සජිත් පරාජයට පත්වීමට හේතු ගණනාවක් තියෙනවා



එක්සත් ජාතික පක්‍ෂයේ පිරිසක් විසින් සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්කිරීමට කටයුතු කළ බව රටේ කතාබහක් ඇතිවී තිබේ. මීට අමතරව සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයත් සමග එක්සත් ජාතික පක්‍ෂය තුළ යම් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙන අතර, ඒ පිළිබඳව සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් හා සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ව්‍යාපාරය මෙහෙය වූ තිස්ස අත්තනායක මහතා සමග අද කතාබහක නිරත විය. 


පරාජයේ වගකීම

මේ මැතිවරණය කණ්ඩායම් ගණනාවක් එකට එකතුවෙලා කරපු එකක්. මේ මැතිවරණය මෙහෙයවන්න ලැබුණේ ඉතාමත් කෙටි කාලයක්. මැතිවරණය මෙහෙයවන්න මෙහෙයුම් කමිටුවක් පත් කළා. ඒක අපේක්‍ෂකතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණේ. මෙහෙයුම් කමිටුවේ ප්‍රධානත්වය එතුමා දැරුවත් පක්‍ෂ නායකයෝ සියලුදෙනාම එකට වැඩ කළා. ඒ කියන්නේ පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, දිගම්බරම්, රාජිත සේනාරත්න හිටියා. ඒ වගේම තවත් බාහිර කණ්ඩායම් හිටියා. ඒ සියලුම කණ්ඩායම් එකට වැඩ කළා. පක්‍ෂයක් ලෙස ගත්තම කබීර්, අකිල විරාජ් කාරියවසම් ඇතුළු කණ්ඩායමක් හිටියා. මෙතනදී මැතිවරණය මෙහෙයුම එක කණ්ඩායමක් කළා. ඒත් එක්කම විවිධ වූ පාර්ශ්ව කිහිපයක් හිටියා. මීට අමතරව එක්සත් ජාතික පක්‍ෂය සංවිධාන වැඩපිළිවෙළ කළා. අනෙක් පැත්තෙන් ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ දෛනිකව සිදුකරන  රැස්වීම් මාලාව සහ ඊට අදාළ සංවිධාන කටයුතු කළා. මීට අමතරව එක් එක් විෂයට අදාළ හමුවීම් සංවිධාන කටයුතු කළා. ඒක නිසා මේක සාමූහික වගකීමක් මිස එක් එක් පුද්ගලයාගේ වගකීමක් නොවෙයි.

ජයග්‍රහණය කළා නම් වගකීම් භාරගැනීම

ජයග්‍රහණය කළා නම් තනි තනිවම ඉදිරිපත් වේවි, මම තමයි මෙතන මේක කළේ කියලා. පැරණි කියමනක් තියෙනවා %ජයග්‍රහණයේදී පියවරු රැසක් ඉන්නවා, ඒත් පරාජයේදී ඒක අවජාතකයි^ කියලා. එහෙම එක් එක්කෙනාට මේ පිළිබඳව ඇගිල්ල දික්කරනවා. මම නම් කියන්නේ මේක සාමූහික වගකීමක උත්සාහයක්. ඒ උත්සාහයේ අසාර්ථක වූ තැන් හා බිඳවැටුණු තැන් තිබුණා. ඒක නිසා එහි වගකීම සියලුදෙනාම භාරගත යුතුයි කියලා තමයි මම කියන්නේ.

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයම අසාර්ථකයි කියලා චෝදනාවක් තියෙනවා

ඒක ගැන එක එක්කෙනා බලන විදිය තමයි තියෙන්නේ. මේ මැතිවරණ ව්‍යාපාරයේ සජිත් ප්‍රේමදාස මහතාට අපේක්‍ෂකත්වය ලබාදුන්නේ කවදාද කියල හොයල බලන්න ඕන. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන නිල නිවේදනය ප්‍රකාශයට පත්කරලා සතියකට පස්සේ තමයි එතුමාට ජනාධිපතිවරණය මෙහෙයවන්න දුන්නේ. එහෙම නම් ඒ වගකීම භාරගන්නේ කවුද? ජනාධිපතිවරණයක් එනවා කියල පෙනි පෙනී තිබිලා දින වකවානු ගැන දැන දැන එතුමාට තරග කරන්න අවස්ථාව නොදී අන්තිම මොහොත දක්වා මේක ඇදගෙන යාමේ වගකීම කවුද භාරගන්නේ. ඒක නිසා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අපිට සති හතරකට සීමා වුණා. රැස්වීම් මාලාව ඉතාමත් වේගයෙන් කරන්න සිදුවුණා. දීපව්‍යාප්තව සිදුකළ සංවිධාන කටයුතුවල අඩුපාඩු සිදුවුණා.

