යුක්රේනයේ සිට පැමිණි සංචාරකයන්ගෙන් කිහිපදෙනෙකු කෝවිඩ් ආසාදිතයන් වීමත් මේ සංචාරකයන් යාල සෆාරි ගෙන ගිය ජීප් රථ රියැදුරන් සෆාරිය නිම වෙද්දීම නිරෝධායනයට රැගෙන යාමත් නිසා මේ වනවිට යළිත් යුක්රේනයෙන් කෝවිඩ් බෝ කිරීමක් සිදුවන්නේ දැයි බොහෝ දෙනා තුළ සැකයක් මතුව තිබේ.
මේ වනවිට ශ්‍රී ලංකාවේ හමුවන කෝවිඩ් රෝගීන්ගේ පළමු ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යෑම නතර කර තිබේ. එසේ තිබියදී යුක්රේන සංචාරකයන් කෝවිඩි රෝගීන් නොවන්නේ නම් අහිංසක සෆාරි රියැදුරන් නිරෝධායනයට ගෙන ගියේ මොන කෙහෙල්මලකටදැයි ඕනෑම කෙනෙකුට සිතීම සාධාරණය. මේ සංචාරකයන් ඊයේ (04දා) සහ අද (05දා) පොළොන්නරුවේ සහ සීගිරියේ සංචාරයකට සූදානම්ව සිටියත් එය සිදු නොවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල ඊයේ නිවේදනය කළේය.
මේ පිරිස පොළොන්නරුවේ සහ සීගිරියේ සංචාරය කරන්නට සූදානම්ව සිටියේ එම සංචාරක කලාප ශ්‍රී ලාංකිකයන්ට විවෘත නොකරමිනි. කෙසේ වුවද මුව ආවරණ අත්‍යවශ්‍ය යැයි නීති ඇති රටක මුව ආවරණ නොදමා යන අයට දඩ ගසන රටක මුව ආවරණ නොමැතිව යාල ගිය මේ පිරිස ගැන ජනතාවට ඇත්තේ අප්රසාදයකි. එයට හේතුව වී තිබෙන්නේ සංවිධායකයන්ගේ අසංවිධානාත්මක බව යැයි ඊයේ සවස්වන විට දැන ගන්නට තිබුණි. මෙවැනි වැඩවලින් සිදුවන්නේ අනෙක් රටවල සංචාරකයන් පැමිණීමට මැළි වීම විය හැකිය. ශ්‍රී ලංකාවට වැඩිම ආදායමක් ලැබෙන්නේ සංචාරක කර්මාන්තයෙන් බව සැබවි. එය අඩපණ වීම නිසා රටට මුදල් ගලා එන්නේද නැත. මේ වනවිට විදේශගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බොහෝදෙනෙකුට රැකියා අහිමි වී ඔවුන් ඉතිරි කරගත් මුදල්ද වියදම් වී අවසන්ය. මේ නිසා බොහෝ විදෙස්ගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට එනු ඇත්තේ යළිත් මුල සිට පටන් ගැනීම ගැන සිතමිනි. එහෙත් මූලිකව ඔවුන් එවන මුදලින් සහ සංචාරක කර්මාන්තයෙන් යැපුණු මේ රටේ මුල සිට පටන් ගැනීමක් ගැන කියන්නට බැරිය. හේතුව රටේ සල්ලි නැති වීමයි. අවුරුද්දක ණය වාරික ගෙවීමට තරම් ආදායමක් රටට ලැබෙන්නේ නැත. ගෝඨාගේ නොහැකියාව යැයි මෙය මේ වනවිට අර්ථ දක්වමින් තිබේ. ඇත්ත වශයෙන්ම මෙය ගෝඨාගේ නොහැකියාවට වඩා ගෝඨාගේ අවාසනාවයි. ජනාධිපති අයියෙකු සිටින විට අනෙක් අයියා ආර්ථිකය හසුරවන විට ලේකම් මල්ලී ලෙස නිදහසේ ඕනෑම තීරණයක් ගෙන වැඩ කරන්නට හැකිය. අප දුටු ලේකම් ගෝඨා එසේය. එහෙත් ජනාධිපති වූ විට තත්ත්වය වෙනස්ය. ඒ අස්සේ ගෝඨා ජනාධිපති කළේ අපි යැයි කියමින් තවමත් ඔහුව පාලනය කරන්නට හදන පිරිස බොහෝය. මේ සියල්ල බැලන්ස් කරන්නට යද්දී කෝවිඩ් පැමිණ ගෝඨාව සමතලා කර දමා තිබේ. ඒ නිසාම ආර්ථිකයට සක්ක ගසන වැඩ කරන්නට මේ රටේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගෙන ජනාධිපති වූ ගෝඨාට සිදුව තිබේ. ගෝඨා නොව මහින්ද ජනාධිපති වුණත් රනිල් ජනාධිපති වුණත් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට බැරිය. සිරිමාවෝගෙන් පටන්ගෙන ජේ.ආර් පැලැස්තර දමා, චන්ද්‍රිකා, රනිල්, මහින්ද, මෛත්‍රී යන නායකයන් මේ රට ගෙනආවේ මෙතැනටය.
