවිධායක තනතුර කියන්නේ වැදගත් තනතුරක්. සමහර ආසන දහදාහ, පහළොස්දාහ, විසිදාහෙන්  පැරදෙන්නේ. එහෙම වෙන්න බැහැ. සංවිධායකවරයෙක් වුණාම ඊට වැඩිය කැපකිරීමකින් වැඩ කරන්න අවශ්‍යයි. අපි මූලික වශයෙන් ඒ වෙනස්කම් ටික කරන්න බලාපොරොත්තු වෙනවා.

මම ජාතික සංවිධායක විදියට දැනට වැඩසටහන් දෙකක් පක්ෂයට ඉදිරිපත් කර තිබෙනවා. පක්ෂයෙන් ඒක අනුමත වෙලා තියෙන්නේ. පළමු වැඩසටහන තමයි හැම ආසනයකින්ම වැඩමුළු 150ක් කරන එක. උතුරු නැගෙනහිර හැර කොට්ඨාස මට්ටමින් එය සිදු කරනවා. එක් කොට්ඨාසයකින් 10දෙනෙකු බැගින් තෝරාගෙන පක්ෂය, විකල්පය හා අනාගතය මාතෘකාව යටතේ දවසක වැඩමුළුවක් දීලා ඒ අය අලුත් මගකට ගෙනයෑමට පෙළඹීමක් කිරීමට මා බලාපොරොත්තු වෙනවා. කොට්ඨාස 3992ම නියෝජනය කරමින් මේ වැඩමුළුවලට සහභාගි වෙන 40,000කගේ සිත්සතන් මාස 4-5ක් ඇතුළත සුවපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එම වැඩමුළු සැප්තැම්බර් 01 කෑගල්ලෙන් පටන් ගන්නවා. එම වැඩසටහන දීපව්‍යාප්තව දැනට සංවිධානය කරගෙන යනවා.

අනෙක් වැඩසටහන ග්‍රාමාලෝක නමින් හඳුන්වා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට දිස්ත්‍රික්කයක් තුළ සාමාන්‍යයෙන් දුර්වල ආසන තුන හතරක් තිබෙනවා. කොළඹ අපි ගත්තොත් මහරගම, හෝමාගම, අවිස්සාවේල්ල, කැස්බෑව ආසන 25,000කින් පැරදෙනවා. අනිත් පැත්තෙන් මැද කොළඹ, උතුරු කොළඹ ඇතුළු දිනන ආසනවලින් එන ඡන්ද ටික  ඔක්කොම නැතිවෙනවා අනිත් ආසන 25,000න් පැරදෙනකොට. ඒ විදියට සෑම දිස්ත්‍රික්කයකම ආසන තුන හතරක් හඳුනාගෙන පක්ෂයේ ව්‍යුහයේ සියලුදෙනාම ඒ දින තුන හතරේ පක්ෂයේ දුර්වලකම්, අඩුපාඩු සාකච්ඡා කරලා හදනවා. මෙම වැඩසටහන සැප්තැම්බර් අග ඔක්තෝබර් මුල පටන්ගන්න බලාපොරොත්තු  වෙනවා.

ඔබතුමාලා කොළඹ සිට මෙවැනි වැඩසටහන් සැලසුම් කළාට ගමේ සිටින පාක්ෂිකයා එය හඳුනාගෙන තියෙනවාද?

අපි ආසන සංවිධායකවරුන්ගෙන් කොට්ඨාස මට්ටමින් නම් ඉල්ලූ පසුව දැනට 70%ක් නම් එවලා තියෙන්නේ. ඒක ලොකු ප්‍රචාරයක් දීලා කරන්න අවශ්‍ය නැහැ. අපි දැනගන්න ඕන ගම් මට්ටිමින්, ආසන මට්ටමින් ඒක කරන්න. ඒක බෙර ගහලා කරන්න මම බලාපොරොත්තු වෙන්නෑ. හිමින් සීරුවේ අපි ඒ කටයුතු කරනවා.