පරාජයට හේතුවක්  තිබුණද?

ඔව් යම් කාරණා තිබුණා. එකක් තමයි මේ මැතිවරණ ව්‍යාපාරය ආණ්ඩුවේ අපේක්‍ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාට තිබූ අවාසි සහගත තත්ත්වය. මොකද ආණ්ඩුවට එරෙහිව යම් යම් බලවේග තිබුණා. ඒක පිළිගන්න ඕන. ඒ වාගේම ආණ්ඩුව සාර්ථක ආණ්ඩුවක් නෙවෙයි. මොකද ආණ්ඩුවට චෝදනා තිබුණා. ජාතික සම්පත් විකිණීම ගැන චෝදනා තිබුණා. මහ බැංකු බැඳුම්කර සිද්ධිය ගැන, ඒ වගේම පාක්‍ෂිකයන්ට නොසැලකීම ගැන බරපතළ කනස්සල්ලක් ජනතාව අතර තිබුණා. ඒ කනස්සල්ල තුළ සජිත් ප්‍රේමදාස මහතාට අවාසි සහගත තත්ත්වයක් නිර්මාණය වුණා. මීට අමතරව සජිත් ප්‍රේමදාස මහතාට ආපු ප්‍රධානම බාධකයක් උනේ MCC ගිවිසුම. මොකද නොකළ යුතු අවස්ථාවක මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම හරහා ජනතාවට ආකල්පයක් ඇතිවුණා, සජිත් ප්‍රේමදාස මහතා දිනුවත් මේ ඇමෙරිකානු මිලේනියම් චැලේජ් ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඔහු ආණ්ඩුව ලෙස බැඳිලා ඉන්නවා කියන දේ. මේ හරහා ජනතාව තුළ මතයක් ඇතිවුණා අපේ ඉඩකඩම් ඇමෙරිකාවට විකුණන්න යනවා, විජාතිකකරණය කරන්න යනවා කියලා. මේ වගේ චේතනාවක් මිනිස්සු අතර කාවැද්දුවා. ඇත්තටම මේකෙ වගකීම ගන්නේ කවුද? ඒ වගේම තමයි මැතිවරණ සීමාව තුළ ගෑස් හිඟයක් ආවා. තිරිඟු පිටි මිල ඉහළ ගියා. එතකොට මිනිස්සු කියන්න ගත්තා ගෑස් ටික දෙන්න බැරි ආණ්ඩුවක්, තිරිඟු පිටි මිල පාලනය කරන්න  බැරි ආණ්ඩුවක් කියලා. මේ සියලුම දේවල්වලින් අවාසි සිදුවුණේ සජිත් ප්‍රේමදාස මහත්තයාට. ඒ වගේම කියන්න ඕන සමහර අය සංවිධාන කටයුතු කරට අරගෙන වැඩ කළේ නැහැ. ඒත් මේ සියල්ලම තනි තනිවම කාටවත් ඇඟිල්ල දික්කරන්න ඕන දේවල් නෙවෙයි.

මැතිවරණ වේදිකාවේ සිදුකළ සමහර කතා අවාසි සහගත වුණාද?

අපේ සමහර මැති ඇමැතිවරුන්ගේ කතා තදබල ලෙස අවාසි සහගත වුණා. ඒක තමයි අපි තේරුම් ගන්න ඕන. මේක සිංහල බෞද්ධ රටක් වුණාට අපි අනිත් ජාතීන් සමග ජීවත් වෙන්න ඕන. ඒ අයට ගරුකරන්න ඕන. හැබැයි අපි අමතක කරන්න හොඳ නැහැ මේක සිංහල බෞද්ධ රටක් කියලා. ඒකෙන් අපි ඈත් වුණා. ඒක නිසා මිනිස්සු අතර හැඟීමක් ඇතිවුණා එක්සත් ජාතික පක්‍ෂය කියන්නේ සිංහල බෞද්ධකම රකින පක්‍ෂයක් නොවෙයි කියලා. ඒක ලොකු අවාසියක් වුණා. ඒකට හරියන්නම අපේ සමහර මැති ඇමැතිවරුන් භික්ෂූන් වහන්සේලාට විරුද්ධව හා මේක බෞද්ධ රටක් නොවෙයි කියලා අරගෙන ගිය ක්‍රියාදාමයත් සජිත් ප්‍රේමදාස මහතාට අවාසි සහගත ලෙස බලපෑවා.