මේවා කොහොම වුණත් ජනතාව ගෝඨාව ගෙනාවේ සිස්ටම් චේන්ජ් එකක් සොයාය. එහෙත් ගෝඨාට යළිත් උදයංග වීරතුංගගේ පිහිට පතන තැනට තල්ලු වූයේ නම් සිස්ටම් චේන්ජ් එකක් නැත. සිස්ටම් එක 2005-2014 එකමය. කෝවිඩ් බියක් ලෝකයට ඇති කරන්නේ ඇමෙරිකාවය. මෙය පැහැදිලිවම දකින්නට ලැබෙන්නේ ඇමෙරිකානු මාධ්‍ය 2020 ජනවාරියේ සිට චීනයෙන් එනවා චීනයෙන් එනවා කියමින් කළ විගඩම හරහාය. මෙය චීනයේ නොව ඉතාලියේ, ඇමෙරිකාවේ, ඔස්ට්‍රේලියාවේද 2019 අවසන් කාලයේදී තිබූ බව දැන් හෙළිවෙමින් පවතී. එහෙත් ඇමෙරිකාව තමන්ට අවශ්‍ය දේ කර ගත්තේ චීනය ගැන කළු චිත්‍රයක් ලෝකයට අදිමිනි. එහෙත් චීනය තමන්ගේ හැකියාව පාවිච්චි කරමින් ගොඩ ආ අතර ඇමෙරිකාව ලෝකයේ බහුතර රටවල් ප්‍රමාණයක් පහළට ඇද දමමින් තමන්ද විනාසය ළඟා කර ගත්තේය.
කෝවිඩ් සම්බන්ධයෙන් සියල්ලටම පෙර චීනය එන්නතක් නිර්මාණය කළේ නම් බොහෝ දෙනා කෑ ගසනු ඇත්තේ ලෙඩෙත් දීලා බෙහෙතුත් දෙනවා කියාය. එහෙත් ෆයිසර් එන්නත ගැන එහෙම සැකයක් කිසිවෙකුට නැත. ලෙඩේට බෙහෙත් ඇමෙරිකාව දෙන්නේ හදාගෙන හිටියා වගේ යැයි කිසිවෙකු කියන්නේ නැත. මේ නිර්මාණය කර ඇති ව්‍යාජයේ තරමයි. ඒ නිසා මේ ලෝක බලවතුන්ගේ ගැටලු අපට දමානොගෙන යමක් කරන්නට අපට හැකි විය යුතුය.
කෝවිඩ් හරහා මේ රටේ මුස්ලිම් සිංහල ගැටලුවක් හදන්නටද පිරිසක් උත්සාහ කළහ. අවසානයේ මාස ගණනක් සංවාද කර මෘතදේහ ආදාහනයට අවසර දෙන තැනට වැඩ සිදුවී තිබේ. ඒ අස්සේ අලුත් මුස්ලිම් නායකයන් වී සිටින සමහරු මුස්ලිම් තරුණයන් පීඩනයෙන් ඉන්නේ, පිපිරෙයි කියමින් තවත් ප්‍රශ්නයක් නිර්මාණය කරන්නට උත්සාහ ගත්හ. මේ රටේ ආර්ථිකය අඩාළ නම් අප කළ යුත්තේ මේ කෙහෙල්මල් පසෙක දමා එය පිළිගෙන එයට අවශ්‍ය වැඩපිළිවෙළක් හැදීමයි. ඒ වෙනුවට මේ රට තවත් නරකාදියක් කරන ජාතිවාදී ගැටුමක් නිර්මාණය කර තමන්ගේ බලය රැක ගැනීමට උත්සාහ කිරීම නිවට කමකි.
මේ රටේ මුස්ලම් ජාතිවාදීන් සිටියි නම් ඔවුන්ගේ අවශ්‍යතාව වන්නේ මුස්ලිම් ජනගහනයේ ප්‍රතිශතය සියයට 50 ඉක්මවා රැගෙන ගොස් ඉස්ලාමීය ජනරජයක් නිර්මාණය කර ගැනීමය. එය මුස්ලිම් ජාතිවාදීන්, අන්තවාදීන්ගේ අවශ්‍යතාව මිස සමස්ත මුස්ලිම් ජනතාවගේ අවශ්‍යතාව නොවේ. ඒ අවශ්‍යතාවට සිංහල ජාතිවාදීන් විසින් කල්පනා කර පිළිතුරු නිර්මාණය කරගත යුතුය. එය යුද්ධයක් නොවේ. එහෙත් රටේ ආර්ථිකය වැටී ඇති විටක ආණ්ඩුවේ මුස්ලිම් නායකයන් පීඩනයක් ගැන කතා කරන්නේ වෙන අදහසකිනි. මෙහිදී ඔවුන් වැඩ දෙකක් කරයි. එකක් මේ රටේ මුස්ලිම් කැරැල්ලක් ඇති වේ යැයි සමස්ත ශ්‍රී ලාංකිකයන් තුළ බියක් ඇති කිරීමයි. දෙවැන්න කොහේ හෝ සුළු සිද්ධියක් ඇති කර ජනතාවගේ අවධානය ඒ වෙත ගෙන යෑමයි. මේවා මීට පෙර හැත්තෑ ගණන්වල දෙමළ දේශපාලන නායකයන් කළ වැඩය. එහි ප්‍රතිඵලය වසර 30ක යුද්ධයක් සහ වසර 60ක් රට ආපස්සට යෑමකි.