දුර්වල ආසන සංවිධායකයන් නිසාමද පසුගිය මැතිවරණවලදි ඇතැම් ආසන පැරදුණේ.? දක්ෂයි, පලපුරුදුයි කියන දේශපාලනඥයන් සිටින ආසනත් පරාද වුණා නේද?

ඒකට හේතු දෙක තුනක් තිබෙනවා. සමහර හොඳ ආසන සංවිධායකවරු ඉන්නවා, අපි කරන, කියන, ඉල්ලන ඕනෑම දෙයක් කරනවා. ශාඛා සමිති හරියට පිහිටුවනවා, හොඳ මන්ත්‍රීවරු ඉදිරිපත් කරනවා. නමුත් පක්ෂය ගැන උඩින් එන පණිවුඩය වැරදියි. ඒක අපි හදාගන්න අවශ්‍යයි. ජනමාධ්‍ය හරහා එන පණිවුඩ ටික වැරදියි. ඒකට පක්ෂයේ සන්නිවේදනය දුර්වලයි. සන්නිවේදනය මීට වඩා අපි හදාගන්න අවශ්‍යයි.

 පැරදුණු ආසන අතරේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් සංවිධායකයන් වෙලා  සිටින ආසනත් තිබෙනවා. ඔවුන් සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?

මම පිළිගන්නවා ඇමතිවරුන් සිටින පැරදුණු ආසන තිබෙන බව. සමහර ආසන විසිදාහෙන්, තිස්දාහෙන් පැරදිලා තියෙන්නේ. දකුණේ අපට ලොකු සටනක් තිබෙනවා. ගාල්ල, මාතර, හම්බන්තොට ගත්තාම එකට දෙකයි, එකට තුනයි. නමුත් අනිත් දිස්ත්‍රික්කවල අපට 45෴කට ගේන්න පුළුවන් වුණා. මම හිතන්නෑ ඒක ලොකු ගැටලුවක් වේවි කියලා. සමහර තැන්වල ආසන සංවිධායකවරුන් සමග තියෙන ප්‍රශ්න නිසා අපේම කට්ටිය වෙනම කණ්ඩායම් දාලා ස්වාධීනව තරග කරලා තිබෙනවා. එවැනි ප්‍රශ්න ගොඩක් තිබෙනවා. පෙබරවාරි 10 මැතිවරණය අපි හිතුවේ නැති විදියට නොයෙකුත් ප්‍රශ්න ගැටලු නිසා ආණ්ඩුවට පාඩමක් උගන්වන්න තමයි ඡන්ද ප්‍රතිඵලය දුන්නේ. අපි ඒකෙන් පාඩම් ඉගෙනගෙන යම් කිසි වැඩපිළිවෙළක් දැන් කරනවා. ගම්පෙරළිය වේවා, රැකි රක්ෂා ලබාදීම වේවා, ආසනයකට සමෘද්ධීය 1000ක් ලබාදීම වැනි වැඩසටහනක් අපිට තිබෙනවා. මේවා ඔක්කොම එකට යන්න ඕන. මගේ වැඩසටහන විතරක් නෙමෙයි වැඩසටහන් තුන හතරක් එකට යන්න ඕන. එහෙම ගියොත් අපිට මේක හදාගන්න පුළුවන්.

ලංකාව පුරා එක්සත් ජාතික පාක්ෂිකයන් කීදෙනෙක් ඉන්නවාද කියලා ජාතික සංවිධායකවරයා  වශයෙන් ඔබ ගණන් හැදීමක් කර තිබෙනවාද?

අපිට පාක්ෂිකයෝ ලක්ෂ 35ක් ඉන්නවා.ඒක ගැන කතා දෙකක් නැහැ. අපිට 38%ක ඡන්ද පදනමක් තිබෙනවා. අනිත් 12% ගන්න එක තමයි ගැටලුව.
මේ සියලු සංවිධාන කටයුතු කරන්නේ ඉදිරි ජනාධිපතිවරණය බලාගෙනනේ.ඔබ සංවිධානය කරන වැඩසටහන් වලදි පාක්ෂිකයන්ට ලබාදෙන ප්‍රධාන උපදෙස කුමක්ද?
අපේ වැඩමුළුවලදී අපි කියනවා විකල්ය ගැන. හරියටවැඩ නොකළහොත් බිහිසුනු විකල්පයක් එන්න ඉඩ තිබෙනවා කියලා අපි පෙන්වා දෙනවා.