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළා නම් මීට වඩා ජයග්‍රහණයක් ලබන්න තිබුණද?

ඒක මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මේ මොහොතේ හිටිය හොඳම අපේක්‍ෂකයා තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා. ඔහු ජයගත්තාද නැද්ද කියන එක වෙනම කතාවක්. හැබැයි ඔහු සති හතරක් ඇතුළත මේ මැතිවරණ ව්‍යාපාරය අරගෙන ගිය මුහුණුවර කවුරුත් දැක්කා. එතුමා මොනතරම් ක්‍රියාශීලී වුණාද? 1977ට පස්සේ ලොකුම ජනරැල්ලක් ගොඩනැගුණේ සජිත් ප්‍රේමදාස මහතාට. පක්‍ෂයෙන් ඈත්වෙමින් සිටිය අය, වැටිලා හිටිය අය පමණක් නොවෙයි රටේම රැල්ලක් ගොඩනැගුණා. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනම කතාවක්. හැබැයි ඒ සටන තියුණු සටනක් බවට පත්වුණා. ඒක නිසා හුඟක් අයට හරියටම කියන්න බැරිවුණා මේ සටනේ ජයගන්නේ කවුද කියලා. ඒ මට්ටමට මේ සටන ගෙනාවා. හැබැයි මේක ඇතුළේ ක්‍රියාත්මක වුණු නිහඬ ව්‍යාපාරයක් තිබුණා. 

80 දශකයෙන් පසු පක්‍ෂයට ජනාධිපති කෙනෙකු බිහිනොවීම

ඒක හරිම කනගාටුයි. මම ඔය වෙනුවෙන් 2005 සටන් කළා. මොකද 2005දී අපිට මේ අවස්ථාව උදා වුණා. හැබැයි අපේ පක්‍ෂයේම සමහර නායකයන්ගේ උවමනාව සහ හැඟීම් නිසා අපිට ඒ අවස්ථාව අහිමි වුණා. ඇත්තටම එක්සත් ජාතික පක්‍ෂයට තිබුණ හොඳම අවස්ථාව තමයි 2015, 2005 වසරේදී උදාවුණේ. රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව එල්.ටී.ටී.ඊ තීන්දු තීරණ ක්‍රියාත්මක වීම නිසා 2005 ජයගන්න අපිට බැරිවුණා. නමුත් ඉන් අනතුරුව රටේ ඇතිවුණ සමහර සිදුවීම් සහ යුද මානසිකත්වය වගේ දේවල් අපිට අවාසි සහගත ලෙස බලපෑවා. ඊට පස්සේ රාජපක්‍ෂවරුන්ගේ පාලනයට විරුද්ධව 2015 ජනවරමක් දුන්නා. ඒ මොහොතේදී රනිල් වික්‍රමසිංහ මහතා නොවුණත් වෙනත් අපේක්‍ෂකයෙකු හරහා ගන්න තිබුණ ජයග්‍රහණයත් මඟහැරුණා. එදා මම කිව්ව කතාවක් තියෙනවා. ඒ කතාව තමයි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්‍ෂකයා නොකර, එක්සත් ජාතික පක්‍ෂයේ සජිත් ප්‍රේමදාස මහතා හෝ කරු ජයසූරිය මහතා ඉදිරිපත් කළා නම් ඒ ජයග්‍රහණය ලබාගන්න තිබුණයි කියල. ඒක කවුරුත් විශ්වාස කළේ නැහැ. ඔවුන් කළේ මට පහරපිට පහරදෙන එක. 