මේ නායකයන් නොදන්නා දෙය නම් ශ්‍රී ලාංකිකයන්ගෙන් අවම වශයෙන්ම සියයට 10ක්වත් ජාතිය හා ආගම හමුවේ ගොන් මෝඩයන් සේ හැසිරෙන බවය. මේ පීඩන කතාව අසා ඒ පිරිසෙන් මුස්ලිම් තරුණ කොටසක් ආයුධ අතට ගෙන රඟන්නට ගත්තා නම් එය නතර වන්නේ කොතැනින්ද? ඔවුන්ට පිළිතුරු දෙන්න සිංහල කොටසක් ආයුධ අතට ගත්තා නම් කුමක් වෙයිද? මේ ආණ්ඩුවට අවශ්‍ය එයද?
මේ සක්ක ගැසීම නතර විය යුතු කාලයයි. ආර්ථිකය වැටී ඇත. එය ගොඩ එන්නට පී.බී. ජයසුන්දරගේ සූස්තරවලට බැරි බව දැන් පැහැදිලිය. පී.බී.ගේ කාලය ඉවරය. දැන් ගෝඨා අලුත් මාර්ග සෙවිය යුතුය. උදයංග වීරතුංගගේ යුක්රේන සක්ක වැනි සරල තත්ත්වයන් නොව වඩාත් සැලසුම්සහගත තත්ත්වයන් නිර්මාණය කර ගත යුතුය. එසේ නොවුණහොත් මෛත්‍රී මීට වඩා හොඳ යැයි කියන කාලය වැඩි ඈතක නැත. ඇත්ත වශයෙන්ම පිරිසක් එය කියන්නට පටන් ගෙන තිබේ.
ඒ අස්සේ ආණ්ඩුව මිථ්‍යාව පතුරනවා යැයි කියන පිරිසක්ද සිටියි. එහෙත් එයට තවත් ප්‍රශ්නයක් ඇසිය යුතුය. ඉස්ලාම් ආගමට අනුව මේ නිසා දේහයක් ආදාහනය නොකර කොන්ක්‍රීට් වළකට හෝ දැමීමට හැකියාව තිබේ. එවිට විෂබීජ පැතිරෙන්නේ නැත. මේ ඔවුන්ගේ විශ්වාසයට ගරු කිරීමකි. මේ ආකාරයෙන් අපි නොයෙකුත් ආගම්වල විශ්වාසයන්ට ගරු කරමු.
බෞද්ධයන් බෝධි පූජාවක් තැබුවාම ලැබෙන්නේ කුමක්දැයි විද්‍යාත්මකව ඔප්පු කර නැත. එහෙම වුණා කියා බෝධි පූජා නොතියා ඉන්නේ නැත. එහෙත් අපි කාලිට බණිමු. කාලි යනු ද තවත් විශ්වාසයකි. කතරගම දෙවියන්, විශ්ණු දෙවියන්, නාථ දෙවියන් , රාවනා පමණක් නොව ඥානා මෑණියන්ද විශ්වාසයන්ය. ඒවා විශ්වාස කරන්නේ කුමක් හෝ දෙයක් විශ්වාස කරන්නන්ට ඇති නිසාය. එහෙත් විද්‍යාත්මකව ඔප්පු කර නැත. මේ නිසා විශ්වාසයන්ට ඉඩ දෙනවා නම් සියලු විශ්වාසයන්ට ඉඩ දිය යුතුය. නැත්නම් සියලු විශ්වාසවලට ඉඩ නොතබා සියල්ල විද්‍යාත්මකව කළ යුතුය. අපේ රටේ වෙන්නේ එක් අන්තයක් තෝරා නොගෙන මිශ්‍ර කරන්නට යෑමය. රැවුලත් කැඳත් බේරා ගෙන යන්නට උත්සාහ කිරීම අතීතයේ සිට අප ගත් උත්සාහයයි. ඒ උත්සාහයන්ගේ ප්‍රතිඵල අප දැන් අත්දකිමින් සිටිමු. දැන්වත් කල්පනා කරමු. එක්කෝ විද්‍යාවය. නැත්නම් මිථ්‍යාවය. දෙක බ්ලෙන්ඩ් කරන්නට බැරිය.
ය.ස දොරටුපාල