අනිත් පැත්තෙන් පොදුජන පෙරමුණ පළාත් පාලන මන්ත්‍රීවරුන් යොදාගෙන සංවිධාන ජාලයක් හදාගෙන යනවා?

පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රීවරුන් හා අපේ මන්ත්‍රීවරුන් අතර 1000ක වෙනසක් තියෙන්නේ. ඒ අයට 4300යි අපිට 3333යි. ඒක ලොකු වෙනසක් නෙමෙයි.අනිත් මන්ත්‍රීවරුන් එකතු කළාම අපිට විපක්ෂයට පන්දාස් ගාණක් එනවා. ඒ අයට එන්නේ හාරදහස් ගාණයි.ඒවා සංඛ්‍යා විතරයි. ඒවා වැඩක් නැහැ.අන්තිමට බලපාන්නේ හදවතයි හැඟීමයි විතරයි. ඒ නිසා අපි හිතනවා අපි නැත්නම් එන විකල්පය ඉතාමත් භයානක බිහිසුණු විකල්පයක් කියලා. අපි පාක්ෂිකයන්ට කියන්නේ විකල්පය ගැන හිතලා වැඩකරන්න කියලා.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කවුරුන්දැයි පක්ෂය තීරණයක් අරන් තිබෙනවාද?

දෙපැත්තෙන්ම තවම නැහැ. ඒ අයට අමාරුයි අපිට වඩා.අපිට පුරවැසි ප්‍රශ්න මොකුත් නැහැ.අපිට අපේක්ෂකයෝ තුන් හතරදෙනෙක් ඉන්නවා ඉදිරිපත් කරන්න. නමුත් ඒ අයගේ පැහැදිලි චිත්‍රයක් නැහැ කවුද එන්නේ කියලා.අපිට එකක් කියන්න පුළුවන් එන එක්කෙනා පවුලෙන් කියලා.අපේ එහෙම ප්‍රශ්නයක් නැහැ. අපේ පක්ෂ නායකතුමා, කථානායකතුමා, නියෝජ්‍ය නායකතුමා ඇතුළු අපිට ඕනෑම වෙලාවක පක්ෂය ඇතුලේ සාකච්ඡා කරලා ඉදිරිපත් කරන්න පුළුවන් අපේක්ෂකයෝ ඉන්නවා.

පසුගියදා පක්ෂය ඇතුළේ පැවති රහස් ඡන්දයකදී ඔබතුමා ජනප්‍රියම චරිතය වෙලා තිබුණා.එම ප්‍රතිපලයෙන් පෙන්නුම් කරන්නේ ඔබතුමාට පක්ෂය ඇතුළේ ලොකු තැනක් තිබෙනවා කියන එකද?

ඔව් එහෙම තැනක් තිබෙනවා.

ඒකියන්නේ ඉදිරි අපේක්ෂකයා වෙන්නත් පුළුවන්ද?

මම ඒ ගැන හිතලා නැහැ.

පක්ෂයේ සාමාජිකයන්ගෙන් ඒ සඳහා ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවාද?