පස් වතාවක් අගමැති වූ රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති තනතුර අහිමි වීම

ඔහුට තියෙන්නේ ආකර්ෂණයේ ප්‍රශ්නයක්. විශේෂයෙන් තනතුරුවලින් ඉහළට යන්න ජනතා ආකර්ෂණය වැදගත්. ඒත් ඒ ආකර්ෂණය ඔහුගෙන් බිඳවැටිලා තිබුණා. අනිත් එක තමයි 1993 වසරේදී එතුමාව අගමැති ලෙස පත්වුණා. ඒක අහඹු සිද්ධියක් වෙන්න පුළුවන්. නමුත් ඔහුට ලැබුණ අවස්ථාව ප්‍ර‘යෝජනයට අරගෙන 2005දී ඉහළ මට්ටමට ආවා. 2005දී දිනන්න තිබූ අවස්ථාවක් සුළු වරදකින් අපිට අහිමි වුණා. නමුත් එතැනින් පස්සේ රටට දෙන නායකත්වයන් පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් මතුවෙන්න ගත්තා. ඔහු කෙරෙහි සමහර කණ්ඩායම් සැක කරන්න ගත්තා. ඒ එක්කම ක්‍රම ක්‍රමයෙන් අපෙන් ඈත්වෙච්ච සිංහල බෞද්ධ බලවේගය හා ජාතිමාමකත්වය අපිට අවාසි ලෙස බලපෑවා. ඒ කාරණාත් එක්ක තමයි රනිල් වික්‍රමසිංහ කියන චරිතයට මිනිසුන්ගේ ආකර්ෂණය අඩුවෙන්න පටන් ගත්තේ. ඒක තමයි ඇත්තටම සිදුවෙච්ච අවාසනාවන්තම සිදුවීම.

සජිත් පරාජයට පත් කළේ කවුද?

ඒක මට එහෙම කියන්න බැහැ. පරාදවෙන්න හේතු ගණනාවක් තියෙනවා. ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයේ අවාසි සහගත තත්ත්වයන් සජිත් ප්‍රේමදාස මහතාට බලපෑවා. ඒ වගේම මේ මැතිවරණ ව්‍යාපාරය හැමදෙනාම නිවැරදිව කරට අරගෙන වැඩ කළේ නැහැ කියලා පැහැදිලිවම මහජනයා ප්‍රකාශ කරනවා. ජනතාව කියනවා මේ වැඩේ ඇඟට අරගෙන කළේ නැහැ කියලා. උදාහරණයක් ලෙස අපි ගෙයින් ගෙට යාමේ ව්‍යාපාරය 100෴ කරන්න තිබූ අවස්ථා මඟහැරුණා. ඒත් එක්කම ප්‍රචාරක ව්‍යාපාරවල අඩුපාඩුකම් තිබුණා. මිනිස්සු දැනුවත් කරන එකේ දුර්වලකම් තිබුණා. ඒවා ඔක්කොම බැලුවාම පක්‍ෂය සහ පක්‍ෂයේ නොවන කණ්ඩාම් ගත්ත උත්සාහයන්වල යම් බිඳවැටීම් තිබුණා කියලා පිළිගන්න ඕන.

තැපැල් ඡන්ද අඩු වීම

ඒකට එකම හේතුව තමයි මම දකින්නේ වැටුප් වැඩි වීමේ වරප්‍රසාදවලට වඩා ජාතිමාමකත්වය අනුව ඡන්දය ප්‍රකාශ කිරීම.

උතුරේ හා දකුණේ ඡන්ද හැසිරීම

මීට වසර එකහමාරකට කලින් තිබුණ පළාත්පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණට ලැබුණ ලක්‍ෂ තිස්හතර (34) ලක්‍ෂ පනස්පහ (55) දක්වා ඉහළට ගේන්න සජිත් ප්‍රේමදාස මහතාට හැකිවුණා. සුළු ජාතීන්ගේ විශ්වාසය දිනාගැනීමත් ලංකාවේ ජනාධිපතිවරයෙකුට වැදගත්. මම කියන්නේ  ගෝඨාභය රාජපක්‍ෂ මහතා වුණත් දැන් සිතිය යුත්තේ හැම පුරවැසියෙකුගේම ජනාධිපතිවරයා ලෙසයි. මේ මොහොතේ සජිත් ප්‍රේමදාස මහතා බෞද්ධ නායකයෙකු ලෙස උතුරේ දෙමළ ජනතාවගේ, නැගෙනහිර මුස්ලිම් ජනතාවගේ සහ රටේ දකුණේ සිංහල බෞද්ධ ජනතාවගේ විශ්වාසය දිනාගෙන තියෙනවා. ඒ විශ්වාසය ඊළඟ අදියරට වටිනවා. ඒක නිසා සියලුදෙනාගේම විශ්වාසය දිනාගත් පුද්ගලයා කවුද කියලා ඇහුවොත් පොදුවේ කියවෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නමයි.

ආණ්ඩු කාලය තුළදී සාමාන්‍ය ජනතාව අමතක කළ බවට නැගෙන චෝදනාව

මම ඒක පිළිගන්නවා. සාමාන්‍ය ජනතාව විතරක් නොවෙයි තමන්ගේ පාක්‍ෂිකයිනුත් අමතක කළා. 1994 ඉඳලා දේශපාලන පළිගැනීම්වලට ලක්වුණ එක්සත් ජාතික පක්‍ෂ පාක්‍ෂිකයන් තිස්දහසකට (30,000) වඩා හිටියා. සමහර අය රැකියාවලින් ඉවත් කරලා, සමහර අයට උසස්වීම් දීල නැහැ, සමහර අය ඝාතනය කරලා, ගෙවල්දොරවල් කඩලා. ඒ ආකාරයට අසරණ වුණු පාක්‍ෂිකයන්ට සලකන්න අවස්ථාවක් උදා වුණේ නැහැ. ඉතා සුළුවෙන් යමක් ලැබිලා ඇති. නමුත් සමස්තයක් ලෙස ඒ දේ වුණේ නැහැ. මීට අමතරව 2015 ජයග්‍රහණයට වැඩ කළ පිරිසක් හිටියා. ඒ අය තමයි බිම් මට්ටමින් සංවිධාන භාරව ක්‍රියා කළ අය. එතකොට මම පක්‍ෂයේ මහලේකම්. පක්‍ෂයේ මහලේකම් ලෙස මම අලුත්ම යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළා. ඒ තමයි ඡන්දපොළවල් දොළොස්දහසක (12,000) සංවිධායකවරුන් පත්කරගෙන අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒත් ඒ අයට සලකන්න ආණ්ඩුවක් ලෙස කටයුතු කළේ නැහැ. ඔවුන් අමතක කළා. ඒක බරපතළ වරදක්. ආණ්ඩුවක් ආවට පස්සේ වෘත්තීය සමිති ආරක්ෂා කළොත් තමයි ඔවුන් ආයතන තුළ ශක්තිමත් වෙන්නේ. වෘත්තීය සමිති දියවෙන්න හැරියා. අපේ තරුණ සංවිධාන, අපේ කාන්තා සංවිධාන, අපේ සන්නිවේදන බළකාය මේ සියල්ල නොසලකා හැරියා. ඒ අය හිතුවා ආණ්ඩුවට ආවට පස්සේ සදාකාලිකව ඉන්නවා කියලා. සමහර අය බලයෙන් කොච්චර ඉදිමුනාද කියනවා නම්, පාක්‍ෂිකයෙකුට ඇමැතිවරයෙකු හමුවෙන්න බැරි තත්ත්වයට සමහර අවස්ථාවල පත්වුණා. මේ සියල්ලගේම වගකීම දරාගෙන යන්න වුණේ සජිත් ප්‍රේමදාස මහතාට. 