මම හිතන්නේ ඕවා ගැන වැඩිය හිතන්න ඕන නැහැ. අවශ්‍ය වෙලාවට ඒ දේවල් වේවි.සජිත් ප්‍රේමදාස ඇමතුමාටයි මටයි පක්ෂයෙන් ඉල්ලීම් ඇවිත් තිබෙනවා. අපි එහෙම හදිස්සි වෙන්නෙත් නෑ. මම හදිස්සි වෙන්නෑ. ඒ තීරණ පක්ෂය අවශ්‍ය වෙලාවට ගනිවී. දැන් ජනාධිපතිධූරය ගැනත් ප්‍රශ්නයක් තිබෙනවා. එහි ඉන්න කෙනා ඉවත් කරලා අගමැතිට පූර්ණ බලතල ලබාදීලා කරන්න ඕන කියල යෝජනා ඇවිත් තිබෙනවා.අපිට අපේක්ෂකයා තෝරද්දි කිසිම ප්‍රශ්නයක් වෙන්නෑ. පක්ෂය ඇතුළේ පුළුල් විවරණයක් කරලා තීරණයක් ගන්නේ. අපි දැනටමත් ජනසමීක්ෂණ තුන හතරක් කරනවා. එකේන් අපිට පුළුවන් පක්ෂය කොතැනද තියෙන්නේ,අපේක්ෂකයෝ කොතැනද ඉන්නේ කියලා මනින්න. සුළු ජනකොට්ඨාස අතර රනිල් වික්‍රමසිංහ මහතාට ඉහළම පිළිගැනීමක් තිබෙනවා. ඒක අපි සැලකිය යුතුයි.සිංහල බෞද්ධ ඡන්ද අතර කරු ජයසූරිය මහතාට ඉහළම පිළිගැනීමක් තිබෙනවා.තරුණ ඡන්දදාකයෝ අතර සජිත්ටයි මටයි ඉහළ පිළිගැනීමක් තිබෙනවා.ඒ ඔක්කොම ගැන සලකා බලලා තීරණය ගන්න වෙන්නේ.ෂුවර් එකටම  දිනන්න පුළුවන් අපේක්ෂකයා අපි තෝරන්න ඕන.

මම හිතන්නෑ පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන එහෙම රිද්මයක් තිබෙනවා කියලා.ඒ අයගේ ප්‍රධානම චරිතය තමයි ගෝඨාභය.පුරවැසිකම ගැන පුද්ගලිකව ගෝඨාභයට ගැටලුවක් තිබෙනවා.එයාට පුරවැසිභාවය නැහැ කියලා සෙටිපිකේට් එක ඉදිරිපත් කරන්න පුළුවන් නම් පැහැදිලිව එයාට ඉල්ලන්න පුළුවන්.ඒ නිසාම තමයි මහින්දගේ නම අායේත් එන්නේ.මහින්දට අායෙත් ඉල්ලන්න පුළුවන් කියලා වෙල්ගම ඇතුලු පිරිසකගේ මතයක් තිබෙනවා.මම දන්න නීතිය අනුවනම් ඉතා පැහැදිලියි එයාට තරඟ කරන්න බැහැ.එහෙම තියෙද්දී ජී.එල්.පීරීස් එයාට ඉල්ලන්න පුළුවන් කියලා ඉදිරිපත් කරන එක මටත් පුදුමයි.

ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කරන බව වාර්තා පළවී තිබුණා.එහෙම දෙයක් ගැන දෙපාර්ෂවය අතර සාකච්ඡා සිදුවුණාද?
දේශපාලනය කියන්නේ හරි අවිනිශ්චිත දෙයක්. දේශපාලනයේදී සදාකාලික හතුරොත් නැහැ සදාකාලික මිතුරොත් නැහැ. මට ආරංචියි මෛත්‍රීපාල සිරිසේන මහතාගෙ ලොකු උවමනාවක් තිබෙනවා ආයේ ඉල්ලන්න. එතුමා ඉල්ලනවානම් පැහැදිලිව පොහොට්ටුවේ ඡන්ද ටික නැත්නම් යූඑන්පී ඡන්ද ටික අවශ්‍යයි ජයග්‍රහණය කරන්න.ඒක එතුමා ගන්නේ කොහොමද කියන එක එතුමා උපක්‍රමශීලීව බැලිය යුතුයි.

එක්සත් ජාතික පෙරමුණ විදියට එන්නේ නැත්නම් එක්සත් ජාතික පක්ෂය විදියටද?

ඒ ගැන විවිධ මත තිබෙනවා.වැඩි ප්‍රවණතාවය තියෙන්නේ එක්සත් ජාතික පෙරමුණ විදියට එන්න.

එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයට රාජිත සේනාරත්න මහතා පත්කරන බවට වාර්තා පළවුණා?

පක්ෂය ඇතුළේ එහෙම සාකච්ඡාවක් සිදුකර නැහැ.

රටේ ප්‍රශ්න හැමතැනම. දිනෙන් දින උද්ඝෝෂණ වැඩවර්ජන සිදුවනවා.ජනතා ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න ආණ්ඩුව අසමත් වෙලා නේද?

උද්ඝෝෂණ රැල්ලක් වගේ නිර්මාණය කරන්න හදනවා රට අස්ථාවරයි, ඉදිරියට ගෙනියන්න බැහැ කියලා පෙන්වන්න. ගිය අවුරුද්දේ වර්ජනයක් පටන්ගන්නවා කිව්වා.ලක්ෂ ගණනින් කොළඹට ගේනවා කිව්වා. හැබැයි  විහාරමහාදේවියට දාහක් ගෙනාවා. සැප්තැම්බර් 05 තවත් එකක් තිබෙනවා කියනවා. අපි බලමු ඉතින්. රාජපක්ෂ මහතාට පක්ෂව ඉන්න වෘත්තීය සමිති විසින් සැලසුම්සහගතව සිදුකරන වර්ජන රැල්ලට අපි මුහුණ දෙන්න ලෑස්තියි.අපි සුහදව කරලා තිබෙනවා. සුහද නැතුවත් අපි කරලා තිබෙනවා. ඕන දෙයකට අපි මුහුණ දෙන්න ලෑස්තියි. පෙට්‍රෝලියම් එක සුහද නැතිව අපි මුහුණ දුන්නා. අපි හැම වෙලේම මිනිස්සුන්ගේ පැත්ත බලන්න ඕන. මිනිස්සුන්ට ප්‍රශ්නයක්  ඇතිවෙනවානම් සුහදව කතාකරලා විසඳන එක තමයි පළමු ඔප්ෂන් එක. දෛනික ජනජීවිතයට ප්‍රශ්නයක් ඇතිවෙන විදියට රට කඩාකප්පල් කරන්න ඒ අය යනවා නම් එතනටත් අපි විසඳුම් දෙනවා. රටක් හැටියට එවැනි දේට මුහුණ දෙන්න අපි අවශ්‍යයි.

රණවිරුවන් දඩයම් කිරීම,බදුබර ඉහළ දැමීම,බඩු මිල ඉහළ දැමීම,රාජ්‍ය සම්පත් විකිණීම,බුදුදහමට හා සිංහලයාට හිමි තැන අහිමිකිරීම වැනි චෝදනා රාශියක් ආණ්ඩුවට විරුද්ධව එල්ල වෙනවා?