එක්සත් ජාතික පක්‍ෂය ප්‍රතිසංවිධානය කිරීම

සම්පූර්ණයෙන්ම එක්සත් ජාතික පක්‍ෂය වෙනස් කරන්න ඕන. මුහුණවර විතරක් වෙනස් කරලා වැඩක් නැහැ. මුල ඉඳලා අගටම එක්සත් ජාතික පක්‍ෂය වෙනස් කළ යුතුයි. ජනාධිපතිවරණයේදී පාඩම් ඉගෙන ගෙන 2025 ජනාධිපතිවරණයට සූදානම් වෙන්න ඕන. ඒ සඳහා අලුත් දේශපාලන නායකත්වයක් එක්සත් ජාතික පක්‍ෂයට අවශ්‍යයි. අලුත් සංවිධාන වැඩපිළිවෙළක්, වංචාව හොරකම් සමාජයෙන් ඈත්කරන වැඩපිළිවෙළක් ඕන. ඒවා කරනවා නම් මුලින්ම ඒ දේවල්වලින් ඈත්වෙනවා කියලා පෙන්නන්න ඕන. ඒ වගේම හොඳට කැපවෙලා වැඩකරන කණ්ඩායමක් ඕන. අනෙක් වැදගත්ම කාරණය තමයි අපි අලුත් ආකල්පයක් රටට දෙන්න ඕන. එක්සත් ජාතික පක්‍ෂය කියන්නේ මේ රටේ සිංහලකම, බෞද්ධකම රකින, ආරක්ෂා කරන දේශපාලන පක්‍ෂයක් කියලා ඒත්තු ගන්වන්න ඕන. ඒක අන්තවාදීව නොවෙයි, අනිත් පක්ෂ හැමදෙනාටම සලකනවා වගේ අපිත් සලකන්න ඕන. මොකද පාස්කු ඉරිදා සිදුවීම් ගත්තම ආණ්ඩුව හැසිරුණ ආකාරය අපිට අවාසිසහගත වුණා. වගකීම් හා වගවීම් කියන එකෙන් ආණ්ඩුව ඈත් වුණා. ඒක නිසා අපිට සිදුවුණ පාඩුව ලෙහෙසි පහසු නැහැ. මේ වෙනස්කම් ටික කරගෙන අලුතින් පටන්ගන්න පුළුවන්. අපි පාඩම් ඉගෙනගෙන තියෙනවා. ඉතිහාසයේදී එක්සත් ජාතික පක්‍ෂය පරාජයට පත්වුණාම 1977 වසරේදී ජේ.ආර්. ජයවර්ධන මහතා පක්‍ෂය හැදීම සඳහා වෘත්තීය සමිති හැදුවා. වැඩ කළා. ඒ දේවල් අපි දැකලා තියෙනවා. ඒ වගේ නැවත ආරම්භ විය යුතුයි. ඒ අනුව අපිට නැවත ශක්තිමත් වෙන්න පුළුවන්.

සජිත් ප්‍රේමදාස ඉක්මන් වුණා වැඩියිද?

කිසිසේත්ම නැහැ. සජිත් ප්‍රේමදාස මහතා තරග කළයුතු අවස්ථාවේදී තරග කළා. ජය පරාජය ගැන සමහරු හිතනවා. එක මොහොතෙන් ජයග්‍රහණ ලැබෙන්නෙත් නැහැ. පරාජයන් ලබාගෙන ජයග්‍රහණවලට යන එකත් හොඳයි. මම කියන්නේ ජයග්‍රහණය ලබාගැනීමට නොහැකි වුණාම නිදහසට කාරණා නොවෙයි. ඒත් මේක හොඳ අත්දැකීමක්. දේශපාලනය තුළ හොඳ පලපුරුද්දක් තිබිය යුතුයි. උදාහරණයට ගන්න මහින්ද රාජපක්‍ෂ මහතා. ඒ මහතා මන්ත්‍රීවරයෙකු ලෙස ඉඳලා 1977 පැරදුනාම නැවත පාර්ලිමේන්තුවට ආවේ වසර 11කට පසුව. 1989 ඇවිල්ලා 1994 වෙනකොට එතුමා ඇමැතිවරයෙකු වුණා. 2005 වෙනකොට ජනාධිපති වුණා. කොයිතරම් කාලයක් ගියාද? කවුරුවත් හිතුවද අවුරුදු 11 ගෙදර ඉන්නකොට ආයිත් කවදාවත් මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වේවි කියලා. තවත් උදාහරණයක් කිව්වොත් ජේ.ආර්. ජයවර්ධන මහතා 1950 ගණන්වල ඡන්දයෙන් පැරදිලා ගෙදර ඉඳලා තමයි 1978 ජනාධිපති වණේ. කොයිතරම් කාලයක් නිහඬව ඉඳලද සම්බන්ධ උනේ. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දේශපාලනය එපා කියලා රට දාලා ගියා. ආපහු අහඹු ලෙස හරි ඇවිල්ලා සටන් කරලා රටේ නායිකාව වුණා. මේ හැම චරිතයකටම කාලයක් තියෙනවා. සජිත් ප්‍රේමදාස මහතාට එහෙම දෙයක් වුණේ නැහැ. තරගයකින් ඔහු පසුබෑමකට ලක්වුණා. නැවත ඔහුට නැගී සිටින්න සහය දෙන්න. ජනතාවට නායකත්වය ලබාදෙන්න ඔහුට ශක්තිය තියෙනවා. 

රාජපක්‍ෂවරුන් හොරු කියලා චෝදනා කළාට ජනතාව පිළිගත්තේ නෑ.