අපි රණවිරුවන්ට කිසිසේත්ම හිරිහැර කරලා නැහැ. රණවිරුවෙක් කියන්නේ ත්‍රිවිධ හමුදාවේ හිටපු සේවකයෙක්. එවැනි පුද්ගලයෙක් නීතියට විරුද්ධව කටයුතු කර තිබෙනවානම් රටේ නීතිය හැමෝටම එකයි. ඒ අයට විරුද්ධව චෝදනා තිබෙනවානම් නීතීමය වශයෙන් ඒවාට මුහුණ දෙන්න ඕන. රණවිරුවෙක් කියලා විශේෂත්වයක් දක්වලා ඒ අයට නීතිය ක්‍රියාත්මක නොකර ඉන්න බැහැ. තුන් හතර දෙනෙකුට එවැනි චෝදනා තිබෙනවා. බදු ඉහළ දැමීම ගැන චෝදනාව ගතහොත් ඇත්තටම බදු ඉහළ දැමීම ගැන ගැටලුවක් තිබෙනවා. මම ඒක පිළිගන්නවා.ඒකෙන් යම් කොට්ඨාසයකට අමාරුවක් වෙලා තිබෙනවා. 350000ට වැඩිය වැටුප් ගන්න අයට තමයි 24%ක් වැටෙන්නේ. ඒ විදියට වැටුප් ගන්න ඉන්නේ රටේ ජනගහනයෙන් 6෴යි හෝ 7෴යි .මගේ මතය තමයි මේක තවත් කල්දාන්න තිබුණනම් හොඳයි.ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කරලා මාස දෙක තුනක් ඇතුළදී කරන්න තිබුණා. අපිට විශාල මූල්‍ය ගැටලුවකට මුහුණ දීමට සිදුවන නිසා තමයි මෙම බද්ද අයකරන්නේ.රාජ්‍ය සම්පත් විකිණීම ගැන චෝදනාව  ගැන කිව්වොත් මානසිකව හිතාගන්න අවශ්‍යයි විකුණන්නේ මොකද්ද කියන එක. මෙතන සම්පතක් විකුණන එක නෙමෙයි. ඩොලර්  මිලියන 485ක් වියදම් කරලා ඒක ගෙවන්න අපිට අදායමක් එන්නැත්නම් අපිට පැහැදිලිව තීරණය කරන්න වෙනවා එම ණය බර ඊළඟ පරම්පරාවට දාන්නැතිව විකල්පයක් හොයන්න අවශ්‍යයි. ආදායම් මාර්ගයක් ඇතිකරලා ආයෝජනයක් ඇතිකරලා උපරිම ප්‍රයෝජන ගන්න. ඒක නිසා තමයි හම්බන්තොට වරාය චීනයට දුන්නේ.මහින්ද රාජපක්ෂ අද බලයේ හිටියත් ඕකම තමයි එයා කරන්නේ. මත්තල ඉන්දියාවට දෙන එක හොඳ තීරණයක්. ඒකෙන් මේ බලවේග දෙකම බැලන්ස් වෙනවා. ඉන්දියානු සමාගම් ගොඩක් ඉන්නවා මත්තලට ඇවිත් ලොකු ආයෝජනයක් කරන්න. යාල කලාපය සංචාරක කලාපයක් විදියට දියුණු කරලා ඉන්දියානු ගුවන් යානා 40ක් පමණ සතියකට ගේන්න පුළුවන්. රාජ්‍ය ආයතන හා පුද්ගලික අංශය අතර බැඳීම් ඇතිකරලා රජයට ආදායම් උපයා ගන්නා ක්‍රම හා විධි සෙමා ආයතනය හඳුනගෙන තියෙනවා. බැසිල් රාජපක්ෂ මහතාගේ දකුණු අත විලී ගමගේ මහතා තමයි ගිය ආණ්ඩුවේ ඒක හෙඩ් කළේ.දැන් තිලාන් විජේසිංහ මහතා ඒක හෙඩ් කරනවා.

දුම්රිය සේවකයන් නැවත වරක් වර්ජනයකට යන බව අනතුරු අඟවා තිබෙනවා.ඔවුන්ගේ ප්‍රශ්න විසඳිමට ආණ්ඩුව නිසි පරිදි ප්‍රතිචාර දක්වා නැති බව නේද ඉන් කියන්නේ.ජනාධිපතිවරයා වෘත්තීය සමිති සමග සාකච්ඡා කර විසඳුම් ලබාදෙන  බවට එකඟවෙලා තිබියදී මුදල් ඇමතිවරයා කියා තිබෙනවා එය කරන්න බැහැ කියලා?

දුම්රිය සේවකයෙකුට රුපියල් ලක්ෂ දෙකකට වැඩි වැටුපක් ලැබෙනවා. මූලික වැටුප හතළිස්දාහයි පනස්දාහයි. එහෙම තිබියදීත් රටෙත් මුදල් තත්ත්වය දැනගෙන වැටුප් ඉල්ලීම් සිදුකිරීම අසාධාරණයි. මේක දුන්නොත් තවත් සේවා හතර පහකට මේ ගානම අපිට දෙන්න වෙනවා. රාජපක්ෂලාගේ ණය ගෙවීමට අපි දැඩි හිරවීමක් තිබෙනවා. එවැනි මුදල් තත්ත්වයක් දැනගෙන තමයි මේවා කරන්නේ. වෛද්‍යවරු ඉල්ලනවා වෙනම ඩ්‍රයිවින් ඇලවන්ස් එකයි, තව ඉල්ලීම්. ඒවා අපිට දෙන්න බැහැ. රටේ මුදල් තත්ත්වය ගැන සංවේදී වෙන්න ඕන. එහෙම කියද්දී අනිත් පැත්තෙන් අපේ අය වැරදි දේශපාලන සංඥා දෙනවා. පුටුගන්න එකයි, වාහන ගන්න එකයි වගේ. දෙපැත්තෙම අවුල් වගේ මට පේන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රධාන වශයෙන් මතුකරන්නේ වත්මන් රජය සිංගප්පූරුව සමග අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුමේ අනතුරුදායකභාවයයි?

ඒ අයට කිසිසේත්ම අයිති නැති දෙයක් ගැන ඒ අය කතාකරන්නේ.

මෙරට වෘත්තියවේදින්ට මෙම ගිවිසුමෙන් දැඩි තර්ජනයක් එල්ලවෙන බවත්,සිංගප්පූරුවේ වෛද්‍යවරුන් මේ රටට එන්න ඉඩ තිබෙන බවත්  එම සංගමය පෙන්වා දෙනවා?

 කවදාවත් වෙන්නැති දෙයක් ඒක.සිංගප්පූරුවෙන් ලැබෙන ඩොලර් වැටුපක් දාලා මෙහේ ඇවිත් රුපියල්වලින් හම්බකරාවිද.ඕවා ඔක්කොම කරන්නේ සැලසුම්සහගතව කතා කරලා.පාදෙණියගේ දේශපාලනය අපි දන්නවනේ.

ඒකියන්නේ සිංගප්පූරු ගිවිසුමෙන් මෙරටට අනතුරක් නැහැ කියන එකද?

පැහැදිලිවම නැහැ.මීට අමතරව තවත් නිදහස් වෙළෙඳ ගිවිසුම් අපි අත්සන් කරන්න ඕන.මීට වැඩිය රටේ ආර්ථිකය විවෘත කරන්න ඕන.

සිංගප්පූරුවේ කසළ මෙරටට ගෙනඑන බව බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා නිතර පවසනවා?.

 ඔය ගේන දේවල් සියල්ල පාකිස්තාන ගිවිසුම යටතේ  මහින්ද රාජපක්ෂ ගේන්න ඉඩ දුන්නා.එදා පකිස්තාන ගිවිසුමට ඒක හොඳනම් අද සිංගප්පූරු ගිවිසුමට වැරදි වෙන්නේ කොහොමද.

ඒ විදියට වෙනත් රටක කසල ගේන එක අප රටට ගැටලුවක් නැහැ කියලද ඔබ කියන්නේ?

ඒවා තීරණය කරන්නේ අපි නෙමෙයි.ඒක තීරණය කරන්නේ වෙනම විෙශ්ෂඥයන් විසින්.ලෝක වෙළෙඳ සංවිධානයේ විෙශ්ෂඥයෝ අපේ රටෙත් ඉන්නවා. බී.ඕ.අයි එකෙත් ඒ අය දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා. ඒ අය සමග සාකච්ඡා කරලා,කැබිනට් එකට ඇවිත් කැබිනට් අනුමැතිය ලබලා තමයි සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අත්සන් කළේ. මේවා සාමාන්‍ය වෙළෙඳ ගිවිසුම්. ඉන්දියාවත් එක්ක අපිට එකක් තිබෙනවා.චීනය එක්ක අපි අත්සන් කරන්න යනවා.යුරෝපා සංගමය සමග අපිට තිබෙනවා. ඉතින් මේවා අලුත් දේවල් නෙමෙයි. දැන් විරුද්ධ වෙන්නේ  දේශපාලනය නිසා. අර්ජුන් මහේන්ද්‍රන්ගේ බිල්ල පෙන්වලා මවන්න හදනවා මේක රටට අහිතකර දෙයක් කියලා.යකා කියන තරම් කළු නැහැ.



Recommended Articles