හොරු අල්ලන්න ආපු ආණ්ඩු හොරු ආරක්ෂා කරන මට්ටමට පත්වුණා. එතකොට මිනිස්සු කියන්න පටන් ගත්තා ඒක වැරදියි කියලා. මොකද දේශපාලන වේදිකාවල කියන කතන්දර සියල්ලම යාථාර්ථයක් නොවෙයි කියලා හිතන්න ගත්තා. ඒක කළේ කවුද? ආණ්ඩුව සමග හිටගත්ත සමහර නායකයන් රාජපක්‍ෂ එක්ක ඩීල් දැම්මා කියලා කටකතා යනවා. හොරු අල්ලන්න ආපු ආණ්ඩුවේ සමහර අය හොරකම් කළා කියලා චෝදනා තිබුණා. ඒක නිසා වේදිකාවේ කියන කතා ජනතාව දැන් ලොකුවට ගන්නේ නැහැ. මිනිස්සු හිතනවා හොරකමක්, වංචාවක් වුණා නම් නඩු අහලා දඬුවම් කරන්න ඕන කියලා. ඒක පැත්තකින් තියලා ආණ්ඩුව ඔවුන්ට ඕන දේවල් විතරක් කළා. නරක විදිහට දේශපාලන වශයෙන් ඒවා භාවිත කරන්න ගියාම සිද්ධ වෙන දේ තමයි මේ පරාජය.

රාජපක්‍ෂවරුන් දෙදෙනෙකු රට පාලනය කිරීම

පවුල් පාලනය පිළිබඳව ඇත්තටම මට හැඟීමක් නැහැ. ඒත් ජනතාව එය අනුමත කරනවා නම් අපිට කරන්න දෙයක් නැහැ. විශේෂයෙන් කියන්න ඕන ඉදිරි මාස දෙක තුන තුළ රටේ මොකක්ද වෙන්නේ කියලා බලන් ඉන්න වේවි. මම හිතනවා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලොකු වගකීමක් තියෙනවා. මේ රටේ මිනිස්සු මෙදා සැරේ පරිප්පු ටිකට, පාන් ටිකට, සීනි ටිකට ඡන්දය දුන්නෙ නෑ. මිනිස්සු ඉල්ලුවේ ජාතික ආරක්ෂාව. අපිව රැකබලා ගන්නේ කවුද? ඒ වගේම රටේ ජනතාව තව දෙයක් බලාපොරොත්තු වුණා. වංචාව  දූෂණය කවුද නවත්වන්නේ? රට පිරිසුදු කිරීමට ජනතාවට ඕන වුණා. රටේ දේශපාලන පරිවර්තනයක්, අලුත් ගමනක් ඕන උනා. මේ දේවල් තමයි ජනතාව බැලුවේ. ඒක නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වගකීම් තොගයක් තියෙනවා. එතුමා ජනාධිපති ලෙස අවතීර්ණ වෙලා සාර්ථක නොවුණහොත් 2025 එතුමා අසාර්ථක නායකයෙකු වේවි. දැන්ම ඒවා තක්සේරු කරන්න බැහැ. ඔහු පටන්ගත්තා විතරයි. 

සතුටු විය හැකි කාරණා

එතුමා කියපු කාරණා දෙකක් ආරම්භයේදීම ක්‍රියාත්මක කළා. එතුමා කිව්වා මැති ඇමැතිවරුන්ගේ ඡායාරූප ආණ්ඩු‍වේ ආයතනවල එල්ලන්න එපා කියලා. ඒක හොඳයි. මෙතෙක් තිබුණේ වැරදි සම්ප්‍රදායක්. ඒකෙන් දේශපාලන ගැතිකමක් රාජ්‍ය ආයතන තුළින් පෙන්නුම් කරනවා. ඒක නිසා ඒ කරපු දේ හොඳ දෙයක්. ඒකට ස්තුති කරනවා. ඒ වගේම වාහන භාවිත කිරීම සීමා කිරීම, ජනාධිපතිවරයා ගමන් ගන්නා විට මාර්ග වසා තබන්න එපා කියලා කිව්වා. ඒක ඉතාමත් හොඳයි. මිනිස්සුන්ට ඔනේ විනිවිදභාවයකින් හැමදේම බලාගන්න. ඒක නිසා එතුමා ආරම්භයේදීම ගත්ත තීන්දු තීරණ හොඳයි. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහතාත් ආරම්භයේදී මේ දේවල් කළා. මැදට යනකොට අවුල් කරගත්තා. අවසන් වෙනකොට මිනිස්සුන්ට එපාවෙන මට්ටමට පත්වුණා. ඒක නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ජනතාව බලාපොරොත්තු වන ප්‍රධාන කාරණාව තමයි ජනතාව දුන්නු න්‍යායපත්‍රය හරියටම කරයි කියන දේ. එහෙම කරනවා නම් හැමදෙනාගේම ගෞරවය හිමිවේවි. ඒත් එක්කම ඔහුට තවත් වගකීමක් තියෙනවා. ඔහු එක් කොට්ඨාසයක ජනාධිපති කෙනෙක් නොවෙයි. හැමදෙනාගේම ජනාධිපති. ඒක නිසා හැමදෙනාටම සමාන ලෙස සැලකීම සුවිශේෂී කාරණයක්. ඔහු වැඩකරන්නේ රටට, රටේ පුරවැසියන්ට. එතනදී සිංහලද, දෙමළද, මුස්ලිම්ද, කතෝලිකද, බුද්ධාගමද වෙන ආගමක්ද කියන එක නොවෙයි වැදගත්. හැමදෙනාටම සලකන නායකයෙකු උනොත් ඔහු සාර්ථක වේවි. එහෙම නැති වුණොත් මග අසාර්ථක වේවි.

තිස්ස අත්තනායක එක්සත් ජාතික පාක්‍ෂිකයෙක්ද?

මම නිදහස් පුරවැසියෙක්. මම මේ මොහොතේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන කෙනෙක්. මගේ ඇගේ තියෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ උරුමය. මම 2015 විරුද්ධ වුණේ ඒ උරුමයට හානි කරන්න දේශපාලන වශයෙන් ගත් තීන්දුවට. එය සාර්ථක වුණාද නැද්ද කියලා ජනතාව දන්නවා. මොකද මම කිව්වේ මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්කිරීම හරහා එක්සත් ජාතික පක්‍ෂයටත්, රටටත් බරපතළ හානියක් වෙනවා කියලා. ඒක වෙලා හමාරයි. අවුරුදු හතරකට පහකට පස්සේ මිනිස්සු කියනවා මම කිව්ව දේ හරි කියලා. මම වෙනස් වුණේ නැහැ. මම කිසිම දේශපාලන තීන්දුවක් ගත්තේ නැහැ. සජිත් ප්‍රේමදාස මහතා ගැන මට ලොකු විශ්වාසයක් තිබුණා. ඒ වගේම මේ ගමන යන්න පුළුවන් නිසා එතුමාට උදවු කළා. එතුමාට රට වෙනුවෙන් කටයුතු කරන්න හොඳ ජවයක් තියෙනවා. අවාසනාවට ඔහුට ඒ හැඟීම හා ජවය භාවිත කරන්න ඉඩක් ලැබුණේ නැහැ. නමුත් ඊළඟ ගමනටත් මම එතුමාට උදවු කරනවා.

සජිත්ගේ පරාජය ගැන සතුටු වන අය

මම හිතන්නේ නැහැ එක්සත් ජාතික පාක්‍ෂියකයන් සතුටු වෙනවා කියලා. එක්සත් ජාතික පාක්‍ෂිකයන් දුක්වෙනවා. නම් ගම් කියන්න මම කැමැති නැහැ. ඒත් ඡන්ද ව්‍යාපාරය තුළ මම දැක්කා මැති ඇමැතිවරු ගණනාවක් වැඩ නොකර ඈත්වෙලා ඉන්නවා. ඔවුන්ගේ නම් ගම් කියන්නෙ නැත්තේ මට අර්බුදයක් ඇතිකරන්න ඕන නැති නිසා. නමුත් ඒ ගැන පරීක්ෂා කරලා බලලා, සමාලෝචනය කරලා ඒ ගැන කියන්න පුළුවන්. හැබැයි එකක් කියන්න ඕන. සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ප්‍රාර්ථනා නොකළ අයටත් දැන් මැති ඇමැතිකම් දාලා ගෙදර යන්න වෙලා තියෙනවා. මේකෙන් වැටුණේ සජිත් ප්‍රේමදාස නොවෙයි. පාක්‍ෂිකයන්ගේ බලාපොරොත්තුවලට පිටින් කටයුතු කළ අය. මේක කනගාටුදායක තත්ත්වයක්. ඒත් මිලියන හතරකට පහකට අධික පාක්‍ෂිකයන් නිරතුරුවම අපි සමග ඉන්නවා.        



Recommended Articles